RTI දස වස
රජයේ විනිවිදභාවය සහ වගවීම ප්‍රවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මූලික නීතිය යටතේ 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පනත සම්මත කෙරුණා. 2026 වසරේ අගෝස්තු 04 දිනට එය සම්මත වී වසර 10ක්. මේ ලිපිය පළ වන්නේ ඒ නිමිත්තෙන්.
‘මහජනතාව‘ ප්‍රජාතන්ත්‍රවාදයේ උත්තරීතර බලවේගය ලෙස ඒබ්‍රහම් ලින්කන් හඳුන්වා දී තිබෙනවා. ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක් කිරීමට එංගලන්තයේ 1215 මැග්නාකාටා ගිවිසුම, 1628 අයිතිවාසිකම් පෙත්සම, 1689 අයිතිවාසිකම් පනත, 1766 ස්වීඩනයේ මාධ්‍ය නිදහස් පනත, 1776 ඇමරිකාවේ නිදහස් ප්‍රකාශනය සහ 1966 නිදහස් ඇමරිකාවේ තොරතුරු පනත විශාල මෙහෙයක් සිදු කර තිබෙන බව සඳහන්.
2015 සිට 2016 කාලයේ වගවීම හා දූෂණයට එරෙහි පියවර ප්‍රවර්ධනය අරමුණු කරමිනුයි පුරවැසියන්ට ඇති තොරතුරු අයිතිය නීතියක් ලෙස ගෙන ඒම ප්‍රධාන ප්‍රතිපත්තියක් ලෙස හඳුන්වා දී ඇත්තේ. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(අ) වගන්තිය යටතේ 2016 අගෝස්තු 04 දින පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත සම්මත වුණා.
මේ පනතේ 43 වගන්තිය යටතේ තොරතුරු යනු මොනවාද? යන්න දක්වා තිබෙනවා. පනතට අනුව තොරතුරු ඉල්ලීම් කළ හැක්කේ ශ්‍රී ලාංකික පුරවැසියන්ට පමණයි. ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ පනත කෙටුම්පත් කිරීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තීරණ දෙකකින් එය පෝෂණය වුණා. ඒ, 1948 වසරේදී සම්මත වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 19 වන වගන්තිය අනුව සහ 1966 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 19 වන වගන්තිය පාදක කර ගනිමින්.
විවෘත සහ විනිවිදභාවයෙන් යුතු රාජ්‍ය පාලනයක් උදෙසා පුරවැසියා සතු තොරතුරු දැනගැනීමේ අයිතිය නීතිගත කිරීම ශිෂ්ට සම්පන්න රාජ්‍යයක ප්‍රධානතම මිනුම් දණ්ඩක්. ඒ අනුව ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත (RTI Act) යනු හුදෙක් දේශීය නීතියක් පමණක් නොව එය ගෝලීය ප්‍රවණතාවලට සමගාමී ව මෙරට රාජ්‍ය යාන්ත්‍රණය ප්‍රතිසංස්කරණය කළ සුවිශේෂ හැරවුම් ලක්ෂයක්.
ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට තොරතුරු දැනගැනීමේ නීතියක් හඳුන්වා දුන්නේ 1766 වසරේදී ස්වීඩනයේ. එතැන් සිට වර්තමානය දක්වා ලෝකයේ රටවල් 135කට අධික සංඛ්‍යාවක් මේ අයිතිය නීතිමය වශයෙන් තහවුරු කර තිබෙනවා.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළබඳ පනත ඔස්සේ පුරවැසියාට තමාට අදාළ ව සිදු කරන රජයේ කාර්යය පිළිබඳ තොරතුරු දැනගැනීමේ හා විමසීමේ හැකියාව තිබීම විශේෂත්වයක්. ආණ්ඩුව, රජයේ ආයතන පමණක් නොව පුරවැසියාට බලපෑම් කරන පෞද්ගලික ආයතන යන ඕනෑ ම පොදු අධිකාරියක් මේ පනත ප්‍රකාර ව පුරවැසියාට උත්තර දීමට බැඳී සිටිනවා. මේ හේතුවෙන් පුරවැසියාගේ මූලික අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සැකසෙන අතර තොරතුරු ලබා ගැනීමට ඇති නිදහස සහ ඊට ඇති ප්‍රවේශය පුරවැසියන්ට මෙන් ම රාජ්‍ය ආයතනවලට ද ප්‍රයෝජනවත්. රාජ්‍ය සේවා සැපයුම පිළිබඳ පුරවැසියන් දැනුවත් ව සිටින්නේ නම් ඒවා වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඔවුන්ට සිය සහාය ලබාදීමේ හැකියාව ද තිබෙනවා.
ජනතා ඉල්ලීම් ලැබෙන තෙක් බලා නොසිට රජයේ කාර්යාල ප්‍රගාමී ලෙස තොරතුරු හෙළිදරව් කිරීමෙන්, තොරතුරු අපේක්ෂාවෙන් රජයේ කාර්යාලවලට ලැබෙන ඉල්ලීම් සංඛ්‍යාව අවම වනවා. එයින් රාජ්‍ය නිලධාරින්ට ඉතිරි වන්නේ සිය කාලය. ජනතාව තොරතුරු ඉල්ලන තෙක් නොසිට මෙහිදී වෙබ්අඩවි, පුවත්පත් නිවේදන වැනි විවිධ වූ ක්‍රමවේද ඔස්සේ තොරතුරු නිකුත් කරමින් ප්‍රචාරණය සිදු කිරීම වඩා වැදගත් බව ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති දයා ලංකාපුර සඳහන් කරනවා.
ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ සේවා ස්ථානය හෝ පදිංචි ස්ථානය හෝ කුමක් වුවත් සියලු පුරවැසියන්ට පොදු ස්වභාවයේ තොරතුරු පරීක්ෂා කිරීමට සහ සතු කර ගැනීමට අයිතියක් තිබෙනවා. සියලු රාජ්‍ය ආයතන තම කාර්ය සහ ක්‍රියාකාරකම් ප්‍රමාණවත් හා නිසි ලෙස ලේඛනගත කිරීමත් රජයේ ක්‍රියාමාර්ගවලින් සෘජු ව ම බලපෑමට ලක්වන සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ලේඛන සකස් කිරීම හා පවත්වාගෙන යාමත් සිදු කළ යුත්තක්. මෙහිදී තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතට අයත් ආයතනයක් සතු භෞතික ව පවතින ලේඛනවලට පමණක් සීමා නොවී එම ආයතනයේ නීතිමය පාලනය යටතේ පවතින ලේඛන ද ඊට ඇතුළත් කළ යුතු වනවා.
කඩදාසි වාර්තා, ඉලෙක්ට්‍රොනික ගොනු, නිශ්චල ඡායාරූප, ශ්‍රව්‍ය/දෘශ්‍ය වාර්තා ආදී ලෙස තොරතුරු පැවතිය හැකි ආකාර විවිධයි. අත්‍යවශ්‍ය වාර්තා අතරට කාර්ය මණ්ඩල වාර්තා, ගිවිසුම්, ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශ සහ උපදෙස්, නඩු වාර්තා, සීඩී තැටි, සිතියම් වාර්තා, සැලසුම් සටහන්, ශ්‍රව්‍ය පටි, ඡායාරූප, විද්‍යුත් තැපැල්, වීඩියෝ, ශ්‍රව්‍ය සහ රූප ගොනු, එකිනෙක සම්බන්ධිත දත්ත ගබඩා, වෙබ් පාදක ලේඛන, අතින් ලියන ලද සටහන්, බ්‍රේල් ලේඛන, දෛනික කාර්යය සටහන් පොත, CCTV දර්ශන, ලිපිගොනු මත අලවන කුඩා සටහන් අයත්. වර්තමානයේ බොහෝ වාර්තා කඩදාසි මත පදනම් වුවත් තොරතුරු ඉලෙක්ට්‍රොනික ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා ශ්‍රි ලංකාව ද ජාත්‍යන්තර ප්‍රමිති වෙත යොමු වෙමින් පවතිනවා. රාජ්‍ය ආයතන සඳහා වන වාර්තා පද්ධති සැලසුම් කිරීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී ෂීධ 15489-1 නිර්දේශවලට අනුකූල ව සකස් කළ යුතුයි. සත්‍යතාව (Authenticity), විශ්වසනීයත්වය (Reliability), අඛණ්ඩතාව (Integrity), භාවිතයට සුදුසු බව (Usability) යන ජාත්‍යන්තර ප්‍රමිතිකරණ එම නිර්දේශවලට අයත්.
නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ මධ්‍යස්ථානය (Centre For Law & Democracy) විසින් කරනු ලබන ගෝලීය තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම ශ්‍රේණිගත කිරීමට අනුව (Global Right To Information Ranking) 2016 වසරේදී ලකුණු 121ක් ලබා ගනිමින් 9 වන ස්ථානයේත් 2018 වසරේ සිට 2024 වසර දක්වා ලකුණු 131ක් ලබා ගනිමින් 4 වන ස්ථානයේත් ශ්‍රී ලංකාව රැඳී සිටිනවා. මේ දර්ශකයට අනුව යම් රටක ස්ථානය තීරණය කරන සම්පූර්ණ ලකුණු සංඛ්‍යාව 150ක්. විනිවිදභාවය සහ තොරතුරු වෙත ප්‍රවේශය සම්බන්ධයෙන් යහපත් නීති සම්පාදන රාමුවක් ඇති රටක් වන බැවින් එම ලකුණු සමඟ ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්වල ඉහළ ම ස්ථානයක සිටීම විශේෂත්වයක්.
මේ පනතින් ශ්‍රී ලාංකික පුරවැසියන්ට තොරතුරු හෙළි කිරීමට ප්‍රගාමී තොරතුරු හෙළි කිරීම (Proactive disclosure) හා අනුගාමී තොරතුරුවලට ප්‍රවේශය වීම (Reactive disclosure) සම්බන්ධයෙන් නෛතික ක්‍රියාවලියක් දක්වා තිබෙනවා. යම් පුරවැසියෙකුට තොරතුරුවලට ප්‍රවේශ වීමේ නෛතික අවස්ථාව ලැබෙන්නේ පනතේ 24 වන වගන්තියේ දක්වා ඇති ක්‍රියාපටිපාටිය අනුව. මෙහිදී අදාළ පොදු අධිකාරියේ තොරතුරු නිලධාරියා වෙතින් ආකෘතිය අංක 1ට (RTI1) අනුව තොරතුරු ඉල්ලීමක් සිදු කළ නොහැකි අවස්ථාවලදී පුරවැසියාගේ වාචික තොරතුරු ඉල්ලීම තොරතුරු නිලධාරියා ලිඛිත ව සටහන් කළ යුතුයි.
වැඩ කරන දින 14ක් ඇතුළත තොරතුරු ලබා දිය හැකි නම් පුරවැසියා වෙත අදාළ තොරතුරුවලට ගෙවිය යුතු ගාස්තුව දැන්විය යුතු අතර තොරතුරු ලබා දිය නොහැකි නම් පනතේ 5 වන වගන්තිය යටතේ දක්වා ඇති හේතු මත ප්‍රතික්ෂේප කිරීම ලිඛිත ව දැන්විය යුතු වනවා. පුරවැසියාට තොරතුරු ලබා නොදීම හා ලබා දුන් තොරතුරු ප්‍රමාණවත් නොවන්නේ නම් එම පුරවැසියාට අභියාචනා කිරීම සම්බන්ධයෙන් විස්තර තොරතුරු නිලධාරියා දැනුම් දිය යුතුයි.
පනතේ 31 වන වගන්තිය යටතේ තමන්ට අදාළ පොදු අධිකාරියේ නම් කළ නිලධාරි වෙත ආකෘති අංක 10 (RTI 10) යටතේ ලිඛිත ව අභියාචනා කිරීමේ අවස්ථාව හිමිවෙනවා. එහිදී නම් කළ නිලධාරි සති 3ක කාලයක් ඇතුළත පුරවැසියාට තොරතුරුවලට ප්‍රවේශ වීමේ හැකියාව ලබා දීම නොකළේ නම් 32 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට අභියාචනා කිරීමට අවස්ථාව පුරවැසියාට ලබා දී තිබෙනවා.
ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවෙන් සිදු කරන කාර්යභාරය පිළිබඳ පැහැදිලි කරන සභාපති දයා ලංකාපුර; “තොරතුරු ඉල්ලා සිටින බොහෝ දෙනා පුද්ගලික කාරණා මත පදනම් ව අභියාචනා යොමු කරනවා. විශේෂයෙන් පළාත් පාලන ආයතනයකින් ගොඩනැගිල්ලක සැලසුමක් අනුමත කර ගැනීම, ඉඩමේ වැට මායිම් ගැටලු සහිත අවස්ථාවල, ඉඩමක අයිතිය පැවරීමේදී, රැකියාවක උසස් වීම්, පාසල්වලට දරුවන් ඇතුළත් කිරීම් හා විභාග ප්‍රතිඵල වැනි කාරණා ඊට අයත්. විශාල ව්‍යාපෘති පිළිබඳ සහ පොදු කාරණා සම්බන්ධයෙන් තොරතුරු ලබා ගන්නේ ඉතා අඩුවෙන්. අභියාචනා ඉදිරිපත් කළ පමණින් දුර පළාත්වල සිටින අභියාචක සහ පොදු අධිකාරි කොමිෂන් සභාවට ගෙන්වන්නේ නැහැ. ඒ සඳහා මාර්ගගත ව Zoom තාක්ෂණය ඔස්සේ අදාළ පාර්ශ්ව සම්බන්ධ කර ගන්නවා. අභියාචනා විභාග කරන්නේ මසකට දින 08ක් බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල”.
වර්තමාන ප්‍රවණතාව වන්නේ තොරතුරු ලබා ගැනීම ඩිජිටල්කරණය කිරීම. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ප්‍රායෝගික ව ජනගත කිරීමේ ජාතික වගකීම දරන ජනමාධ්‍ය අමාත්‍යාංශය ඒ සඳහා මැදිහත් ව සිටිනවා. එහිදී සාම්ප්‍රදායික ලිපි ලේඛනවලින් බැහැර ව මාර්ගගත ක්‍රමවේද ඔස්සේ තොරතුරු අයදුම් කිරීමට සහ ඩිජිටල් පිටපත් ලෙස තොරතුරු කඩිනමින් ලබා ගැනීමට ඇති ඉඩකඩ පුළුල් කිරීම, පනත සම්බන්ධයෙන් නිලධාරින් හා මහජනතාව දැනුවත් කිරීම ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් සිදු කරන කාර්යභාරයට අයත්. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන, තොරතුරු, පර්යේෂණ සහ ප්‍රතිපත්ති) නාලිනී බාලසුබ්‍රමනියම්; “පනත ජනගත කිරීමේදී අමාත්‍යාංශයට පැවරෙන්නේ විශාල වගකීමක්. එහිදී දීප ව්‍යාප්ත ව රාාජ්‍ය නිලධාරින්ට අඛණ්ඩ ධාරිතා සංවර්ධන වැඩසටහන්, තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව හා එක් ව තොරතුරු දැනගැනීමේ ක්‍රමවේදය පිළිබඳ ග්‍රාමීය මට්ටමේ දැනුවත් කිරීමේ වැඩසටහන් අප පවත්වනවා. TOT (Training Of Trainers) වැඩසටහන් එහිදී වැදගත්. මෙහිදී තවත් පිරිසක් පුහුණු කළ හැකි මට්ටමේ මාණ්ඩලික නිලධාරින් කැඳවා පුහුණු කිරීම් මෙන් ම ග්‍රාමීය මට්ටමින් ඇති සංවිධාන සඳහා ද TOT වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සහයෝගය ගනිමින් පනත පිළිබඳ ජනතාව සඳහා විවිධාකාර දැනුවත් කිරීම් අප සිදු කරනවා.”
තොරතුරු නිලධාරින් නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හා තොරතුරු ලබා නොදීම යන කාරණා සම්බන්ධයෙන් බොහෝ මහජන පැමිණිලි ලැබෙන බවයි සභාපති දයා ලංකාපුර සඳහන් කරන්නේ. පැමිණිලිවල ස්වභාවය, ක්‍රියාකාරිත්වය, සමීක්ෂණ සහ ක්‍රමවේද සැකසීම සම්බන්ධ ව පර්යේෂණ අංශයක් කොමිෂන් සභාවේ පිහිටුවා තිබුණත් නිලධාරි හිඟය හේතුවෙන් එම කාර්ය පුළුල් ව සිදු කිරීමට නොහැකි වී තිබෙනවා. එහෙත් ඉදිරියේදී මේ ක්‍රියාවලිය අඛණ්ඩ ව සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි සභාපතිවරයා අවධාරණය කරන්නේ.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත හුදෙක් නීතිමය ලේඛනයක් නොව එය සමාජ පරිවර්තනයක හැරවුමක්. මේ අනුව ලෝක මට්ටමේ පවතින පාලන ප්‍රතිපත්ති ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමටත් රාජ්‍ය සේවයේ විනිවිදභාවය සුරකිමින් දූෂණයෙන් තොර, තොරතුරුවලින් සන්නද්ධ, සක්‍රිය පුරවැසි සමාජයක් ගොඩනැඟීමටත් ගෝලීය වශයෙන් ඉහළ ම ප්‍රජාතන්ත්‍රවාදී ගරුත්වයක් ඇති රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමටත් මේ පනත නිසැකයෙන් ම පිටිවහලක් වනු ඇති.
සැප්තැම්බර් 28 දිනට යෙදී ඇති ‘ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනයේ’ (International Day for Universal Access to information) ගෝලීය තේමාව වන්නේ ‘ඩිජිටල් යුගයේ තොරතුරු අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සහ තොරතුරු අක්‍රමිකතා මැඩලීමේදී තොරතුරු සඳහා ඇති ප්‍රවේශයේ කාර්යභාරය’ යන්න. මේ පිළිබඳ ලිපියක් ඉදිරි කලාපයෙන් බලාපොරොත්තු වන්න.






