#විදේශ විත්ති

ප්‍රංශ විප්ලවයේ ගිනි පුපුර

1789 ජූලි 14 දින සිදු වූ බැස්ටිලයට පහර දීම ලෝක ඉතිහාසයේ වැදගත් ම දේශපාලන සිදුවීමක් ලෙස සැලකෙනවා. එය ප්‍රංශ විප්ලවයේ ආරම්භය සංකේතවත් කළ අවස්ථාවක් පමණක් නොව ජනතාවගේ බලය රාජාණ්ඩු බලයට එරෙහි ව ප්‍රකාශ වූ සුවිශේෂ මොහොතක් වුණා. අදත් ජුලි 14 දින ප්‍රංශයේ ජාතික දිනය (බැස්ටිලයේ දිනය) සමරන්නේ මේ සිදුවීම සිහිපත් කරමින්.

18 වැනි සියවසේ අගභාගයේ ප්‍රංශය දැඩි ආර්ථික හා සමාජ අර්බුදයකට මුහුණ දුන්නා. එකල 16 වැනි ලුවීගේ පාලනය යටතේ රාජ්‍ය භාණ්ඩාගාරය හිස් ව තිබූ අතර දිගු යුද්ධවල අධික වියදම් සහ බදු ප්‍රතිපත්තියේ අසාධාරණකම් හේතුවෙන් ජනතාව මුහුණ දුන්නේ දැඩි දුෂ්කරතාවලට. විශේෂයෙන් ගොවියන්, කම්කරුවන් සහ නගරවල දුප්පත් ජනතාව ඉහළ බදු බරට යටත් ව සිටියත් වංශාධිපතිවරුන් සහ පූජක පන්තිය විශේෂ වරප්‍රසාද භූක්ති විඳිමින් සිටියා.

මෙවැනි පසුබිමක 1789 මැයි 5 දින රජු ප්‍රංශයේ නියෝජිත සභාව වන එස්ටේට්ස් ජෙනරල් රැස් කළා. එහිදී තුන් වැනි ජනතා පන්තියට අයත් නියෝජිතයන් (ව්‍යපාරිකයන්, නීතිඥයන් හා කම්කරුවන් ඇතුළු බහුතරය) තමන්ගේ දේශපාලන අයිතිවාසිකම් ඉල්ලා නැගී සිටි අතර ඔවුන් ජාතික සභාව පිහිටුවා ගත්තා. මේ පියවර රාජාණ්ඩුව හා ජනතා නියෝජිතයන් අතර ඇති කළේ ගැටුමක්.

මේ අතර පැරිස් නගරයේ ජනතාව අතර කෝපය හා බිය වැඩිවෙමින් තිබුණා. රජු පැරිස් අවට හමුදා රැස් කරමින් සිටීම නිසා ජාතික සභාව විසුරුවා හැරීමට උත්සාහ කරන බවට සැකයක් මතු වුණා. එමෙන් ම ජනතාව අතර ජනප්‍රිය අමාත්‍යවරයෙකු වූ ජැක් නෙකර් ඉවත් කිරීමෙන් ජනතා විරෝධය තවදුරටත් උත්සන්න වුණා.

මෙවැනි තත්ත්වයක් යටතේ 1789 ජුලි 14 දින පැරිස් වැසියන් ආයුධ සොයා පිටත් ව ගිය අතර ඔවුන්ගේ ඉලක්කය වූයේ බැස්ටිලය නම් වූ බළකොටුව. බැස්ටිලය යනු පැරිසියේ පිහිටි මධ්‍යකාලීන බළකොටුවක්. පසුව රාජ්‍ය බන්ධනාගාරයක් ලෙස එය භාවිත කෙරුණා. රජුට අවශ්‍ය ඕනෑ ම පුද්ගලයෙකු නඩු විභාගයකින් තොර ව එහි සිරගත කළ හැකි ව තිබුණා. එහි රඳවා සිටියේ සුළු සිරකරුවන් පිරිසක්. එහෙත් ජනතාවගේ සිත් තුළ එය රාජාණ්ඩු පීඩනයේ සහ අත්තනෝමතික බලයේ සංකේතයක් බවටයි පත් වුණේ.

1370 අප්‍රේල් 22 දින මේ බළකොටුව ඉදි කිරීම සඳහා ආරම්භක ගඩොල තබන ලද අතර මෙය ඉදි කරන ලද්දේ ඉංග්‍රීසින්ගේ ආක්‍රමණවලින් ප්‍රංශය ආරක්ෂා කිරීමට. වර්ෂ 1577දී මෙහි නැගෙනහිර කොටසේ ආරක්ෂක පද්ධතිය සම්පූර්ණ කෙරුණා. හරස් බාධකයක් යොදා මෙහි ඇතුළත ප්‍රදේශ අසමාන කොටස්වලට බෙදා වෙන් කෙරුණේ 17 වැනි සියවසේදී. ගල්වලින් තැනු මේ බළකොටුවේ තිබුණේ අඩි 100ක් උස බිත්ති.

ජනතාව බැස්ටිලය වටලා එහි තිබූ කාල තුවක්කු කුඩු සහ ආයුධ ලබා ගැනීමට උත්සාහ කළ අතර ආරක්ෂකයන් හා ජනතාව අතර ඇති වූ ගැටුම් පැය කිහිපයක් පුරා පැවතුණා. දෙපාර්ශ්වයෙන් ම ජීවිත හානි සිදු වුණා. අවසානයේ බළකොටුවේ අධිපති වූ බර්නාඩ් – රෙනේ ද ලෞනේ තීරණය කළේ යටත්වීමට. එහිදී බළකොටුව ජනතාව අතට පත් වූ අතර එහි අධිපති ඝාතනය කෙරුණා.

බැස්ටිලයේ සිටි සිරකරුවන් ගණන හයක් වුවත් මේ සිදුවීමේ වැදගත්කම වන්නේ සිරකරුවන් නිදහස් කර ගැනීම නොවෙයි. ජනතාව රාජාණ්ඩුවේ බලය නියෝජනය කළ බළකොටුවක් අල්ලා ගැනීම යනු ප්‍රංශ සමාජයේ බලය ජනතාව වෙත මාරුවෙමින් පවතින බව පැහැදිලි සංඥාවක්.

බැස්ටිලයට පහර දීමෙන් පසු ප්‍රංශය පුරා ගොවියන් සහ සාමාන්‍ය ජනතාව අතර විප්ලවීය උද්‍යෝගයක් පැතිර ගියා. බොහෝ ප්‍රදේශවල වංශාධිපතිවරුන්ගේ දේපළවලට පහරදීම් සිදු වුණා. මේ තත්ත්වය හමුවේ ජාතික සභාව පියවර ගත්තේ වංශාධිපති වරප්‍රසාද අහෝසි කිරීමට. ඉන් අනතුරුව 1789 අගෝස්තු මාසයේදී ‘මනුෂ්‍යයාගේ සහ පුරවැසියාගේ අයිතිවාසිකම් පිළිබඳ ව’ ප්‍රකාශනය සම්මත කෙරුණු අතර ‘නිදහස, සමානාත්මතාව සහ සහෝදරත්වය’ යන අදහස් ප්‍රංශ විප්ලවයේ ප්‍රධාන සටන් පාඨ බවට පත් වුණා. 

බැස්ටිලයට පහරදීම ප්‍රංශයට පමණක් නොව ලෝකයට ම බලපෑමක් ඇති කළා. එය නූතන ප්‍රජාතන්ත්‍රවාදය, ජනතා පරමාධිපත්‍යය සහ මානව අයිතිවාසිකම් පිළිබඳ අදහස් ලොව පුරා ව්‍යාප්ත වීමට දායක වුණා. යුරෝපයේ බොහෝ රටවල ජනතා ව්‍යාපාරවලට සහ ජාතික නිදහස් අරගලවලට ද එම සිදුවීම් ලබා දුන්නේ ආශ්වාදයක්.

අද බැස්ටිල බළකොටුව තවදුරටත් නොපැවතුණත් එය කඩා බිඳ දැමු ජනතාවගේ ක්‍රියාව ඉතිහාසයේ නොමැකෙන සලකුණක් ලෙස පවතිනවා. 1789 ජුලි 14 දින පැරිස් වැසියන් සිදු කළ එම ක්‍රියාව රාජාණ්ඩු පීඩනයට එරෙහි ජනතා නැගිටීමක සංකේතයක් වූ අතර ලෝක ඉතිහාසයේ නව යුගයක් ආරම්භ කළ ගිනි පුපුරක් බවට පත් වුණා. එබැවින් බැස්ටිලයට පහර දීම යනු සරල ව බළකොටුවක් අල්ලා ගැනීමක් නො ව ජනතාව තම අයිතිවාසිකම් වෙනුවෙන් ඉතිහාසයේ වේදිකාවට පිවිසි අමරණීය මොහොතක් ලෙස සලකන්නට පුළුවන්.

19 වැනි සියවසේ සුප්‍රසිද්ධ දාර්ශනිකයා හා ආර්ථික විද්‍යාඥයා වූ කාල් මාක්ස් ප්‍රංශ විප්ලවය සැලකුවේ නූතන ලෝක ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස. මාක්ස්ගේ විග්‍රහයට අනුව 1789 විප්ලවය යනු හුදෙක් රජෙකුට එරෙහි ජනතා කැරැල්ලක් නොව පැරණි වැඩවසම් සමාජ ක්‍රමය බිඳ දමා ධනේශ්වර පන්තිය බලයට ගෙන ආ සමාජ විප්ලවයක්. ඔහු ප්‍රකාශ කළේ ප්‍රංශ විප්ලවයෙන් වැඩවසම් දේපළ සම්බන්ධතා සහ වරප්‍රසාදිත පන්ති පාලනය විනාශ කර දැමු බව. බැස්ටිලයට පහරදීම එම විශාල සමාජ පරිවර්තනයේ සංකේතාත්මක ආරම්භය ලෙස මාක්ස්වාදී ඉතිහාසඥයන් සලකනවා.

මාක්ස් ප්‍රසිද්ධ ව සඳහන් කළේ, “මිනිසුන් තමන්ගේ ම ඉතිහාසය සාදති. එහෙත් ඔවුන් එය තමන් කැමැති තත්ත්වයන් යටතේ නොව පවතින තත්ත්වයන් යටතේ සාදති” යන්න. පීඩිත පන්තියේ මේ ක්‍රියාව ප්‍රංශය පමණක් නොව ලෝක ඉතිහාසය ම වෙනස් කළා.