බලශක්තියට තිර ශක්තියක්
වසර 2050 වනවිට කාබන් භාවිතය ශූන්‍ය රටක් බවට පත් කිරීමේ ඉලක්කය වෙත ළඟා වීමටත් එහි එක් පියවරක් ලෙස වසර 2030 වනවිට විදුලි උත්පාදන ක්‍රියාවලියෙන් 70%ක් පමණ පුනර්ජනනීය බලශක්තිය භාවිතයෙන් සපුරා ගැනීමේ ඉලක්කය වෙත ගමන් කිරීමටත් ශ්‍රී ලංකාව උත්සාහ දරමින් සිටින්නේ ඒ සඳහා ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාවට නංවමින්. මේ පිළිබඳ විමසුමට ලක් කරමින් මෙවර දෙසතිය කවරයේ කතාව සැකසෙනවා.
අතීතයේ සිට ම මනුෂ්‍ය වර්ගයාගේ ප්‍රගතිය, ඔවුන්ට පාලනය කිරීමට හැකි වූ බලශක්ති ප්‍රභව ඔස්සේ තීරණය වුණා. මුල්කාලීන ව තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සරල ව සපයා ගැනීමට හැකි ශක්ති කෙරෙහි මිනිසා අවධානය යොමු කළා. එහෙත් පසුකාලීන ව මේ තත්ත්වයේ ක්රමික වර්ධනයත් සමඟ වඩාත් සංකීර්ණ තාක්ෂණික මෙවලම්, ක්‍රමවේද භාවිත කරමින් වඩාත් ගුණාත්මක, වැඩි කාර්යක්ෂමතාවකින් යුත් බලශක්ති නිර්මාණය කර ගැනීමට වෙහෙසුණා. ඒ අනුව සලකා බැලීමේදී බලශක්ති භාවිතයේ විකාශනය වීම අද වනතුරු ම සිදු වෙනවා.
මනුෂ්‍ය වර්ගයාගේ මූලික අදියරේදී බලශක්ති විදිහට තමන්ගේ මාංශ පේශි ශක්තිය භාවිතයට යොමු වුණා. තමන්ගේ ශරීර ශක්තිය භාවිත කර සතුන් ලුහුබැඳ ගොස් ඔවුන් ව දඩයමේ කර ආහාර අවශ්‍යතාව සපුරා ගත්තා. පසුකාලීන ව වන සතුන් හීලෑ කරගෙන තමන්ගේ එදිනෙදා කාර්ය සිදු කර ගත්තා. දර එකිනෙක අතුල්ලා ගින්දර සොයා ගැනීමත් සමඟ ආහාර සකස් කර ගැනීමට, ආරක්ෂාව වැනි කාර්යවල ක්රමවේදීය දියුණුවක්, වැඩි විද්‍යාත්මක නැඹුරුවක් එහි දක්නට ලැබුණා. ක්‍රමයෙන් කෘෂිකාර්මික ජීවිතයකට හුරු වීමත් සමඟ පැළ සිටුවීමේ සිට අස්වැන්න නෙළා ගැනීම දක්වා වූ කාර්ය සඳහා හිරුඑළිය, ජලය, සුළං බලය වැනි ශක්ති උපයෝගි කර ගත්තා. කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගත්තේ ගින්දර යොදාගෙන රත් කර සකස් කරන ලද උදැල්ල, කැත්ත වැනි ලෝහ උපකරණ හා මෙවලම්. ස්වාභාවික ශක්තිය හා තාක්ෂණය යොදාගෙන සකස් කරන ලද උපකරණ, මෙවලම් භාවිත කර මිනිස් ශක්තිය වඩාත් කාර්යක්ෂම ව කර ගැනීමට උත්සාහ ගත්තා. මේ කාලයේදීයි වෙළෙඳාම දියුණු වීම ආරම්භ වන්නේ. රුවල් යාත්‍රා භාවිත කරවීමට සුළං බලය යොදා ගැනුණා. 18 වැනි සියවසේදී ගල් අඟුරු සොයා ගැනීමත් සමඟ කාර්මික විප්ලවයේදී ප්‍රධාන බලශක්තිය ලෙස ගල් අඟුරු භාවිතයට ගැනුණා. ඒ අනුව ගල් අඟුරු හා වාෂ්ප බලය යොදාගෙන තෝමස් අල්වා එඩිසන් ලොව පළමු විදුලි බලාගාරය බිහි කරන්නේ 1882 සැප්තැම්බර් 4 දින. වාෂ්ප එන්ජිම යොදා ගත්තත් මේ සමඟ බලශක්ති භාවිතයේ ද ඇති වුණේ කැපී පෙනෙන වර්ධනයක්. සාපේක්ෂ ව අඩු වේගයකින් සිදු වූ සමාජ වර්ධනය මේ සමඟ විශාල දියුණුවකට පත් වුණා. විද්‍යාත්මක, තාක්ෂණික සොයා ගැනීම්වල දියුණුවක් ඇති වීම, විශාල කර්මාන්ත ශාලා බිහි වීම, ලාභදායී ශ්‍රමය නගර වෙත ඒකරාශී වීම, යන්ත්‍ර සූත්‍ර භාවිතය ශීඝ්‍රයෙන් ඉහළ යෑම මෙන් ම මහා පරිමාණයේ නිෂ්පාදන වෙළෙඳපොළක් බිහි වීම නිසා ආර්ථික, සමාජීය, දේශපාලනික, සංස්කෘතික වර්ධනයක් ද සිදු වුණා.
මෙයින් පසු ව ඇතිවන දෙවැනි කාර්මික විප්ලවයේදී ඛණිජ තෙල් සහ ස්වාභාවික වායු සොයා ගැනෙනවා. ඒ වනවිටත් විදුලි තාක්ෂණය භාවිතයේ දියුණුවක් ඇති වීම, විදුලි පරිභෝජනය ක්රමික ව වර්ධනය වීම, ඒ හා සම්බන්ධ කර්මාන්ත හා ආයතන බිහි වීම, ප්‍රවාහන ක්ෂේත්රය දියුණු වීම, ගෘහස්ථ ව යම් යම් බලශක්ති ප්රභවය සකස් වීම යනාදී සාධක සමඟ විදුලිබලය නිෂ්පාදනය කිරීමේ පරිසරයක් නිර්මාණය වෙනවා. එමෙන් ම එතෙක් මිනිස් ශ්‍රමයෙන් ක්‍රියාත්මක වූ යන්ත්‍ර සූත්‍ර මෝටර්, බැටරි බලයෙන් ක්‍රියාත්මක වුණා. ඛණිජ තෙල් භාවිතය නිසා ප්‍රවාහනය දියුණු වුණා. 1950න් පසුව න්‍යෂ්ටික බලය යොදාගෙන විදුලිය නිෂ්පාදනයට අවධානය යොමු වීමත් විශේෂ කරුණක්. එහෙත් ලෝකය ම බලශක්ති අර්බුදයකට මුහුණදෙමින් සිටින 21 වැනි සියවසේ බලශක්ති සඳහා වඩාත් යෝග්‍ය ප්‍රභව වශයෙන් පුනර්ජනනීය බලශක්ති භාවිතය කෙරෙහි ලෝකය පෙන්වමින් සිටින්නේ සුවිශේෂ නැඹුරුවක්.
එහෙත් වර්තමානයේදී පවා බලශක්ති වශයෙන් 85්‍රක් පමණ භාවිතයට ගැනෙන්නේ ෆොසිල ඉන්ධන. ඉතිරිය න්‍යෂ්ටික ශක්තිය හා පුනර්ජනනීය හෙවත් සුනිත්‍ය බලශක්තිය භාවිතයෙන් සපුරා ගැනෙනවා. සංවර්ධිත රටවල ෆොසිල ඉන්ධන වශයෙන් ඛණිජ තෙල්, ගල් අඟුරු, ස්වාභාවික වායු භාවිත කිරීම අනෙකුත් රටවලට සාපේක්ෂ ව වැඩියි. ඒ අනුව දැනට ලෝකයේ වැඩි වශයෙන් පරිභෝජනය ගන්නා ෆොසිල ඉන්ධන නුදුරු අනාගතයේදී ශීඝ්‍රයෙන් ක්ෂය වී අවසන් වනු ඇති. ෆොසිල ඉන්ධනවලින් බලශක්තිය නිපදවන්නේ ඒවායේ අන්තර්ගත කාබන් සංඝටක දහනය කිරීමෙන්. එම නිෂ්පාදන ක්‍රියාවලියේදී පරිසරයට විශාල හානියක්, අහිතකර බලපෑමක් ඇති කරනවා. විශේෂයෙන් කාබන්ඩයොක්සයිඩ් විමෝචනය, හරිතාගාර වායු මුදා හැරීම වැනි පරිසර සමතුලිතතාවට හානි පමුණුවන අතුරුඵල බලපාන්නේ ගෝලීය උණුසුම වර්ධනයට. අතිසංවේදී ස්වාභාවික පරිසර පද්ධතිවලට හානි සිදු වීමටත් අධික ගෝලීය උණුසුමක් හා ධ්‍රැවාශ්‍රිත අයිස් තට්ටු දිය වීමටත් ප්‍රධාන වශයෙන් මෙහි බලපෑම පවතිනවා. දහනයේදී නිපදවෙන හරිතාගාර වායු නිසා ඕසෝන් ස්ථරයට හානි වීමෙන් පාරජම්බුල කිරණවලට වැඩි වශයෙන් නිරාවරණය වී සමේ රෝග, පිළිකා වැනි තත්ත්වවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ද ඇති කරනවා. ෆොසිල ඉන්ධන දහනයේදී නිපදවෙන නයිට්රජන් ඔක්සයිඩ්, සල්ෆර් ඔක්සයිඩ් වැනි විෂ වායු ජලය සමඟ මිශ්‍ර වීමෙන් අම්ල වැසි ඇති වීමේ අවදානමක් ද නිර්මාණය කරනවා. ෆොසිල ඉන්ධන දහනයෙන් ඇති වන මේ අහිතකර ප්‍රතිඵල එක් රටකට පමණක් සීමා වන්නේ නැහැ. මෙහිදී ඇති වන්නේ ගෝලීය බලපෑමක් නිසා පරිසරය හානිකර බලශක්ති භාවිතයෙන් මිදීමේ ප්රයත්නය ද තනි ව නොව අන්තර්ජාතික වශයෙන් බලගන්වන්නක් විය යුතුයි.
මේ බව අවබෝධ කරගෙන ෆොසිල ඉන්ධන වැනි බලශක්ති අනාගතයේදී භාවිතයට නොගත යුතු බලශක්ති විදිහට හඳුන්වා දීමට විද්වතුන් හා පර්යේෂකයන් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටිනවා. මෙවැනි පසුබිමක ෆොසිල ඉන්ධන ආශ්රිත බලශක්තිවලට විකල්ප බලශක්ති භාවිත සොයා බැලීමටයි අවධානය යොමු වී තිබෙන්නේ. ඒ අතරින් පුනර්ජනනීය බලශක්ති භාවිතය කෙරෙහි ලෝකයේ වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. මුල්කාලීන පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය මිල අධික තාක්ෂණික කාරණාවක් විදිහට හඳුනා ගැනුණා. එහෙත් ‘පාරිසරික වශයෙන් වඩාත් හිතකාමී වන නිසා මෙවැනි බලශක්ති වෙත යොමු විය යුතු ය’ යන්න බොහෝ විද්වතුන් ඉදිරිපත් කළ අදහසක්. පුනර්ජනනීය බලශක්ති විදිහට සුළං බලය, හිරුඑළිය, ජලය ප්‍රධාන වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ලෝකයේ කිසිදු අයුරකින් ක්ෂය නොවන බලශක්ති විදිහටයි පුනර්ජනනීය බලශක්තිය හඳුනාගෙන තිබෙන්නේ. එනම් මිනිසා බලශක්ති පරිභෝජනය කරන ශීඝ්‍රතාවට වඩා වැඩි වේගයකින් පුනර්ජනනීය බලශක්තිය නැවත උත්පාදනය වෙනවා. එම නිසා සෑම විට ම පරිභෝජනයට සාපේක්ෂ ව පුනර්ජනනීය බලශක්තිවල අතිරික්තයක් දැක ගැනීමට පුළුවන්. කොතරම් පරිභෝජනය කළත් ජල විදුලිය, සුළං බලය, හිරුඑළිය ආශ්රයෙන් නිපදවන ශක්තිය අවසන් වන්නේ නැහැ. ඒ අනුව අනාගතයටත් පුනර්ජනනීය බලශක්ති භාවිතය ඉතාමත් යෝග්‍ය හා කාලෝචිත තීරණයක්.
මේ බලශක්ති අවධානය පිළිබඳ අදහස් දක්වන ජාත්‍යන්තර සංවිධාන තිබෙනවා. ඕස්ටේ්රලියානු රජයේ පුනර්ජනනීය බලශක්ති ඒජන්සිය International Renewable Energy Agency – IRENA) 2030 වසර වනවිට එරට කාබන් විමෝචනය 70්‍ර අතර මට්ටමකට අඩු කර 2050 වනවිට කාබන් භාවිතය ශූන්‍ය කිරීමේ ඉලක්කයට සහයෝගය ලබා දෙනවා. රටවල් 32ක් සම්බන්ධ වී ක්‍රියා කරන ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (International Energy Agency – IEA )කටයුතු කරමින් සිටින්නේ 2050 වසර වනවිට ලෝකයේ මිනිස් ක්‍රියාකාරකම්වලින් කාබන් විමෝචනය ශූන්‍ය කිරීමේ ‘2050 Net Zero’. ඉලක්කය ඔස්සේ. ඔවුන් ඒ සඳහා 2021 ‘Net Zero by 2050: Roadmap for the Global Energy Sector’ නමින් ප්රකාශනයක් එළිදැක්වූවා. එහි 2050 වසර වනවිට ලෝකය කාබන් ශූන්‍ය තත්ත්වයක පැවතිය යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ අදහස් දක්වා තිබෙනවා. ඒ අනුව 2030 වසර වනවිට 60්‍රක් වශයෙන් වර්ධනය වී 2050 වසර වනවිට විදුලි නිෂ්පාදනයෙන් 90්‍රක් ම පුනර්ජනනීය බලශක්ති භාවිතයෙන් සිදු කළ යුතුයි. ඉතිරි 10% න්‍යෂ්ටික බලශක්තියෙන් සිදු කිරීමටයි අපේක්ෂාව. 2035 වසර වනවිට අලුතින් වෙළෙඳපොළට ගෙන එන වාහනවලින් 60%ක්, 2050 වසර වනවිට ප්‍රවාහනය සඳහා භාවිතයේ පවතින වාහනවලින් 50%ක් විදුලි බලයෙන් ක්‍රියාත්මක වන වාහනවලින් සම්පූර්ණ වී තිබීම අපේක්ෂා කරනවා. 2050 වසර වනවිට කර්මාන්තවලින් සිදුවන කාබන් විමෝචනය 90%කින් අඩු වී තිබීමත් මෙහි වැදගත් අරමුණක්. මේ අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් තවදුරටත් ඛණිජ තෙල්, ගල් අඟුරු, ස්වාභාවික වායු වැනි ෆොසිල ඉන්ධන නිධි සෙවීම අධෛර්යමත් කරවීමටත් 2030 වසර වනවිට එම කාබන් ආශ්රිත බලශක්ති භාවිතය 80්‍රකින් අවම කිරීමටත් පුනර්ජනනීය බලශක්ති විභවතාව දෙගුණයකින් ඉහළ නැංවීමටත් අදහස් හා යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.
දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්රඥප්ති රාමුවෙන් United Nations Framework Convention on Climate Change – UNFCCC) ගෝලීය උෂ්ණත්වය 1.50Cක් සීමාවේ පවත්වාගත යුතු බවට ප්‍රකාශ කර තිබෙන මූලික ප්‍රකාශයට අනුව ක්‍රියා කරන්නේ නම් 2050 වසර වනවිට කාබන් විමෝචනය ශූන්‍ය ප්රතිපත්තියකට රටවල් ගොස් තිබිය යුතුයි. ආසියානු සංවර්ධන බැංකුවෙන් (Asian Development Bank – ADB) සුළං බලය, සූර්ය බලය වැනි පුනර්ජනනීය බලශක්ති භාවිතයෙන් විදුලි උත්පාදන වැඩසටහන් සඳහා වැඩි උනන්දුවක් හා ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දෙනවා. යුරෝපා සංගමය( European Union – EU) 2050 වසරේදී කාබන් ශූන්‍ය කිරීමේ ඉලක්කය වෙනුවෙන් සහයෝගය දක්වන සංවිධාන අතරින් සිටිනවා ඉදිරියෙන් ම.
මෙවැනි පසුබිමක පෙනී යන්නේ බලශක්ති අර්බුදයත් සමඟ 2050 වසර වනවිට කාබන් ශූන්‍ය කිරීමේ ඉලක්කයකට ලෝකය ම ගමන් කරමින් සිටින බව. IRENA සංවිධානය 2026 වසරට නිකුත් කරන වාර්ෂික ප්රකාශනයට අනුව 2024 වසරේදී ලෝකය පුරා විදුලි නිෂ්පාදනයෙන් 9836.1TWhක් පුනර්ජනනීය බලශක්ති භාවිතයෙන් සිදු කර තිබෙනවා. එය මුළු විදුලි භාවියෙන් 1.7%ක් වන අතර පුනර්ජනනීය බලශක්ති භාවිතයේ 9.8%ක වර්ධනයක්. 2025 වසරේ පුනර්ජනනීය බලශක්ති භාවිතයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමට ඇති විභවතාව 5155ඨඋකින් වැඩි වී තිබෙනවා. එය වැඩි වූ මුළු බලශක්ති විභවතාවයෙන් 49.5% ක්. ජාත්‍යන්තර බලශක්ති ඒජනසියෙන් මේ වනවිට ලෝකයේ වඩාත් ලාභදායී ලෙස විදුලි උත්පාදනය සඳහා යොදාගත හැකි ශක්ති ප්රභවය ලෙස සූර්ය බලය හඳුනාගෙන තිබෙනවා. විශේෂයෙන් චීනය, එක්සත් ජනපදය, රුසියාව, ඉන්දියාව, ඩෙන්මාර්කය, ජර්මනිය, නෝර්වේ, ස්පාඤ්ඤය වැනි රටවල් සුනිත්‍ය බලශක්ති තම බලශක්ති භාවිතයේ කේන්ද්‍ර බවට පත් කර ගැනීමට වැඩි නැඹුරුතාවක් දක්වනවා. IRENA 2026 2026 වාර්තාව අනුව ආසියානු කලාපයේ රටවල් පුනර්ජනනීය බලශක්ති භාවිතයට කැපී පෙනෙන දායකත්වයක් 74.2%ක බලශක්ති විභවතාවක් පෙන්වමින් ලබා දී තිබෙනවා. ඒ, 513.3GWක විදුලි උත්පාදනයක් එකතු කරමින් හා 21.3%ක වර්ධනයක් පෙන්නුම් කරමින්.
ලෝක ප්රවණතාවට සමගාමී ව වර්තමානය වනවිට ශ්‍රී ලංකාවත් පුනර්ජනනීය බලශක්ති භාවිතයට පෙරට වඩා වැඩි අවධානයක් යොමු කරමින් සිටිනවා. ශ්‍රී ලංකාව සමකයට ආසන්න ව පිහිටා තිබෙන නිසා සූර්ය බලශක්තිය හා සුළං බලශක්තියෙන් අනූන දිවයිනක්. වර්ෂය පුරා එක හා සමාන ව කිසිදු ඍතු භේදයක් නොමැති ව හිරුඑළිය හා සුළං ශක්තිය ශ්‍රී ලංකාවට ස්වාභාවික ව ම ලැබෙනවා. රට වටේ ට ම සාගරය පිහිටා තිබෙනවා. ඒ වෙරළ තීරවල පැය 24 පුරා ම මුහුදු රැලි ඇති වෙනවා. එම නිසා පුනර්ජනනීය බලශක්තිය නිපදවීමට ශ්‍රී ලංකාවට පවතින්නේ සැලකිය යුතු මට්ටමේ විශාල විභවතාවක්. ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ කොරතුරු අනුව පුනර්ජනනීය බලශක්ති භාවිතයේ විභවතාව (Probable Potential) උතුරු කලාපයේ 5.625MWක්, ඊසානදිග කලාපයේ 1.875MWක්, වයඹ කලාපයේ 760MWක්, උතුරු මැද කලාපයේ 915MWක්, නැගෙනහිර කලාපයෙන් 1ල260MWක්, දකුණු කලාපයෙන් 1.610MWක්, මධ්‍යම කලාපයෙන් 1.015MWක් වශයෙන් මුළු බලශක්ති විභවතාව 13.060MWක් වශයෙන් හඳුනා ගැනීමට පුළුවන්. සූර්ය බලශක්තිය, සුළං බලශක්තිය නිවැරදි ව භාවිතයට ගැනීමෙන් පමණක් වුවත් සියලු විදුලි පරිභෝජන අවශ්‍යතා සපුරා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට පවතිනවා. මෙරට බලශක්ති පරිභෝජන අවශ්‍යතා සපුරාගෙන වෙනත් රටවලට අතිරික්ත බලශක්තිය බෙදා හැරීමට හැකි වන තරමේ ඉහළ විභවතාවක් අත්පත් කර ගැනීමට ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියේ ඉහළ ම කාර්යක්ෂමතාවකට ළඟා වුවහොත් හැකියි.
ඒ අනුව 2050 වසර වනවිට කාබන් භාවිතය ශූන්‍ය රටක් බවට පත් කිරීමේ ජාතික අවශ්‍යතාවකින් එම ඉලක්කය වෙත ළඟා වීමට ශ්‍රී ලංකාව පියවර ගනිමින් සිටිනවා. මෙහි එක් පියවරක් විදිහටයි ශ්‍රී ලංකාව 2030 වසර වනවිට විදුලි උත්පාදන ක්‍රියාවලියෙන් 70%ක් පමණ පුනර්ජනනීය බලශක්තිය භාවිතයෙන් සපුරා ගැනීමේ ඉලක්කයකට ගමන් කරමින් සිටින්නේ. මෙරට පුනර්ජනනීය බලශක්ති විභවතාව 2024 වසරේදී 2,350.3MWක්, 2025 වසරේදී 3,378.1MWක්, 2026 වසරේදී 3,717.0MWක් වශයෙන් ක්රමික ව වර්ධනය වී තිබෙනවා. ඒ අනුව පුනර්ජනනීය බලශක්ති විභවතාව 2025 වසරේදී 1,027.79MWක වැඩි වීමක් ද 2026 වසරේදී 318,90MWක වැඩි වීමක් ද පෙන්නුම් කරනවා. 2025 වසරේදී එයින් 1021.00MWක් සූර්ය බලයෙන්, 5.29MWක් ජල විදුලියෙන් සම්පූර්ණ වී තිබෙන අතර 2026 වසරේදී සිදු ව තිබෙන බලශක්ති විභවතාවේ වැඩි වීමෙන් 318.90MWක් සූර්ය බලයෙන්, 20.00MWක් සුළං බලයෙන් ද සපුරා ගැනීම සිදු ව තිබෙනවා. 2030 වසරේදී විදුලි උත්පාදනයෙන් 70% ක් සඳහා පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීමේ ඉලක්කයට ළඟා වෙමින් ශ්‍රී ලංකාවේ කලාප කිහිපයක සූර්ය හා සුළං බලශක්ති ව්‍යාපෘති ඇති කරමින් බලශක්ති විභවතාව ඉහළ නැංවීමටත් සැලසුම් සකස් වී අවසන්. ඒ අනුව සූර්ය බලාගාර ව්‍යාපෘති ඇති කරමින් උතුරු කලාපයේ (කිළිනොච්චිය) 362MWක්, ඊසානදිග කලාපයේ 370MWක්, නැගෙනහිර කලාපයේ 200MWක්, දකුණු කලාපයේ 539MWක්, වයඹ කලාපයේ 270MWක් ඇතුළු ව අනෙකුත් කලාපවල 300MWක් ද වශයෙන් බලශක්ති එකතු කර ගනිමින් සමස්ත පුනර්ජනනීය බලශක්තිය 2.041MWකින් වැඩි කිරීමට පියවර ගනිමින් තිබෙනවා. සුළං බලාගාර ව්‍යාපෘති ඇති කරමින් උතුරු කලාපයේ (කිළිනොච්චිය) 554MWක්, (මන්නාරම) 420MWක්, වයඹ කලාපයේ 300MWක් වශයෙන් මුළු පුනර්ජනනීය බලශක්තිය 1.274MWකින් ද වැඩි කර ගැනීමටයි අපේක්ෂිත.






