ගෝලීය සිසිලනය
වායුගෝලයේ ස්ථර ගෝලයේ ඕසෝන් සාන්ද්‍රණය ඉතාමත් වැඩි වායු කලාපය ඕසෝන් ස්ථරය ලෙස හඳුන්වනවා. මෙය පිහිටා තිබෙන්නේ සාමාන්‍යයෙන් පෘථිවි පෘෂ්ඨයේ සිට වායුගෝලයට විහිදෙන 15km – 35km කලාපයේ. සූර්යාගේ සිට පැමිණෙන අහිතකර පාරජම්බුල කිරණ ඒවායේ ශක්ති මට්ටම හා තරංග ආයාමය අනුව UV-A, UV-Biy UV-C ලෙස වර්ග තුනකට අයිති වෙනවා. ඉන් වැඩි හානියක් ඇති කරන UVC කිරණ පූර්ණ වශයෙන් ද ඊට සාපේක්ෂ ව අඩු හානිදායක UVB කිරණවලින් වැඩි ප්‍රමාණයක් ද අවශෝෂණය කර ගැනීමේ හැකියාව ඕසෝන් වියනට තිබෙනවා. එම නිසා පෘථිවියට පැමිණෙන්නේ සාපේක්ෂ ව අඩු හානියක් ඇති කරන UVB කිරණවලින් කොටසක් සහ UVA කිරණ පමණයි. ඒ හේතුවෙන් පාරජම්බුල කිරණවලට නිරාවරණය වීමෙන් ඇති විය හැකි චර්ම රෝග, සමේ පිළිකා තත්ත්ව, සම පිළිස්සීම, සම රැලි වැටීම, ඇසේ සුද මතු වීම, DNA අණුවලට හානි වීමෙන් ජාන විකෘතිතා ඇති වීමේ හැකියාව, බෝග වගාවල ඵලදාව අඩු වීම වැනි බොහෝ අහිතකර බලපෑම් වළක්වා ගැනීමට හැකි වෙනවා. ඕසෝන් වියන නොතිබුණේ නම් පෘථිවිය මත ජීවයක් පැවතීමේ හැකියාවක් ද නැහැ. ඒ අනුව පෘථිවියේ ජීවය ආරක්ෂා කිරීමට ක්‍රියාත්මක වන ස්වාභාවික ප්‍රධාන ආරක්ෂක පලිහක් විදිහට ඕසෝන් වියන හඳුනා ගන්න පුළුවන්.
ඕසෝන් අණුවක් නිර්මාණය වන්නේ ඔක්සිජන් පරමාණු තුනක් එකතු වීමෙන්. ඉහළ වායුගෝලයේදී ඕසෝන් අණුවක් බිඳ වැටීම හා ඕසෝන් අණුවක් නැවත ඇති වීම සාමාන්‍යයෙන් සිදුවන තුලිත ක්‍රියවලියක්. විශේෂයෙන් ඕසෝන් අණු බිඳ හෙළීමට හේතු වන ක්ලෝරෝෆ්ලෝරෝ කාබන් (CFC) හයිඩ්‍රො ක්ලෝරොෆ්ලෝරෝ කාබන් (HCFC) හෝ හේලෝන් කාණ්ඩයේ මූලද්‍රව්‍ය ඉතා සුළු ගණනකින් වුව ද ඕසෝන් අණු විශාල සංඛ්‍යාවක් බිඳ හෙළීමට හැකියාව පවතිනවා. එහෙත් මිනිස් ක්‍රියාකාරකම්වල අනිසි ප්‍රතිඵලයක් විදිහට ඕසෝන් ඇති වීමේ වේගයට වඩා වැඩි වේගයකින් ඕසෝන් අණු බිඳ වැටීමේ තර්ජනයකට ඕසෝන් වියන පත් ව ඇති බව හඳුනා ගැනුණා. ‘මේ අභියෝගයට මුහුණ දීමට සියලු රටවල් ඒකරාශී විය යුතු ය’ යන අදහසිනුයි පළමු වරට ඕසෝන් වියන ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් 1985 වසරේදී වියානා සම්මුතිය ඇති කර ගත්තේ. එසේ ම ඕසෝන් වියන හානිකර ද්‍රව්‍ය භාවිතය පාලනය කිරීමට 1987 වසරේදී ඇති කර ගත් මොන්ට්‍රෙයෙල් සංවිධානයේ පාර්ශ්වකරුවෙක් බවට 1989 වසරේදී ශ්‍රී ලංකාව ද පත් වුණා. වර්තමානයේ රටවල් 198ක පාර්ශ්වකාරීත්වයක් සහිත මොන්ට්‍රෙල් සංවිධානය පිළිගැනෙන්නේ ඕසෝන් ස්ථරය යථා තත්ත්වයට පත් කිරීමට වඩාත් සාර්ථක වැඩපිළිවෙළක් අනුගමනය කරන සංවිධානයක් වශයෙන්.
දැනට ආනයනය තහනම් කර ඇති CFC හා 2030 වනවිට ආනයනය නැවැත්වීමට සැලසුම් කර ඇති HCFC වෙනුවට හයිඩ්‍රොෆ්ලෝරෝ කාබන් (HFC) ශීතකාරක ආදේශ කර ගැනෙනවා. මොන්ට්‍රෙයෙල් සංවිධානය 2016 ඔක්තෝබර් 15 දින කිගාලි සංශෝධනය (Kigali Amendment) ගෙනැවිත් HFC වායු භාවිතය අඩු කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන්නේ මෙමගින් ඕසෝන් ස්ථරයට විශාල හානියක් සිදු නොවුණත් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට ඇති බලපෑම පදනම් කරගෙන. එනම් අදාළ පාර්ශ්වකාර රටවල සංවර්ධිත මට්ටම, පරිසර උෂ්ණත්වය (Ambient temperature) ඇතුළු සාධක සලකා බලමින් ඔවුන් 80% ක් දක්වා ක්‍රමික HFC භාවිතය අඩු කිරීමට අවශ්‍ය මගපෙන්වීම මේ කාණ්ඩවලට වෙන් වශයෙන් ලබා දීම සිදු කරනවා. මොන්ටි්‍රයල් සංවිධානයේ පාර්ශ්වකාර රටක් වශයෙන් කිගාලි සංශෝධනයෙන් ඉදිරිපත් කරන වැඩසටහන්වලට සහයෝගය දීමට ශ්‍රී ලංකාවත් බැඳී සිටිනවා. මෙහිදී ශ්‍රී ලංකාව, නේපාලය, මාලදිවයින, ඉරානය, චීනය, භූතානය ඇතුළු රටවල් අයත් ‘Article 5 Group 01’ කාණ්ඩයට කිගාලි වැඩපිළිවෙළ යටතේ ලබා දී තිබෙන්නේ 2045 වසර වනවිට HFC භාවිතය 80%කින් අඩු කිරීමේ ඉලක්කයක්. ඒ යටතේ ශ්‍රී ලංකාව 2029 වසරේදී 10%ක්, 2035 වසරේදී 30%ක්, 2040 වසරේදී 50%ක්, 2045 වසරේදී 80%ක් ද වශයෙන් ්‍යත්‍ක් භාවිතය අඩු කිරීමේ ගෝලීය ඉලක්කයට ළඟා විය යුතු වෙනවා. මේ පිළිබඳ ව අදහස් දක්වන පරිසර අමාත්‍යාංශයේ ඕසෝන් ඒකකයේ අධ්‍යක්ෂ අනීෂා හෙට්ටිආරච්චි: “මෙරට අවශ්‍යතාව මත HFC වායු 90%ක් පමණ භාවිත වන්නේ ශීතකරණ හා වායුසමන ක්ෂේත්‍රය වෙනුවෙන්. වෛද්‍ය ක්ෂේත්‍රයට හා වීදුරු බෝතල් නිෂ්පාදනයටත් සුළු වශයෙන් භාවිත කරනවා. මේ නිසා දේශීය ආර්ථිකයට හා කර්මාන්ත ක්ෂේත්‍රයට හානියක් නොවන ආකාරයෙන් මෙවැනි වායු භාවිතය අවම කරලීමේ අභියෝගයට මුහුණදෙමින් ජාතික ඕසොන් ඒකකයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරෙනවා ප්‍රධාන ව්‍යාපෘතියක්. ඒ යටතේ HFC වායු වෙනුවට භාවිතයට ගත හැකි R600, R290 වැනි විකල්ප ශීතකාරක හා ඇමෝනියා, කාබන්ඩයොක්සයිඩ් වැනි ස්වාභාවික ශීතකාරක වායු හඳුන්වා දීමට කටයුතු කරනවා. නමුත් ඇතැම් ශීතකාරක ගිනි ගන්නා සුළු වීම නිසා හා විෂ සහිත වීම නිසා ආරක්ෂක ප්‍රමිති (Safety Standards) නොමැති ව නිර්දේශ කිරීමේ හැකියාවක් නැහැ. මේ දිනවල ඒ වෙනුවෙන් ආරක්ෂක ප්‍රමිති සකස් කරමින් පවතිනවා වගේ ම භාවිත කරන ශීතකාරක වායු වායුගෝලයට මුදා හැරීමකින් තොර ව නැවතත් භාවිතයට ගත හැකි (Reuse) ක්‍රමවේද පිළිබඳ තාක්ෂණ ශිල්පීන් පුහුණු කිරීම ද සිදු කරනවා. පළාත් 09 ම ආවරණය කරමින් ශීතකාරක ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථාන (Refrigerant Reclaim Centers) 09ක් ස්ථාපනය කර තිබෙනවා. සාපේක්ෂ වඩා හිතකර ශීතකාරක භාවිත වන උපකරණ මිලදී ගැනීම සම්බන්ධ ව ශීතකරණ හා වායුසමන උපකරණ මිල දී ගැනීම සම්බන්ධයෙන් වෙළෙඳ ආයතන ඔස්සේ පාරිභෝගිකයන් දැනුවත් කිරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා.”
කාර්මික පුහුණු ආයතනවල ශීතකරණ හා වායුසමන අංශයේ පුහුණුවන්නන් හා පුහුණුකරුවන් ඉලක්ක කරගෙන ශීතකාරක වායු නිසියාකාර ව භාවිත කිරීම සම්බන්ධයෙන් දැනුම හා පුහුණුවීම් ලබා දීම, මොන්ටි්‍රයල් සංවිධානයේ ජාත්‍යන්තර පුහුණු වැඩසටහන් සඳහා යොමු කරමින් පුහුණුකරුවන්ට ලබාදෙන වැඩිදුර පුහුණුවීම් (Train the trainers) ඔස්සේ නව දැනුම මෙරට භාවිතයට එකතු කර ගැනීම, විධිමත් පුහුණුවක් නොමැති ව ක්ෂේත්‍රයේ කටයුතු කරන ශිල්පීන්ගේ මූලික දැනුම පරීක්ෂා කර දැනුම පරතරයකින් තොර ව ක්ෂේත්‍රයේ කටයුතු කිරීමට අවශ්‍ය NVQ 3 මූලික සුදුසුකම සපුරා ගැනීමට අවශ්‍ය පුහුණුවීම් නොමිලේ හැදෑරීමේ අවස්ථාව ලබා දීම සිදු කරන අතර මේ වෘත්තියේ අවදානම පිළිබඳ ව සලකා ඉදිරියේදී නිකුත් කෙරෙන වෘත්තීය හඳුනුම්පත සහිත ශිල්පීන්ට පමණක් ක්ෂේත්‍රයේ වැඩ කිරීමට අවසරය ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමත් ඉදිරියේදී සිදු කරන බවයි ඇය පෙන්වා දෙන්නේ.
මේ ශීතකාරක වායු කිසිවක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය නොකරන නිසා ඒවා මෙරට අවශ්‍යතාව පරිදි ආනයනය කිරීමටයි සිදු වන්නේ. එබැවින් ගෝලීය උණුසුම් විභවය අඩු HFC කාණ්ඩයේ හෝ වෙනත් ශීතකාරක වායු ගෙන්වීමට ආනයනකරුවන් දිරිමත් කිරීමටත් ඕසෝන් ඒකකය ක්‍රියා කරනවා. මෙතෙක් කාලයක් HFC වායු ආනයන කිරීමට ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන කෝටාව ඉක්මවමින් ආනයනයක් කිසි විටෙක සිදු ව නැහැ. මෙය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පවතින යහපත් තත්ත්වයක්. පසුගිය වසර කිහිපයේ සාර්ථක ව කොන්දේසි සම්පූර්ණ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 2024 වසරේදී කිගාලි සංශෝධනය යටතේ HFC අඩු කිරීමේ ‘Kigali Implementation Plan – KIP’ ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලැබූ එම කාණ්ඩයේ පළමු රට බවට පත්වන්නේත් ශ්‍රී ලංකාව. මෙවැනි පසුබිමක වසර 10ක් පුරා කිගාලි සංශෝධනය යටතේ ලබාගත් සාර්ථකත්වය සිහිපත් කරමින් 2026 වසරේ ජගත් ඕසෝන් දිනය සැමරීම ‘Global Action for a Cooler Planet’ තේමාව මුල්කරගෙන සිදු වෙනවා. සෑම වසරක ම සැප්තැම්බර් 16 දින ජගත් ඕසෝන් දිනය සමරන්නේ 1994 වසරේ දෙසැම්බර් 19 දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ලත් අනුමැතිය ඔස්සේ. ඒ අනුව ජගත් ඕසෝන් සැමරුම අර්ථ ගන්වමින් ‘ගෝලීය සිසිලනය සඳහා එක් ව ක්‍රියාකරමු’ යන තේමාවෙන් මෙවර ජාතික උත්සවය ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බවයි අධ්‍යක්ෂ අනීෂා හෙට්ටිආරච්චි සඳහන් කරන්නේ. ජාතික මට්ටමෙන් ඕසෝන් ස්ථරය ආරක්ෂා කිරීමේ ව්‍යාපෘති සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලැබෙන්නේ MLF (Multi-Lateral Fund) වෙතින්. HFC වායු ආනයනයේදී විශාල භූමිකාවක් ශ්‍රී ලංකා රේගුව, ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පරිසර අධිකාරිය සිදු කරනවා. මේ සෑම දෙනාගේ ම නියෝජනයක් සහ ශීතකරණ හා වායුසමන නිෂ්පාදන ද්‍රව්‍ය ආයනයනකරුවන්, කාර්මික ශිල්පීන්, රජයේ නිලධාරින්, පාසල් දරුවන්ගේ ද සහභාගිත්වයක් සහිත ව ඕසෝන් දිනය සැමරෙන අතර මෙයට සමගාමී ව ඕසෝන් ස්ථරයේ ආරක්ෂාව පිළිබඳ ව දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීමත් කාර්මික පුහුණු ආයතනවල පුහුණුවන්නන් අතරින් ‘පරිසර හිතකාමී ශීතකරණ හා වායුසමන ආධුනික කාර්මික ශිල්පියා‘ තේරීමේ තරගයක් පැවැත්වීමත් එහිදී සිදු වනු ඇති.






