#පරිසර

එල්නිනෝ…. ළඟ එනො

එල්නිනෝ යනු අප කිසිවෙකුටත් කිසිලෙසකින් හෝ මඟ හැරිය නොහැකි පාරිසරික තත්ත්වයක්. රටින් රටට, කලාපයෙන් කලාපයට අඩු වැඩි වශයෙන් බලපෑම් සිදු කරන එල්නිනෝ හමුවේ එයට මුහුණදීමට අප සූදානම් විය යුත්තේ කෙසේ ද? යන්න විමසා බැලීම කාලීන ව වැදගත්.

එල්නිනෝ සංසිද්ධිය ඇති වන්නේ මධ්‍යම නැගෙනහිර සමක පැසෆික් සාගරයේ මුහුදු මතුපිට උෂ්ණත්වය සාමාන්‍ය අගයකට වඩා ඉහළ යාම හේතුවෙන්. සාගරය මතුපිට උෂ්ණත්වය සාපේක්ෂ අගයට වඩා වැඩිවීම එනම් +0.5 සිට +0.9 අතර වන විට එය දුර්වල එල්නිනෝ තත්ත්වයක්. එම අගය +1.0 සිට +1.4 අතර අගයක ඇතිවිට මධ්‍යම එල්නිනෝ තත්ත්වයක් වන අතර එය +1.5 සිට +1.9 අතර අගයක් ගන්නා විට බරපතළ එල්නිනෝ තත්ත්වයක් ලෙස දැක්වෙනවා. මේ උෂ්ණත්ව අගය +2.0ට වඩා වැඩි නම් එය සුපර් එල්නිනෝ තත්ත්වයක් හෙවත් අතිප්‍රබල එල්නිනෝවක් ලෙස ද විද්‍යාඥයන් විසින් හඳුන්වනු ලබනවා. 2026 -2027 වර්ෂ කාලපරාසයේ ඇති වීමට නියමිත වනුයේ එවැනි සුපර් එල්නිනෝ තත්ත්වයක් බවයි කාලගුණ විද්‍යාඥයන්ගේ සහ සාගර විද්‍යාඥයන්ගේ අනුමානය.

ලෝක ඉතිහාසයේ බලපෑම් එල්ල කළ මෙවැනි සුපර් එල්නිනෝ තත්ත්ව අවස්ථා 03ක් වාර්තා වෙනවා. 1982-1983 වකවානුවේ මුහුදු මතුපිට උෂ්ණත්වය +2.2ට වඩා වැඩිවීම නිසා ඇති වූයේ සුපර් එල්නිනෝ තත්ත්වයක්. එහිදී දකුණු ඇමරිකානු රටවලට දැඩි ගංවතුර තත්ත්වයක් වාර්තා වූ අතර ඕස්ටේ්‍රලියාව, ඉන්දුනීසියාව වැනි රටවලට ඇති වූයේ දැඩි නියඟ තත්ත්වයක්.

1997-1998 කාලය ඇති වූ එල්නිනෝ තත්ත්වයේදී +2.4ට වැඩි උෂ්ණත්වයක් වාර්තා වූ අතර ලෝකයේ මිලියනයකට අධික පිරිසකට දැඩි ආහාර හිඟයකට මුහුණ දීමටයි සිදු වුණේ. 2015-2016 ඇති වූයේ ලොව මෙතෙක් වාර්තා වූ දරුණුතම එල්නිනෝ තත්ත්වය. එහිදී මුහුදු මතුපිට උෂ්ණත්වය ඉහළ යෑම +2.6ට වඩා වැඩි වුණා. ලොව පුරා මිලියන 60කට අධික ජනතාවකට දැඩි ආහාර හිඟයකට මුහුණ පෑමට ද එහිදී සිදු වුණා. 2016 වසරේ ඇති වූ එම එල්නිනෝ සිද්ධියෙන් ශ්‍රී ලංකාවට ද සිදු වූයේ දැඩි බලපෑමක්.

National Oceanic and Atmospheric Administration (NOAA) වාර්තා කරන අන්දමට 2026 වසරේ ඉදිරි කාලයේ ඇතිවන මේ එල්නිනෝ තත්ත්වය ද ප්‍රබල මට්ටමකට යා හැකියි. එබැවින් මෙය ශ්‍රී ලංකාවට ද දැඩි බලපෑමක් ඇති කරනු ඇති බවයි පොදු විශ්වාසය. එසේ වුවත් මෙවැනි තත්ත්වයකදී ඇතිවන දැඩි නියඟ හෝ වර්ෂාපතන තත්ත්ව හෝ අතර සංකලනමය ස්වභාවයක් ශ්‍රී ලංකාවේ වාර්තා විය හැකි බවටත් කාලගුණ අනාවැකි පළ වෙනවා.

ලොව ප්‍රධාන කාලගුණික ආයතන කලින් පුරෝකතනය කළ ආකාරයට 2027 වසරේ මුල් මාස කිහිපයේ දරුණු එල්නිනෝ තත්ත්වයක් ඇති වීමට තිබූ වකවානුව දැන් ඊටත් කලින් ඇති වේ යැයි කරන පුරෝකථනයට අපට එකඟ වන්නට සිදු වන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ පවසනවා. විශේෂයෙන් 2026 ජූලි සිට සැප්තැම්බර් දක්වා වියළි කාලගුණයක් ඇතිවන අතර එය තරමක් තීව්‍ර විය හැකි බැවින් අප ඊට මුහුණ දීමට සූදානම් විය යුතු බවයි ඔහුගේ අවධාරණය.

සැප්තැම්බර් මාසයෙන් පසු මාස 03හි යළි වැසි තත්ත්වයක් අපේක්ෂා කරන අතර එය තරමක් අධික වර්ෂාපතනයක් විය හැකි බවයි කාලගුණික අංශ පුරෝකථනය කරන්නේ. මෙහිදී ඉන්දියන් සාගර කලාපයේ ඇතිවන indian Ocean Dipole තත්ත්වය මේ සඳහා බලපානවා. ඉන්දියන් සාගර ද්විධ්‍රැවය (IOD) යනු මුහුදු මතුපිට උෂ්ණත්වයේ වෙනස්වීම් හා සම්බන්ධ දේශගුණික රටාවක්. මෙය ධනාත්මක, සෘණාත්මක සහ උදාසීන අවධි ලෙස බෙදා දක්වනවා. එහි දක්නට ලැබෙන්නේ ඉන්දියන් සාගරයේ බටහිර සහ නැගෙනහිර ප්‍රදේශ අතර උෂ්ණත්වය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ‘සීසෝ’ (Seesaw) ක්‍රියාවලියක් වැනි ස්වභාවයක්. එහි බලපෑම අපට දැනෙන්නේ එම කාලගුණ විචල්‍යතාව අනුව. එය ධනාත්මක වුවහොත් දෙසැම්බර් – ජනවාරි දක්වා වුවත් වර්ෂාවේ දිගුවක් විය හැකි බව කාලගුණික අංශ පෙන්වා දෙනවා.

දැඩි වර්ෂාව නිම වූ පසු යළි වියළි කාලගුණය සහිත නියඟ තත්ත්ව ඇති වන්නට පුළුවන්. මෙයින් පැහැදිලි වන්නේ දිගට ම නියඟය පැවතීමක් සිදු නොවන අතර වර්ෂාව ද ලැබෙමින් තත්ත්වයේ වෙනසක් සිදු වන බව. එල්නිනෝ ලෝක තත්ත්වයක් වුවත් ශ්‍රී ලංකාවට එහි බලපෑම වෙනස් ආකාරයක් ගැනීමයි අපට මෙහිදී වැදගත් වන්නේ. ඉන්දියන් සාගරයේ මධ්‍යගත දූපතක් සහ සමකය ආසන්න රටක් වීම ඇතුළු කාරණා රැසක් නිසා තිව්‍ර නියං බලපෑම අඛණ්ඩ ව සිදු නොවන බවයි ඒ අනුව පෙනී යන්නේ. කෙසේ වෙතත් 2026 වර්ෂයේ පානීය සහ ප්‍රයෝජනයට ගන්නා ජලය සම්බන්ධයෙන් උග්‍ර අර්බුදයක් ඇති නොවන අතර වියළි-වැසි සංකලන කාලගුණයක් ඇති වන නිසා රටේ තිබෙන ජලය ප්‍රමාණවත් වනු ඇති බවයි අමාත්‍යවරයාගේ අදහස.

සෑම පූර්ව මාසයකදී ම ඊළඟ මාසය ගැන පූර්ණ කාලගුණික විශ්ලේෂණයක් සිදු කරන නිසා යම් හෙයකින් ජලය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වුවහොත් ඒ සඳහා විශේෂ සූදානමක් ද තිබෙනවා. විශේෂයෙන් එළඹෙන මහ කන්නය වගා කිරීම වෙනදාට වඩා කලින් ඇරඹීමටයි රජයේ අවධානය යොමු වී තිබෙන්නේ.

ජනතාවට ඇති විය හැකි කිසියම් හෝ ආපදාමය තත්ත්වයකට මුහුණ දීමට හැකි වන ලෙස ආපදා කළමනාකරණ අංශය සූදානම්. බලශක්තිය සුරක්ෂිත කර ගැනීම වැදගත් හෙයින් සෝලා විදුලි බල සැපයුම සඳහා යොමු ව තිබෙනවා. දැනට සෝලා බැටරි අවශ්‍ය තරමට මෙරටට ගෙනැවිත් ඇති නිසා වියළි කාලගුණ වකවානුවේදී එම බැටරි ආරෝපණය කර ගැනීමෙන් ජල විදුලිය හා ඩීසල් මගින් සිදු වන බල ශක්ති වැයවීම අඩු කර ගැනීමයි බලාපොරොත්තුව. ඉන් ජලය ඉතිරි කර ගැනීමට හැකි වෙනවා. පසුගිය කන්නයේදී නෙළා ගත් වැඩි අස්වැන්න ආහාර සඳහා ප්‍රමාණවත්. ඊළඟ මහ කන්නනය කල් ඇති ව වගා කිරීමෙන් ද ප්‍රමාණවත් සහල් සංචිතයක් පවත්වා ගැනීමට හැකියාව තිබෙන බවයි ධම්මික පටබැඳි පවසන්නේ.

එල්නිනෝ තත්ත්වය නිසා අපට දීර්ඝකාලීන උග්‍ර බලපෑමක් සිදු නොවන බවට වන පුරෝකථනය යම් අස්වැසිල්ලක් වුවත් ඉන් ගැලවිය නොහැකි පීඩනයක් අප වෙත එල්ල වන බවයි සත්‍යය. ඒ අනුව රටක් ලෙස අපට ඒ සඳහා කල්පනාකාරී ව මුහුණදීමට සිදු වෙනවා. කලාපීය වශයෙන් අප අවට රටවල් මෙවැනි අර්බුද හමුවේ ගන්නා සාධනීය ක්‍රියාමාර්ග හොඳින් නිරීක්ෂණය කිරීමත් මෙහිදී වැදගත්. මේ සඳහා මෙරට රාජ්‍ය අංශය මෙන් ම පෞද්ගලික අංශයේ ද අදාළ ආයතන හා සමස්ත ප්‍රජාව ද එකමුතු වීම වැදගත්.