#දේශපාලන

යුක්තියට නව පණක්

යම් රටක දියුණුව මැන බැලෙන්නේ එහි ගොඩනැගිලිවල උසින් හෝ ආර්ථික සංඛ්‍යා ලේඛනවලින් හෝ පමණක් නොව එම රටේ ජනතාවට යුක්තිය කෙතරම් ඉක්මනින්, සාධාරණ ව හා විශ්වාසයෙන් ලබාදිය හැකි ද? යන්න මත. නීතියේ ආධිපත්‍යය ශක්තිමත් වූ සමාජයක ආයෝජකයාට විශ්වාසයක්, ව්‍යාපාරිකයාට ආරක්ෂාවක්, සාමාන්‍ය පුරවැසියාට තම අයිතිවාසිකම් සුරක්ෂිත බවට සහතිකයක් තිබෙනවා.

මේ නිසා 2025 සහ 2026 වසරවල යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය නවීකරණය, නීති ප්‍රතිසංස්කරණය, ඩිජිටල් පරිවර්තනය, අධිකරණ යටිතල පහසුකම් සංවර්ධනය සහ ජනතාවට වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි අධිකරණ පද්ධතියක්  ගොඩනැඟීම යන අරමුණු පෙරදැරි ව සිදු කළ ව්‍යාපෘති රැසක් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය ඉදිරියට රැගෙනවිත් තිබෙන්නේ සාර්ථක ව. මේවා හුදෙක් ව්‍යාපෘති ලැයිස්තුවක් නොව ශ්‍රී ලංකාවේ නීතිය හා යුක්තිය පිළිබඳ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමේ ගමනක්.

යුක්තිය ඉටුකිරීම සඳහා පහසුකම් සැපයීම සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම අමාත්‍යාංශයේ ප්‍රමුඛතම වගකීමක්. අධිකරණ පරිපාලනය සඳහා අමාත්‍යාංශය සැමවිට ම පූර්ණ සහයෝගිතාව අධිකරණ සේවා කොමිෂන් සභාවට (JSC) ලබා දෙනවා. වර්තමානය වන විට දීපව්‍යාප්ත ව ගැසට් කර ඇති මහාධිකරණ කලාප 34 තුළ ක්‍රියාත්මක වන අධිකරණ හා කම්කරු විනිශ්චය සභා 293කට අදාළ අධිකරණ ශාලා 398කට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමේ දැවැන්ත කාර්යභාරයත් අමාත්‍යාංශය ඉටු කරනවා. එයට අධිකරණ ගොඩනැගිලි නඩත්තු කිරීම, අලුත්වැඩියාව, නව ඉදිකිරීම් මෙන් ම විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන්ට ස්වාධීන ව සහ අභිමානයෙන් යුතු ව සිය රාජකාරි ඉටුකිරීම සඳහා සුදුසු නේවාසික පහසුකම්, කාර්යාලීය පහසුකම්, ආරක්ෂාව හා ප්‍රවාහන පහසුකම් සැපයීම ද ඇතුළත්.

රටක සංවර්ධනය ඇගයීමට වර්තමානයේ ආර්ථික දර්ශක පමණක් භාවිත කරන්නේ නැහැ. නීතියේ ආධිපත්‍යය, දූෂණයට එරෙහි ක්‍රියාමාර්ග, පාරදෘශ්‍ය රාජ්‍ය පාලනය, මානව හිමිකම් සහ අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව වැනි කරුණු ද ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ප්‍රධාන සාධක. 2025 සහ 2026 වසරවලදී නීතියේ ආධිපත්‍ය දර්ශකයේ ශ්‍රී ලංකාව 75 වැනි ස්ථානයේ සිට 74 වැනි ස්ථානය දක්වාත් රජයේ බලතල සීමා පිළිබඳ දර්ශකයෙන් ස්ථාන 09ක් ඉදිරියට පැමිණෙමින් 76 වැනි ස්ථානයේ සිට 67 වැනි ස්ථානය දක්වාත් විවෘත රජය පිළිබඳ දර්ශකයෙන් 63 වැනි ස්ථානයේ සිට 59 වැනි ස්ථානය දක්වාත් වර්ධනයක් පෙන්වනවා. දූෂණ සංජානන දර්ශකයෙන් ^CPI& ද ශ්‍රී ලංකාව කැපී පෙනෙන ජයග්‍රහණයක් ලබා ඇත්තේ 121 වැනි ස්ථානයේ සිට 107 වැනි ස්ථානය දක්වා ස්ථාන 14ක් ඉදිරියට පැමිණෙමින්.

දිවයින පුරා විසඳීමට ඇති නඩු සංඛ්‍යාවෙන් වැඩි ම සහ සංකීර්ණ ම වාණිජ හා අපරාධ නඩු සංඛ්‍යාවක් පවතින්නේ කොළඹ අධිකරණ කලාපයේ. කොළඹ නඩු විසඳීම කඩිනම් කිරීම සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාවේ ප්‍රතිපත්තිමය තීරණවලට අනුකූල ව අමාත්‍යාංශය නව අධිකරණ රැසක් ස්ථාපිත කිරීමටයි පහසුකම් සලසා තිබෙන්නේ. ඒ අනුව සිවිල් අභියාචනා මහාධිකරණ සංඛ්‍යාව 02 දක්වාත් වාණිජ මහාධිකරණ සංඛ්‍යාව (2කින් වැඩි කර) 05 දක්වාත් අපරාධ නඩු අසන මහාධිකරණ සංඛ්‍යාව (3කින් වැඩි කර) 11 දක්වාත් ඉහළ නංවා තිබෙනවා. එමෙන් ම මූල්‍ය අපරාධ, අල්ලස් හා දූෂණ නඩු කාර්යක්ෂම කිරීම සඳහා මහාධිකරණ විනිසුරුවරුන් 03 දෙනෙකුගෙන් ස්ථිර විනිසුරු මඩුල්ලක් පත් කර ඇති අතර මහාධිකරණ ශාලා අංක 06, 10 සහ 11 වෙන් කර තිබෙන්නේ අල්ලස් නඩු විභාග කිරීම සඳහා. කොළඹ MCC ගොඩනැගිල්ල තුළ ස්ථිර මහාධිකරණයක් ස්ථාපිත කිරීම, පාස්කු ප්‍රහාරය පිළිබඳ නඩු විභාගය සඳහා විශේෂ අධිකරණයක් ස්ථාපිත කිරීම, සුළු මූල්‍ය ආරවුල් කඩිනමින් විසඳීම සඳහා සුළු හිමිකම් අධිකරණයක් ස්ථාපිත කිරීම, හිටපු ඇමති නිල නිවාස පරිශ්‍ර තුළ ස්ථිර මහාධිකරණ 02ක් ස්ථාපිත කිරීම අමාත්‍යාංශයේ ප්‍රධාන ආයතනික සංවර්ධන කාර්ය අතරට අයත්.

2025. 09. 12 දිනැති අතිවිශේෂ ගැසට් අංක 2453/36 මගින් ග්‍රාමීය හා අර්ධ නාගරික ජනතාවට යුක්තිය ඉටුකිරීම පහසු කරමින් දෙයියන්දර, අගුණකොළපැලැස්ස, බිබිල, ගල්ගමුව, හෙට්ටිපොල, ආනමඩුව සහ තඹුත්තේගම යන මහේස්ත්‍රාත් අධිකරණ 07කට දිස්ත්‍රික් අධිකරණ බලතල පවරා තිබෙනවා. නිලධාරි හිඟය මත තාවකාලික ව අත්හිටුවා තිබූ රත්නපුර සහ ගම්පහ අතිරේක දිසා අධිකරණ 02ත් අනුරාධපුර සහ අම්පාර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණ 02ත් නැවත ස්ථාපිත කර ඇති අතර කොළඹින් පිටත ප්‍රදේශවල යුක්ති ප්‍රවේශය පුළුල් කරමින් පුත්තලම, වවුනියාව, වැල්ලවාය, දෙහිඅත්තකණ්ඩිය සහ හැටන් යන ප්‍රදේශවල නව අතිරේක අධිකරණ පිහිටුවීමටත් පියවර ගෙන අවසන්.

ඩිජිටල් නඩු කළමනාකරණය දක්වා අධිකරණ පද්ධතිය පරිවර්තනය කිරීමත් වත්මන් රජයේ ප්‍රමුඛතම             උපායමාර්ගයක්. අගවිනිසුරුගේ මඟ පෙන්වීම යටතේ ආරම්භ කරන ලද ‘ඊ-උසාවි’ ස්වයංක්‍රීයකරණ ව්‍යාපෘතිය ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ ^NPD& නිර්දේශය සහිත ව 2025.10.07 දින අනුමත වුණා. අනතුරු ව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ අරමුදල් උපයෝගි කර ගනිමින් එය ක්‍රියාත්මක කිරීමට 2025.12.15 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. මෙය උපකරණ මිල දී ගැනීමක් පමණක් නොව අධිකරණ පරිපාලනයේ සමස්ත සංස්කෘතික හා ව්‍යුහාත්මක වෙනසක්.

අපරාධ නඩු විධාන සංග්‍රහයට සිදු කරන ලද නූතන සංශෝධනවලට අනුකූල ව සාක්ෂිකරුවන්ට සහ චූදිතයන්ට විවෘත අධිකරණයට නොපැමිණ ශ්‍රව්‍ය දෘශ්‍ය තාක්ෂණය ඔස්සේ සාක්ෂි දීමටත් බන්ධනාගාර රැඳවියන් මාර්ගගත ව අධිකරණයට ඉදිරිපත් කිරීමටත් අවශ්‍ය තාක්ෂණික උපකරණ කට්ටල 193ක් දිවයින පුරා ස්ථාපනය කර තිබෙනවා. මේ පද්ධති අඛණ්ඩ ව පවත්වාගෙන යාම සඳහා අධිකරණ නිලධාරින් විශේෂ පුහුණු පාඨමාලා නිම කර ඇති අතර සියලු ම අධිකරණ සංකීර්ණ වෙත සන්නිවේදන ප්‍රමාදය අවම කිරීම සඳහාත් පියවර ගෙන තිබීම විශේෂත්වයක්. ඒ, අධිිවේගී තන්තු දෘශ්‍ය අන්තර්ජාල පහසුකම් (Fiber) ලබාදීම වේගවත් ව සිදු කරමින්.

වර්තමානයේ අපරාධ විමර්ශන සාර්ථක වන්නේ විද්‍යාත්මක සාක්ෂි මත DNA , රසායනික විශ්ලේෂණ, ඩිජිටල් සාක්ෂි සහ අධිකරණ විද්‍යාත්මක වාර්තා අපරාධ නඩුවල ප්‍රතිඵල තීරණය කරන ප්‍රධාන සාධක බවට පත් ව තිබෙනවා. මේ අවශ්‍යතාව හඳුනාගෙන රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීම සඳහා 2025, 2026 වසර දෙක තුළ සැලකිය යුතු පියවර ගෙන තිබීම ඉතා වැදගත්. ඒ අනුව අපරාධ විමර්ශන හා නඩු කටයුතු ප්‍රමාද වීමට බලපාන ප්‍රධානතම සාධකයක් වූ විද්‍යාත්මක වාර්තා ප්‍රමාද වීම වැළැක්වීම සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ මානව හා ආයතනික සම්පත් ධාරිතාව ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා. වේගවත් ක්ෂේත්‍ර පර්යේෂණ කටයුතු සඳහා නවීන රසායනාගාර පහසුකම් සහිත විශේෂිත බහාලුම් රසායනාගාර 04ක් ද දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ස්ථාපිත කර අවසන්. නඩු ගොඩගැසීම අවම කිරීම හා ජනතාවට පහසුවෙන් අධිකරණ සේවා ලබාගැනීම සඳහා නව අධිකරණ පිහිටුවීම සහ පවතින අධිකරණ ශක්තිමත් කිරීම සඳහා පුළුල් වැඩසටහනක් ද ක්‍රියාත්මක කර තිබෙනවා. 2025-01-01 සිට                                                    2026-06-30 දක්වා වූ කාල සීමාව තුළ ව්‍යාපෘති රැසක් නිම කර ජනතා අයිතියට පත් කර තිබෙන්නේ රුපියල් මිලියන ගණනක ප්‍රාග්ධන ආයෝජනයක් සිදුකරමින්. 

බන්ධනාගාර යනු දඬුවම් පමණක් නොව, පුනරුත්ථාපනයේ ස්ථානයක් ද විය යුතු වෙනවා. මේ දර්ශනය මත පදනම් ව රැඳවියන්ගේ තදබදය අවම කිරීම, නව බන්ධනාගාර ඉදිකිරීම සහ පවතින පහසුකම් පුළුල් කිරීම ඇතුළු ව                                                   බන්ධනාගාර පද්ධතිය මුහුණදෙන දැවැන්ත තදබදය අවම කිරීම සඳහා අමාත්‍යාංශය දියත් කර තිබෙන්නේ කෙටිකාලීන හා දිගුකාලීන ව්‍යුහාත්මක පරිවර්තන රැසක්. පල්ලන්සේන බන්ධනාගාරයේ රුපියල් මිලියන ගණනක වියදමකින් නිම කරන ලද දෙමහල් ගොඩනැගිලි 04ක් මේ වන විට රැඳවියන් සඳහා විවෘත කර ඇති අතර වැලිකඩ, මැගසින් සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරවල තාවකාලික ගොඩනැගිලි ඉදිකිරීම් අවසන් අදියරේ පවතිනවා. මහා පරිමාණ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති කිහිපයක් සඳහා වෙන් කර තිබෙන්නේ සෘජු ප්‍රතිපාදන. වටරැක, කළුතර, පල්ලකැලේ, වාරියපොල යන බන්ධනාගාරවල එසේ පහසුකම් පුළුල් කෙරෙන අතර මාතර බන්ධනාගාරය කටුවිලවත්ත ප්‍රදේශයේ නැවත ස්ථාපනය කිරීමට ප්‍රතිපත්තිමය අනුමැතිය ලැබී තිබෙනවා. කොළඹ වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ මිල්ලෑව ප්‍රදේශයට විතැන් කිරීමේ මහා ව්‍යාපෘතියේ සැලසුම් නිම කර ඇති අතර එය රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයකින් (PPP) ආයෝජකයෙකු මගින් ක්‍රියාත්මක කිරීමටයි වර්තමාන ඇස්තමේන්තු සංශෝධනය කරමින් පවතින්නේ. භෞතික යටිතල පහසුකම්වලට අමතර ව සුළු දඩ මුදල් ගෙවීම මත සිරගත වන පිරිස අවම කිරීම සඳහා ‘ඇප සංශෝධන පනත’ සහ බන්ධනාගාරගත කිරීමට විකල්පයක් ලෙස ‘ගෘහ අඩස්සියට පත් කිරීමේ’ නව නීති සම්පාදනය සඳහා විශේෂ විද්වත් කමිටු ද ක්‍රියාත්මකයි.

දශක ගණනාවක් තිස්සේ සංශෝධනය නොවූ නීති යාවත්කාලීන කිරීම සඳහා අමාත්‍යාංශය විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. විවිධ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි නීති විශේෂඥයන්, වෘත්තිකයන් සහ අදාළ ආයතන නියෝජනය කරමින් කමිටු 21ක් පත් කර ඇති අතර නීති සංශෝධන හා නව පනත් කෙටුම්පත් රැසක් ද සකස් කරමින් පවතිනවා. දූෂණයෙන් උපයා ගත් වත්කම් රාජසන්තක කිරීම සඳහා 2025 අංක 5 දරන අපරාධයකින් උත්පාදිත වත්කම් පිළිබඳ පනත, විශ්‍රාමික ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ලබා දී ඇති විශ්‍රාම වැටුප් සහ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම (2025 අංක 18 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත), 2026 අංක 5 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත මේ අතර ප්‍රධාන වෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහි ව මහේස්ත්‍රාත් අධිකරණවල සිදුකරන වැරදි ශ්‍රී ලංකා මහාධිකරණයට විභාග කළ හැකි පරිදි 2026 අංක 7 සහ 8 දරන පනත් සම්මත කර අවසන්.

සියලු ආරවුල් අධිකරණයට ගෙන යා යුතු නැහැ. අධිකරණය වෙත පැමිණෙන බොහෝ සිවිල් ආරවුල් සුහද සාකච්ඡාවලින් විසඳිය හැකි බව ජාත්‍යන්තර අත්දැකීම් පෙන්වා දී තිබෙනවා. එබැවින් සමථ මණ්ඩල ශක්තිමත් කිරීම, ප්‍රජා සමථකරුවන් පුහුණු කිරීම සහ ස්වේච්ඡා සමථකරණය සඳහා නව නීතිමය රාමුවක් හඳුන්වා දීම අමාත්‍යාශයේ ප්‍රමුඛ අවධානයට ලක් ව තිබෙන්නක්.

මේ නිසා අධිකරණවල නඩු ගොඩගැසීම වැළැක්වීම සඳහා විකල්ප ආරවුල් විසඳුම් ක්‍රමවේද ^Alternative Dispute Resolution – ADR& ශක්තිමත් කර තිබෙනවා. පසුගිය සමයේ 50%ක් දක්වා කපා හැර තිබූ සමථ මණ්ඩල ප්‍රතිපාදන වත්මත් රජය සම්පූර්ණයෙන් ලබා දී ඇති අතර ස්වේච්ඡා සමථකරණය සඳහා නව නීති රාමුවක් හඳුන්වා දෙන සමථ (සිවිල් සහ වාණිජ ආරවුල් විසඳුම්) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අවසන්. 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතට සංශෝධන අනුව සමථකරුවෙකු ඔවුන් සේවය කරන කාලය තුළ එම ප්‍රදේශය සඳහා නීත්‍යනුකූල ව සාම විනිසුරුවරයෙකු (JP) ලෙස පිළිගැනීමට 2025-08–20 දින පාර්ලිමේන්තු අනුමැතිය හිමි වුණා.

නවීන ආර්ථික විද්‍යා සහ රාජ්‍ය පරිපාලන මූලධර්ම අනුව නීතියේ ආධිපත්‍යය සහ විශ්වාසනීය අධිකරණ පද්ධතියක් යනු රටක තිරසර ආර්ථික වර්ධනයේ මූලික ම පදනම. ව්‍යාපාරිකයෙකුට වාණිජ ආරවුලක් හෝ ගිවිසුමක් හෝ බලාත්මක කරවා ගැනීමට වසර ගණනාවක් අධිකරණයේ රැඳී සිටීමට සිදුවේ නම් එය රටක ආයෝජන අවදානම ඉහළ නංවන අතර සංවර්ධනය අඩාළ කරනවා. එබැවින් වත්මන් රජය අධිකරණ ප්‍රතිසංස්කරණ හුදෙක් අධිකරණ ක්ෂේත්‍රයට පමණක් සීමා නොකර රටේ සමස්ත ආර්ථික පරිවර්තනය සමඟ බද්ධ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.