දල්ලෙන් දලුලන්න ඉඩ දෙන්න
රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන තේ කර්මාන්තයේ ඉදිරි ප්‍රවර්ධනය වෙනුවෙන් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය නව පියවරක් ගෙන තිබෙනවා. ඒ, කුඩා තේ වතු හිමියන් ඉලක්ක කර ගනිමින් පොකුරු තේ ගම්මාන 500ක් ඇති කිරීමේ ව්‍යාපෘතියක් අරඹමින්.
ශ්‍රී ලංකාවේ තේ වගා කරන දිස්ත්‍රික්ක 14ක් තිබෙනවා. ඒ යටතේ ඇති තේ පරීක්ෂක කොට්ඨාස ගණන 144ක්. ඒ අනුව පළමු අදියර සඳහා තේ ගම්මාන 144ක් 2026 වසරේදී ආරම්භ කෙරෙන අතර 2027 වසරේදී ගම්මාන 150ක්, 2028 වසරේදී ගම්මාන 150ක් සහ 2029 වසරේදී ගම්මාන 56ක් ලෙස මේ ව්‍යාපෘතිය අවසන් කිරීමටයි නියමිත.
මෙරට තේ නිෂ්පාදනයෙන් 95%ක් අපනයනය කරන අතර 5%ක් දේශීය පරිභෝජනය සඳහා යොදා ගැනෙනවා. ශ්‍රී ලංකාවේ තේ (Ceylon Teax) ලෝකය හඳුනා ගන්නේ මෙරටට ම ආවේණික වූ රසයක් අන්තර්ගත වන නිසා. 2025 වසරේ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඩොලර් බිලියන 17.2ක්. එයින් ඩොලර් බිලියන 1.51ක් ඉපැයීම් කර ඇත්තේ තේ කර්මාන්තයෙන්. 2030 වසර වන විට රජයේ ඉලක්කය වන්නේ මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 36 දක්වා ඉහළ නැංවීම. ඒ සඳහා තේ කර්මාන්තයෙන් අපේක්ෂිත අපනයන ආදායම ඩොලර් බිලියන 2.5ක්.
2024 වසර ගත් විට ශ්‍රී ලංකාවේ සමස්ත තේ නිෂ්පාදනය (නිමි තේ) කිලෝ ග්‍රෑම් මිලියන 264ක්. 2030 වසර වන විට එය කිලෝ ග්‍රෑම් මිලියන 400ක් දක්වා වර්ධනය කිරීම රජයේ අරමුණක්. මේ ඉලක්ක සපුරා ගැනීම සඳහා තේ කර්මාන්තයේ විප්ලවීය පියවර ගත යුතු වනවා. එලෙස ජාතික ඉලක්ක සැපිරීමට ගත් එක් ක්‍රියාමාර්ගයක් වශයෙන් කුඩා තේ වතු හිමියන්ගේ ආර්ථිකය හා සාමාජීය මට්ටම ශක්තිමත් කිරීම උදෙසා තේ ගම්මාන 500 ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහන් කරන්න පුළුවන්.
මෙරට තේ වගාව සිදු කරන දිස්ත්‍රික්කවල ජනතාවගෙන් බහුතරයකගේ ආර්ථිකය ශක්තිමත් වන්නේ තේ කර්මාන්තයෙන්. ඒ අතර කුඩා තේ වතු වැවිලිකරුවන් (අක්කර 10ට අඩු), මධ්‍ය පරිමාණ වැවිලිකරුවන් (අක්කර 10ත් 50ත් අතර), මහා පරිමාණ වැවිලිකරුවන් (අක්කර 50ට වැඩි) ලෙස වර්ග කරන්න පුළුවන්. මෙරට සමස්ත තේ නිෂ්පාදනයෙන් 75%ක් සම්පූර්ණ කරන්නේ කුඩා තේ වතු හිමියන්. ඔවුන් ඒ දායකත්වය සපයන්නේ මෙරට භූමියෙන් හෙක්ටයාර 158,000කට ආසන්න ව තේ වගාවේ නියැළෙමින්.
නැවත සිටුවීම් හා වගා කිරීම් දුර්වල මට්ටමක පැවතීම නිසා භූමියෙන් උපරිම ඵලදාවක් ලබා ගැනීමට නොහැකිවීම කුඩා තේ වතු හිමියන්ට ඇති ප්‍රධාන ගැටලුව බවයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පෙන්වා දෙන්නේ. අදහස් දක්වන ඔහු; “තේ කර්මාන්තයේ නැවත වගාව වේගවත් කිරීම, පුනර්ජනනීය කෘෂිකර්මාන්තයට යොමු කිරීම, යහපත් කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කිරීමට තේ වගාකරුවන් හුරු කිරීම සඳහා මේ තේ ගම්මාන 500 ව්‍යාපෘතිය අප ඉලක්ක කර ගන්නවා. එහිදී බලාපොරොත්තු වන්නේ නිවැරදි දලු නෙළීමේ හුරුව ඇති කිරීමටත් නිවැරදි ක්‍රමවේදවලට පොහොර භාවිතයත් පස සංරක්ෂණයටත් වගාකරුවන් හුරු කරවීමෙන් ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක අස්වැන්නක් ලබා ගැනීමට වැවිලිකරුවා උනන්දු කරවීම. දලු අස්වැන්නත් වගාකරුවන්ගේ ආදායමත් වර්ධනය කර ගැනීමට මෙයින් අවකාශ ලැබෙනවා”.
කුඩා තේ වතු හිමියන් දිරිගැන්වීම සඳහා ක්‍රියාත්මක මේ ව්‍යාපෘතිය ඔස්සේ අඩු පොලී අනුපාත යටතේ ණය ලබාදීමටත් ණය ලබා ගැනීමේ ක්‍රියාවලිය ජනතාවට පහසු කිරීමටත් තේ වගාකරුවන්ගේ අනාගතය වෙනුවෙන් රක්ෂණාවරණ ක්‍රමයක් සහ විශ්‍රාම වැටුපක් ලබාදීමටත් රජය බලාපොරොත්තු වෙනවා. තේ කර්මාන්ත ක්ෂේත්‍රයේ තවත් ප්‍රමුඛතම ගැටලුවක් වන්නේ ප්‍රමිතිගත පැළ හිඟය. ඒ සඳහා විසඳුමක් ලෙස මේ ව්‍යාපෘතිය යටතේ ගම්මාන 500 ඉලක්ක කර ගනිමින් පැළ තවාන් වෙන් කර ප්‍රමිතිගත පැළ ක්ෂේත්‍රයේ සිටුවීමටත් නව ප්‍රභේදවල පැළ ලබාදීමටත් පියවර ගන්නා බවයි විෂයභාර අමාත්‍යවරයා සඳහන් කළේ.
අදහස් දක්වන වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න; ”මේ ව්‍යාපෘතිය ඔස්සේ තේ වගාව ආශ්‍රිත ව තවත් කර්මාන්ත දියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් තේ වගාකරුවා ව්‍යවසායකයෙක් බවට පත් කිරීම සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. අත් කර්මාන්තයෙන් සකසන තේ, නිෂ්පාදන සඳහා යොමු කිරීමටත් ඒ සඳහා පුහුණුව ලබාදීමටත් ආධාර කිරීමටත් සැලසුම් සකසා අවසන්. මේ ක්ෂේත්‍රයේ පවතින ශ්‍රම හිඟයත් ගැටලුවක්. ඒ සඳහා පිළියම් ලෙස ගම්මාන 300ක් ඉලක්ක කර ගනිමින් තාක්ෂණය හඳුන්වා දී යාන්ත්‍රීකරණය කිරීමේ සැලසුමක් තිබෙනවා. තවදුරටත් තේ ඉඩම් ඌන උපයෝගී ව තැබීමේ හැකියාවක් නැහැ. විවිධ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර ඉඩම් සඳහා කුරුඳු, කොකෝවා, කරාබුනැටි, කරදමුංගු, ගම්මිරිස් වැනි අතුරු බෝග හඳුන්වා දී අතුරු ආදායම් මාර්ග ලැබෙන ලෙස වැඩපිළිවෙළක් සකස් කිරීමට නියමිතයි. මේ ගම්මානවල යටිතල පහසුකම් දුර්වල මට්ටමක පවතින නිසා පහසුකම් ශක්තිමත් කිරීමට නියමිතයි. තේ කර්මාන්තයත් සමඟ සංචාරක ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම මෙහි තවත් අරමුණක්”.
කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ මූලිකත්වයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික්ක 14ක දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු වැනි පාර්ශ්ව ගණනාවකගේ සහයෝගය මේ ව්‍යාපෘතිය සඳහා ලැබෙනවා. ඒකාබද්ධ පරිශ්‍රමයකින් හා සංවිධානාත්මක ව වගාකරුවන්ට වඩාත් හොඳ නිෂ්පාදන පරිසරයක් ලබාදීමත් එයින් තේ ගොවියාගේ ජීවන තත්ත්වය උසස් කිරීම ඉලක්කයක් බවත් වගාකරුවාගේ සිට පාරිභෝගිකයා දක්වා වඩාත් හොඳ ගුණාත්මක නිෂ්පාදනයක් ලබාදීමත් මේ කාර්යයේ ප්‍රධාන අරමුණු අතර තිබෙන බවයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ සඳහන් කරන්නේ.
කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සිදු කරන්නේ ව්‍යාප්ති සේවාව ලබාදීම සහ කුඩා තේ වතු වගාකරුවන්ට යෙදවුම් ලබාදීම. එහි සාමාන්‍යාධිකාරී ක්‍රිෂාන්ත වික්‍රමසිංහ; “අප ආයතනය යටතේ තේ වගාකරුවන් 418,000ක් සිටිනවා. මේ ප්‍රජාව සඳහා සේවාව සැපයීමට සිටින්නේ සීමිත සේවක පිරිසක්. ඒ නිසා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා 1200ක සමිති ජාලාව යොදා ගැනෙනවා. 2026 වසරේ කුඩා තේ වතු සංවර්ධනය සඳහා රුපියල් මිලියන 1050ක ප්‍රතිපාදන හිමි වී තිබෙනවා. ඒ ප්‍රතිපාදනවලින් තේ ගම්මාන 500 වැඩසටහන සඳහා රුපියල් මිලියන 100ක් යොදා ගැනෙනවා”.
තේ පඳුරේ සිට පරිභෝජනය දක්වා ක්‍රියාවලිය නියාමනය, තේ වතු සංවර්ධනය, ක්ෂේත්‍රයේ සහනාධාර වැඩසටහන් දියත් කිරීම, ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය ජාත්‍යන්තර වශයෙන් ප්‍රවර්ධනය, ඒ සඳහා අවශ්‍ය මූල්‍ය සහනාධාර ලබාදීම සිදුකරන්නේ ශ්‍රී ලංකා තේ මණ්ඩලයෙන්. ගුණාත්මක තේ දලු ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ලීලානාත් වික්‍රමාරච්චි පවසන්නේ 2030 වසර වන විට රුපියල් බිලියන 2.5 අපනයන ඉලක්කය වෙත යාමට නම් සාම්ප්‍රදායික තේ අපනයනයෙන් ඔබ්බට ගොස් අතින් සාදන තේ සඳහා (Hand Made Tea& ) අගය එකතු කර අපනයනය කළ යුතු බව. විවිධ රස වර්ග ගැන්වූ තේ, ලෝකයේ නව ප්‍රවණතාවක් බවට පත් ව තිබෙන පසුබිමක ශ්‍රී ලංකා සංස්කෘතියට අනන්‍ය රස එකතු කර ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත යැවීමේ එක් පියවරක් ලෙස මේ ව්‍යාපෘතිය වැදගත් සංධිස්ථානයක් වනු ඇති බවයි ඔහුගේ අවධාරණය.
නිසි ක්‍රමවේදයකින් දලු නෙළීමෙන් දලු නිෂ්පාදනය ඉහළ නංවා ගැනීමට පුළුවන්. දළ වශයෙන් අක්කරයකින් මාසයකට ගත හැකි දලු ප්‍රමාණය 200නට-250නටක්. අස්වැන්න වැඩි කිරීම සඳහා 2027 වසරේදී අධි ඝනත්ව වගා ආදර්ශයක් සෑම තේ ගම්මානයක ම ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇති අතර එහිදී මාසයකට තේ දලු 1000නටට ආසන්න ව නෙළා ගැනීම අපේක්ෂාවක්.






