නියඟයට පොද වැස්සක්
නොබෝදා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී අවසන් වූ පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළේදී රුමේෂ් තරංග හෙල්ලය විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 89.75ක වාර්තාගත දුරක් සටහන් කරමින් එහි රන් පදක්කම දිනා ගත්තේ පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළක වසර 20කට ආසන්න කාලයක් පැවති ශ්‍රී ලංකාවේ රන් පදක්කම් නියඟය නිමා කරමින්. මිට පෙර අවසන් වරට පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළක ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනා ගත්තේ 2006 තරගාවලියේදී චින්තන විදානගේ බර ඉසිලීමේ ඉසව්වෙන් රන් පදක්කමකට හිමිකම් කීමත් සමඟ. රුමේෂ් තරංග තම ඉසව්වෙන් ලෝකයේ අංක 01 ස්ථානයට පත් ව සිටින්නේ ඔලිම්පික් පදක්කමක් සම්බන්ධ බලාපොරොත්තුවක් අප තුළ රඳවමින්.
මෙහි අමතක නොවන සිදුවීම වන්නේ ඔහු මෙවර රන් පදක්කම දිනා ගත්තේ 2020 මේ ඉසව්වෙන් ඔලිම්පික් රන් පදක්කම දිනාගත්, 2024 ඔලිම්පික් රිදී පදක්කම දිනාගත් ඉන්දියාවේ නිරාජ් චොප්රා 02 වැනි තැනටත් 2024 මේ ඉසව්වේ ඔලිමපික් රන් පදක්කම ජයගෙන සිටින එමෙන් ම 2022 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළේ රන් පදක්කම දිනා සිටි පාකිස්තානයේ අර්ෂාඩ් නදීම් 09 වැනි ස්ථානය දක්වාත් පසුපසට ඇද දමමින් වීම. ඔහුගේ මේ රන් පදක්කම මෙරට ක්‍රීඩකයෙකු පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළක දිනූ 05 වැනි රන් පදක්කම වන අතර බාර්නි හෙන්රික්ස් 1938 ඔස්ට්‍රේලියාවේ සිඩ්නි (බොක්සිං), ඩන්කන් වයිට් 1950 නවසීලන්තයේ ඕක්ලන්ඩ් (යාර 440 බාධක දිවීම), පුෂ්පමාලි රාමනායක හා මාලිනි වික්‍රමසිංහ 1994 කැනඩාවේ වික්ටෝරියා (කාන්තා යුගල වායු රයිෆල් වෙඩි තැබීම), 2006 ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් තරගාවලියේදී චින්තන විදානගේ (බර ඉසිලීම) යන ඉසව්වලින් ශ්‍රී ලංකාවට රන් පදක්කම් රැගෙන ආ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර තම නම සටහන් කර තැබීමට ඔහුට හැකි වුණා. 1950 තරගාවලියේදී ඩන්කන් වයිට් දිනාගත් රන් පදක්කමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු මලල ක්‍රීඩාවෙන් රන් පදක්කමක් දිනු අවස්ථාව වශයෙන් ද රුමේෂ් තරංගගේ මෙවර ජයග්‍රහණය සටහන් වනවා.
ජාතීන් 74ක් නියෝජනය කළ මෙවර උලෙළේ රුමේෂ් තරංග ජයගත් රන් පදක්කමට අමතර ව ශ්‍රී ලංකාවට තවත් පදක්කමක් හිමි වුණා. ඒ, පිරිමි ආබාධිත ත්.44 කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් පාලිත බණ්ඩාර දිනාගත් රිදී පදක්කම. මෙහි විශේෂත්වය ඔහු එංගලන්තයේ බර්මින්හැම්හි පැවති 2022 තරගාවලියේදී ත්.44/64 කවපෙත්ත විසිකිරීමේ රිදී පදක්කම දිනාගැනීම. 1938 තමන් සහභාගි වූ මුල් ම තරගාවලියේ සිට ශ්‍රී ලංකාව සමස්ත පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළේ මෙවර දිනාගත් පදක්කම් 02ත් සමඟ ජයගත් පදක්කම් සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගියේ රන් 05ක්, රිදී 10ක්, ලෝකඩ 11ක් වශයෙන්.
මෙවර තරගමාලාවේ ඉදිරියෙන් සිටීමට සුපුරුදු ලෙස සමත් වුණේ ඔස්ට්‍රේලියාව. මේ දක්වා සමස්ත පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළේ වැඩි ම අවස්ථා ගණනක් පෙරමුණ ගත් රට වන්නේත් ඔස්ට්‍රේලියාව. මෙවරත් ඔවුන් පෙරමුණ ගත්තේ රන් පදක්කම් 70ක්, රිදී 45ක්, ලෝකඩ 56ක් ලෙස සමස්ත පදක්කම් 171ක් දිනා ගනිමින්. දෙවැනි ස්ථානය අත්කර ගත්තේ එංගලන්තය. ඒ, සමස්ත පදක්කම් 110ක් සමගින්. රන් 29ක්, රිදී 45ක්, ලෝකඩ 36ක් ඊට ඇතුළත් වුණා. තුන් වැනි ස්ථානයට පත් කැනඩාව රන් 19ක්, රිදී 21ක්, ලෝකඩ 23ක් ලෙස සම්පූර්ණ පදක්කම් 63ක් දිනා ගත්තා. ආසියාතික රටවල් අතරින් ඉන්දියාව දිනාගත් සමස්ත පදක්කම් සංඛ්‍යාව 39ක් ලෙස සටහන් වුණේ රන් 13ක්, රිදී 17ක්, ලෝකඩ 09ක් ඊට ඇතුළත් ව. සමස්ත තරගාවලියේ සිව් වැනි ස්ථානය ඔවුන් දිනා ගත්තේ සත්කාරක ස්කොට්ලන්තය සමග පදක්කම් සටහනෙහි 39 ලෙස සම වෙමින්. ස්කොට්ලන්තය රන් 13ක්, රිදී 09ක්, ලෝකඩ 17ක් ලෙස පදක්කම් දිනා තිබුණත් ඔවුන්ට හිමි වුණේ පස් වැනි ස්ථානය. ඊට හේතුව ඉන්දියාව රිදී පදක්කම් අතින් ඔවුන්ට වඩා ඉදිරියෙන් සිටීම. ශ්‍රී ලංකාව, සැමෝවා, ජර්සි යන රටවල් තුන ම මෙවර රන් 01ක් හා රිදී 01 බැගින් ලබාගෙන 17 වැනි ස්ථානයෙහි සම ව සිටිනවා. ටි්රනිඩෑඩ් සහ ටොබෑගෝ රිදී 03ක්, ලෝකඩ 04ක් වශයෙන් පදක්කම් 07ක් දිනාගෙන සිටියත් ඔවුන්ට අත්වුණේ 26 වැනි ස්ථානය. ඔවුන් රන් පදක්කම් දිනාගෙන නොතිබීමයි ඊට හේතුව.
වේල්සයේ එමා මේරියන් ෆිනුකෙන් සුවිශේෂ ක්‍රීඩිකාවක්. බයිසිකල් ධාවන තරගකාරිනියක වන ඇය මෙවර බයිසිකල් ක්‍රීඩාවට අදාළ ඉසව් 04කින් රන් පදක්කම් 04ක් දිනා ගනිමින් කැපී පෙනුණා. ඔලිම්පික් රන් පදක්කම් 02ක් හා රිදී පදක්කම් 06ක් දිනා සිටින ස්කොට්ලන්තයේ පිහිනුම් ශුර ඩන්කන් ස්කොට් පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා ඉතිහාසයේ තමා ලබාගත් සිව් වැනි රන් පදක්කම හා තම නව වැනි ලෝකඩ පදක්කම මෙවර දිනා ගැනීමට සමත්වීමත් අමතක කළ නොහැකියි. මීට පෙර ඔහු 2014 හා 2018 වසරවලදී රිදී පදක්කම් 02ක් ද දිනාගෙන තිබෙනවා.
2022 තරගාවලියේදී කාන්තා යගුලිය විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම අත්කර ගත් කැනඩාවේ සාරා මිට්න් මෙවරත් එම ඉසව්වෙන් ම රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණා. මේ වනවිට මිටිය විසි කිරීමේ කාන්තා ඉසව්වෙන් පසුගිය ඔලිම්පික් රන් පදක්කම දිනූ කැනඩාවේ ම කැම්රින් රොජර්ස් 2022 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළේ මෙන් මෙවරත් මිටිය විසි කිරීමේ කාන්තා ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත්තා. ඕස්ටේ්රලියාවේ රෝස් ඩේවිස් කාන්තා මීටර් 5000 හා මීටර් 10000 දිවීමේ ඉසව් දෙකෙන් ම මෙවර රන් පදක්කම් 02ක් දිනා ගැනීමට සමත් වුණා.
පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළ පැවැත්වෙන්නේ සිව් වසරකට වරක්. මෙය පැරණි බි්රතාන්ය අධිරාජ්‍යයේ යටත්විජිත රටවලින් සමන්විත පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල් අතර පැවැත්වෙන තරගාවලියක් වන අතර මුලින් ම 1930දී බ්‍රිතාන්‍යය අධිරාජ්‍ය ක්‍රීඩා උලෙළ ලෙස පැවැත්වුණා. අවස්ථා කිහිපයකදී ම මෙහි නම වෙනස් වී ඇති අතර 1950 සිට 1966 දක්වා බ්‍රිතාන්‍යය අධිරාජ්‍ය සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ලෙසත් 1974 දක්වා බ්‍රිතාන්‍යය පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා ලෙසත් 1978 වසරේ සිට පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළ ලෙසත් හඳුන්වනවා.
මුල් ම තරගාවලිය පැවැත්වුණේ කැනඩාවේදී රටවල් 11ක සහභාගිත්වයෙන් 1930දී. කැනඩාව, එංගලන්තය, අයර්ලන්තය, නිව්ෆවුන්ලන්තය, ඔස්ට්‍රේලියාව, බර්මියුඩාව, බ්‍රිතාන්‍යය ගයනාව, නවසීලන්තය, ස්කොට්ලන්තය, දකුණු අප්‍රිකාව, වේල්සය එදා සහභාගි වූ රටවල්. එවර වැඩි ම පදක්කම් ගණන ජයගෙන ඇත්තේ එංගලන්තය. ඔවුන් එවර රන් 25ක්, රිදී 22ක්, ලෝකඩ 13ක් ලෙස ජයගත් සමස්ත පදක්කම් සංඛ්‍යාව 60 ක්. සමස්ත පදක්කම් 54ක් දිනා ගත් සත්කාරක කැනඩාවට මෙහි දෙවැනි ස්ථානය හිමි වුණා. 1938 ක්‍රීඩා උලෙළෙන් පසු 1942 හා 1946 තරග පැවැත්වීමට හැකියාවක් ලැබී නැහැ දෙවන ලෝක යුද්ධය හේතුවෙන්. නැවතත් 1950 සිට තරගාවලිය අඛණ්ඩ ව පැවැත්වීමට සමත් ව තිබීමත් මෙහි විශේෂත්වක්.
මේ තරගමාලා ඉතිහාසයේ වැඩි ම පදක්කම් ලබා ඇති රටවල් ලෙස ඕස්ටේ්රලියාව හා එංගලන්තය හඳුන්වන්න පුළුවන්. මේ අතරින් සමස්ත පදක්කම් 2773ක් ලබා ඔස්ට්‍රේලියාව පෙරමුණ ගෙන සිටින්නේ රන් 1071ක්, රිදී 879ක් හා ලෝකඩ 823ක් මෙහි ඉතිහාසය තුළ ලබා ගනිමින්. එංගලන්තය මෙහි දෙවැනි ස්ථානය අත්කරගෙන ඇත්තේ රන් 802ක්, රිදී 828ක්, ලෝකඩ 802ක් ලෙස සම්පූර්ණ පදක්කම් 2432ක් ලබා ගනිමින්. කැනඩාව මෙහි තෙවැන්නා. ඔවුන් ලබාගෙන ඇති සම්පූර්ණ පදක්කම් ගණන 1709ක්. රන් 529ක්, රිදී 568ක්, ලෝකඩ 612ක් මෙයට ඇතුළත්. ආසියාතික කලාපයේ පෙරමුණ ගෙන සිටින ඉන්දියාවට අයත් වන්නේ මෙහි සිව් වැනි ස්ථානය. ඔවුන්ගේ සමස්ත පදක්කම් ගණන 602 වන්නේ රන් 215ක්, රිදී 207ක්, ලෝකඩ 180ක් ලෙස සටහන් වෙමින්. මෙහිදී වැඩි ම වාර ගණනක් පළමු වැනි ස්ථානය ජයගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාව. ඔවුන් 1938 සිට මේ දක්වා 15 වරක් මෙහි පෙරමුණ ගෙන සිටින අතර එංගලන්තය 07 වතාවක් ද කැනඩාව එක් වරක් ද පළමු වැනි ස්ථානය දිනාගෙන තිබෙනවා.






