#ශ්‍රව්‍ය හා දෘෂ්‍ය

නඳන නන්දා ගීතාත්මය

විශාරද ආචාර්ය නන්දා මාලනීයයි සිංහල ගීතයේ පාර වාග්වේදයක් තැනූ ගායිකාව. පාර වාග්වේදයෙන් අදහස් කරන්නේ ගායනාවේදී ගීතයේ පද රචනාවත් සංගීත රචනාවත් තනු රචනාවත් සමතික්‍රමණය කිරීම. පද රචනාවේ භාවෝක්තිය සහ කාව්‍යෝක්තියත් සංගීත සංරචනාවේ නාද කාව්‍යෝක්තිය පසු කළ ඇයට අනන්‍ය භාවාත්වයෙන් ප්‍රකාශන විලාසයක් සෑම විට ම ඇයගේ ගායනා තුළ තනා ගත්තා. මේ නිසා සාමාන්‍ය තානවේදයකට, වාග්වේදයකට ඔබ්බෙන් තිබෙන ඉතා රසාර්ද්‍ර, රසාලිප්ත, හැඟුම්බර ගායන ප්‍රකාශයක්, ගායන විලාසයක් ඇයගේ ගීතවල තිබෙන්නේ. එයට බල පෑ ප්‍රධාන හේතුව ඇගේ සමාජානුයෝජන ක්‍රියාපටිපාටිය. ලංකාවේ යම් යම් ප්‍රමාණවලින් සමාජානුයෝජන ගුණවලින් සරුසාර සශ්‍රීක ගායක ගයිකාවන් කිහිපදෙනෙක් සිටියා. නමුත් ඒ අතුරින් විශාරද නන්දා මාලනියට ලැබෙන්නේ ප්‍රමුඛස්ථානයක්.

නන්දා මාලනිය සමාජානුයෝජනීය ගුණය ලැබුවේ සමාජයට සහභාගීත්ව නිරීක්ෂණයක් දක්වමින්. සැබෑ  ගැහැනියක් ලෙස ගීතවල තිබෙන කඩ පොළේ, වැඩ පොළේ, කම්හලේ, පාසලේ විවිධ සමාජ පීඨිකාවල වනිතාවක් හැටියට බිරිඳක් හැටියට ඇගේ චරිතය අමතක නොකොට ඈ මේ ජීවිතය පුරා කළ මහරු ජීවන සක්මනේදී පිරිපහදු කර ගත් අත්දැකීමයි ඇගේ සමාජානුයෝජනීය ක්‍රියා පිළිවෙත. එසේ ම  ඇගේ ශාස්ත්‍රීය සමාජානුයෝජනීය ක්‍රියා පිළිවෙතකුත් තිබෙනවා. එයට හේතු වුණේ ඉගෙනීමට ඇය දැක් වූ දක්ෂතාවත් මිහිරි කුහුලත්(Sweet Curiosity), නම් වූ ප්‍රකට බි්‍රතාන්‍ය විචාරකයා පවසනවා හොඳ කලාකරුවෙක් පරිපූර්ණ කලාකරුවෙක් වෙන්නට නම් ප්‍රතිභාව, ව්‍යුත්පත්තිය, සතතාභ්‍යාසය යන කාරණාවලට අමතර ව ඊට ඔබ්බෙන් මිහිරි කුහුල  A. R. Richards   සියුම් නිරීක්ෂණ චාතූර්යය (Keen Observation) සහ සාර ගවේෂණය (Deep Exploration) යන කාරණා තුනත් තිබිය යුතුයි කියා. නන්දා මාලිනිය සතු ව මේ සියල්ල තිබුණා.

​ශ්‍රී ලංකාවේ හමු වන මෙවැනි අනිත් ගායිකාව වන්නේ දිවංගත විශාරද මාලිනී බුලත්සිංහල. ඇයටත් පූර්වාදර්ශ වුණේ වචන උච්චාරණයේදී, දේශජ ගුණය උකහා ගැනීමේදී, ඊට සමාවේශ වීමේදී, ඊට රසාවේශ වීමේදී ආචාර්ය නන්දා මාලිනිය බව මාලිනී බුලත්සිංහල බොහෝ අවස්ථාවල ඉතා ගෞරවයෙන් සඳහන් කළා. නන්දා මාලිනිය විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනයක් නොලැබුවත් පතපොත කියවමින්, ජීවිතය ගවේෂණය කරමින්, ඇයට හමු වූ ව්‍යක්ත මෙන් ම විශාරද චරිතවල තිබුණු ශාස්ත්‍රීය පෞරුෂය දැක එයින් බොහෝ දේ උකහා ගන්නට, අධ්‍යයනය කරන්නට සෑම විට ම තමන්ගේ නැණ නුවණ භාවිත කළ ගායිකාවක්.

​ආචාර්ය නන්දා මාලිනිය ශාස්ත්‍රීය සමාජානුයෝජනයේදී හෙළ බස පිළිබඳ ඉතා ඉහළින් ම උනන්දු වුණා. හෙළ බසෙහි තිබෙන කාව්‍ය ගුණ භාරතීය විචාරකයන් වන විශ්වනාථ, දණ්ඩි, වාමන වැනි ශාස්ත්‍රඥයන් කාව්‍ය ගුණ නමින් හඳුන්වා තිබෙනවා, මේවා භාරතීය කාව්‍ය විචාර සංකල්පවලදී ​හඳුන්වන්නේ ඕජස, ප්‍රසාද, ශ්ලේෂ, සමතා, සුකුමාරතා, උදාරතා, මධුරතා, අර්ථව්‍යක්ති, කාන්ති සහ සමාධි යනුවෙන්. විවිධ අලංකාරෝක්තීන්ගෙන් සැදුණු ගීත තුළ මේ කාව්‍ය ගුණවලට රසාවේශ වෙමින් ඈ ගායනා කළා.

​ඈයට මේ හැදෑරීම ලැබෙන්නේ හෙළයේ මහා ගාන්ධර්වයා වූ ආචාර්ය පණ්ඩිත අමරදේවයන්ගෙන්. ඇය පතපොත කියවීමේ කාර්යයට හුරු කරන්නේ ද මුලින් ම පණ්ඩිත් අමරදේවයන්. අමරදේවයන්ගේ ශාස්ත්‍රීය සෙවණ, එතුමන් ළඟ තිබුණු මහා සුසාර ව්‍යුත්පන්නමය ගුණය ආචාර්ය නන්දා මාලිනියට බලපෑවා. මේ නිසයි නන්දා මාලිනිය ගායනා කරන කොට හෙළ බසෙහි තිබෙන බොහෝ ගුණ ඕජස, ප්‍රසාද, ශ්ලේෂ, සමතා ආදී කාව්‍ය ගුණ ලංකාවේ ගායන සංස්කෘතිය ඇතුළේ කිසි ම ගායිකාවකගේ කටහඬින් නොඇසෙන්නේ.

​විශාරද නන්දා මාලිනියගේ විශේෂත්වය වන්නේ සිංහල භාෂාවේ තිබෙන භාෂාත්මක සංගීතය ඇගේ කටහඬින් මතු කර දෙන්නට ඈ කළ ඵලදායකත්වය. ඇය ජාතියට දේශජ තානිකත්වයක් (Indigenous Tonality) තිළිණ කළ ගායිකාවක්. සංගීතයේදී තානිකත්වය යනු තෝරා ගන්නා කිසියම් කේන්ද්‍රීය ස්වරයක් වටා ගෙතෙන ස්වර සංරචනාවට. බටහිර සංගීතයේදී, සංගීත විචාරයේදී එය හඳුන්වන්නේ ‘සමස්ත භාවධ්වනිය’ යනුවෙන්.

​ඇගේ කටහඬේ තිබෙන මිහිරි පරතර (Sweet Intervals and Dynamics) සමාන වෙනවා නම්, සමාන වෙන්නේ එච්. එම්. ගේ සංගීතයට පමණයි. එච්. එම්. ජයවර්ධනගේ කටහඬෙත් එච්. එම්. ජයවර්ධනගේ සංගීතයේත් තිබුණා ලංකාව පොළොවේ ම තිබුණු මහා සාරය උරා ගත් නාදාවලියක්. ශ්‍රී ලාංකික සංස්කෘතියේ, මුළු ශිෂ්ටාචාරයේ කතාව ම වෙළා ගත්, උරා ගත් සංගීතයක්. නන්දාවන්ගේ කටහඬත් එවැන්නක්. ඇගේ කටහඬ නිශ්බ්දතාව සහ ශබ්දතාව අතර සැරිසරන මහා චාරිකාවක්. අපූර්ව වූ සංස්කෘතික සජ්ඣායනාවක්, සංස්කෘතික මංගල්‍යයක්.

​භාරතීය විචාර සංකල්පවල තිබෙන ‘ප්‍රසාද සංවේගය‘ යන්න සිංහල බසට යෙදෙන්නේ ‘පහන් සංවේගය’ යනුවෙන්. ඇරිස්ටෝටල් අපරදිග විචාරයේදී මෙය හඳුන්වන්නේ භාව විශෝධනය (Catharsis) කියා. භාව විශෝධනය යනු කිසියම් කලා කෘතියක් ආස්වාදනය කළ පසු ඉනික්බිති ව අපේ සිත සොම්නස්භාවයට, සුපහන්භාවයට පත් වීම. අපේ භාව කිසියම් විදිහක විපරිවර්තනයකට පත් වීමටයි භාව විශෝධනය කියන්නේ. ඒ නිසයි මාර්ටින් වික්‍රමසිංහ සූරීන් ලියන්නේ “හුදී ජන පහන් සංවේගය උදෙසා” කියා. යහපත් ජනයාගේ පහන් සංවේගය යන්නෙන් දැනවෙන්නේ ස්වභාවදහම සහ මිනිසා අතර ජීවන අරගලයේ තිබෙන නානාප්‍රකාර සංසිද්ධීන්වල චලිතය, ආරෝහණය සහ අවරෝහණය අසක්තතා ගුණයෙන් යුතු ව ඉතා සමුච්චිත ව ඉතා මැදහත් ව සිතන්නට පුළුවන්කම.

​කිසිදු කලාකරුවෙකුට ජීවිතය පිළිබඳ අන්තර්ඥානය නොලැබ ඒ ගමනේ අර්ථප්‍රාප්තියට, කූටප්‍රාප්තියට පත් වෙන්නට බැහැ. හොඳම උදාහරණ ආචාර්ය කේමදාසයන්, මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්, දිවංගත තිස්ස අබේසේකරයන්. ඔවුන් ශාස්ත්‍රෝක්තිය වගේ ම ජීවනෝක්තියත් ජීවන ගමන ඇතුළේ තිබෙන සුගැඹුර සහ විපරිණාමී තතු විද්‍යාවත් ජීවිතයට උරා ගත් අය. ශාස්ත්‍රෝක්තියත් ජීවනෝක්තියත් සම්පර්ක වන තැන ඉපදුණු නිමිත්ත, ඉපදුණු කවිය ඇගේ හෝ ඔහුගේ හෝ ප්‍රතිභාව. ආචාර්ය නන්දා මාලිනියගේ කටහඬ ඒ නිසයි හුදු සංගීතමය විලාසයක් පමණක් නොවන්නේ. ඇගේ කටහඬ මුළු ජාතියේ ම භාව සජ්ඣායනයක්.

‘සංගීත රත්නාකරය’ නම් ශාරංගදේවයන්ගේ කෘතියේ ඔහු දක්වනවා රසික (ඉතා හොඳ රසිකයෙක් වීම), රංජක (විචිත්‍රත්වය පිළිබඳ ව විවිධ මාන දැන ගැනීම), භාවක (විවිධ භාව සුසාර දැනුම), අනුකාර (තමා උගත් ශාස්ත්‍රීය සංගීතය සුඛෝච්චාරණය කරන්නට, රසෝච්චාරණය කරන්නට තිබෙන හැකියාව) සහ ශික්ෂාකාර (තමා හදාළ ශිල්ප ශාස්ත්‍රෝක්තීන් ඊළඟ පරම්පරාවට ලබා දීම) වශයෙන් ගායකයෙක් වීමට තිබිය යුතු පස්වැදෑරුම් සුලක්ෂණ. නන්දා මාලනියට මේ සියල්ල ම තිබුණා. ඈ ඉගෙන ගත් උත්තර භාරතීය රාගධාරී සංගීතයේ රසානුභාවය ඕනෑ ම අවස්ථාවක ඇයට සුඛෝච්චාරණය කරන්නට, රසෝච්චාරණය කරන්නට පුළුවන්කම තිබුණා. ඒ නිසයි ඈ ‘යමුනා ගං තෙර’ වැනි ගීතයක් ගායන කළ  විට රාධාගේ විලාපය, රාධාගේ ප්‍රේම සංවේගය අපට දැනුණේ. භීම්පලාසි රාගය ආශ්‍රිත ව ආචාර්ය රෝහණ වීරසිංහයන් සංගීතවත් කර, මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියූ ගීතය එතරම් අපට දැනෙන්නේ ඈ ඉතා විශිෂ්ට අනුකාර ගායිකාවක් නිසා. එනම් සුඛෝච්චාරණීය ගායිකාවක් නිසා.

වර්තමානයේ වෙනත් රටවල විශ්වවිද්‍යාලවල විෂයක් හැටියට උගන්වනවා සාමුහික ජන විඥානය සහ අවිඥානය (Collective Consciousness and Unconsciousness) මෙන් ම ඓතිහාසික සාර සජ්ඣායනය (Historical Perception). මේ විෂය උගන්වන්නේ අතීතයේ පොදුජන සමාජයේ තිබුණු මිනිසුන්ගේ සංස්කෘතික ස්මෘතිය, ජීවන අත්දැකීම්, රසානුභාවයන් ඊළඟ පරම්පරාව නිර්මාණ කාර්යයකදී යොදා ගන්නේ කෙසේ ද? යන්න රුකුලක් දෙන්නට, ඊට අභිප්‍රේරණයක් වෙන්නට. ආචාර්ය නන්දා මාලිනියට මේ සියල්ල තිබුණා. ඇය අපට විශේෂ වන්නේ ඒ නිසයි.

උත්තර භාරතීය රාගධාරී සංගීතය ඇය මැනවින් හදාරා තිබුණත් ඇය රාගයක් මත අසීමිත ව, රාගාසක්ත ව ගායනා කරනවා අපට ඇසී නැහැ. ඇය රාගධාරී සංගීතයෙන් අපේ භාෂාවට, ප්‍රකාශනයට අවශ්‍ය රසානුපාතය සුනිසි පදම පමණයි සෑම විට ම යොදා ගත්තේ. ඇය එය උචිත පදමට ගත්තා. නන්දාවන් සජ්ඣායනා කළේ ඇගේ ජීවිතය, සමාජයේ ජීවිතය, අපේ ජීවිතය, ශ්‍රී ලාංකික ජීවිතය. සමාජ ආර්ථික දේශපාලන ප්‍රවාහය ඔස්සේ දශක ගණනාවක් අපට අත්පත් කරගන්නට බැරි දේ පිළිබඳ නන්දා මාලනීය අපේ නැණ නුවණ අවදි කළා.

සංගීතාත්මක බුද්ධිය (Musical Intelligence) පමණක් නොවෙයි ඇයට අයිති වී තිබුණේ. දැන් සංගීතඥයෙක් වෙන්නට තිබිය යුතු හොඳම දේ සංගීතාත්මක බුද්ධිය වුවත් සංගීත විචාරයේදී කියැවෙන්නේ ඉහළ කලාකරුවෙක් වෙන්නට බහුවිධ බුද්ධි ශක්ති ගණනාවක් තිබීම අවශ්‍යයි කියා. ආචාර්ය නන්දා මාලනීයට බහුවිධ බුද්ධි ශක්තියක් තිබුණා.

බටහිර විචාරකයෙක් පවසනවා විශිෂ්ට කලාකරුවෙක් හඳුනා ගන්නට කාරණා තුනක් තිබිය යුතු බව. පළමුවැන්න විශ්වයේ මහා පොදු සාධකය හඳුනා ගැනීම. දෙවැන්න මේ මොහොතේ තිබෙන විෂයමය තත්ත්වය හඳුනා ගැනීම. තුන් වැනි කාරණාව තමන්ගේ අවට තිබෙන එෛන්ද්‍රිය බද්ධ සත්තාව අවබෝධ කර ගැනීම. ආචාර්ය නන්දා මාලනීය මේ කාරණාත්‍රය මැනවින් අවබෝධ කොට ගත් ගායිකාවක්. ඇය ශ්‍රී ලංකා ගීත වංශයට ස්වර අලංකරණයක් (Vocal Beautification) සකස් කළා පමණක් නොවෙයි වෙන ම ඥාන මීමංසාවක් ද සකසා දුන් ගායිකාවක්.

විශාරද ආචාර්ය නන්දා මාලනීය හෙළ ගීය අරා මැවූ චාරුත්වය, චමත්කාරය නමස්කාර පූර්වකවයි මේ මොහොතේ අප සමානුස්මරණීය ව හදවත්වලින් වැලඳගත යුත්තේ.

නඳන නන්දා ගීතාත්මය

RTI දස වස