#දේශපාලන

1953 ජනතා බලයේ හැරවුම් ලක්ෂ්‍යයක්

ලංකාවට නිදහස ලැබීමෙන් පසු ගත වූ කාලයේ මෙරට රාජ්‍ය පාලකයන්ට එරෙහි ව ඇති වූ දැවැන්ත ම මහජන නැඟිටීම සිදු වූයේ 1953 අගෝස්තු මස 12 දින. එය සිදු වී වසර 73ක් ගත ව ඇතත් අදටත් අප මේ ‘ජනතා නැගිටීම’ සිහිපත් කරන්නේ මහත් ආශ්වාදයෙන්. ‘හර්තාලය’ ලෙස නම් කෙරුණු මේ මහා ජනතා නැගිටීම හුදෙක් හුදෙකලා සිදුවීමක් නොව මෙයට සමාන්තර ව ජාත්‍යන්තර පරිමාණ ව ද ජනතා නැගිටීම් පැවතුණා.

1949 වසරේදී මාඕ සේතුංගේ නායකත්වයෙන් චීනයේ පීඩිත ජනයා බලය ලබා ගත්තා. 1953 ජනතා නැගිටීම් වසරක්. 1953 ජූනි මාසයේදී නැගෙනහිර ජර්මනියේ හා චෙකොස්ලොවැකියාවේ ආණ්ඩුවලට එරෙහි කම්කරු පන්තියේ නැගිටීම් පුපුරා ගිය අතර අගෝස්තු මාසයේ දහස් ගණන් ප්‍රංශ කම්කරුවන් සති දෙකකට ආසන්න කාලයක්  මහා වැඩ වර්ජනයක යෙදී සිටියා. මේ ගෝලීය ජනතා නැගිටීම්වල ලංකාවේ හැඩය වූයේ ‘හර්තාලය’. 1952 මැතිවරණයෙන් ඩඩ්ලි සේනානායකගේ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළත් වසරක් යන්නට ප්‍රථමයෙන් මැතිවරණ වේදිකාවේ ජනතාවට දෙන ලද පොරොන්දු කඩ කරන්නට වුණා. එබඳු තත්ත්වයක් නිර්මාණය වූයේ කෙසේ ද ?

මීට ප්‍රධාන ම හේතුව කොරියානු යුද්ධය (1950-1953) අවසාන වීම. මේ යුද්ධය මෙරට රබර්වලට ඉහළ මිලක් (උත්පාතයක්) නිර්මාණය කළ අතර එය කෙතරම් ද යත් 1951 වසරේදී රබර් රාත්තලකට ඇමරිකානු ශත 80-90 හා ඇතැම් අවස්ථාවල ඇමරිකානු ශත 100ක් පවා ලැබුණා. අනෙක් අතට යුද්ධය අවසාන වීමත් සමඟ එනම් 1953 වසරේදී රබර් රාත්තලකට ලැබුණේ ශත 25-35ක මුදලක්. මේ වන විට ලංකාවේ විදේශීය වත්කම් 37%කින් හා නිර්යාත ආදායම 21%කින් පහත වැටී තිබුණා. මෙයින් නිර්මාණය කෙරුණේ දරුණු ආර්ථික අවපාතයක්.

ජූලි 07 දින අගමැති ඩඩ්ලි සේනානායක කළ රාජාසන කතාවේදී සහල් සහනාධාරය කප්පාදු කරන බවට ප්‍රකාශ කළා. අමාත්‍ය මණ්ඩලය හාල් මිල වැඩි කිරීමට 1953 ජූලි 20 දින තීරණය කළා. මේ නිසා දකුණේ මෙන් ම උතුරේ ද මහජනතාව අතර හට ගත්තේ  කැලඹීමක්.

ජූලි 21 දින බලපිටියත් අම්බලන්ගොඩත් අතර රන්දොඹේ ගමේ ස්ත්‍රී පුරුෂයන් සමූහයක් හාල් මිල වැඩි කිරීමට විරුධත්වය පළ කිරීමක් වශයෙන් පාර හරහා වැතිරගෙන සියලු ම වාහන ගමන් කිරීම අවහිර කළ අතර පොලිසිය පැමිණ තර්ජනය කොට විසුරුවා හරින්නට තැත් කළත් එය අසාර්ථක වුණා. මේ සටනට පසුව ජූලි 22 දින මාදම්පේ, අකුරල, තොටගමුව ප්‍රදේශවලත් ජූලි 23 දින බලපිටියේත් ජූලි 24 දින කරන්දෙනිය, ඌරගහ හා අහුන්ගල්ල ප්‍රදේශවලත් අරගලය පැතිරෙන්නට වුණා. ජූලි 21 දින කොළඹ වරායේ කම්කරුවන් පැය 3ක වැඩ වර්ජනයක් කළ අතර ජූලි 23 දින වැල්ලවත්ත රෙදිමෝලේ කම්කරුවන් වරුවක වැඩ නැවැත්වීමක් කළා.

ඒ අතර මහ මැතිවරණයේදී සෑමදාම ශත 25ට දීමට පොරොන්දු වූ හාල් සේරුව මුදල් ඇමැති ජේ. ආර්. ජයවර්ධන 1953 ජූලි 23 දින ඉදිරිපත් කළ අය වැය ලේඛනයෙන් ශත 75 දක්වා වැඩි කෙරුණා. සීනි, පිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දැමුණු අතර තැපැල් හා දුම්රිය ගාස්තු ද වැඩි කෙරුණා. පාසල් ළමයින්ට ලබා දුන් දිවා ආහාරයත් කිරි ලබා දීමත් අහෝසි කෙරුණා. මෙලෙස සමස්ත මහජනතාව වෙතට දැවැන්ත ප්‍රහාරයක් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව දියත් කළ අතර මීට එරෙහි ව වාමාංශික පක්ෂ හා වෘත්තීය සමිති දැවැන්ත උද්ඝෝෂණයක් ආරම්භ කළා. එම අය වැය ඉදිරිපත් කළ දිනයේදී ම වාමාංශික පක්ෂ හා වෘත්තීය සමිති දැවැන්ත විරෝධතා රැලියක් ගෝල්ෆේස් පිට්ටනියේ පැවැත්වූ අතර මේ රැස්වීමට 150,000ක ජනතාවක් සහභාගි වූ බවයි ධනපති පුවත්පත් පවා වාර්තා කර තිබුණේ. මේ රැලියට පැමිණි පිරිසෙන් 50,000ක් පමණ දෙනා එදින ම පාර්ලිමේන්තුව වැටලුවා. මේ රැස්වීමේදී අගෝස්තු 12 දින රට පුරා හර්තාලය පවත්වන බව නිවේදනය කෙරුණා. මෙතැන් සිට හර්තාලය කැඳවුම් කළ ලංකා සමසමාජ පක්ෂය, විප්ලවකාරි සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය එක් ව රට පුරාත් කර්මාන්ත ශාලාවලත් හර්තාලය සාර්ථක කර ගැනීමට රැස්වීම් පැවැත්වූ අතර මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මෙන් ම ලේක්හවුස් හා ටයිම්ස් පුවත්පත් ආයතන හර්තාලය බිඳ දැමීම සඳහා ව්‍යාජ වාර්තා පළ කරමින් කළ හැකි සියල්ල ම කර තිබෙනවා.

අගෝස්තු 11 දින ලංකා සමසමාජ පක්ෂයේ ‘සමසමාජ’ පුවත්පතේ කතුවැකියේ මෙසේ ලියා තිබුණා.

“සටන හෙට ය. හෙට ඉර පායන්නේ නිදා වැටෙන ලංකාවකට නො වේ. ශාපලත් යූඇන්පී ආණ්ඩුවට මළ බත මොළවන ලංකාවට ය. හෙට උදා වන තුරු නො ඉවසිල්ලෙන් සිටින එඩිතර ජනතාවට අද රාත්‍රිය ඉතා දිගු ය. සියතින් මිනීවළ හාරා ගත් යූඇන්පී ආණ්ඩුවට මේ රැය ඉතා කෙටි ය.

“හෙට හිමිදිරියෙන් ම ක්‍රියාත්මක වන්නේ සංවිධානාත්මක සටනකි. එය දිවයිනේ එක් පෙදෙසකින් නැඟී එන්නක් නො වේ. සටනේ සුලමුල මහත් ජනතාව ම දන්නේ ය. දිවයිනේ සෑම කම්කරුවෙක් ම, සෑම දුප්පතෙක් ම, සෑම ප්‍රගතිශීලියෙකු ම හෙට අවදි වන්නේ මේ මහා සටනට අත දීගෙන ය. හෙට දවසේ තම ජීවිතයේ ප්‍රධාන යුතුකම හා අයිතිය මේ ජනතා සටනට සහභාගිවීම බව වැඩකරන ජනතාව පිළිගෙන ඉවර ය….”

මෙසේ හර්තාල් සටනේ නායකත්වය ලංකාවේ කම්කරු පන්තිය ඇතුළු සකල පීඩිත ජනතාවට හර්තාලයට එක්වන්නැයි ඇරයුම් කළා. මේ ඇරයුමට ලංකාවේ නිර්ධන පන්තියේ අතිදැවැන්ත පංගුවක් එක් වුණා. සමසමාජ පක්ෂය භාෂා තුනෙන් ම (සමසමාජය, සමසමාජිස්ට්, සමධර්මම්) දිනපතා ම පත්‍රයක් නිකුත් කෙරුණු අතර සතියකට පත්‍ර 100,000ක් පමණ අලෙවි වී තිබෙනවා. අගෝස්තු 12 දින උදා වුණා. තරංග මාලාවක් මෙන් එකිනෙක කර්මාන්ත ශාලාවල කම්කරුවන් වැඩ නතර කළා. රත්මලානේ සිට පිටකොටුව දක්වා, පිටකොටුවේ සිට ග්‍රෑන්ඩ්පාස් දක්වා, ග්‍රෑන්ඩ්පාස් සිට බොරැල්ල දක්වා, බොරැල්ලේ සිට පාමංකඩ දක්වා ද එකදු කඩයක්වත් සාප්පුවක්වත් විවෘත නොවූ අතර බස් ගමනාගමන මාර්ග එකිනෙක නතර කෙරුණා. උදෑසන 10.00 වන විට එකදු බසයක්වත් පාරේ නොවුණු අතර දුම්රිය ධාවනය වුණේ නැහැ. රික්ෂෝකරුවන් ද බර කරත්තකරුවන් ද විදීවලින් ඉවත් වුණා. කොළඹ හා මොරටු නගර ශාලා මුදුනේ කළු කොඩි ලෙළ දුන්නා. සෞඛ්‍ය කම්කරුවන් හැර අනෙක් නාගරික කම්කරුවන් වැඩ නැවැත්වූ අතර ගම්බද ගෘහිණියන් පාර මැද්දේ වැතිර ගත්තා. ලංකාව ම තිගැස්සුණා. අගමැති ඩඩ්ලි සේනානායක කෙතරම් බියට පත් වූයේ ද යත් කැබිනට් රැස්වීම පැවැත්වූයේ වරායේ නවතා තිබූ බි්‍රතාන්‍ය රාජකීය නාවුක හමුදාවේ යුද නෞකාවක් වූ HMS Newfoundland

ආණ්ඩුව අපේක්ෂා කළාට වඩා හර්තාලය දුරදිග ගොස් තිබුණා. සැබවින් ම සමසමාජ නායකත්වය ද අපේක්ෂා කළාටත් වඩා හර්තාලය දික්ගැසී තිබුණා. ඔවුන් එක් දිනක හර්තාලයක් සේ සංවිධානය කළත් ජීවන බරින් පෙළී සිටි ජනතාව දින තුනක් පුරා හර්තාලය පවත්වාගෙන ගියා. අවසානයේදී හර්තාල් නායකත්වය හර්තාලය නතර කර ගත්තේ ඉතා අසීරුවෙන්.

පොලිසිය හර්තාලය දිනයේදී එඩ්වින් (පිටකොටුව), එස්. එච්. රූබෙල් (ඌරගහ), අල්බාදුරගේ අල්මිස් (රත්ගම), ටී. එච්. පනාගොඩ (දොඩන්දුව), එස්. කේ. ඒ. පියසේන (දොම්පේ), කේ. ඒ. සාදරිස් (දොම්පේ), එස්. කේ. වික්‍රමසිංහ පෙරේරා (දොම්පේ), ඩග්ලස් නිකුලස් (මෝදර), ටී. සිරිසේන (කිරුළපන) යන නව දෙනා වෙඩි තබා ඝාතනය කළා.  එස්. ඩබ්. ආර්. ඩි. බණ්ඩාරනායක, ආණ්ඩුවේ මර්දනය හෙළා දුටුවත් හර්තාලයට සහභාගි වුණේ නැහැ. ෆෙඩරල් පක්ෂය විරෝධතාවට සහයෝගය පළ කළත් සහභාගි වුණේ නැහැ. ලංකා ඉන්දියානු සංගමයත් ඔවුන්ගේ වතු කම්කරු සමිතිත් සටනට සහභාගි නොවුණත් දවසේ වැඩ නිමාවෙන් පසු විරෝධතා රැස්වීමක් පැවැත්වූවා.

සමසමාජ පක්ෂය තිරිංග දමා හර්තාලය නතර කළත් හර්තාලය පීඩිත ජනතාවගේ නැගිටිමක්. ලංකාවේ නිදහසින් පසු මෙවැනි කම්කරු පන්තිය ඇතුළු පීඩිත ජනතා නැගිටීමක් මෙතෙක් සිදු වී නැහැ. වසර 73ක් ගත ව ඇතත් අදත් හර්තාලය මහත් ආශ්වාදජනක ලෙස සිහිපත් කරන්නේ එබැවින්. එහෙත් එක් වැදගත් ප්‍රශ්නයක් ඉතිරි ව තිබෙනවා. මේ සා මහත් ජනතා නැගිටීමක් මෙහෙයවන ලද පක්ෂවලට අද කුමක් සිදු වී ඇත් ද ?

පිලිප් ගුණවර්ධනගේ ‘විප්ලවවාදී සමසමාජ පක්ෂය’ පසුකලෙකදී ධනපති පක්ෂ සමඟ සංධානගත ව මහජන පදනම නැති කර ගත්තත් අද පක්ෂයත් නැහැ. අනෙක් පක්ෂ දෙක, එනම් සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂ නාමික ව තවමත් පවතිනවා. දේශපාලනය කරනවා. පක්ෂ කාර්යාල ද කොළඹ පවත්වාගෙන යනවා. විශේෂයෙන් සමසමාජ පක්ෂය එකල දකුණු ආසියාවේ විශාල ම නිර්ධන පන්තියේ පක්ෂය වුණා. එහෙත් ආරම්භයේ සිට පක්ෂයේ ඉදිරි දර්ශනය හා ක්‍රියාමාර්ගය වූයේ පාර්ලිමේන්තුවෙන් සමාජවාදය දිනා ගත හැකි ය යන්න. කොමිනියුස්ට් පක්ෂය ඊට වැඩි දෙයක් කීවේ නැහැ. මේ පාර්ලිමේන්තු වාදය, නිර්ධන පන්තියට අදත් ආවේශයක් ලබා දෙන්නේ නැහැ.