ආයු කෙටි කරන කෑම
පෝෂණය මූලික මිනිස් අවශ්‍යතාවක්. දකුණු ආසියානු අනෙක් රටවලට සාපේක්ෂ ව ශ්‍රී ලංකාව සෞඛ්‍ය දර්ශකවල ඉතා ඉහළ තත්ත්වයක සිටිනවා. එහෙත් පෝෂණය සම්බන්ධ දර්ශක සමඟ සංසන්දනයේදී ඒ පිළිබඳ සතුටු විය නොහැකි බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරන්නේ. මේ නිසා රජයක් ලෙස සෑම පාර්ශ්වයක් ම එක් ව බහු පාර්ශ්වීය ප්‍රවේශයකින් සාර්ව ක්‍රියාකාරී සැලැස්මක් ඔස්සේ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීම ඉතා වැදගත්.
ජුනි 1 සිට ජුනි 30 දක්වා ක්‍රියාත්මක වූ ‘ජාතික පෝෂණ මාසය’ මේ පිළිබඳ පුළුල් ව අවධානයක් යොමු වූ කාල සීමාවක්. 2026 වසරේ එහි තේමාව වූයේ ‘කෙටි ආහාර ගැන සිතමු, සෞඛ්‍ය සම්පන්න ස්වාභාවික කෙටි ආහාර තෝරමු’ යන්න. ජාතික පෝෂණ මාසය පාදක කරගෙන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කෙරුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති විශ්ලේෂක හා සංවර්ධන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේළි පවසන්නේ මේ තේමාවත් සමඟ සෞඛ්‍යයට අහිතකර කෙටි ආහාර නිතර නිතර භාවිතයේ අවදානම පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමත් නිසි වේලාවට සමබර ප්‍රධාන ආහාරවේල් ගැනීම සඳහා ජනතාව බලගැන්වීමත් කළ යුතු බව. අවශ්‍ය විට ස්වාභාවික හා පෝෂණීය කෙටි ආහාර තෝරා ගැනීමත් දේශීය ව ලබාගත හැකි ආහාරවලට ප්‍රමුඛතාව ලබාදීමත් සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාර ලබාදෙන හිතකර පරිසරයක් නිර්මාණය කිරීමත් අහිතකර කෙටි ආහාර පිළිබඳ ප්‍රචාරණය සීමා කිරීමත් අනිවාර්යයෙන් ම කළ යුත්තක් බව.
මන්දපෝෂණය, අධිපෝෂණය සහ ක්ෂුද්‍ර පෝෂක ඌණතා පිළිබඳ සැලකීමේදී වර්තමානයේ ශ්‍රී ලංකාව එම අභියෝග කෙරෙහි ප්‍රබල ව මුහුණ පා සිටින රටක්. එය එක් එක් වයස් කාණ්ඩවලට එක් එක් ආකාරයෙන් බලපෑම් සිදු කරනවා. ඒ තත්ත්ව සලකා 2026-2035 දස අවුරුදු ප්‍රතිපත්තිවල පෝෂණය සහ යහපත් පුරුදු පිළිබඳ දැඩි අවධානයක් යොමු කර ඇති බවයි විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරිපේළි සඳහන් කරන්නේ. එහිදී යහපත් පුරුදුවලට සමපාත කාරණාවක් ලෙස යහපත් ආහාර රටාව හඳුනාගන්නට පුළුවන්. එහිදී බෝ නොවන රෝග පිළිබඳ වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. විශේෂයෙන් මෙහිදී ජීවන චක්‍රය (Life Stages&) අලළා පුද්ගලයා බලගැන්වීමයි ඉතා වැදගත්. ජනතාවගේ සෞඛ්‍ය සාක්ෂරතාව වැඩි කර පෝෂණය සම්බන්ධයෙන් දැනුමක් ලබා දීම, සෞඛ්‍ය සම්පන්න යහපත් පෝෂණ පරිසරයක් රටේ ක්‍රියාත්මක කිරීම එහිදී විය යුත්තක්.
සෞඛ්‍ය අමාත්‍යංශයේ පෝෂණ අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න පවසන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය, ආහාර හා සම්බන්ධ අමාත්‍යාංශ, ග්‍රාමීය හා කෘෂිකර්මාන්ත අමාත්‍යාංශය, මත්ස්‍ය නිෂ්පාදන වැනි සෑම අංශයක් ම රටේ ජනතාවගේ පෝෂණ අවශ්‍යතා නගා සිටුවීමට දායක විය යුතු බව. පෝෂණ තත්ත්වය ඉහළ මට්ටමකට නංවා ගැනීම අපහසු වී තිබෙන්නේ බහු පාර්ශ්වීය කළමනාකරණයේ පවතින යම් යම් ගැටලු මතු වීම නිසා බවයි ඇයගේ පෙන්වා දීම.
ළමා හා මාතෘ සෞඛ්‍ය පිළිබඳ ව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය. එහි 2025 වසරේ දත්ත දෙස බැලීමේදී පළමු මාස 3 තුළ සිටින ගර්භිණී කාන්තාවන්ගෙන් 13%ක් ම අඩු බර කාණ්ඩයට අයත්. එම වසරේ ප්‍රථම වරට ගර්භිණී වූ කාන්තාවන්ගෙන් එනම් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ලියාපදිංචි වූ මව්වරුන් 14%ක් රක්තහීනතාවෙන් රෝගී වී සිටින බවයි විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේළි සඳහන් කරන්නේ.
ආහාර පුරුදු හා ආහාර රටා මේ සඳහා විශේෂිත ව බලපානවා. උසට සරිලන බර තිබෙනවාද යන්න සොයා බැලීමට 2024 වසරේ සිදු කළ Global School Basedසමීක්ෂණය අනුව (වයස අවුරුදු 13-14ත් අතර පාසල් යන දරුවන්ගෙන්) අනාවරණය වී ඇත්තේ දරුවන්ගෙන් 29%ක් දෛනික ව ලුණු සහ මේදය අධික ආහාර භාවිත කරන බවත් 41%ක් සීනි අධික ආහාර භාවිත කරන බවත්. වසර 5කට වරක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අංශයෙන් සිදු කරන ීඑැචි සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ වයස අවුරුදු 18-69 අතර ගැහැනු සහ පිරිමි පුද්ගලයන්ගෙන් රැස් කළ දත්ත අනුව ඒ පුද්ගලයන්ගෙන් අධිබර සහිත අය අතරින් වැඩිහිටි කාන්තාවන් 48%ක් වූ අතර 30%ක් පිරිමි පුද්ගලයන් වන බව.
සාමාන්‍යයෙන් පෝෂණ මාසය සැමරීමේදී සෑම වසරක ම පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයෙන් දත්ත රැස් කිරීමක් සිදුකරනවා. ඒ අනුව අවුරුදු 05න් පහළ දරුවන්ගේ 2025 වසරේ රැස්කළ දත්ත අනුව ජාතික මට්ටමේ ප්‍රතිශතයක් ලෙස ගත් විට මිටි බව 10.1%ක්. විශේෂයෙන් වතුකර ජනතාවගේ එය 23%ක් ලෙසයි සඳහන් වන්නේ. කෘශ බව සාමාන්‍ය ජනතාවගෙන් 10%ක් වන විට වතුකර ජනතාවගේ එය 8.1%ක්. බර අඩුවීම ද මෙහිදී ගැටලුවක් ව තිබෙනවා. සාමාන්‍ය ජනතාවගේ දරුවන් අතර එය 16%ක් වන විට වතුකර ජනතාවගේ දරුවන් අතර 25%ක් බවට පත් ව තිබෙනවා. 2023 වසරේ 6%ක් වූ අධි බර දරුවන් සංඛ්‍යාව 2024 වසර වන විට 7%ක් දක්වා වර්ධනය වී තිබෙනවා.
එම සමීක්ෂණය අනුව 2023 වසරේ ස්ථූලතාව ඇති දරුවන් ගණන 2.7%ක්. 2024 වසරේ එය 3.1%ක් ලෙස වර්ධනය වී තිබෙනවා. කුඩා දරුවන් අතර ස්ථූලතාව ගැටලුවක් වී නොමැති වුවත් පාසල් දරුවන් අතර මෙය ගැටලුවක් ව තිබෙනවා. ඊට හේතු වන්නේ ශ්‍රී ලංකාවේ ජනගහන වර්ධනය ඉතා අඩු මට්ටමක තිබීම. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මෙරට සාඵල්‍යතා අනුපාතය (otal Fertility Rate) තිබිය යුතු අගය වන්නේ 2.1ක්. එහෙත් නව දත්ත අනුව එය ඇත්තේ 1.3ක අගයක. ඒ අනුව ඉදිරියේදී ජනගහනය අඩුවන බවයි මෙයින් පෙනී යන්නේ. දැනට සිටින දරුවන්ට බෝ නොවන රෝග වැලඳීමේ ඉඩකඩ වැඩි බවත් මන්දපෝෂණය සහ අධිපෝෂණය සම්බන්ධයෙන් ගැටලු ඇති බවත් වෛද්‍ය මොනිකා විජේරත්න සඳහන් කරන කාරණාවක්.
පාසල් සිසුන්ගේ ගෝලීය සෞඛ්‍ය සමීක්ෂණය-2024 අනුව (වයස අවුරුදු 13-17 පාසල් දරුවන් 2912ක් යොදා සිදු කළ) ඔවුන්ගේ ආහාර රටා සැලකූ විට17.4%ක් දෛනික ව පැණි බීම භාවිත කර තිබෙනවා. විශේෂයෙන් සීනි අධික බීම වර්ග 28%ක්, අධික ලුණු සහිත ආහාර 28.5%ක්, අධික තෙල් සහිත ආහාර 10.3%ක්, අධික සීනි සහිත ආහාර 40.9%ක් දෛනික ව පරිභෝජනය කර ඇති අතර මේ දරුවන්ගෙන් 70.4%ක් පාසලෙන් පිට ව යන අවස්ථාවල ක්ෂණික ආහාර පරිභෝජනය කර තිබෙනවා. එයින් පැහැදිලි වන්නේ අහිතකර කෙටි ආහාර ගැනීම සම්බන්ධ ගැටලුව කොතරම්දුරට සමාජගත වී ද යන්න.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න; “අතීතයේ නිවෙස්වල නිරන්තරයෙන් පෝෂණය රැකෙන පරිදි ආහාර පිස ගත්තා. එහෙත් වර්තමාන කාන්තාවන්ගේ කාර්යබහුලත්වය හේතුවෙන් නිවසේ ආහාර පිළියෙල කරන්නේ අවම වශයෙන්. ඒ නිසා කෙටි ආහාරවලට යොමු වී තිබෙනවා. අප කෙතරම් පෝෂ්‍යදායී ආහාර පිළිබඳ කතා කළත් ඒවා පිළිබඳ ප්‍රචාරණය ඉතා අඩුයි. එහෙත් සැකසූ කෙටි ආහාර සඳහා ඇති ප්‍රචාරණය ඉහළයි. එය හේතුවක් ව තිබෙනවා පෝෂණයක් නොමැති කෙටි ආහාර දරුවන් සහ වැඩිහිටියන් අතර ජනප්‍රිය වීමට සහ අබ්බැහි වීමට. උසට සරිලන දේහ බරක් සහිත අයෙකුට කෙටි ආහාර අවශ්‍ය වන්නේ නැහැ. කෙටි ආහාර අවශ්‍ය තැනැත්තන් සිටිනවා. ඔවුන්ට වෛද්‍ය උපදෙස් අනුව කුමනාකාරයේ කෙටි ආහාරයක් ලබා ගත යුතු ද? යන්න තීරණය කළ හැකියි.”
ඒ සඳහා රජය නොයෙකුත් ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය හා එක් ව ආපනශාලා මාර්ගෝපදේශ සකසා තිබෙනවා. එයින් බලාපොරොත්තු වන්නේ හිතකර ආහාර පරිසරයක් නිර්මාණය කිරීමට සහාය වීම සහ සෞඛ්‍යයට අහිතකර කෙටි ආහාර වෙළෙඳපොළට ගෙන ඒමට සීමා පැනවීම. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනෝජි ගමගේ සඳහන් කරන්නේ තෝරාගත යුත්තේ කුමන කෙටි ආහාර ද යන්න සැලකීමේදී විටමින්, ඛනිජ ලවණ ලැබෙන ආහාරයක් තෝරා ගැනීම සෞඛ්‍යයට වඩාත් වැදගත් බව. අපේ සමාජයේ ක්ෂුද්‍ර පෝෂක ඌනතාව බහුල නිසා එය මඟ හැර ගැනීම සඳහා එළවළු, පලතුරු, රටකජු වැනි ඛනිජ ලවණ විටමින් ඇති ආහාර භාවිත කිරීම වඩා වැදගත්. විශේෂයෙන් කැලරි අවම, තන්තු වැඩි පෝෂණ ගුණයෙන් අනූන ආහාර කෙටි ආහාර ලෙස යොදා ගැනීම වැදගත් බවයි විශේෂඥ වෛද්‍ය මනෝජි ගමගේ අවධාරණය කරන්නේ.
සැබවින් ම අප කෙටි ආහාර භාවිතයට ගන්නේ ඇයි? යන්න විමසා බැලීම වැදගත්. පුරුද්දක් ලෙස, මානසික හේතු නිසා, පහසුවෙන් ආහාරයට ගත හැකි නිසා, කෙටි ආහාර සඳහා ලබාදෙන ප්‍රචාරණය හේතුවෙන් ඒවාට උත්තේජනය වීම නිසා කෙටි ආහාර සඳහා යොමු වීමට පුළුවන්. කෙටි ආහාර අත්‍යවශ්‍ය නොවන බවයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය. එහෙත් කෙටි ආහාර අවශ්‍ය පුද්ගලයන් සිටිනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය අරුණිකා සේනාරත්න පවසන්නේ ප්‍රධාන ආහාර වේලට ආදේශකයක් ලෙස කෙටි ආහාර භාවිත නොකළ යුතු බව. එය අමතර ව ලබා ගන්නා ආහාරයක්. ඇය පෙන්වා දෙන පරිදි සීමා කළ යුතු කෙටි ආහාර හඳුනාගෙන තිබෙනවා. සීනි සහිත බනිස් වර්ග, පැණි බීම, බිස්කට්, කේක්, රස කැවිලි සහ සීනි අධික අතුරුපස වර්ග, ලුණු සීනි සහ සෞඛ්‍යයට අහිතකර මේද සහිත ව සැකසූ කෙටි ආහාර පාසල් හා වැඩකරන ජනතාව අතර වඩාත් ප්‍රසිද්ධිය උසුලනවා. මේ ආහාර පුරුදුවලින් ජනතාව චර්යාත්මක ව ඉවත් විය යුතු අතර මේ සඳහා රටේ යහපත් ආහාර පරිසරයක් ප්‍රතිපත්තිමය වශයෙන් ඇති කළ යුතු වෙනවා.
අදහස් දක්වන ප්‍රජා විශේෂඥ වෛද්‍ය අරුණිකා සේනාරත්න; “නිවසේ පිළියෙල කළ ආහාර භාවිතය සඳහා ජනතාව යොමු කිරීමට ප්‍රචාරණය ලබා දීම වැදගත්. එහිදී සිහියෙන් සහ අවධානයෙන් ආහාර ගැනීමේ පුරුද්ද ප්‍රවර්ධනය කළ යුතුයි. විශේෂයෙන් පාසල් ආපන ශාලාවලට වෙන ම ආපන ශාලා මාර්ගෝපදේශක සකස් කිරීම වැදගත්. ඒවායේ විකිණිය යුතු ආහාර සම්බන්ධයෙන් නියාමන තිබෙනවා. ඒ අනුව දේශීය නිෂ්පාදන සහ නිෂ්පාදකයන් ප්‍රවර්ධනය කළ යුතුයි. ආහාර මිල දී ගැනීමේදී ලේබල්වල ඇති නිෂ්පාදිත ද්‍රව්‍ය පිළිබඳ ජනතාවගේ දැනුවත්භාවය අඩුයි. සෑම ජීවන අවධියකදී ම පෝෂණය ගැන සැලකිලිමත් වීම වැදගත්. විශේෂයෙන් දේශීය ආහාර ප්‍රවර්ධනය කිරීම මෙහිදී වඩාත් කාලෝචිත වනවා.”
කෙටි ආහාරවල ඇති අධික කැලරි ප්‍රමාණය පුද්ගලයෙකු අධික ලෙස ස්ථූලවීමටත් බෝ නොවන රෝග සඳහා මූලික ම හේතුවක් වීමටත් පුළුවන්. කෙටි ආහාර භාවිත කිරීමෙන් දියවැඩියාව වැනි රෝග වැලඳීමට ඇත්තේ වැඩි ඉඩක්. ඒ සමඟ ම හෘද රෝග වැනි බෝ නොවන රෝග ඇති වන්නට පුළුවන්. දැනට භාවිතයට ගන්නා බොහෝ කෙටි ආහාර නුසුදුසු බැවින් ඒවා පිළිබඳ නැවත සිතා බැලිය යුතුයි. ආහාර චර්යාව පිළිබඳ විමසීමේදී ප්‍රධාන ආහාර වේල් ඉලක්ක කරගත් නිවැරදි පෝෂණ රටාවක් ජනතාවට හුරු කළ යුතු වනවා.
(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇසුරින්)






