#විදේශ විත්ති

කලාපීය යුද්ධයේ ගෝලීය අර්බුදය

ඇමරිකාව- ඊශ්‍රායලය සහ ඉරානය අතර යුද්ධය යම් ආකාරයකට සමථයකට පත් වී තිබුණත් එය නිශ්චිත විසඳුමකට මෙතෙක් එළැඹී නැහැ. යුද්ධය සෘජු ව ම නොපැවතියත් එහි වක්‍රාකාර බලපෑම් තිබෙනවා.

මේ අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ඇමරිකාව සහ ඉරානය අතර පළමු වටයේ සාකච්ඡා පාකිස්තානයේදී පැවතුණා. එහිදී නිශ්චිත එකඟතාවකට පැමිණියේ නැහැ. පැවැත්වීමට නියමිත ව තිබූ ඇමරිකා-ඉරාන දෙවැනි වටයේ සාකච්ඡා අවලංගු කර තිබෙනවා. දෙවැනි වටයේ සාකච්ඡා සඳහා ඉරාන නියෝජිතයන් පාකිස්තානයට පැමිණියත් ඔවුන් ඇමරිකා නියෝජිතයන් මුණ නොගැසී ආපසු පිට ව ගොස් තිබෙනවා. මෙවැනි පසුබිමක ඇමරිකා නියෝජිතයන් පාකිස්තානයට එවන්නේ නැති බවත් අවශ්‍යනම් ඉරානය සමඟ දුරකතන මාර්ගයෙන් සාකච්ඡා කළ හැකි බවත් ඇමරිකා ජනාධිපති Donald Trump සඳහන් කළා. එසේ ම ඉරානය බුද්ධිමත් තීරණයක් ගත යුතු බවත් න්‍යෂ්ටික ආයුධ නිෂ්පාදනය පිළිබඳ කිසිදු ආකාරයක අවධානයක් යොමු නොකළ යුතු බවත් ඔහු අවධාරණය කර තිබෙනවා.

එම කාලය අතරතුරදී ඉරානය හෝමූස් හරහා යාමට පැමිණි නෞකා අවහිර කළ අතර ඇමරිකාව, ඉරාන වරායවලින් පිටවන නෞකා අවහිර කිරීමේ ක්‍රියාවලියේ නිරත වුණා. ඇමරිකා ජනපතිවරයා පවසන්නේ ඉරාන නායකත්වය විනාශ කර ඇති බැවින් ඔවුන්ගේ නායකයන් පිළිබඳ පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයක බව. එහෙත් ඉරාන බලධාරින් සඳහන් කරන්නේ උත්තරීතර නායක Mojtaba Khameneiගේ උපදෙස් මත සියලු ක්‍රියාමාර්ගවලට එළැඹ ඇති බව. ඔහු සමඟ වසර 15ක් සිටි පිරිසක් ටෙහෙරාන්හි තීරණ ගැනීමේ මධ්‍යස්ථානවලට යොමු කර ඇති බව අල්ජසීරා ප්‍රවෘත්ති සේවය සඳහන් කරනවා.

ඒ අතරතුර එක්සත් අරාබි එමීර් රාජ්‍යය තීරණය කර තිබෙන්නේ OPEC සංවිධානයෙන් ඉවත්වීමට. යුද්ධය සහ OPEC සංවිධානයේ මැදිහත් වීම මත ඇති වූ තත්ත්වය වෙනසකට ලක් කිරීමයි ඔවුන්ගේ අරමුණ. ඒ අනුව නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම වෙනුවෙන් මේ තීරණය ගත් බවයි ඔවුන් පවසන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඇමරිකාව අතර සහයෝගිතාව වර්ධනය වීමට ද මෙය හේතුවක් විය හැකියි. OPEC ධාරිතාවෙන් 15%ක් පමණ අයත් වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට. ඔවුන්ගේ මේ තීරණයත් සමඟ OPEC සංවිධානයේ පැවැත්ම සම්බන්ධයෙන් ද යම් ආකාරයක ගැටලුකාරී තත්ත්වයක් මතු ව තිබෙනවා. පවතින වාතාවරණය අනුව ලෝක බැංකුව පෙන්වා දෙන්නේ බලශක්ති මිල ගණන් 24%කින් පමණ ඉහළ යනු ඇති බව. කෙසේ වෙතත් වර්තමානයේ පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයක්.

ඉරානය සහ ඇමරිකාව අතර අප්‍රේල් 08 දින සිට ආරම්භ වූ සටන් විරාමය යළි දීර්ඝ කරන බව ඇමරිකා ජනාධිපතිවරයා සඳහන් කළා. ඒ, පාකිස්තානයේ ඉල්ලීම පරිදි සාකච්ඡා අවසන් වන තුරු. මැදපෙරදිග කලාපයේ ආතතිය අඩුවීමක් සිදු වන බවක් පෙනෙන්නට නැහැ. ඇමරිකාවේ තවත් ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් මැදපෙරදිග කලාපයට යොමු කිරීමත් ඒ අතර දැක ගත හැකියි.

යුද්ධය ආරම්භ වූ පෙබරවාරි 28 දින සිට පුද්ගලයන් 3000කට වැඩි පිරිසක්      මියගොස් ඇති බව ඉරානයේ මානව හිමිකම් ක්‍රියාකාරී කණ්ඩායම පෙන්වා දෙනවා. ඒ අතර ළමයින් ද සිටිනවා. සමාජ ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ යුද්ධයෙන් ඉරානයේ මිලියන 02කට පමණ රැකියා අහිමි වී ඇති බව. ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් එරට පුද්ගලයන් 1947 දෙනෙක් මියගොස් ඇති බව. ගල්ෆ් කලාපයේ අනෙකුත් රටවල අවම වශයෙන් පුද්ගලයන් 24 දෙනෙකු මිය ගොස් ඇති බව සඳහන්. දකුණු ලෙබනනයේ වෙන ම ආරක්ෂක කලාපයක් ප්‍රකාශයට පත් කිරීමට ඊශ්‍රායලය සැලසුම් කර තිබෙනවා. ලෙබනනයට එරෙහි යුද්ධය අවසන් කිරීම සඳහා තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබුණත් ඊශ්‍රායලය වරින් වර ලෙබනනයට ප්‍රහාර එල්ල කිරීම නවතා නැහැ. යුද්ධය ආරම්භයේ සිට ඉරානය විසින්  21 දෙනෙකුට මරණ දඬුවම නියම කරන ලද බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරනවා. තවත් 4000කට පමණ සිදු වී ඇත්තේ අත්අඩංගුවේ පසුවීමට.

යුද්ධය හේතුවෙන් මැදපෙරදිග ආර්ථික බිඳ වැටීම ගැන එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අනතුරු අඟවා තිබෙනවා. ඒ අනුව එම කලාපයේ දළ දේශීය නිෂ්පාදනය 6%කින් අඩු විය හැකි අතර මූල්‍ය වෙළෙඳපොළට එල්ල වන බාධා නිසා ඩොලර් බිලියන 120-194 අතර මූල්‍ය පාඩුවක් සිදුවිය හැකියි. නැව්වල රක්ෂණ පිරිවැය ඉහළ යාම සහ අස්ථාවර තෙල් මිල හේතුවෙන් අන්තර් සම්බන්ධිත ආර්ථිකවලට බලපෑම් එල්ල විය හැකියි. උද්ධමනය මෙන් ම ණය ගැනීමේ පිරිවැය ද ඉහළ යා හැකි අතර ආහාර සහ බලශක්ති මිල ගණන් ඉහළ යාමෙන් කලාපයේ මිලියන 04කට ආසන්න පිරිසක් දරිද්‍රතාවට පත් කළ හැකි බවත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පෙන්වා දෙනවා. මෙහි බරපතළ ම බලපෑම එල්ල විය හැක්කේ ඉරානයට. එහි මිලියන සංඛ්‍යාත පිරිසක් දරිද්‍රතාවට පත් වීම ද වැළැක්විය නොහැකියි. යුද්ධය ආරම්භයේ සිට ගෝලීය ගුවන් ප්‍රවාහන ඉන්ධන මිල දෙගුණයකට වඩා වැඩි වී ඇති බව ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය පවසනවා. ආසියා කලාපයට ද මෙහි බලපෑම වැඩි වශයෙන් එල්ල වී තිබෙන අතර උතුරු ඇමරිකා කලාපයට එම වැඩිවීම පෙන්වා ඇත්තේ සියයට           88%ක් ලෙස. හෝමූස්  හරහා ගමන් කරන නැව්වලින් ගාස්තු අය කිරීමට ඉරාන පාර්ලිමේන්තු අනුමැතිය හිමි වූ අතර ඉන් එකතු කළ පළමු ගාස්තුව මුල්වරට මහා භාණ්ඩාගාරයට යොමු කළ බව ඉරානය පවසනවා. ඉන් සිදුවන්නේ භාණ්ඩ ප්‍රවාහන ගාස්තු තවත් ඉහළ යාම. යුද්ධය නිසා මතුවන තර්ජන හේතුවෙන් ගල්ෆ් කලාපයේ දිනකට බොරතෙල් බැරල් මිලියන 15ක් පමණ සිර වී ඇති අතර ඉන් ගෝලීය වෙළෙඳපොළේ අස්ථාවරත්වයක් නිර්මාණය වීම වළක්වන්නට බැහැ.

ඉන්ධන සම්බන්ධයෙන් මතු වන ගැටලු අවම කිරීම සඳහා බංගලි දේශය වැනි රටවල් හඳුන්වා දී තිබෙන්නේ සලාක ක්‍රමයක්. වසර 04කට පසුව බි්‍රතාන්‍යයේ පළමුවරට පෙට්‍රල් මිල 14%කින් හා ඩීසල් මිල 27%කින් ඉහළ ගොස් තිබෙනවා. සමුද්‍ර සන්ධිය අවහිර කිරීම නිසා නැව් 2000ක් පමණ කලාපයේ සිර වී ඇති බවයි ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය පවසන්නේ. යුද්ධය නිසා ලෝකයේ බොරතෙල් සහ ස්වාභාවික ගෑස් සැපයුම්වලින් 20%ක් පමණ අහිමි කර තිබෙනවා.

ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙන්නේ තෙල්, ස්වාභාවික ගෑස් සහ පොහොර මිල ගණන් වැඩිවීම ආහාර අර්බුදයක් ඇතිවීමට හේතුවක් විය හැකි බව. ඒකාබද්ධ ප්‍රකාශනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ අඩු ආදායම්ලාභී හා ආනයන මත යැපෙන ආර්ථිකවලට මෙය අවදානම් බව. මේ වන විටත් උග්‍ර ආහාර හිඟයකින් පෙළෙන ජනගහනය මිලියන 300ක් පමණ වෙනවා. එය        20%කින් පමණ ඉහළ යා හැකි බවයි ලෝක බැංකුව පවසන්නේ.

ධවල මන්දිරය පෙන්වා දෙන්නේ 2027 මූල්‍ය වර්ෂය සඳහා ජනාධිපති Donald Trump ආරක්ෂක වියදම් ලෙස ඩොලර් ටි්‍රලියන 1.5ක් අය වැයට ඇතුළත් කිරීමට තීරණය කර ඇති බව. එහෙත් ජනාධිපතිවරයාට යුද්ධ කිරීමට ඇති හැකියාව සීමා කරමින් සෙනෙට් සභාවට ඉදිරිපත් වූ තවත් යෝජනාවක් පරාජය වී තිබෙනවා.   

The Economist පෙන්වා දෙන ආකාරයට හෝමූස් හේතුවෙන් ඇති වූ අවපාතය නිර්මාණය කරන දුෂ්කරතා වඩාත් වර්ධනය විය හැකියි. ඇමරිකාවට ජෙට් ඉන්ධන අවසන් වීමේ ක්ෂණික අවදානමක් නැතත් ගෝලීය හිඟය ඔවුන්ට ද බලපෑම් කර තිබෙනවා. ඇමරිකාවේ සංචාරකයන්ගේ ගමන් ගාස්තු ඉහළ යාමට එය හේතු වුණා. ගුවන් සමාගම්වල දෙවැනි විශාලතම පිරිවැය වෙන් වන්නේ ඉන්ධනවලට. කුවේට් සහ බහරේන්වල සැපයුමට බාධා එල්ල වුවහොත් මේ තත්ත්වය තවත් වර්ධනය විය හැකියි. නව අවි ආයුධ නිෂ්පාදනය සඳහා       පෙන්ටගනයට 2027 වසර වෙනුවෙන් ඩොලර් බිලියන 31.8ක් අවශ්‍ය බව මාධ්‍ය වාර්තා කරනවා. යුද්ධය වෙනුවෙන් වියදම් දැනටමත් ඩොලර් බිලියන 50ක මට්ටමට ළඟා වී ඇති බව ඩිමොක්‍රටික්  පක්ෂය ඇස්තමේන්තු කර තිබෙන්නක්. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු වැඩි ම ආරක්ෂක වියදමක් සිදු කර තිබෙන්නේ ට්‍රම්ප් පරිපාලනය.

හාවඩ් විශ්වවිද්‍යාලය පෙන්වා දෙන්නේ ගැටුම් අවසානයේ ඇමරිකාවේ බදු ගෙවන්නන්ට ඩොලර් ටි්‍රලියනයක් දක්වා අමතර ව වැය කිරීමට සිදු විය හැකි බව. කෙසේ වෙතත් ධවල මන්දිරය එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. 2027 වසරේ ආරක්ෂාව සඳහා ඩොලර් ටි්‍රලියන 1.5ක් අනුමත කරන ලෙස කොංග්‍රසය ඉල්ලා ඇති අතර එය 40%ක වැඩි වීමක්.

යුද්ධය නිසා ලොවට අහිමි වූ තෙල් සැපයුමෙන් ඩොලර් බිලියන 50ක් පමණ අහිමි වී අවසන්. තෙල් නිෂ්පාදනයෙන් දිනකට බැරල් මිලියන 10ක් පමණ අඩු වී ඇති බව නාවික විශ්ලේෂකයන් වන Kpler  ආයතනය පෙන්වා දෙනවා. භාණ්ඩ සැපයීම සඳහා වන බාධා නිසා 2026 හා 2027 යන කාලයේදී ආසියා පැසිපික්  කලාපයේ ආර්ථික වර්ධනය 5.4% සිට 5.1% දක්වා මන්දගාමී විය හැකියි.    

යුද්ධය හේතුවෙන් ඇමරිකාව ලෝකයට එල්ල කළ බලපෑම සම්බන්ධයෙන් යළිත් සලකා බැලීමේ තත්ත්වයක් මතු කර තිබෙනවා. මුස්ලිම් බහුතර රටවල ජනතාව ඇමරිකාවට එරෙහි විරෝධතාවල නිරත වීම, NATO සංවිධානයේ ඇතැම් සාමාජිකයන් යුද්ධයට මැදිහත්වීම ප්‍රතික්ෂේප කිරීම ඉන් කිහිපයක්. යුද්ධය අපේ දෙයක් නොවේය යන්න NATO හි ඇතැම් නායකයන් සඳහන් කළත් ඇමරිකාවේ යුද ශක්තිය නෙටෝ සංවිධානයේ ප්‍රධානතම ශක්තියක් බව ද පෙන්වා දිය යුතුයි. ඇමරිකාව නෙටෝවෙන් ඉවත් වුවහොත් එය ඇමරිකා අභ්‍යන්තරයේ දේශපාලන ගැටලුවක් ද විය හැකියි. ඇමරිකා ජනාධිපතිගේ යුද ක්‍රියාමාර්ග පිළිබඳ NBC ආයතනය සිදු කළ මත විමසුමකින් හෙළි වූයේ ඇමරිකා ජාතිකයන්ගෙන් 2/3ක් පමණ මේ යුද්ධයට අප්‍රසාදය පළ කර ඇති බව. එසේ ම ඇමරිකාවේ කළ සමීක්ෂණවලින් හෙළි වී තිබෙන්නේ වියට්නාම යුද්ධයෙන් අනතුරු ව බහුතර පිරිසක් අප්‍රසාදය පළ කරන යුද්ධය මෙය බව. අල්ජසීරා වාර්තා කරන ආකාරයට යුද්ධය ආරම්භයේදී ඊට අකමැති වූ ඇමරිකා ජාතිකයන්ගේ සංඛ්‍යාව 43%ක්. අප්‍රේල් 12 දින වන විට එම සංඛ්‍යාව 60% දක්වා වැඩි වී තිබෙනවා.

යුද්ධය හේතුවෙන් ඇමරිකාව සතු අවි ආයුධවල ක්ෂය වීමක් සිදු ව තිබෙන බවයි වාර්තා වන්නේ. ඉරානය සමඟ යුද්ධය අවසන් වී වෙනත් යුද්ධයක් ඇතිවුවහොත් ප්‍රබල විරුද්ධවාදියෙකුට මුහුණදීම සඳහා පවතින ආයුධ ප්‍රමාණවත් නොවන අතර පෙර මට්ටමට යළි ළඟාවීම සඳහා වසර කිහිපයක් ගතවිය හැකි බව CSIS විශ්ලේෂණ ආයතනය දක්වා තිබෙනවා. Bloomberg දක්වන ආකාරයට ඇමරිකාවේ නාවික ආධිපත්‍යය ද අඩු වී තිබෙනවා. දැනට පවතින නැව් 300න් බටහිර අර්ධ ගෝලයේ සිට පැසිපික් දක්වා මෙහෙයුම් කිරීමට සිදු ව තිබෙන අතර එය පහසු නැහැ.

www.americanprogress.org  වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ දූෂිත වායුව හා දූෂිත ජලය හේතුවෙන් දිගුකාලීන සෞඛ්‍ය අවදානමක් ද මතු ව ඇති බව. තෙල්, රසායනික කම්හල් සහ ආයුධ ගබඩාවලට බෝම්බ හෙළීම හේතුවෙන් සිදුවන පරිසර හානිය ද ඉහළ ගොස් තිබෙනවා. මැදපෙරදිග කලාපය ජල හිඟයකට මුහුණදෙන බැවින් ජනගහනයෙන් 83%කට පමණ ජල අනාරක්ෂිත බවක් ඇතිවීමේ අවදානමක් ද තිබෙනවා. ගල්ෆ් කලාපය පුරා පානීය ජලය බවට පිරිසිදු කර භාවිත කරන්නේ මුහුදු ජලය. මෙහි ක්‍රියාවලිය කම්හල් මත රඳා පවතින නිසා මේවාට හානි සිදුවුවහොත් මානුෂීය අර්බුදය උත්සන්න විය හැකියි.

මෙවැනි පසුබිමක යුද්ධය ඉතා කඩිනමින් අවසන් නොවුවහොත් සාමකාමී, දේශපාලනික, තානාපති මාර්ගයේ විසඳුම් මීට නොලැබුණහොත් මේ අර්බුදකාරී තත්ත්වය තවදුරටත් උත්සන්න වීම වැළැක්විය නොහැකි වනු ඇති.

කලාපීය යුද්ධයේ ගෝලීය අර්බුදය

බලය පරයන ජවය