සැබෑ වන මධ්‍යම අධිවේගී සිහිනය
රටක සංවර්ධනයේදී යටිතල පහසුකම් සංවර්ධනය අනිවාර්ය වූවක්. එහිදී විශේෂයෙන් ප්‍රවාහන පද්ධතිය දියුණු වීම ඉතා වැදගත්. ඒ අතරිනුත් අධිවේගී මාර්ග පද්ධතිය සුවිශේෂ වන්නේ අනෙකුත් මාර්ගවලට වඩා එහි පවතින සුවිශේෂතා කිහිපයක් හේතුවෙන්.
අධිවේගී මාර්ග හරහා ඉතා කෙටි කාලයකින් දිගු දුරක් ගමන් කළ හැකි වීම, මාර්ග තදබදයකදී වාහන නතර කර තැබීමෙන් අපතේ යන ඉන්ධන අධිවේගී මාර්ගවල නොනවත්වා ධාවනය කිරීමෙන් ඉතිරි කරගත හැකි වීම, මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනය වේගවත් වීම නිසා වෙළෙඳාම, සංචාරක ව්‍යාපාරය සහ කර්මාන්ත දියුණු වීම මෙන් ම සාමාන්‍ය මාර්ගවලට වඩා ආරක්ෂිත ව ගමන් කළ හැකි වීම යන කාරණා එහිදී ප්රමුඛ වනවා.
මේ වන විට රටපුරා අධිවේග මාර්ග පද්ධතිය දියුණුවෙමින් පවතින අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවැනි කොටසේ දෙවැනි අදියර නොබෝදා (මැයි 29) ආරම්භ වුණා. ඒ, කිලෝමීටර 32.5කින් යුතු රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ කොටසේ ඉදිකිරීම් අරඹමින්. කඩවතින් ආරම්භ වී මීරිගම පොතුහැර හරහා මහනුවර (ගලගෙදර) දක්වා මේ මාර්ගය ගමන් කරනවා. මේ මාර්ගය පොතුහැර සිට දඹුල්ල දක්වා දිර්ඝ කරමින් සම්බන්ධ වන්නේ උතුරු හා උතුරුමැද පළාත්වලට.
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ කොටස් 04ක් (අදියර 4ක්) යටතේ. එහිදී අදියර 01 කඩවත සිට මීරිගම දක්වා කිලෝමීටර් 37ක ඉදිකිරීම් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මෙහි අදියර 02 ක්‍රියාත්මක වන්නේ මීරිගම සිට කුරුණෑගල (පොතුහැර) දක්වා වන අතර එහි දිග කිලෝමීටර් 39.7ක්. මෙහි වැඩ අවසන් කර මහජන භාවිතය සඳහා වසර කිහිපයකට පෙර විවෘත කළා. පොතුහැර සිට රඹුක්කන දක්වා කිලෝමීටර් 09ක් වන අදියර 03හි ඉදිකිරිම් 2026 වසරේ ආරම්භ කළ අතර 2027 වසරේදී එහි ඉදිකිරීම් අවසන් කිරීමයි අපේක්ෂාව. නොබෝදා ඇඹුණේ මෙහි රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ කොටසේ ඉදිකිරීම්. අදියර 04 ක්‍රියාත්මක වන්නේ කිලෝ මීටර් 60.3ක් වන කුරුණෑගල සිට දඹුල්ල දක්වා. මෙහි ඉදිකිරිම් සඳහා දැනට ඉඩම් පවරා ගැනීම ආරම්භ කර තිබෙනවා. කඩවත සිට දඹුල්ල දක්වා අධිවේගී මාර්ගය සම්පූර්ණ දිග කිලෝමීටර් 136.9ක්. කඩවත සිට ගලගෙදර දක්වා සම්පූර්ණ දිග කිලෝ මීටර 119ක්.
මධ්‍යම අධිවේගී මාර්ගය ගම්පහ, කුරුණෑගල, කෑගල්ල සහ මහනුවර, මාතලේ දිස්ත්‍රික්ක හරහා ගමන් කරනවා. මේ අධිවේගී මාර්ගය සමන්විත වන්නේ අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 12කින් සහ කඩවත, විල්වත්ත සහ පොතුහැර ලෙස සේවා අන්තර් හුවමාරු 03කින්.
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ සමස්ත වියදම් ඇස්තමේන්තුව ශ්‍රී ලංකා රුපියල් බිලියන 445.3ක් වුවත් එයින් අදියර 1, 2 සහ 4 සඳහා පමණක් වියදම රුපියල් බිලියන 350.64ක් වනවා. ව්‍යාපෘතිය 2024 වසරේ අවසන් කිරීම සැලසුම වුවත් සිදු වූ ප්‍රමාදය නිසා අවසන් කළ හැකි වන්නේ 2029 වසරේදී බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ. මෙලෙස ප්‍රමාද වීම නිසා මේ කාර්යයට ලැබෙන ඩොලර් ගණන වෙනස් නොවුණත් රුපියල් වියදම වැඩි වන බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්යක්ෂ ඉංජිනේරු නලින්ද රත්නායක පෙනවා දෙන්නේ. කඩවත මීරිගම කොටසේ වියදම ඇස්තමේන්තු කර තිබුණේ රුපියල් බිලියන 158.5කට වුවත් දැන් ඒ සඳහා වියදම රුපියල් බිලියන 229ක් වන බවත් අනෙක් කොටස් දෙකේ අදියර සඳහා වියදම ඒ අනුව අනිවාර්යයෙන් ම වැඩි වන බවත් ඔහු පවසනවා.
අදහස් දක්වන ව්‍යාපෘති අධ්යක්ෂ ඉංජිනේරු නලින්ද රත්නායක; “මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත මීරිගම කොටස ඉදිකිරිමේ ව්‍යාපෘතිය අරඹන්නේ 2016 වසරේදී වුණත් ණය ගිවිසුම් අත්සන් කරන්නේ 2019 මාර්තු 22 දින චීන ඒක්සිම් බැංකුව සමඟ. එහි මුදල් ලැබෙන්නේ 2020 සැප්තැම්බර්. 2022 වන විට භෞතික සැලැස්මේ 34%ක් අවසන් කර තිබුණා. මෙහි ඇස්තමේන්තුව ඇමරිකන් ඩොලර් මිලියන 989ක්. එයින් ඇමරිකන් ඩොලර් මිලියන 189.51ක වැඩ කර තිබියදීයි රට බංකොලොත් බව ප්‍රකාශ කළේ. ඒ නිසා විදේශ ණය ලැබීම නැවතුණා. වියදම් කළ මුදලින් ලබාගත හැකි වුණේ ඩෝලර් මිලියන 51.57ක් පමණයි. ඉතිරි මුදල් ලැබුණේ නැති නිසා ඉදිකිරීම් නැවැත්වීමට සිදු වුණා. දැන් චීන එක්සීම් බැංකුව එකඟ වී තිබෙනවා නැවත ව්‍යාපෘතිය ඉදිරියට ගෙනියන්න.”
පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ සිට මධ්‍යම අධිවේගී මාර්ගය යා කරන කඩවත අන්තර් හුවමාරුව සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ මුල් මීටර් 500 සඳහාත් ටෙන්ඩර් පිරිනමා වැඩ අරඹා තිබෙනවා. මීට අමතර ව පොතුහැර සිට
රඹුක්කන කොටස වැඩ කඩිනම් කර තිබෙනවා. 2027 මාර්තු පමණ වන විට එහි වැඩ නිම කිරීමයි මාර්ග සංවර්ධක අධිකාරියේ අපෙක්ෂාව.
මේ ව්‍යාපෘතියට 10%ක පමණ දායකත්වයක් රජයෙන් දරන අතර ඉතිරි සියල්ල විදේශ ආධාර වනවා. ඉතිහාසයේ පළමු වතාවටයි මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටසක් මහා භාණ්ඩාගාරයේ මුදල්වලින් ඉදි කරන්නට තීරණය කර ඇත්තේ. මේ වියදම රුපියල් බිලියන 112ක්.
මීරිගම සිට කුරුණෑගල (පොතුහැර) දක්වා කොටස ජනතා අයිතියට පත් ව ඇතත් කඩවත සිට මීරිගම කොටස තව ම වැඩ අවසන් ව නැහැ. එහි වැඩ නිම කළ පසු මධ්‍යම, දකුණ සහ කටුනායක අධිවේගී මාර්ග සම්බන්ධ වීමෙන් ජනතාවට කෙටි වේලාවකින් ගමන් පහසුව සලසා ගැනීමට හැකි වෙනවා. එවිට භාණ්ඩ ප්‍රවාහනයට විශේෂයෙන් සහල්, එළවලු ඇතුළු කෘෂි නිෂ්පාදන වේගවත් ව ප්‍රවාහනය කිරීමට හැකි වීමෙන් පාරිභෝගිකයාට නැවුම් ආහාර ද්‍රව්‍ය මිල දී ගැනීමේ හැකියාව ලැබෙනවා පමණක් නොව ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයේදී සිදු වන හානිය අවම වීමත් වාසිදායක තත්ත්වයක්. මාර්ග සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ දැනට පවතින මාර්ග තදබදය 90%කින් පමණ අඩු කර ගැනීමටත් අධිවේග මාර්ග භාවිතය නිසා හැකි වන බව.
මධ්‍යම අධිවේගී මාර්ගය නිසා මධ්‍යම, වයඹ, උතුර, උතුරු මැද, පළාත්වලට සෘජු ව ම ප්රතිලාභ ලැබෙනවා. මේ මාර්ගය දක්ෂිණ අධිවේගී මාර්ගයත් සමඟ සම්බන්ධ වීමෙන් උතුරේ සිට දකුණට ඉතා කෙටි වේලාවකදී ගමන් කිරිමේ, භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ හැකියාව ලැබෙනවා මෙන් ම වාහන නඩත්තු වියදම් අඩු වන නිසා ව්‍යාපෘතියෙන් ලැබෙන ප්‍රතිලාභය ගණනින් මනින්නට බැහැ.






