#දේශපාලන

ශ්‍රේෂ්ඨ ඔක්තෝම්බරය

පංති සමාජය යනු මිනිසා සුළුතරයක පීඩනයට ගොදුරු කළ දුෂ්ට ආකාරවල පෙළක්. එයට එරෙහි ව ශ්‍රේෂ්ඨ ඔක්තෝම්බරය, මානව විමුක්තිය පිළිබඳ සිහිනය යථාර්ථයක් කළා. ලෙනින්ලා බිහි කළ සෝවියට් රුසියාව නම් දැවැන්ත සාමුහික සමාජය අද නැහැ. එහෙත් එයින් මානව විමුක්තියට දුන් ආදර්ශය හා ධෛර්යය අදත් එලෙස ම පවතිනවා. නව සමාජ ක්‍රමයක් බාහිර කුමන්ත්‍රණ හා අභ්‍යන්තර දියාරුවීම් හේතුවෙන් ඇදවට්ටවන්නට පුළුවන්. එහෙත් ඉන් ජනිත ප්‍රායෝගික සත්‍යය යල්පැන ගිය ධනවාදී ලෝකයේ මානව ඛේදවාචකය යළි යළිත් ඉස්මතු කොට පෙන්වනවා. 2026 ඔක්තෝම්බර් 17 දිනට ‘රුසියන් විප්ලවය’ නමින් ප්‍රකට මේ මානව සංසිද්ධියට හරියට ම වසර 109ක්. නව සමාජයක් ගොඩනඟන, වෙහෙසට උරදෙන ග්‍රී ලාංකික ජාතිය මේ මොහොතේ එය සැමරුමකට සීමා නොකර පාඩමක් කොට ගත යුතු වෙනවා.

ඔක්තෝම්බර් විප්ලවය යනු සාර් රජ පෙළපතේ වැඩවසම් අධිපති නටබුන්වලටත් රුසියානු දුබල ධනපති ආධිපත්‍යයටත් එරෙහි ව වැඩ කරන ජනතාවගේ සාමුහික නැගී සිටීමක්. එය වැඩ කරන පංතියේ රාජ්‍ය බලය තහවුරු කිරීමක් පමණක් නොව, මානව සමාජය විප්ලවීය ලෙස නව ගොඩනැංවීමක්. ලෙනින් වැනි ශ්‍රේෂ්ඨ මාක්ස්වාදී ගුරුවරුන් නායකත්වය ගත් මේ මහා මානව මෙහෙයුම ලෝක සිතියමට සෝවියට් දේශය නම් පෘථිවියෙන් හයෙන් පංගුවක විශාල විමුක්ති සුරපුරක් බිහි කළා. එය යල්පැන ගිය ධනවාදයට වෛරයක් සහ පරාජයක් වුණා. දශක හතකට වැඩි මේ මානව ගොඩනැඟීම නිර්මාණය කළේ තවත් රටවල් 20ක් සමඟ දැවැන්ත සමාජවාදී රාජ්‍ය පද්ධතියක්. ඉන් අද යෝධ චීනය, වියට්නාමය, කියුබාව, උතුරු කොරියාව සහ ලාඕසය ධනවාදයට එරෙහි තමන්ගේ වූ සමාජවාදී මාවත් ඔස්සේ පොරබදමින් සිටිනවා. එහෙත් ලොව පුරා යල්පැන ගිය ධනවාදයට එරෙහිවත් නව සමාජවාදය වෙනුවෙනුත් ඇසෙන දැවැන්ත හඬ ධනපති සඳළුතල සසල කොට තිබෙනවා. ඒ, ඒ තරමට ම ශ්‍රේෂ්ඨ ඔක්තෝම්බරය බිහි කළ සාධාරණත්වයේ සමාජය ප්‍රබල නිසා.

සෝවියට් දේශයේ බිඳවැටීම සහ ධනවාදයේ වත්මන් අර්බුදය නම් ප්‍රකාශනයේ මෙලෙස සඳහන් වෙනවා. ‘සමාජවාදයේ ජයග්‍රහණ කෙතරම් විශිෂ්ට දැයි වටහාගත හැකි වන්නේ, පූර්ව විප්ලවීය සමාජ තත්ත්වය වටහාගත් විටදී. සැබවින් ම සමාජවාදී විප්ලවයට පෙර රුසියාවේ ජනගහනයෙන් අතිවිශාල පිරිසක් අන්ත දුක්ඛිත ජීවිතයක් ගත කළා. 1894 සිට 1917 වසර දක්වා රාජ්‍ය පාලනය හෙබවූ දෙවැනි නිකලස් රජ සමයේ රුසියාවේ ඉඩම්වලින් 2/3ක් ම අයත් ව තිබුණේ උසස් පංතිවලට. රජ පවුල, පල්ලිය, රදළ ඉඩම් හිමියන් සහ කුලාකයන් මීට අයත්. රටේ කෘෂිකාර්මික ඉඩම්වලින් 1/3ක් ඔවුන් සතු වුණා. 1913 වසර වන විට රුසියානු ජනතාවගේ 82%කට වැඩි පිරිස ග්‍රාමීය ජනතාව. 1897 වසර වන විට රුසියාවේ ලිවීමේ කියවීමේ (සාක්ෂරතාව) හැකියාව  24%ක් තරම් ඉතා පහත් මට්ටමක පැවතුණා. ධනේශ්වර ක්‍රමය පැවැතුණත් ඉඩම් හිමියන් යටතේ ප්‍රවේණිදාසයන් ද වුණා. රුසියානු ලේඛක ගොගොල්ගේ සුප්‍රකට ‘මළ මිනිස්සු’ නවකතාවේ රුසියාවේ මියගිය වහලුන්ගේ නාම ලේඛන එකතු කොට රජයෙන් වන්දි ගන්නා මියගිය මිනිස්සුන් පවා විකුණන මිනිසෙකු පිළිබඳ ව කියැවෙනවා. ඒ නවකතාවේ ගොගොල් දක්වන්නේ විප්ලවයට පෙර රුසියානු සමාජ යථාර්ථය. එවකට ගොවියන් අන්ත දිළිඳු, අන්ත නූගත් පිරිසක් වුණා. ඉතා නොදියුණු ශ්‍රම උපකරණ පරිහරණය කරන්නන් සිටියා. සී සෑම සඳහා ඔවුන් යොදා ගත්තේ ලී නගුල. එලෙස ඉතා මහත් සේ අසංවර්ධිත ව තිබූ රුසියාව ඉන් වසර 30 – 40ක් ඇතුළත අභ්‍යාවකාශය තරණය කළ පළමු ජාතිය බවට පත් කරන්නට සමාජවාදය සමත් වුණා.’

1917 ඔක්තෝම්බර්, වැඩ කරන පංති බලය තහවුරු කළ රුසියාව යුද්ධය නම් අභියෝගයට මුහුණ දුන්නා. එක් පසෙකින් විදෙස් රටවල් 14ක ආක්‍රමණ. අනෙක් පසෙන් සිව් වසරක සිවිල් යුද්ධය සමාජවාදී ළදරු රාජ්‍යයට පහර දුන් නිසා වසර 04කට වැඩි අතිදුෂ්කර කාල පරිච්ඡේදයක අවසානයේයි සමාජවාදය ගොඩනැඟීම ඇරඹෙන්නේ. එහෙත් දෙවැනි අභියා්ගය ද ලෙනින්ලා ඉදිරියේ සිට ගත්තා. ඒ, පසුගාමී රටක සමාජවාදය ගොඩනැඟීම පිළිබඳ අභියෝගය. මන්ද සමාජවාදය ඇරඹෙන්නේ ධනවාදී සංවර්ධනයේ ඉහළ ම තැනින් නිසා. එහෙත් දැවැන්ත අරගල, කැපවීම් ඔස්සේ ලැබූ වැඩ කරන පංති බලය ආපසු හරවන්නට බැහැ. එය ජනතාව පාවාදීමක්. ඔවුන් එම අභියෝගය බාර ගත්තා. පසුගාමී රටක අසම්පූර්ණ ධනේශ්වර සංවර්ධනයත් සමාජවාදී විප්ලවය බාර ගත්තා.

ලෙනින්ලා නිෂ්පාදන ආර්ථිකයක් ඔස්සේ සමාජ ධනය වර්ධනය කොට එය මෙතෙක් පීඩිත ව සිටි ජනතාවට සාධාරණ ව බෙදී යන යාන්ත්‍රණයකින් ප්‍රවේශය ලබා ගත්තා. ආරම්භය ම පහසු වුණේ නැහැ. වරෙක ක්‍රෙම්ලිනයේ සිහින දකින්නා ලෙස හැඳින් වූ ලෙනින් සමාජවාදය ජයග්‍රහණය නම් රුසියාව විද්‍යුත්කරණය සම්පූර්ණ කිරීම ලෙස දුටුවා. එවකට ලෝකයේ දියුණුතම තාක්ෂණය හා නිෂ්පාදන බලවේගයක් වන විදුලිය නිපදවීම හා පාලනය සෝවියට් රුසියාව 1921 වසරේදී ආරම්භ කළා. වසර 5-10ක කාලයේ ආරම්භ කළ විදුලි බලාගාර 30න් 20ක් ගල් අඟුරු බලාගාර. ඉන් 10ක් ජල විදුලි බලාගාර. සැලසුම් කළේ තිබෙන ස්වාභාවික සම්පත් අනුව. අවසානයේ විදුලිය ගමට ගොස් විදුලි උපකරණ විසින් ගෘහජීවිතය පහසු කරනු ලැබුවා. විදුලි බුබුළ ඈත පිටිසර ගොවිබිම දක්වා ව්‍යාප්ත වුණා. වැඩිහිටියන් මේ විදුලි බුබුළු මතින් එක් ව රට තොට තොරතුරු දැන ගත්තා. විදුලිය මොනතරම් රුසියානු ජන ජීවිතයට බලපෑවා ද යත් පුරවැසියා විදුලි බුබුළ හැඳින්වූයේ ‘ඉලීච්ගේ පහන’ ලෙස. ඉලීච් යනු ව්ලදර්මීර් ඉලීච් ලෙනින්.

රුසියාව තවත් අභියෝගයකට මුහුණ දුන්නා. ඒ, ජර්මන් – රුසියා යුද්ධය. මෙය ජනතාවට අවශ්‍ය වූවක් නොව සමාජවාදයට බාධා වූවක්. එය ගිවිසුම් ඔස්සේ නවතා දැමුවා. එසේ නොවන්නට දශක හතකට වැඩි සෝවියට් සුරපුරය දකින්නට නොහැකි වෙනවා.

සෝවියට් ජයග්‍රහණ පිළිබඳ විමසා බැලීමත් මෙහිදී වැදගත්. 1917 වසරේ ඉඩම් නොමැති ගොවියන් සියල්ලන්ට ම ඉඩම් ලබා දුන්නා. 1917 වසර වන විට 24%ක් වූ සාක්ෂරතාව 1936 වසර වන විට 86% දක්වාත් 1990 වසරේදී එය 99.4% දක්වාත් ඉහළ නැංවුණා. ලිඛිත හෝඩියක් නොතිබුණු ජනතාවට අකුරු පවා සකස් කර දී තම මව්බසින් පාසැලේ හා විශ්වවිද්‍යාලයේ ඉගෙනීමට සැලැස්සුවා. 1917 වසරේදී රටේ වූ 410, 000ක සමස්ත වෘත්තිකයන් සංඛ්‍යාව වෙනුවට 1960 වසර වන විට ඉංජිනේරුවන් පමණක් 1,080,000ක් බිහි කළා. 1980 වසර වන විට ලොව ප්‍රකාශිත පොත්වලින් 1/6ක් සෝවියට් දේශයට අයත්. කර්මාන්ත වර්ධන වේගය 1918 – 1958 වසර දක්වා 10%ක වේගයකින් පවත්වා ගැනීමට සමත් වුණා. එකල එක්සත් ජනපදයේ කර්මාන්ත වර්ධන වේගය ඉන් අඩකට ද අඩුයි. 1920 වසර වන විට විදුලිය හිඟ රටක් වූ සොවියට් දේශය 1958 වසර වන විට විදුලිය කිලෝ වොට් කෝටි 233,000ක් පමණ නිපදවූවා. සෝවියට් දේශය 1960 දශකයේ ලොව විශාලතම ආහාර නිෂ්පාදකයා බවට පත් කිරීමට සමාජවාදී රජය සමත් වුණා. දෙවැනි ලෝක යුද්ධයේදී විශාල විනාශයකට ලක්වෙමින් ජර්මන් නාසි හමුදාව පරදන සටනේ බලවත් ම ප්‍රහාරය නැගෙනහිර පෙරමුණෙන් එල්ල කළේ සෝවියට් හමුදාව. එහිදී මිලියන 27ක සෝවියට් ජනතාවක් දිවි පිදුවා. එය එක්සත් රාජධානිය හා ප්‍රබල ධනවාදී රටවලට වඩා විශාල ජීවිත ගණනක්. නැගෙනහිර පෙරමුණේ සෝවියට් ප්‍රහාරයට පෙර ජර්මන් හමුදා රුසියාව විනාශ කරද්දී සමාජවාදයට එරෙහි ධනවාදි මිත්‍ර පෙරමුණේ රටවල් එයට ඉඩ දී බලා සිටියා. 1957 වසර වන විට ලොව ප්‍රථම අභ්‍යාවකාශ යානය ද අභ්‍යවකාශයට යැවූ ප්‍රථම කාන්තාව ද ප්‍රථම ගගනගාමියා ද බිහි කළේ සමාජවාදී සෝවියට් දේශය. 1952, 1964, 1968 ඔලිම්පික් තරගාවලිහිදී දෙවැනි ස්ථානයටත් 1956, 1960, 1972, 1976, 1980 තරගාවලිහිදී ප්‍රථම ස්ථානයටත් ඔවුන් පත් වුණා.

සෝවියට් සමාජයේ විසිවසරක් පහස ලද ඉරීනා මලෙන්කෝගේ වචනයෙන් පවසන්නේ නම් “…දෙවියනි, මරනින් පසු දෙව්ලොවක් ඇත්නම්, මා ඊට සුදුසු නම්, එය සෝවියට් සංගමය වැනි තැනක් කරනු මැන! සෝවියට් සංගමය, අප විසින් සූකරයන්ගේ කසළ වෙත විසිකර දමන ලද වටිනා මුතු ඇටයකි. අප සිතුවේ, තවත් බෙලි කටු තුළ එවැනි මුතු ඇට බොහෝ ඇති බවකි. එහෙත් ඒවා සියල්ල හිස් ඒවා බව අපට ඒත්තු ගියේ පසුව ය…”

ධනුෂ්ක හර්ෂණ වික්‍රමරත්න