#කලා

නටත් අයෙක් සුරා මතින්

යථාර්ථවාදය යනු ලංකාවේ වඩා ප්‍රකට සෞන්දර්ය ප්‍රකාශන මාදිලියයි. යථාර්ථවාදී කලා භාවිතයේ අතුරු ප්‍රභේද ගණනාවකි. ඉන් වඩා ප්‍රකට ප්‍රභේදය වන්නේ ජෝසප් ස්ටාලින් 1928 සෝවියට්  සමූහාණ්ඩුවේ නිල වශයෙන් ස්ථාපිත කළ සමාජ සත්තා යථාර්ථවාදය හෙවත් සෝවියට් යථාර්ථවාදය (soviet realism) වේ. සෝවියට් යථාර්ථවාදයේ මුඛ්‍ය ලක්ෂණය වූයේ කලාවේ මූලික අරමුණ ලෙස වැඩ කරන බලවේග ඉදිරිපත් කිරීම අනිවාර්යකරණයයි.

නමුත් යුරෝපය මූලික ව විශේෂයෙන් ලෝක යුද්ධ දෙක අතරමැද ප්‍රංශයේ සිනමාව ආශ්‍රිත ව බිහි වූ යථාර්ථවාදී ප්‍රභේදය වූයේ කාව්‍යාත්මක යථාර්ථවාදය (poetic realism) යි. කාව්‍යාත්මක යථාර්ථවාදයේ මුඛ්‍ය සෞන්දර්යාත්මක ලක්ෂණය වන්නේ ගතානුගතිකත්වයත් – නවීනත්වයත් අතර ගැටෙමින්, පිවිතුරු ආත්ම සහිත මිනිසුන් කුරිරු බාහිර යථාර්ථය නිසා පීඩාවට පත්වීම නිරූපණයයි. විසි වන සියවස ආරම්භයේදී පළමු ලෝක යුද්ධයෙන් පසුව යුරෝපයේ ජනප්‍රිය වූ මෙම කලා ප්‍රවණතාව ලංකාවේ නැවත පශ්චාත් යුදකාලීන කලාවක් ලෙස වර්ධනය වීම විමර්ශනය කළ යුතු ය.

දකුණු ආසියාවේ කාව්‍යාත්මක යථාර්ථවාදයේ සුවිශේෂ ම ප්‍රවර්ගය නිර්මාණය වන්නේ රබින්ද්‍රනාත්       තාගෝර්ගේ ශාන්ති නිකේතනය කේන්ද්‍රීය ව බිහි වූ කතා කලාව ඔස්සේ ය. විශේෂයෙන් සත්‍යජිත් රායිගේ සිනමාව තුළ ආරම්භයේ සිට ම මෙම ප්‍රවණතාව නිරීක්‍ෂණය කළ හැකි ය. ලංකාවේ ඊනියා සම්භාව්‍ය කලා කතිකාව නිරීක්ෂණය කිරීමේදී සාහිත්‍යය, වේදිකාව, සිනමාව හා ටෙලිනාට්‍ය තුළ නරක ලෝකයක ජීවත් වන අහිංසක වින්දිත ආත්ම කොතෙකුත් නිරීක්ෂණය කළ හැකි ය. රොෂාන් රවින්ද්‍ර අධ්‍යක්ෂණය කළ, රසික සුරවීරආරච්චි තිර රචනය කළ ‘නටත් අයෙක් සුරා මතින්’ ටෙලිනාට්‍යය යනු කාව්‍යාත්මක යථාර්ථවාදයේ වට්ටෝරුව සහිත නවතම ප්‍රකට නිර්මාණයයි.

බීමත්කම හා ලද්දුකරණය වූ විකල්පය.

බීමත්කම යනු පවුල තුළ නූතන පුරුෂ ආත්මය ලිට්මස් පරීක්ෂාවකට ලක් කරන දකුණු ආසියාතික කෝදුවකි. විශේෂයෙන් දකුණු ආසියාවේදී යටත්විජිත ජාතිකවාදය හා බැඳුණු සදාචාරාත්මක පරමාදර්ශී නූතන පුරුෂත්ව අභියෝගයට ලක්වන අවස්ථාවක් වන්නේ බීමත්කමයි. සම්මත ගතානුගතිකත්වයට විරුද්ධ වන අතරේ ම බටහිරකරණයට ද විරුද්ධ ප්‍රාචීනවාදී (oriental) නූතන පරමාදර්ශ නිර්මාණයේ  අභියෝගයක් වූයේ බීමත්කමයි. මීට ප්‍රකට ම දකුණු ආසියාතික උදාහරණය වන්නේ ආරම්භක යුගයේ කොලිවුඩ් ප්‍රධාන ධාරාවේ සිනමාවේ පුරුෂ වීරයන් නිර්මාණයේ කලාත්මක වට්ටෝරුවයි.

පශ්චාත් යටත්විජිත පුරුෂ කොලිවුඩ් කතා නායකයා නිර්මාණයේදී සී. එන්. අන්නදුරයිගේ ඩීඑම්කේතකරණය වූ කතා කලාවේ ප්‍රධානතම උපාය උපක්‍රමයක් වූයේ නූතන පරමාදර්ශී පහළ පාන්තික පුරුෂයා බීමත්කමින් මුදවා ගැනීමයි. එහිදී බීමත්කම සැලකුවේ පශ්චාත් යටත්විජිත ප්‍රභූන් පහළ පන්තිය පාලනය කිරීමට යොදා ගන්නා දෘෂ්ටිවාදී උපකරණයක් ලෙසයි. ප්‍රධාන ධාරාවේ කොලිවුඩ් යථාර්ථවාදය (වැඩ කරන පංතියේ සමාජ ප්‍රශ්න හා බැඳුණු සිනමාවක්) නිර්මාණයේ ප්‍රචාරකවාදී කලාත්මක අංගයක් වූයේ එලෙස ය.

ලංකාවේ ද සිනමාවේ ආරම්භයේදී ම අනගාරික ධර්මපාලගේ අමාද්‍යප ව්‍යාපාරයේ පණිවිඩය රැගත් සිනමාකරුවා වූයේ සිරිසේන විමලවීර ය. ටෙලි නාට්‍ය කලාව සැලකුව ද කතා ව්‍යුහය තුළ බීමත්කම පිළිබඳ ව සදාචාරාත්මක කලාත්මක විනිශ්චයන් යශෝරාවය, පළිඟු මැණිකේ, කන්දෙ ගෙදර, දූ දරුවෝ වැනි ටෙලිනාට්‍යවල පටන් කොතෙකුත් උදාහරණ ඇත. ආර්ථික පරිහානියත් න්‍යෂ්ටික පවුලේ විනාශයත් හා බැඳුණු තේමාව ආලින්දයේ කලාව ලෙස ලංකාවේ ටෙලි නාට්‍ය තුළ ප්‍රකට තේමාවකි. නමුත් ‘නටත් අයෙක් සුරා මතින්’ ටෙලිනාට්‍ය ඔස්සේ ඉදිරිපත් කරන බේබදු ලද්දු යනු විකල්ප බේබද්දෙකි. බිරිඳට හා දරුවන්ට ආදරයේදී වංචනිකයෙකු නොවන ලද්දු, දරුවාට සම්මත අධ්‍යාපනය වෙනුවට ක්‍රීඩාව තෝරා ගැනීමට උනන්දු කරවනා, ගේ දොර වැඩපළ සිදු කර බිරිඳට සහාය වන ඔහුගේ ජීවන ආශාව වූ සංගීතයේදී ද සම්භාව්‍ය විකල්පය නියෝජනය කරන්නෙකි. ලද්දු හා බැඳුණු මෙම විකල්පය සමස්ත ටෙලිනාට්‍යයට පමණක් නොව නරඹන්නාට ද දෘෂ්ටිවාදී හැඩයක් ලබා දෙයි.

උදාහරණයකට අවර ගණයේ ජනප්‍රිය කලාව හා සුභාවිත සම්භාව්‍ය සංගීතය පිළිබඳ ව මෙම නාට්‍ය නිර්මාණය කරනා විකල්පය යනු සරච්චන්ද්‍රකරණය වූ විකල්පයයි. එදිරිවීර සරච්චන්ද්‍ර යනු හුදු කලාකරුවකු නොව, ලංකාවට බෙංගාලි ශාන්ති නිකේතනයේ කලාපීය කලා ව්‍යාපෘතිය ස්ථාපිත කළ ඒජන්තයායි. එනම් ගතානුගතිකත්වය හා නව නූතනත්වය පිළිබඳ ව ප්‍රාචීනවාදී ඉර සලකුණු කළ දෘෂ්ටිවාදී බෙදුම් රේඛාවයි. සරල ව මෙම ව්‍යාපෘතිය සාරාංශ කළහොත් මොවුන්ට එකවර සම්භාව්‍ය බටහිර කලාත්මක වටිනාකම් එක් රැස් කර ගනිමින්, බටහිර කේන්ද්‍රීය ව බිහි වූ කලාත්මක කර්මාන්තයේ හුවමාරු වටිනාකම් සහිත සංස්කෘතික නිෂ්පාදන සඳහා විරුද්ධ වීමට ද අවශ්‍ය විය. ‘නටත් අයෙක් සුරා මතින්’ ටෙලිනාට්‍යයේ ලද්දුගෙන් තනුවක් නිර්මාණය කර ගැනීමට පැමිණෙන විදූෂ නම් චරිතය ඔස්සේ නාට්‍යයට මෙම කතිකාව එන්නත් කර ඇත. සහශ්‍රකයේ තෙවැනි දශකයේ පවුල් ජීවිතවල මැද කාලය ගෙවන අනූව දශකයේ තරුණයන්ට සරච්චන්ද්‍රවාදය යනු විකල්පයකි. මේ නාට්‍ය නරඹනා ප්‍රේක්ෂාගාරය යනු ද එම විකල්පයයි. ටෙලි නාට්‍යයේ ඉතා නිර්මාණශීලී ආරම්භක නාමාවලියේ ද පවතින්නේ චිත්‍ර කතා සැලසුමකි. අද වන විට අනූව දශකය යනු අතීතකාමී ප්‍රේක්ෂාවකි. අනූව යනු සරච්චන්ද්‍රටත් ආදරය කළ යුගයයි. ලද්දු නිරන්තරයෙන් ගායනා කරන්නේ ද සරච්චන්ද්‍රකරණයේ ගුවන්විදුලිය ඔස්සේ ප්‍රකට වූ ඊනියා ගුණාත්මක ඉහළ රසයක් සහිත කලාව ය. කලාව පිළිබඳ ව මෙම ඉහළ/ පහළ සහසම්බන්ධ ප්‍රතිපක්ෂය යනු එක අතකින් දෛනිකත්වය තුළ ධනවාදයේ පරිභෝජනවාදයට කරවටක් ගිලුණ ආත්මවලට, ඊනියා අතීතකාමී (ලද්දුගේ විශ්වවිද්‍යාල අතීතයද)  විකල්ප විමුක්තියක් පොරොන්දු වන දෘෂ්ටිවාදයකි

බූපති නලින් වික්‍රමගේ