බකිංහැම් මාලිගය එපාලු!
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටා තිබෙන බකිංහැම් මාලිගය එරට සුප්‍රකට ම සහ වැදගත් ම ස්ථානයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. බ්‍රිතාන්‍යයේ කිරුළ දරන රජුගේ හෝ රැජිනගේ හෝ ප්‍රධාන නිල වාසස්ථානය ලෙස සැලකෙන්නේ බකිංහැම් මාලිගය. එය රජුගේ/රැජිනගේ පරිපාලන මූලස්ථානය හැටියටත් ක්‍රියා කරනවා.
ගෙවී ගිය වසර 190කට ආසන්න කාලය පුරා ම රජුගේ හෝ රැජිනගේ හෝ ප්‍රධාන වාසස්ථානය ලෙස භාවිත වූයේ මේ මාලිගය. මෙය මුලින් ම සිය වාසස්ථානය කරගත්තේ 1837 සිට 1901 දක්වා සිහසුන හෙබ වූ වික්ටෝරියා රැජින.
බ්‍රිතාන්‍යයේ වත්මන් රජු වන 3 වැනි චාල්ස් රජු පළමු වතාවට මේ දීර්ඝ සම්ප්‍රදායෙන් ඉවත් වීමට සූදානම් වෙනවා. තමා බකිංහැම් මාලිගය සිය වාසස්ථානය ලෙස භාවිත කිරීමට අදහස් නොකරන බව ඔහු ප්‍රකාශයට පත් කර තිබුණා. ඔහුගේ මේ තීරණයට හේතු වී ඇත්තේ ප්‍රධාන කාරණා දෙකක්. මේ මාලිගය පොදු ජනතාවට වඩාත් විවෘත වූ තැනක් බවට පත් කිරීමට රජු තුළ ඇති වුවමනාව එක් කාරණයක්. රජු මෙය වාසස්ථානයක් ලෙස භාවිත කරන විට දැඩි ආරක්ෂක විධිවිධාන ආදිය ක්‍රියාත්මක කෙරෙන නිසා මහ ජනතාව සඳහා එය විවෘත වන්නේ බොහෝ සීමාවලට යටත් ව.
බ්‍රිතාන්‍යයේ පවතින්නේ ව්‍යවස්ථාපිත රාජාණ්ඩු ක්‍රමයක්. මේ ක්‍රමය වෙනස් කළ යුතු බව පවසමින් ඊට විරෝධය දක්වන බොහෝ පිරිස් එරට සිටිනවා. රජ පවුලේ ඇතැම් කාර්ය වෙනුවෙන් ජනතා බදු මුදල් වැය කිරීමත් මේ අයගේ විරෝධයට ලක් වෙනවා. මෙවැනි තත්ත්වයක රජ පවුල ජනතාවට වඩාත් සමීප කරවීමට එහි ජ්‍යේෂ්ඨයන් කලෙක සිට ම උත්සාහ කරමින් සිටිනු දැකගන්නට ලැබෙනවා. බකිංහැම් මාලිගය ජනතාවට වඩාත් විවෘත තැනක් බවට පත් කිරීමට චාල්ස් රජු කල්පනා කිරීම පිටුපස මෙවැනි හේතුත් තිබිය හැකියි.
චාල්ස් රජු බකිංහැම් මාලිගය වාසස්ථානයක් ලෙස භාවිත නොකිරීමට බලපා ඇති අනෙක් ප්‍රධාන හේතුව වන්නේ ඔහු මේ මාලිගයට වඩා ක්ලැරන්ස් මන්දිරය නම් නිවහනට වැඩි කැමැත්තක් දැක්වීම බවත් සඳහන් වෙනවා. ක්ලැරන්ස් මන්දිරයත් පිහිටා තිබෙන්නේ ලන්ඩන් නගරයේ ම.
2003 වසරේ සිට පසුගිය වසර 23කට ආසන්න කාලය පුරා ම චාල්ස් සිය ලන්ඩන් වාසස්ථානය ලෙස භාවිත කළේ ක්ලැරන්ස් මන්දිරය. චාල්ස්ගේ ළදරු වියේදීත් 1949 සිට 1953 දක්වාත් ඔහු සිය මව්පියන් වූ එළිසබෙත් කුමරිය සහ පිලිප් කුමරු සමඟ ක්ලැරන්ස් මන්දිරයේ ජීවත් වුණා. අනතුරු ව ඔවුන් බකිංහැම් මාලිගයේ වාසයට ගොස් තිබුණේ 1952 වසරේ එළිසබෙත් සිහසුනට පත් වී වසරකට පසුව.
2005 වසරේ චාල්ස් සහ කැමිලා විවාහ වීමෙන් පසු ක්ලැරන්ස් මන්දිරය කැමිලාගේ ද වාසස්ථානය බවට පත් වුණා. මෙවැනි පසුබිමක ක්ලැරන්ස් මන්දිරය ඔවුන් දෙදෙනාට ම වඩාත් හුරු පුරුදු තැනක් බවට පත් ව තිබෙනවා. මේ වනවිට මහලු වියේ පසුවන ඔවුන් දෙදෙනා ඉදිරි කාලයත් එහි ම ගත කිරීමට වැඩි කමැත්තක් දක්වන බවයි පෙනෙන්නේ.
රජ කෙනෙකු තම සියලු බඩුබාහිරාදිය සමඟ වාසස්ථාන මාරු කිරීම සරල, ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. චාල්ස් රජු දිගට ම ක්ලැරන්ස් මන්දිරයේ රැඳී සිටින්නට මෙයත් හේතුවක් වන්නට ඇතැයි සැලකෙනවා. ක්ලැරන්ස් මන්දිරය පෞද්ගලික ජීවිතය ගත කිරීම සඳහා බකිංහැම් මාලිගයට වඩා සුදුසු තැනක් බවටත් අදහසක් තිබෙනවා. බකිංහැම් මාලිගයේ සුවිසල් බව, ගම්භීරත්වය ආදී කාරණා නිසා එය වඩාත් සුදුසු වන්නේ නිල කටයුතු ආදියට. එහෙත් ක්ලැරන්ස් මන්දිරය වඩාත් සමීප, උණුසුම් හැඟීමක් ඇති කරන තැනක් බවයි පැවසෙන්නේ.
චාල්ස් රජකමට පත් වුණේ 2022 වසරේ. ඒ වනවිට බකිංහැම් මාලිගයේ මහා පරිමාණ අලුත්වැඩියාවක් සිදු වෙමින් තිබුණා. තවමත් එය අවසන් නැහැ. 2017 වසරේ ආරම්භ වූ සුවිසල් ව්‍යාපෘතියක් වන මෙය අවසන් වීමට නියමිත ව ඇත්තේ 2027 වසරේ.
මේ අලුත්වැඩියාව නිසා චාල්ස් රජකමට පත් වූ අවස්ථාවේ ඔහුට කොහොමටත් එය වාසස්ථානය ලෙස භාවිත කිරීමට හැකියාවක් තිබුණේ නැහැ. එහෙත් 2027 වසරේ අලුත්වැඩියාවෙන් පසු ඔහුට අවශ්‍ය නම් එහි පදිංචි වීමට හැකියාව තිබුණා.
බකිංහැම් මාලිගයේ කෙරෙන දස අවුරුදු අලුත්වැඩියාව ගැනත් මෙහිදී සඳහන් කිරීම වැදගත්. මෙය අතිවිශාල වියදමක් දරා කෙරෙන ව්‍යාපෘතියක්. ඒ සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල ස්ටර්ලිං පවුම් මිලියන 370කට ආසන්න වනවා. එය ලංකා රුපියල් කෝටි 16,000කට ආසන්න අතිවිශාල මුදලක්.
මෙහිදී සිදු කෙරෙන ප්‍රධාන කාර්යයක් වනුයේ මාලිගයේ විදුලි පද්ධති සහ ජල නළ පද්ධති අලුතෙන් සවි කිරීම. මේවා ඉතා දීර්ඝ කාලයකින් අලුත්වැඩියා කර නොතිබුණු අතර ගින්නෙන් සහ ජලයෙන් මාළිගයට විශාල හානියක් වීමේ අනතුරක් මතු වී තිබුණා. විදුලි සෝපානත් බොහෝ කාලයකට පෙර සවි කරන ලද ඒවා බවයි පැවසෙන්නේ. ඒ නිසා ඒවා වර්තමාන අවශ්‍යතාවලට නොගැළපෙන තත්ත්වයකට පත් ව තිබුණා. වඩාත් ඉඩකඩ ඇති, නවීන තාක්ෂණයෙන් යුතු විදුලි සෝපාන සවි කිරීමත් මෙහිදී සිදු වන බව වාර්තා වෙනවා.
මාලිගය උණුසුම් කිරීමේදී යොදා ගන්නා බොයිලේරු පද්ධතිත් කල් ඉකුත් වී තිබූ බව සඳහන්. මේවා ඉවත් කර වඩාත් පරිසර හිතවාදී උණුසුම්කරණ පද්ධතියක් සවි කර තිබෙනවා. මේ නිසා පරිසරයට මුදා හැරෙන කාබන් ප්‍රමාණය විශාල ප්‍රමාණයකින් අඩු වී ඇති බව සඳහන්. විශේෂ අවස්ථාවල රජ පවුලේ සාමාජිකයන් මහ ජනතාව හමුවේ පෙනී සිටින රාජකීය බැල්කනිය බකිංහැම් මාළිගයේ ඇති කව්රුත් දන්නා තැනක්. මේ බැල්කනිය පිටුපස ඇති ප්‍රධාන ශාලාවේ ද බොහෝ පිළිසකර කිරීම් කර ඇති බව වාර්තා වෙනවා.
ඉතා වටිනා ඡායාරූප එකතුවක් සහිත ශාලාවක වහලය අබලන් ව තිබීම නිසා එම ශාලාවට සහ එහි වූ ඡායාරූපවලට යම් තර්ජනයක් එල්ල වී තිබූ බවත් එම නිසා අබලන් වහල ඉවත් කර අලුත් වහලක් සවි කරන ලද බවත් වාර්තා වෙනවා.
වර්තමාන බකිංහැම් මාලිග ගොඩනැගිල්ල වසර 200ක් පමණ පැරණි එකක්. ඊට කලින් මේ ස්ථානයේ තිබුණේ බකිංහැම් නිවස (Buckingham House) නම් ගොඩනැගිල්ලක්. 1703 වසරේ එය ඉදි කරන ලද්දේ එවකට බකිංහැම් ආදිපාදවරයා වූ ජෝන් ෂෙෆීල්ඩ් විසින්. මහල් තුනකින් සමන්විත වූ මේ නිවසයි ඔහුගේ වාසස්ථානය වුණේ. 1721 වසරේ ඔහු මිය ගිය අතර එයින් වසර 41කට පසු 1762 වසරේ මේ නිවස රජ පවුල විසින් මිල දී ගනු ලැබුවා. 3 වැනි ජෝර්ජ් රජු එය මිල දී ගෙන තිබුණේ ස්ටර්ලිං පවුම් 21,000කට බවයි සඳහන් වන්නේ. පසු කාලයේ බොහෝ වැඩිදියුණු කිරීම්වලින් පසු එය කෙමෙන් වඩාත් සුවිසල් ගොඩනැගිල්ලක් බවට පත් වුණා. අද එය මහල් පහකින් සමන්විත වන අතර එහි කාමර 775ක් පමණ ඇති බවත් සඳහන්.






