#පර්යේෂණ

පැසිෆික් උණුසුම

එල්නිනෝ (El Niño) ලෙස සැලකෙන්නේ පැසිෆික් සාගරයේ උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා වැඩිවීම හේතුවෙන් ලෝකයේ කාලගුණ රටාවට බලපෑම් ඇති කරන දේශගුණික සංසිද්ධියක්. එනම් මේ කලාපයේ නිර්මාණය වන දක්ෂිණ දෝලනය ලෙසින් හඳුන්වන වායුගෝලීය සංසිද්ධියේ එක් අවස්ථාවක්. නිවර්තන පැසිපික් සාගර කලාපයේ උණුසුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩිවීම හේතුවෙන් මේ තත්ත්වය ඇති වන අතර එහි බලපෑම නිසා සුළං රටාව වෙනසකට ලක් වෙනවා. මේ සංසිද්ධිය වසර 2-7 අතර කාලයකට වරක් ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

1960 ගණන්වලදී නෝර්වේ ඇමරිකා කාලගුණ විද්‍යාඥයෙකු වූ Jacob Bjerknes පෙන්වා දුන්නේ එල්නිනෝ හේතුවෙන් ඇති වූ පැසිෆික් සාගරයේ උණුසුම, දකුණු දෝලනය සමඟ සම්බන්ධ වී ඇති බවත් ඉන් සාගරය හා වායුගෝලය අතර සමීප සම්බන්ධතාවක් ඇති කරන බවත්. ඒ අනුව මේ සම්බන්ධතාව ඒකාබද්ධ කරමින් එල්නිනෝවේ නිල නාමය වන එල්නිනෝ දක්ෂිණ දෝලනය (El Niño Sothern Oscillation) යන්න බිහි වී තිබෙනවා. එය කෙටියෙන් හැඳින්වෙන්නේ ENSO ලෙස. දකුණු පැසිෆික් කලාපයේ පීඩනය වැඩි වූ විට සිදු වන්නේ උතුරු ඕස්ටේ්‍රලියාව හා ඉන්දුනීසියාව ආශ්‍රිත කලාපවල පීඩනය අඩු වීම. ඒ අනුව විශාල දුරකින් පිහිටි මේ කලාප දෙක වායුගෝලීය පීඩන හැසිරීම අනුව සම්බන්ධ වී තිබෙනවා. දකුණු දෝලනය ලෙස හැඳින්වෙන්නේ එම සම්බන්ධීකරණය.

එල්නිනෝ තත්ත්වයක් ඇතිවීම සඳහා මධ්‍යම සහ නැගෙනහිර නිවර්තන පැසිෆික් සාගරයේ මුහුද මතුපිට උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා ූ0.5℃කින් උණුසුම් විය යුතු අතර එය අඛණ්ඩ ව මාස කිහිපයක් පැවතිය යුතුයි. ඊට අමතර ව වායුගෝලය උණුසුම් ජලයට ප්‍රතිචාර දැක්විය යුතු වන්නේ පවතින සුළං දුර්වල කරමින්.

‘එල්නිනෝ’ යනු ස්පාඤ්ඤ භාෂාවෙන් බිඳී ආ වචනයක්. එම භාෂාවෙන් එහි අර්ථය වන්නේ ‘කුඩා පිරිමි ළමයා’ යන්න. පේරු සහ ඉක්වදෝරය  අසල වෙරළට ඔබ්බෙන් වූ කලාපයේ මේ තත්ත්වය අතීතයේ සිට ම නිරීක්ෂණයට ලක් ව තිබෙනවා. ස්පාඤ්ඤ ධීවරයන් නත්තල් සමයේදී මෙය නිරීක්ෂණයට ලක් කර ඇති බව ඇමරිකා වාණිජ දෙපාර්තමේන්තුවේ ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය සඳහන් කර තිබෙනවා. ඇමරිකා ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය 2026 ජූනි 11 දින ප්‍රකාශ කළේ එල්නිනෝ කාලගුණ රටාව නිල වශයෙන් ආරම්භ වී ඇති බව. ඔවුන් පෙන්වා දෙන ආකාරයට 2026 නොවැම්බර් සහ 2027 ජනවාරි කාලයේ මේ එල්නිනෝ තත්ත්වය වඩාත් ශක්තිමත් වීමේ සම්භාවිතාව 63%ක් වනවා. බි්‍රතාන්‍ය කාලගුණ විද්‍යා කාර්යාලය පෙන්වා දෙන්නේ මේ බලපෑම පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට සිදු වන බව. 2026 වසර අවසානයේ සහ 2027 වසර මුල වන විට ගෝලීය වශයෙන් ඉහළ උෂ්ණත්වයක් වාර්තා විය හැකි බව එම කාර්යාලය සඳහන් කරනවා. උතුරු පේරු සහ ඉක්වදෝරයේ ජලගැලීම් බහුල ව ඇති විය හැකියි. නැගෙනහිර අප්‍රිකාව, මධ්‍යම ආසියාව හා දකුණු ඇමරිකා කලාපයට ද එය ව්‍යාප්ත විය හැකියි. ඕස්ටේ්‍රලියාව, ඉන්දුනීසියාව ඇතුළු රටවල් අයත් කලාපවල නියඟය හා ලැව් ගිනි අවදානම ඉහළ යාමේ හැකියාව පවතිනවා. එය කෘෂිකර්මාන්තයට හා ගෝලීය ආහාර සැපයුම් දාමයට බලපෑම් එල්ල කිරීමට හේතුවක්. කෙසේ වෙතත් ඕස්ටේ්‍රලියා කාලගුණ විද්‍යා කාර්යාංශය පවසන්නේ බලපෑම් ඉහළ යාමට නම් මුහුද මතුපිට උෂ්ණත්වය +0.8℃ ඉක්ම විය යුතු බව. බොහෝ අනාවැකි පෙන්වා දෙන්නේ මෙවර එල්නිනෝ තත්ත්වය වඩාත් ප්‍රබල විය හැකි බව. ආසියාවේ කෘෂිකර්මාන්තයට ද එයින් අහිතකර බලපෑම් එල්ල විය හැකි බවයි රොයිටර් පුවත් සේවය විශේෂ ලිපියක් පළ කරමින් සඳහන් කර තිබෙන්නේ. ඉන්දියාවේ වයඹ දිග ප්‍රදේශයේ සිට ඕස්ටේ්‍රලියාවේ  නැගෙනහිර කලාපයට ඉන් බලපෑම් එල්ලවීමේ හැකියාව පවතිනවා. තායිලන්තයට ද ගැටලු මතු වන බව සඳහන්. තිරිඟු පිටි මිල ඉහළ යාමට මේ තත්ත්වය ඉවහල් විය හැකියි. චීනයට හා කළු මුහුද ආශ්‍රිත කලාපයට එල්නිනෝ උදාසීන මට්ටමක පැවතිය හැකි බවටයි අනාවැකි පළ ව තිබෙන්නේ. ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පෙන්වා දෙන්නේ 2026 අගෝස්තු වන විට එල්නිනෝ ක්‍රියාකාරී ලෙස වර්ධනය වීමේ සම්භාවිතාව 80%ක් පමණ විය හැකි බව. ඒ අනුව මේ තත්ත්වය හේතුවෙන් කෘෂිකර්මාන්තය, බලශක්ති සැපයුම, වෙළෙඳාම, ජල සම්පත සහ ජීවනෝපාය කෙරෙහි බලපෑම් එල්ල වීමේ හැකියාව පවතිනවා.

ගෝලීය තත්ත්වය එසේ වන විට එල්නිනෝ හේතුවෙන් ශ්‍රී ලංකාවට එල්ල විය හැකි බලපෑම පිළිබඳ අවධානය යොමු කිරීමේදී අනෙකුත් කාලගුණ දත්ත පිළිබඳ ව ද සැලකිලිමත් වීම වැදගත්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ 2026 ජූනි මාසයේ සිට සැප්තැම්බර් අතර කාලයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට දිගුකාලීන සාමාන්‍ය තත්ත්වයකට ආසන්න වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව. වයඹ හා සබරගමුව පළාත්වල මෙන් ම මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්වල අපේක්ෂා කරන්නේ අඩු වර්ෂාපතනයක්. මේ අනාවැකි පළ කිරීමේදී මුහුද මතුපිට උෂ්ණත්වය හා වායුගෝලීය සංසරණ රටා ගැන අවධානය යොමු කර තිබෙනවා. මේ අතර ඉන්දීය සාගර කලාපයේ ද්වී ධ්‍රැව තත්ත්වයක් ද පවතින අතර ඕස්ටේ්‍රලියා කාලගුණ විද්‍යා කාර්යාංශය පෙන්වා දෙන ආකාරයට මේ තත්ත්වය ජූලි මාසය දක්වා පවතිනවා. මෙය ශ්‍රී ලංකාවේ මෝසම් වර්ෂාපතනයට බලපාන වැදගත් සාධකයක්. මෙහිදී සිදුවන්නේ ඉන්දීය සාගරයේ බටහිර හා නැගෙනහිර මුහුද මතුපිට උෂ්ණත්වය වෙනස් වීම. ශ්‍රී ලංකාවේ ගංවතුර හෝ නියඟ හෝ  ඇතිවීමට මෙය බලපෑම් කළ හැකියි. ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ පැසිෆික්  සාගර කලාපයේ සිට කිලෝමීටර දස දහස් ගණනක් පමණ දුරකින්. එහෙත් සමකය ආසන්න කලාපයේ සුළං රටාවට මින් බලපෑම් එල්ලවන බව කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු පවසනවා. ශ්‍රී ලංකාවට නිරිත දිග මෝසම බලපාන තත්ත්වයක් පවතින නිසා  නිරිත දිශාවේ සිට පැමිණෙන සුළංවලට එල්නිනෝවෙන් බලපෑම් එල්ල විය හැකියි. ඒ අනුව මේ සුළං ප්‍රවාහය දුර්වල වන බවයි මලිත් ප්‍රනාන්දු පවසන්නේ. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට වර්ෂාව අඩු විය හැකියි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ආශ්‍රිත ව පවතින විවිධ ඍතුවලට එල්ල වන බලපෑම අනුව මේ තත්ත්වය තීරණය වනවා. මෙහි පුරෝකථනය වන්නේ විශාල නියඟයක් ඇති විය නොහැකි බව. කෙසේ වෙතත් ඉදිරියේදී එල්නිනෝව ප්‍රබල වීම සඳහා 63%ක සම්භාවිතාවක් පවතින බව ඇමරිකා කාලගුණ අංශ සඳහන් කර තිබෙනවා.

අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවට පවතින්නේ සාපේක්ෂ ව වර්ෂාව අඩු කාලයක්. එය උෂ්ණත්වය වැඩි මාසයක්. මේ නිසා එල්නිනෝ තත්ත්වය හේතුවෙන් වර්ෂාව තවදුරටත් අඩු විය හැකියි. එය ගැටලුකාරී තත්ත්වයක්. අදහස් දක්වන කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු; “ඇති විය හැකි එල්නිනෝ තත්ත්වය හේතුවෙන් පානීය ජල ගැටලුවක් ද මතුවිය හැකියි. ජූලි මාසයේදී මෙවැනි ගැටලු බරපතළ ලෙස මතු නොවන්නට පුළුවන්. අගෝස්තු දක්වා වර්ෂාපතනයේ අඩුවීමක් පැවතිය හැකි අතර ම සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා කාලයේ වර්ෂාව වැඩි විය හැකියි. ඒ අනුව ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වා ශ්‍රී ලංකාවේ සාමාන්‍ය වර්ෂාපතනයට වඩා වැඩි වර්ෂාවක් හට ගත හැකියි. මෙහි බලපෑම වසරක් වැනි කාලයක් දක්වා පැවතිය හැකියි. එල්නිනෝ පිළිබඳ දත්ත වාර්තා රැස් කිරීමෙන් පෙනී ගියේ ඉතා ප්‍රබල එල්නිනෝ 3ක් සහ ප්‍රබල එල්නිනෝ 6ක් වාර්තා වී තිබෙන බව. මෙවර එල්නිනෝව ද ප්‍රබල විය හැකි බවට මත පළ වී තිබෙනවා.

ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී හෙළි වී තිබෙන්නේ මෙවර එල්නිනෝ තත්ත්වය වඩාත් සමීප විය හැකි වන්නේ 2016, 2017 වසරවල ඇති වූ තත්ත්වයට බව. ජල කළමනාකරණ සැලසුම ඊට අනුකූල ව සකස් කරන බවට මෙහිදී අදහස් පළ වී තිබෙනවා. වගා කටයුතු සිදුකිරීමේදී නියමිත කාලයට මාස එකහමාරකට පමණ පෙර එය ආරම්භ කිරීම එහිදී ඉදිරිපත් වූ යෝජනාවක්. එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට දරුණු බලපෑමක් එල්ලවීමේ අවදානම අඩු බව දේශගුණ විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ලීල් රන්දෙනි පවසනවා. ඉන්දීය සාගරයේ බටහිර ප්‍රදේශයේ උෂ්ණත්වය ඉහළ යාමෙන් ඇති වන දේශගුණ විපර්යාසයත් රට මැද පිහිටි කඳුකරයත් හේතුවෙන් ශ්‍රී ලංකාවට වැසි ලැබෙන බව ඔහු පෙන්වා දෙනවා. ඔහු පවසන ආකාරයට එල්නිනෝ තත්ත්වයෙන් බලපෑම් ඇති වුවහොත් එය සිදුවන්නේ 2027 වසරේ පෙබරවාරි මාසයෙන් පසුව. ඊසාන දිග මෝසම් වර්ෂාව සක්‍රිය වන කාලයේ එම බලපෑම ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

එල්නිනෝ තත්ත්වය මත ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව, පානීය ජලය හා බලශක්තිය යන ප්‍රධාන ක්ෂේත්‍ර තුනක් කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ජාතික ආහාර සුරක්ෂිතතා කමිටුවේ කැඳවුම්කරු කපිල ජානක බණ්ඩාර පෙන්වා දෙනවා. එම බලපෑම් හඳුනා ගනිමින් ඒවාට විසඳුම් ලබා දීමේ මූලික ක්‍රියාමාර්ග මේ වන විට ගෙන තිබෙන්නේ ජනාධිපති කාර්යාලයේ මැදිහත්වීමෙන් අදාළ සම්බන්ධීකරණය ඇති ව. එල්නිනෝ යනු  ජාත්‍යන්තර වශයෙන් බලපෑම් එල්ල කරන සංසිද්ධියක් නිසා එයට පෙර සූදානම වැදගත්. ඉන්දියාවෙන් බීලූනු වැනි ආහාර ද්‍රව්‍ය, ඕස්ටේ්‍රලියාවෙන් පරිප්පු සහ පාකිස්තානයෙන් අර්ථාපල් වැනි දෑ ශ්‍රී ලංකාවට ගෙන්වන නිසා එම රටවලට බලපෑම් එල්ල වී ආහාර සම්පාදනයට ගැටලු මතුවුවහොත් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ආහාර සුරක්ෂිතතා කමිටුවේ අවධානය යොමු ව තිබෙනවා. ඒ අනුව ආරක්ෂිත ආහාර තොග පවත්වාගෙන යාම මෙහිදී මූලික වනවා. වී අලෙවි මණ්ඩලය වී තොග රැස් කිරීමට සැලසුම් සකස් කරමින් සිටින්නේ මේ තත්ත්වය සමාලෝචනය කරමින්. මෙහිදී ආහාර සැපයුම් හා පෝෂණය ඉතා වැදගත් වන බව කපිල ජනක බණ්ඩාර පෙන්වා දෙනවා. ආහාර නිෂ්පාදනය වැඩි කිරීම මෙන් ම මෙරටට ආහාර ගෙන්වීමේදී සහන මිල ගණන්වලට ඒවා ලබා දීමත් වැදගත්. ජල සම්පාදන ක්‍රියාවලිය ද මෙහිදී සලකා බැලිය යුතු කරුණක්. මෙහිදී පානීය ජලයට පළමු ප්‍රමුඛතාවත් කෘෂිකර්මාන්තයට දෙවැනි ප්‍රමුඛතාවත් ලබා දී තිබෙනවා. කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවලට ජලය ලබාදීම පිළිබඳ ව ද යොමු ව තිබෙන්නේ විශේෂ අවධානයක්.

මෙවැනි ස්වාභාවික ආපදාවල බලපෑම ප්‍රබල වීමට මිනිස් ක්‍රියාකාරකම් ද හේතු වනවා. විශේෂයෙන් පරිසරයට සිදු කරන හානි සහ උෂ්ණත්වය ඉහළ යාම ද ඊට අයත්. එල්නිනෝ තත්ත්වයකින් ඇතිවන බලපෑමේ ස්වභාවය තීරණය වන්නේ එක් එක් රටවල පවතින ඍතු අනුව වුවත් බලපෑමට සූදානම් වීම අනිවාර්ය වන්නේ එහි ප්‍රතිවිපාක පිළිබඳ පුරෝකථන කළ නොහැකි නිසා.

පැසිෆික් උණුසුම

රෝම වික්‍රමය