#ක්‍රීඩා

රෝම වික්‍රමය

එක් සුවදායී රෝම සැඳෑවක ‘2026 රෝම ඩයමන්ඩ් ලීග්’ තරග බිමේ ශ්‍රී ලංකා කොඩිය ලෙලවමින් රුමේෂ් තරංග පතිරගේ ඔහුගේ හෙල්ල මීටර් 92.62ක් දුරට විසි කළේ ඉතිහාසගත වෙමින්. ඒ හපන්කමත් සමඟ ඔහු ලෝක විශිෂ්ටයන්ගේ ඉහළ පෙළැන්තියට ප්‍රවිෂ්ටයක් ලබා ගත්තේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක 3 දක්වා ඉහළට පිවිසෙමින්.

රෝම ඩයමන්ඩ් ලීගය විමතියට පත් කරමින් රුමේෂ් සටහන් කළ මේ දුර ප්‍රමාණය 2026 වසරේ මෙතෙක් වාර්තා වූ ලෝකයේ හොඳම දක්ෂතාව වනවා. පිරිමි හෙල්ල විසි කිරීමේ ලෝක වාර්තාව මීටර් 98.48ක් වන අතර එය තවමත් උසුලන්නේ චෙක් සමූහාණ්ඩුවේ යාන් ජෙලස්නි.

කළුතර ප්‍රදේශයෙන් එන 23 හැවිරිදි රුමේෂ්ගේ මේ රෝම වික්‍රමයෙන් ඔහු ව හොඳම දක්ෂතාව අතින් ලෝක ලැයිස්තුවේ එදා මෙදාතුර 08 වැනි ස්ථානයට ඔසවා තබනවා. ඔහු සටහන් කළ මේ දුර ප්‍රමාණය දැන් පාකිස්තාන ඔලිම්පික් ශූර අර්ෂාඩ් නදීම් 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී වාර්තා කළ මීටර් 92.97ට පසුව ආසියාවේ දෙවැනියට හොඳම දක්ෂතාව වී  තිබෙනවා.

අර්ෂාඩ් නදීම් හා ඉන්දියාවේ නීරාජ් චොප්රා යන ප්‍රතිවාදීන් සමඟ සසඳන විට රුමේෂ්ගේ මීටර් 92.62ට තවත් බොහෝ විශේෂත්ව එක්වනවා. හොඳම දක්ෂතාව අතින් රුමේෂ් 08 වැනි ස්ථානයේ පසුවෙද්දී නදීම් 06 වැනියට සිටියත් චොප්රා සිටින්නේ 26 වැනි ස්ථානයේ (මීටර් 90.23). මීට අමතර ව රුමේෂ්ගේ දක්ෂතාව නවීන යුගයේ හොඳම හෙල්ල විසි කිරීම්වල 21 වැනි ස්ථානයේ තිබෙනවා. මෙහිදී නදීම්ගේ හොඳම දක්ෂතාව 17 වැනි ස්ථානයට ද චොප්රාගේ හොඳම දක්ෂතාව 116 වැනි ස්ථානයට ද පත් ව තිබෙනවා. 

රුමේෂ්ට ඉහළින් ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක 01ට සිටින්නේ ජර්මනියේ ජූලියන් වෙබර් (මීටර් 91.51). ග්‍රෙනාඩාවේ ඇන්ඩර්සන් පීටර්ස් (මීටර් 89.53) අංක 02ට ශ්‍රේණිගත ව සිටිනවා.

ලෝකයේ හෙල්ල විසි කිරීමේ ඉහළම 20 දෙනා අතරේ ළාබාලතම ක්‍රීඩකයා වන රුමේෂ් අත්කරගෙන සිටින්නේ ශ්‍රී ලාංකික මලල ක්‍රීඩකයෙකු එදා මෙදාතුර ලබා ගත් ඉහළ ම‌ ලෝක ශ්‍රේණිය.

හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේදී ආසියාතිකයෙකු මෙතෙක් විසි කර තිබෙන වැඩි ම දුර ප්‍රමාණ හතරෙන් නදීම් (මීටර් 92.97 – අගෝස්තු 2024) හා රුමේෂ් (මීටර් 92.62 – ජූනි 2026)ට පසුව සිටින්නේ තායිවානයේ චාඕ ට්සන් චෙං (මීටර් 91.36 – අගෝස්තු 2017). චොප්රා (මීටර් 90.23 – අගෝස්තු 2024) සිටින්නේ සිව් වැනියට.

චෙංගේ දුර ප්‍රමාණය එම වකවානුව හා ඔහුගේ හොඳම දක්ෂතාව අනුව බැහැරින් තිබුණත් නදීම් හා චොප්රා මේ ක්‍රීඩාවේ සෑහෙන කලක් තිස්සේ දස්කම් පාමින් සිටිනවා. ලෝක හෙල්ල විසි කිරීමේ තරග බිම පසුගිය දශකයෙන් අඩක් ම මේ දෙදෙනා අයිති කරගෙන තිබෙනවා. නීරාජ් චොප්රාට ඔලිම්පික් රන් හා රිදී පදක්කම් ද ලෝක ශූරතාවලියේ රන් හා රිදී පදක්කම් ද ආසියානු රන් පදක්කම් දෙකක් හා පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ රන් පදක්කමක් ද තිබෙනවා. අර්ෂාඩ් නදීම් සතු ව ඔලිම්පික් රන් පදක්කමක්, ලෝක ශූරතා රිදී පදක්කමක්, ආසියානු ලෝකඩ පදක්කමක් හා පොදුරාජ්‍ය මණ්ඩල රන් පදක්කමක් තිබෙනවා. මීට කලින් යුරෝපීය කේන්ද්‍රගත හෙල්ල විසි කිරීමේ ලෝකය මේ අපූර්ව ක්‍රීඩකයන් දෙදෙනා ඉන්දියානු උපමහාද්වීපය දිසාවට හරවා ගත්තා.

එහෙත් දැන් ඔවුන්ගේ ද්විත්ව රංගනයට බරපතළ තර්ජනයක් එල්ල වී තිබෙන අතර එය පැමිණෙන්නේ ද ඒ උපමහාද්වීපයෙන් ම වීම විශේෂත්වයක්. පසුගිය වසර කිහිපයේ රුමේෂ්ගේ දියුණුව සිත්ගන්නා වූවක්. එයින් නදීම්ගේ සුපිරි මට්ටම දක්වා වූ වේගී නැඟීම පිළිඹිබු වනවා. 18 වැනි වියේදී ම මීටර් 80 සලකුණ පසු කරමින් හා එකල යොවුන් ලෝක වාර්තාවක් ව තිබූ මීටර් 86.48 වයස අවුරුදු 19දී බිඳ දමමින් (අවුරුදු 20න් පහළ ලෝක ශූරතාවලිය) චොප්රා ඔහු පටන් ගත් තැන් පටන් ම සුපිරි තත්ත්වයේ සිටියදී ඊට සාපේක්ෂ ව නදීම් හා රුමේෂ්ට සුපිරි මට්ටමට පිවිසීම සඳහා වැඩි කාලයක් ගත ව තිබෙනවා.

උදාහරණයක් වශයෙන්, චොප්රා ජයග්‍රහණය කළ අවුරුදු 20න් පහළ ලෝක ශූරතාවලියට නදීම් අවම වශයෙන් සහභාගිත්වයේ සුදුසුකමක් හෝ ලැබුවේ නැහැ. 2016 වසරේ පැවති එම තරගාවලියේ ලෝකඩ පදක්කම හිමිකර ගත්තේ වර්තමානයේ ලොව අංක 2ට ශ්‍රේණිගත ව සිටින ඇන්ඩර්සන් පීටර්ස්. රුමේෂ් ඔහු සහභාගි වූ 2022 වසරේ අවුරුදු 20න් පහළ ලෝක ශුරතාවලියේ අවසාන තරගයේදී මීටර් 69.98ක් පමණක් සටහන් කරමින් පත් වූයේ හත් වැනි ස්ථානයට. නදීම් ප්‍රථම වතාවට මීටර් 80ක් දුරට හෙල්ල විසි කළේ 2018 වසරේ. ඒ වන විට ඔහුගේ වයස වී තිබුණේ අවුරුදු 21ක්. එතැන් සිට ඔහු වේගයෙන් වර්ධනය වී තිබෙනවා.

රුමේෂ් පළමු වරට මීටර් 80 සලකුණ ජය ගත්තේ 2024 වසරේ. ඒ, වයස 21ක් ව තිබියදී කලින් හොඳම දක්ෂතාව ලෙස තිබූ මීටර් 76.45 සිට කෙළින් ම මීටර් 85.45ක් දුරට හෙල්ල පියාසර කරවමින්. ඊට දෙවසරකට පසුව ඔහු සිටින තත්ත්වය රෝම ඩයමන්ඩ් ලීගයේදී ප්‍රදර්ශනය වී තිබෙනවා

දෙදෙනාගේ සමාන බව තවත් ගැඹුරට විහිදෙනවා. නදීම් තරග වැදුණු මුල් වකවානුවේදී ඔහුට තරගාවලි සඳහා සහභාගි වීමට විශාල පිරිසකගේ මුදල් ආධාර අවශ්‍ය වුණා. ඉතා සීමිත පහසුකම්වලින් සෑහීමට පත් වීමට සිදුවුණා. මේ අතර රුමේෂ්‌ට ඔහුගේ පුහුණුව ප්‍රධාන වශයෙන් ඔහුගේ ගුවන් හමුදා වැටුපෙන් සහ ඔහු 2025 වසරේදී තරග බිමට කඩා වැදීමට පෙර රටේ තිබුණු එක ම සින්තටික් ධාවන පථයෙන් කළමනාකරණය කර ගැනීමට සිදු වුණා. පෙර වසරේ ඔහුගේ මීටර් 80ට වැඩි දුර ප්‍රමාණය වූ ඔහුවත් නොසිතූ මීටර් 85.45 දුර වාර්තා වුණේ ඔහු අනුන්ගෙන් ඉල්ලා ගත් හෙල්ලකින්. ඉන්පසුව පමණයි ඔහුට ඔහුගේ ම ‘නෝඩික් වල්හාලා’ නමැති සුපිරි තත්ත්වයේ හෙල්ලකින් පුහුණු වීමට හැකි ව තිබෙන්නේ.

හෙල්ල විසි කරන ශෛලිය අතින් රුමේෂ් වඩාත් සමාන වන්නේ නදීම්ට වඩා චොප්රාට. 2019 වසරේදී ශ්‍රී ලංකාව පුරා දියත් කෙරුණු සහජ කුසලතා සොයා යාමකදී පැයට කිලෝමීටර් 134ක වේගයක් සටහන් කරමින් වර්තමාන ශ්‍රී ලංකා ක්‍රීඩක එෂාන් මාලිංගට පිටුපසින් අවුරුදු 18න් පහළ අංශයේ දෙවැනියට වේගවත් ම කාලය වාර්තා කර, කලක් ප්‍රබල තරුණ වේග පන්දු යවන්නෙකු ව සිටි රුමේෂ්ගේ හෙල්ල විසි කරන දිවීමේ ස්වාභාවික රිද්මයක් ගැබ් ව තිබෙනවා.

රුමේෂ්ගේ හොඳම දක්ෂතා පහෙන් හතරක් ම වාර්තා වී තිබෙන්නේ 2026 වසරේ මාස තුනක පමණ කාලයේ. ඔහු අප්‍රේල් මාසයේදී මීටර් 89.28ක් ද මාර්තුවේ මීටර් 89.37ක් ද දැන් මීටර් 92.62ක් ද සටහන් කර තිබෙන්නේ ප්‍රශංසනීය ප්‍රගතියකින්.

අනෙක් දෙදෙනාගෙන් රුමේෂ් තරංගගේ කැපී පෙනෙන කාරණය වී තිබෙන්නේ ඔහු, ඔහුගේ ක්‍රීඩා දිවියේ මෙතරම් ඉක්මනට මීටර් 90 සීමාව පසු කිරීම. 2022 වසරේ පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී මීටර් 90.18ක් සටහන් කරද්දී නදීම්ගේ වයස අවුරුදු 25ක් ව තිබුණා. චොප්රා එය කළේ පසුගිය වසරේ පමණයි. ඒ, 28 වැනි වියේදී. ආසියානු වාර්තාවට වඩා රුමේෂ් රෝමයේදී සටහන් කළ දුර අඩු ව තිබෙන්නේ සෙන්ටිමීටර් 35කින් පමණයි.