වංගු නැති ඩෙංගු
ඩෙංගු යනු ලෝකයේ රටවල් 100කට අධික සංඛ්‍යාවක් පීඩා විඳින වෛරසයක්. 1960න් පසු ඩෙංගු රෝගයේ පැතීරිම ඉතා ශිීඝ්‍රයෙන් වර්ධනය වුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන ආකාරයට වර්තමානයේ වසරකට මිලියන 100-400 දක්වා අතර වන පිරිසක් ඩෙංගු රෝගයෙන් පීඩා විඳිනවා.
ඩෙංගු වෛරසය පතුරුවන්නේ Aedes aegypti සහ Aedes albopictus යන ගැහැනු මදුරුවන්. බිත්තර, කීට, පිළවා සහ වැඩුණු මදුරුවා ලෙස ඩෙංගු මදුරුවාගේ ජීවන චක්‍රය අදියර හතරකින් සිදු වනවා. එම චක්‍රය සම්පූර්ණ වීමට ගතවන කාලය දින 8ත් 10ත් අතර. මේ චක්‍රයෙන් 70%ක් පමණ සිදු වන්නේ පිරිසිදු නිශ්චල ජලයේ වන අතර ඩෙංගු මදුරුවා දෂ්ට කරන්නේ සාමාන්‍යයෙන් උදෑසන 6.00-9.00 අතර සහ සවස 4.00-6.00 අතර කාලයේ. සති 2-4 අතර කාලය මොවුන්ගේ ආයු කාලය වන අතර ඩෙංගු මදුරුවා මීටර් 100-200ත් අතර දුරකට පියාසර කරනවා.
DEN¹-1 සිට DEN¹-4දක්වා සෙරොටයිප් (Serotypes) 4ක් ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වා දී තිබෙනවා. සෙරොටයිප් යනු එක ම වෛරසයක ඇති ප්‍රතිදේහක වශයෙන් වෙනස් වූ උප වර්ග. මෙහිදී එක් සෙරොටයිප් උප වර්ගයක් ආසාදනය වී සුව වූවෙකුට නැවත වෙනත් සෙරොටයිප් උප වර්ගයක් ආසාදනය වීමෙන් දරුණු ඩෙංගු වෛරස තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඔවුන්ගේ අධ්‍යයන ඔස්සේ පෙන්වා දී තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පවසන්නේ පසුගිය වසරවල පැවති ආවේණික රෝගී (Endemic disease) නැතිනම් සාමාන්‍ය ඩෙංගු වෛරස තත්ත්වයට වඩා වෙනස් උප වෛරස තත්ත්වයක් මේ වසරෙදී ව්‍යාප්ත ව ඇති බව. ඒ අනුව පසුගිය වසරවල DEN¹ 3 උප ඩෙංගු වෛරස විශේෂයට රෝගීන් ගොදුරු වූ අතර මේ වසරේ DEN¹ 2 යන උප ඩෙංගු වෛරසයේ ව්‍යාප්තියක් දක්නට ලැබෙන බවත් ඔහු අවධාරණය කරනවා. ඒ නිසා මීට පෙර DEN¹ 3 ආසාදිත වූ රෝගියෙකුට නැවත මේ වසරේ DEN¹ 2 ආසාදනය වුවහොත් රෝගී තත්ත්වය දරුණු විය හැකි බවයි ඔහු කියා සිටින්නේ.
අදහස් දක්වන වෛද්‍ය කපිල කන්නන්ගර; “රජයේ රෝහල් හා පෞද්ගලික රෝහල්වලින් ලැබෙන වාර්තා අනුව 2026 ගෙවුණු මාස 06 ඇතුළත පමණක් (ජනවාරි 01-ජූලි 25) මෙරටින් ඩෙංගු රෝගීන් 80,000 ඉක්මවා වාර්තා වී තිබෙනවා. ජූලි මාසයේ පළමු දවස් දහය තුළ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 10685ක්. ඒ අනුව දිනකට ඩෙංගු රෝගීන් 1000ක් පමණ වාර්තා වෙමින් තිබෙනවා. වාර්තා වූ සමස්ත රෝගීන්ගෙන් 52.7%ක වැඩි ම ප්‍රතිශතයක් වාර්තා වන්නේ බස්නාහිර පළාතේ ගම්පහ, කොළඹ, කළුතර සහ කොළඹ නගර සභා සීමාවල. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් 20.69%ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් 19.7%ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 6.67%ක් වශයෙන් රෝගීන් වාර්තා වෙනවා. බස්නාහිර පළාතෙන් පිටත වැඩිපුර ම ඩෙංගු රෝගීන් වාර්තා වන්නේ දකුණු සහ සබරගමු පළාත්වලින්. මාතර දිස්ත්‍රික්කයෙන් 7.9%ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 5.69%ක් මෙන් ම සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් 5.71%ක් ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වෙනවා. ජූලි 28 දිනට ඩෙංගු රෝගය වැලඳී මිය ගිය රෝගීන් සංඛ්‍යාව 61ක් ලෙස සටහන් වීම මෙහි බරපතළ තත්ත්වය පෙන්වන්නක්.”
අනෙකුත් මාසවලට සාපේක්ෂ ව ඩෙංගු වෛරසය පැතිරීම මැයි මාසයේ සිට ඉහළ වර්ධනයක් වාර්තා වන්නේ මැයි මස සිට සැප්තැම්බර් මාසය දක්වා ලංකාවට බලපාන නිරිත දිග මෝසම් වර්ෂාවත් සමඟ. එම නිසා ඩෙංගු වෛරසය මර්දනය කිරීමට රජය විශේෂිත වැඩසටහන් රැසක් රට පුරා ක්‍රියාත්මක කළා. එම වැඩසටහන් අඛණ්ඩ ව ඉදිරියටත් ක්‍රියාත්මක කෙරෙනු ඇති. එහිදී යුද හමුදාව, ආරක්ෂක අමාත්‍යාංශය, පොලීසිය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, පළාත් පාලන ආයතන ඒකාබද්ධ ව සිදු කළ මෙහෙයුම්වලදී ඩෙංගු මදුරුවා බෝ වීම පාලනය කීරීමත් සිය වගකීම ඉටු කිරීමට මහජනතාව උනන්දු කරවීමත් කැපී පෙනුණා.
වෛද්‍ය කපිල කන්නන්ගර පවසන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 23ට අදාළ ව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ගේ නායකත්වයෙන් දෛනික ව මෙහෙයුම් සිදු කරන බව. මේ කොට්ඨාස 23ට අමතර හඳුනා ගත් තවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 40ක් ඇතුළු ව ඩෙංගු අවදානම් කොට්ඨාස 63ක් තිබෙනවා. ජනතාව දැනුවත් කීරීම්, බෝ වන ස්ථාන විනාශ කිරීම් ආදිය සඳහා රජය මෙහිදී යොමු කර තිබෙන්නේ නිරන්තර අවධානයක්.
රෝහල් ධාරිතාව ඉක්මවා යමින් ඩෙංගු රෝගීන් වාර්තා වීම අවධානයට ලක් විය යුතු කරුණක්. කොළඹ ජාතික රෝහලට අමතර ව රාගම, කළුබෝවිල රෝහල් මෙන් ම දිස්ත්‍රික් සහ ග්‍රාමීය රෝහල් මේ සඳහා සූදානමින් සිටින්නේ ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමට හැකි ලෙස වාට්ටු සකස් කර ගනිමින්. රාජ්‍ය අංශය එලෙස කැපවීමක් කරමින් සිටියත් ජනතාවගේ වගකීම වන්නේ ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය වළක්වා ගැනීමට නිසි පියවර ගැනීම
ඩෙංගු මර්දනය යන්න එක් පුද්ගලයකුට පමණක් හෝ එක් කාලයකට පමණක් හෝ සීමා නොකළ යුතු තත්ත්වයක්. වසර තිස්සේ සැලසුම් සහගත ව ඩෙංගු වෛරස පාලනය කිරීමට කෙටිකාලීන, මධ්‍යකාලින සහ දීර්ඝකාලීන වැඩපිළිවෙළක් මීට අවශ්‍ය වෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වෛද්‍ය කපිල කන්නන්ගර; “ඩෙංගු මර්දන වැඩපිළිවෙළ සඳහා බිම් මට්ටමේ සිට ග්‍රාම නිලධාරින්, මහජන සෞඛ්‍ය සේවා නිලධාරින්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින් සහ කීට විද්‍යා නිලධාරින්, ස්වෙච්ඡා සංවිධානවල නිලධාරින් සියල්ලෙන් සැදුම්ලත් කමිටුවකින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් සතු ව තිබෙන දත්ත හා තොරතුරු යාවත්කාලීන කරමින්, පහළ නිලධාරින් ඔස්සේ ගලා යමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට හැකි පරිදි එය සකස් කරනවා. බැක්ටීරියාවක් යොදා ගනිමින් ඩෙංගු රෝගයට විද්‍යාත්මක පිළියම් ද අප සොයමින් සිටිනවා. ඒ, ඩෙංගු රෝගයට ගොදුරු වුවත් ඉන් ජීවිත හානියක් නොවීමට. දීර්ඝකාලීන ව ඩෙංගු මදුරු ගහනය අඩු කිරීමට කැලණිය විශ්වවිද්‍යාලය සමඟ සම්බන්ධ වී ‘ක්ලීන් ශ්‍රී ලංකා’ යටතේ වැඩසටහන් කිහිපයක් කිරීමත් ඉදිරි බලාපොරොත්තුවක්.”
වැහිපීලීවල, පාවිච්චියට නොගන්නා වැසිකිළි හා වැඩ අවසන් නොකළ නිවෙස්හි ස්ලැබ්වල ජලය පිරී ඇති අවස්ථා බහුල ව දක්නට ලැබෙනවා. නිසි පරිදි ජලය ඉවත් වන පරිදි මේ ස්ථාන පිරිසිදු කිරීම කඩිනමින් කළ යුත්තක්. රැකියා ස්ථානය, පාර දෙපස, පොදු ස්ථාන තමාට හැකි අයුරින් පිරිසිදු ව තබා ගැනීමයි මෙහිදී වැදගත්. ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන, පුද්ගලයන්, අතහැර දැමූ ඉඩම් සම්බන්ධ පැමිණිලි කීරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයුම් ඒකකයක් පිහිටුවා තිබෙනවා. එහි දුරකථන අංක 011-7966366ට ගැටලු යොමු කිරීමෙන් සෞඛ්‍යය රැකගෙන නිරෝගිමත් රටක් ගොඩනැඟීම සඳහා දායක වීමට සිය වගකීම ඉටු කිරීමට මහජනතාවටත් අවකාශ ලැබී තිබෙනවා.






