ලාංකික සමාජයේ හෘදය සාක්ෂිය
සාමාන්‍ය ජන ජීවිතය ගැඹුරු දේශපාලන න්‍යාය මත වෙහෙසෙන්නේ නැහැ. ජන ජීවිතය වෙහෙසෙන්නේ භාවිතය සහ අත්දැකීම් මත. ශ්‍රී ලංකාවේ පැවති වසර 133ක ඉංග්‍රීසි පාලන සමයේ අපේ මුතුන් මිත්තන්ගේ දේශපාලන විඥානය යටත්විජිත පාලන අත්දැකීම් මත සැකසුණක්. ඔවුන් අත්දුටුවේ වී හා හේන් ගොවිතැනට එරෙහි ව කෝපි, තේ, රබර්, පොල් වැනි ආර්ථික බෝග වගාවල ආක්‍රමණය සිදු වන ආකාරය. මංමාවත් පවා නොමැති හුදෙකලා ගැමි දිවිය ආක්‍රමණය කරමින් මංමාවත්, දුම්රිය මං හා කෝපි, තේ කර්මාන්ත ශාලා ඉදිවන ආකාරය. සරල පරිභෝජන භාණ්ඩ වෙනුවට අලෙවිය සඳහා ම භාණ්ඩ නිපදවීම ආරම්භ වූ බව. සරල ගැමි පරිභෝජන භාණ්ඩ හුවමාරු පොළ ම යටත්විජිතවාදී වෙළෙඳපොළ ආර්ථිකයක් වන ආකාරය. පුද්ගලික ඉඩම් හිමිකමෙන් තොර බිම් වගාව වෙනුවට පුද්ගලික ඉඩම් අයිතිය සතු මහා වාණිජ ඉඩම් ආක්‍රමණය. අවසන සරල ගැමි රාජකාරි ශ්‍රම සම්බන්ධතාව වැටුප් ශ්‍රමික තත්ත්වයට වෙනස් වීම ඔවුන් අත්දුටුවා. මුලදී විරෝධය හා ප්රතික්ෂේපය ද පසුව නව තත්ත්වය ඉරණම සේ සලකා එයට අනුගත වීම ද සිදු වුණා. රජවරු, දිසාවේලා වෙනුවට කොමිස්කාර, කොන්ත්රාත්කාර නව සිටුවරුන් ඔවුන් අත්දකින්නට වුණා. අමුඩ ලේන්සුව කරට එද්දී සරම ඉණට ආවත් රජුට, රජුගේ නිලධාරියාට තිබූ බිය ම සිටුවරයාට සහ වෙළෙන්දාට දක්වන්නට වුණා. පෙර දේශීය පාලකයාගේ ස්ථානය නව සුදු පාලකයාට ලැබෙද්දී ඒරොප්පේ රජ්ජුරුවන්ගේ බලය පෙන්වන සුදු සහ සුදු ගැති කළු නිලධාරින්ට යටත් වන්නටයි සිදු වුණේ.
දේශීය පාලක පංතිය අතට බලය දෙමින් ඉංග්‍රීසීන් උපාමාරු කර නිදහස නම් ඉලව්වක් ද වෙස්මිනිස්ටර් ක්‍රමය නම් පාලන වියගහක් ද ලාංකික ජනතා උරමත තැබුණා. එය තට්ටුමාරු දේශපාලනය නම් දෙමෝලේ කෙටීම නිසා ජනතාවට අවසන හිමි වුණේ බංකොලොත් රාජ්‍යයක්. අවසන අතිශය බලවත් රජු වෙනුවට ඒරෝප්පේ රජුගේ යටත්විජිත කස පහර ද ඉන්පසු දේශීය පාලක මඩු වලිග පහර ද ජනතාවට උරුම වුණා. වසර දෙදහස් ගණනක රජකු යටතේ යටහත් වීමත් වසර 133ක් තිස්සේ ඒරොප්පේ රජකුට, රැජිනියකට යටත් වීමත් අවසන දේශීය වලව් ප්රමුඛ ප්‍රභූ පාලනයකට දශක හතකට වැඩි කලක් යටත්වීමත් හේතුවෙන් ජනතාව ලබා ගත්තේ ජනතා මුදලින් අනාදිමත් කාලයක් යැපුණ පීඩක ප්‍රභූ පාලනයත් ණය ගැති එහෙත් ණය ගෙවාගත නොහැකි ජාතියකුත් පමණයි. දශක හතරකට අධික මෑත දේශපාලනයේ මෙරට ප්‍රභූ වරප්‍රසාද වඩවාගත් එහෙත් පාදඩ දේශපාලන කඩාපැනීම සහ නරුම සිතක් සහිත දේශපාලන සංස්කෘතිය ජනතාව භෞතික ව ද ආධ්‍යාත්මික ව ද තලා පෙළා භීතියට පත් කළා.
මේ දුපතේ දේශපාලන විද්‍යා ඉතිහාස පාඩම එබඳුයි. ඒ නිසා ජනතාව නිරන්තර ආණ්ඩු සැක කරනවා. ප්‍රභූ පාලනයට එරෙහි ව ‘ජනතා පාලනය’ යන්න දන්නේ නැහැ. මේ සමාජ විඥානය පරගැති දේශීය පාලකයන් මනා ලෙස හසුරුවා තිබෙනවා. රටේ නායකයා අප්පච්චි, මහරජ්ජුරුවෝ කළේ ජනතාව නොව එම පාලකයන්. ජනතාව එම තත්ත්වය ඉතිහාස අත්දැකීම් මත ගළපා පිළිගත්තා පමණයි. වත්මන් විපක්ෂය මේ මොහොතේ යොදා ගන්නේ ද වසර 200කට ආසන්න, ජනතාව තුළ පාලකයා යන පොදු සංකල්පය කෙරෙහි වන බිය හා සැකය.
පවතින ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරය ජනතාවට ‘සිස්ටම් චේන්ජ්’ ගැන කතා කළේ බොහෝ කල් සිට. ඒ සඳහා තම සමාජ දෘෂ්ටිය මත පිහිටා ප්‍රධාන තේමා හා කේෂ්ත්‍ර 10ක් ඔස්සේ දිවෙන ප්‍රතිපත්ති මාලාවක් ජනතාවට ඉදිරිපත් කළා. ජනතාව මැතිවරණ ප්‍රතිඵල දෙකකින් එය අනුමත කළා. ප්‍රභූ පංතියට එරෙහි ජනතා දේශපාලනයකට වඩා ජනතාව අවධානය යොමු කළේ හොරකම, වංචාව, දූෂණය සහ වරප්රසාදලාභී දේශපාලන ක්‍රමය වෙනස් කිරීම ගැන. ජාතික ජන බලවේගයට ද සිදුවූයේ එම පහසු උදාහරණයෙන් ‘සිස්ටම් චේන්ජ්’ පහදන්නට.
සැබැවින් ම ජාතික ජන බලවේගය සමාජ පරිවර්තනය යන පුළුල් අරුත තම ප්‍රතිපත්ති ලෙස ජනතාවගේ කැමැත්තට යොමුකොට ඒ මත පිහිටා ක්ලීන් ශ්‍රී ලංකා, ග්‍රාමීය දුප්පත්කම නැති කිරීම සහ ඩිජිටල්කරණය යනුවෙන් ප්‍රධාන ක්‍රියාකාරි සැලසුම් 03ක් ඉදිරිපත් කර තිබෙනවා. ක්ලීන් ශ්‍රී ලංකා මෙහි මුලට ම ගැනෙන්නේ සිස්ටම් චේන්ජ්හිදී මිනිසාගේ භෞතික පරිසරයේ සිට ආධ්‍යාත්මික ජීවිතය දක්වා පවිත්‍ර වීම වැදගත් නිසා. මෙය හුදු ක්‍රියාවලියක් පමණක් නොව සමාජ පරිවර්තනයට සාපේක්ෂ ව ඉදිරියට යන මෙහෙයුමක්. ක්ලීන් ශ්‍රී ලංකා මෙහෙයුමේ පදනම් වන ප්‍රධාන කලුනු තුන අතර ‘පිරිසිදු දේශපාලන සංස්කෘතිය‘ යන්න වංචා දූෂණ නොමැති හොරුන්ට දඩුවම් දෙන හා ආණ්ඩුව ආදර්ශමත් ලෙස කටයුතු කරන රට ම එක් ව දූෂණයට හොරකමට එරෙහි නව සංස්කෘතියක් ඉල්ලා සිටීමක්. එහි දේශපාලඥයාගේ වරප්‍රසාද හා වරදාන කපාහැරීම ද නීතියේ ආධිපත්‍යය සැමට සමාන ව ක්‍රියාත්මක කිරීම ද වගකීම් සහගත සහ ආදර්ශමත් දේශපාලන නායකත්වයක් ගොඩනැගීම ද ඊට අයත්. ජනතා කැමැත්ත ද එය වෙනවා. බලාපොරොත්තු සුන් වෙන විපක්ෂය ජනතාවගේ මේ කැමැත්ත සහ මාලිමාවේ වුවමනාව එකිනෙක මත හප්පන්නටයි වෙර දරන්නේ.
‘බාල ගල් අඟුරු’ වංචාව යන විපක්ෂයේ සාවද්‍ය ප්රකාශනය විසින් උත්සාහ කරන්නට වෙර දරනු ලබන්නේ ද එය. ගල් අඟුරු ගෙන්වීමේ ක්‍රියාවලියේ ප්‍රසම්පාදනයේ දෝෂ නැහැ. එය විශ්වාසභංගයේදී හෝ ඔප්පු කර නැහැ. ඇමතිවරයා සොරකමක්, වංචාවක් කළා යැයි තර්කානුකූල ව ඔප්පුකොට ද නැහැ. මේ ක්‍රියාවලියේදී ගල් අඟුරු සමාගම ලබාගත් අනියම් ලාභයක් ද නැහැ. එම සමාගම තැන්පත් කළ මුදලින් මෙහි පාඩුව පියවා ගත හැකියි. ඒ නිසා එම ක්‍රියාවලියේදී ජනතාව මත අමතර බරක් වැටෙන්නේ ද නැහැ. එහෙත් අතාර්කික ව හෝ විපක්ෂය පුන පුනා චෝදනා කරද්දී ජනතාවට වගවීම සලකා ආණ්ඩුවට නිහඬ ව සිටිය නොහැකියි. එබැවින් ආණ්ඩුව නිවැරැදි තීරණය ගත්තා. හිටපු බලශක්ති ඇමති ජයකොඩි කෙරෙහි විශ්වාසය ආණ්ඩුව තුළ තිබුණත් ජනතා විශ්වාසය හා විනිවිදභාවය සලකා ජනාධිපති කොමිසමට ඉඩ දී ඔහු ඉල්ලා අස්වුණා. ශ්‍රී ලංකාවේ ඉහළ ම අධිකරණ තුන නියෝජනය වන පරිදි සක්‍රිය සේවයේ නියුතු විනිසුරන් තිදෙනෙකුගෙන් සමන්විත ජනාධිපති කොමිසමක් පත් කෙරුණා. මේ කොමිසම ශ්‍රී ලංකාවේ සමස්ත ගල් අඟුරු ගෙන්වීමට අදාළ ලෙස පරීක්ෂණ පවත්වන්නට බලය සහිත එකක් වීම යන්න උසුළු විසුළුවට ලක් කිරීම විපක්ෂයේ වැඩක්. රටේ පැවැති සහ පවතින විශාලතම ටෙන්ඩරය මෙය බැවින් එහි සුලමුල ආරම්භයේ සිට පරීක්ෂාවට ලක්විය යුතුයි. නැතිනම් ගල් අඟුරු ක්‍රියාවලිය කඩින්කඩ විභාග කිරීමට නැවත නැවතත් කොමිසම් දැමිය යුතු වනු ඇති. එය විහිළුවක්. මාස හයකදී වසර ගණනාවක සමස්ත ක්‍රියාවලිය එක් ව පරීක්ෂාකොට දූෂණයක් වේනම් අදාළ සියල්ලන්ට ම දඩුවම් කිරීමයි ජනතා කැමැත්ත ද වන්නේ. අලාබයක් වීනම් එකල අදාළ බලධරයාගෙන් එය අයකරගෙන පොදු ජනතාවට සාධාරණය කිරීමයි එහි අරමුණ.
මේ සියල්ල යළි සලකා බලනවිට ක්ලීන් ශ්‍රී ලංකා යනු ජනතා අත්දැකීම විසින් ඉල්ලා සිටින ලද වැඩ පිළිවෙළක්. සමාජ සංවර්ධනය න්‍යායට අනුව සකස් කළ ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරි සැලැස්මේ අංගයක්. මෙය සාපේක්ෂ ව බලන්නේනම් ජනතා කැමැත්ත හා පාලනයේ ප්‍රතිපත්තිය එකට එක්වන මොහොත. එනම් ක්ලීන් ශ්‍රී ලංකා යනු වත්මන් ජනතා පාලනයේ ජනතා වුවමනාව. අනෙක් අතට ජනතාව ඉල්ලා සිටින ක්‍රමවේදයේ වෙනසේ හෘදය සාක්ෂිය. භෞතික පරිසරයෙන් ඇරැඹී සමාජයේ වෙන් වෙන් පුද්ගලයා ලෙස සම්පූර්ණ කරගන්නා ආධ්‍යාත්මික පවිත්රත්වය මෙහි ඉහළ එක් අවස්ථාවක් වුවත් පරිවර්තිත නව සමාජයේ, සමාජ හෘදය සාක්ෂිය ක්ලීන් ශ්‍රී ලංකා බවට පත් වන මොහොතයි මෙහි පරිපූර්ණ සමාජ ජයග්‍රහණය. එනම් පක්ෂ, පාට, ආගම්, කුලමල හා ප්‍රාදේශීය යන සියලු පටු බෙදුම් රේඛා බොඳ වී ප්‍රභූ සහ නිර්ප්‍රභූ වශයෙන් සමාජ බෙදුම් රේඛාව නිවරැදි කරමින්, එහි සාතිශය බහුතරය වැඩකරන පංතිය වෙමින්, ඉතා කුඩා සුළුතර අලස ප්‍රභූ පංතිය හැකිළී යමින් සමාජ ප්රගමනය වෙනුවෙන් කැපවෙන ‘සමස්ත මානව වර්ගයා’ යන සාමුහික පොදු ගුණය වෙත යන තෙක් ක්ලීන් ශ්‍රී ලංකා නමින් හෝ වෙන නමකින් හෝ සමාජ ආධ්‍යාත්මික පවිත්‍රකරණය පවතිනු ඇති.
ශ්‍රී ලංකාව ලෙස අද අප සිටින්නේ එහි ආරම්භක අවධියේ. දැන් එය සාමුහික පුරුද්ද දක්වා යා යුතු ජනතා පාලනයක කැමැත්තක්. එය පුළුල් සමාජ සංස්කෘතියක් වන්නේ ජනතා පාලනය යන්න සැබවින් ම ජනතාව සතුවෙමින් එය පොදු සාමුහික ගුණයක් වන තරමට. ජනතාවට පාලන බලය පුළුල් ලෙස දිය යුතු වෙනවා. එය පුරුදු පුහුණු කළ යුතුයි. ප්‍රායෝගික අත්දැකීම් ලෙස ම ජනතා බලය භුක්ති විඳින ජනතා පාලනයකදී එය යළි කිසිදාක ජනතාව අත්හරින්නේ නැහැ. පාලකයන් ලෙසින් ද ජනතාව තනි පුද්ගලයන් ලෙසින් ද දූෂණයේ ගොදුරු බවට පත්වීම සමාජ හෘද සාක්ෂියේ පවිත්රත්වය විසින් පරාජය කරනු ලබන සමාජයක් කරා යාම ක්ලීන් ශ්‍රී ලංකා වන බැවින් ක්ලීන් ශ්‍රී ලංකා යනු ලංකික සමාජයේ හෘදය සාක්ෂිය.






