#ක්‍රීඩා

සාමුහිකත්වයේ ජය ටැඹ

මෙවර ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරගයේදී ස්පාඤ්ඤය තනි තරුවක් වෙත විශ්වාසය නොතබමින්, කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කළා. ඒ සමඟ ආජන්ටිනාව Lionel Messi මත රඳවා තිබූ බලාපොරොත්තු සීමා කිරීමට ස්පාඤ්ඤයට හැකි වුණා. එහිදී ආජන්ටිනාවේ ප්‍රහාරක රිද්මය බිඳ දමමින් පෙර, මැද සහ පසු ලෙස ස්පාඤ්ඤය රඳවාගෙන ගිය කණ්ඩායම් රිද්මයේ ඒකීයත්වය කැපී පෙනුණා. අවසාන ප්‍රතිඵලය ලෙස ස්පාඤ්ඤය 1:0ක් ලෙස ජය ගත්තේ තරගය සඳහා අතිරේක කාලය ද වැය කරමින්. කරට කර පැවති සටනකින් පසු ස්පාඤ්ඤය ඉතා අසීරුවෙන් ජය ගත් තරගයක් ලෙසයි මෙය ඉතිහාසයට එක්වන්නේ. එහෙත් අතිරේක කාලයට නොයා ස්පාඤ්ඤයට ජය තහවුරු විය හැකි අවස්ථා දෙකක් ද උදා වී තිබුණා.

Nico Williams ගේ ගෝලය (අතිරේක කාලයේ 96 වැනි මිනිත්තුව) පාදය මත පා තැබීම (foul) හේතුවෙන් අවලංගු වුණා. VAR  පරීක්ෂාවෙන් පසුව විනිසුරු තීරණය කළේ ගෝලයට පෙර ගොඩනැඟුණු ක්‍රීඩා රටාවේදී ස්පාඤ්ඤයේ Mikel Merino ආජන්ටිනාවේ Nicolás Otamendiගේ පාදය මත පා තැබීම වරදක් (foul) බව. අතිරේක කාලයටත් පෙර ජයග්‍රාහී ගෝලය ලබා ගත් Ferran Torres ලබා ගත් ගෝලයක් ද offside ලෙස නම් කරන්නට යෙදුණා.

එපමණක් නොව ආජන්ටිනා දැල් රකින්නා Emiliano Martinez ආජන්ටිනා දැල වෙත එල්ල වූ ප්‍රහාර නවතා                  නොගන්නට තරගයේ අතිරේක කාලයට නොයා ආජන්ටිනාවට මීට වඩා බරපතළ පරාජයකට යන්නට සිදු වීම අනිවාර්යයි. ආජන්ටිනාවේ නීති විරෝධී හැසිරීම්වලින් ඔවුන් ලබා ගත් පරාජයට වැඩි අපකීර්තියක් ද තරගයෙන් අනතුරු ව විඳින්නට සිදු වුණා. ආජන්ටිනාවට සහයෝගය දැක් වූ පිරිස් ස්පාඤ්ඤයේ ජයග්‍රහණය පිළිබඳ ව සතුටු වුණේ ක්‍රීඩකත්වය නැති, පරාජය දරා ගැනීමට නොහැකි කණ්ඩායමක් ශූරයන් නොවිය යුතු බව පෙන්වා දෙමින්.

ආජන්ටිනාව අවසාන තරගය කරා පැමිණෙද්දී ප්‍රතිවාදී කණ්ඩායම් සම්බන්ධයෙන් ලැබුණු තීරණ පිළිබඳ බොහෝ විවේචනත් එල්ල වුණා. රතු කාඩ්පත් ලැබී ඇතැම් ක්‍රීඩකයන්ට එළියට යාමට සිදු  නොවුණා නම් ආජන්ටිනාව එහිදී පරාජය වන්නට ඉඩ තිබුණු බවට ද අදහස් පළ වුණා. ආජන්ටිනා කණ්ඩායම පරාජයේදී හැසිරුණු ආකාරයට පරාජය වූ කිසිදු තරගයකදී ප්‍රතිවාදීන් ආජන්ටිනාවට එරෙහි ව හැසිරුණේ නැහැ. මෙය ආජන්ටිනාවට පමණක් නොව සමස්ත පාපන්දු තරගවලට ම කළ නිග්‍රහයක් ලෙස සලකා ලෝක පාපන්දු සම්මේලනය ද යම් යම් ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.

අවසානයේ Messi සමුගැනීමේදී අයත් විය යුතු ව තිබූ සියලු දේ අහිමි වුණා. ලෝක කුසලාන ඉතිහාසයේ වැඩි ම ගෝලලාභියා ලෙස ඔහුට හිමි වන්නට තිබූ ගෞරවය Kylian Mbappe (ප්‍රංශය) දිනා ගත්තා. ඒ, තරගාවලියේ වැඩි ම ගෝලලාභියා වීමේ ගෞරවය ද ඔහුට හිමි කර ගනිමින්. Messiගේ සමුගැනීම ශූරතාවකින් නිමා කිරීමට තිබූ අවස්ථාව ස්පාඤ්ඤය නිසා අහිමි වුණා. ඔහු නායකත්වය දුන් කණ්ඩායම විනයක්, හික්මීමක් නොමැති කණ්ඩායමක් ලෙස ලෝකයට ප්‍රදර්ශනය වුණා. ඔහුගේ ක්‍රීඩක කීර්තියට ද විශාල හානියක් සිය සඟයන් විසින් ම ඇති කරනු ලැබුවා.

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී බොහෝ රටවල් යැපුණේ සිය රටේ ජිවත් වන ක්‍රීඩකයන්ගෙන් නොවෙයි. සිය රටේ සම්භවය සහිත, විවිධ රටවල ජීවත් වන ක්‍රීඩකයන්ගෙන්. මෙහි වරදක් නැහැ. එය ලෝක පාපන්දු සම්මේලනය පිළිගන්නා, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ද විශ්වාස කරන ප්‍රතිපත්තිමය කාරණාවලට එකඟ වන්නක්. ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ද වර්තමානයේ ලෝක අවධානයට ලක්වෙමින් විශාල ප්‍රගතියක් පෙන්වන්නේ ඩයස්පෝරා ක්‍රීඩකයන්ගේ ද දායකත්වයෙන්. මේ සම්බන්ධයෙන් ලෝකය සමඟ සමාන්තර ව සිතීමේ දුෂ්කරතාවෙන් පෙළෙන බොහෝ අයට විවේචන තිබුණත් ඊට තිබුණු දේශපාලනික බලපෑම අවසන් කරමින් ඕනෑ ම ක්‍රීඩාවක නිරත ලෝකවාසී ලාංකේය සම්භවයක් සහිත ක්‍රීඩකයන්ට ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට ආරාධනා කිරීමෙන් ඒ ගැටලුව නිරාකරණය වුණා.

වසර 54කට පසු ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කළ කොංගෝ කණ්ඩායම සම්පූර්ණයෙන් ම ඩයස්පෝරා කණ්ඩායමක්. ආහාර හිඟයෙන්, ලෙඩ රෝගවලින්, දුප්පත්කමෙන්, නූගත්කමෙන් හා යුද්ධයේ බලපෑමෙන් යුක්ත වූ රාජ්‍යයක් ලෙස කොංගෝව හඳුන්වන්න පුළුවන්. එහි ප්‍රතිඵලයක් ලෙස අශිෂ්ට බලකාමයෙන්, ගෝත්‍රිකත්වයෙන් මුළා වූ මිනිසුන්ගේ වියරුවක් දක්නට ලැබෙනවා. ඇතැම් කණ්ඩායම්වල ඩයස්පෝරා ක්‍රීඩකයන් කණ්ඩායමට එක් ව තිබුණේ සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ. සමාජ මාධ්‍ය ජාලයක් ඔස්සේ පණිවිඩ යවමින් කැබෝවර්ඩ් කණ්ඩායමට එක් කර ගත් Pico Lopes  ඊට උදාහරණයක්. එම කණ්ඩායමේ දැල් රකින ක්‍රීඩක Vozinha ද ලෝකයේ ම අවධානය දිනා ගත් ක්‍රීඩකයෙක්. ඔහුගේ දැල රැකීමේ දක්ෂතාව ද ඉහළින් කැපී පෙනුණත් ඒ අවධානය හිමි වූයේ ඔහු තුළ තිබූ මව් සෙනෙහස ගැන හැඟීමට. Vozinha සිය පළමු තරගයේදී දක්ෂතම ක්‍රීඩකයා වුණා. අනතුරු ව ඔහු හඬමින් මාධ්‍යයට පැවසුවේ සිය මවට පැමිණ තරග නැරඹීමට වත්කමක් නොමැති බව. Vozinha පෘතුගාලයේ ජීවත් වුවත් සිය මව කැබෝවර්ඩ්වල පිරිසිදු කරන්නියක වීම නිසා එසේ පැමිණීමට නොහැකි බව දැන ගැනීමෙන් ඇමරිකාව ම සලිත වුණා. මේ නිසා ඔවුන් ඉදිරිපත් වුණේ ඒ සඳහා නොමිලේ සියල්ල සකස් කර දීමට.

ඩයස්පෝරා කතාවේ එක් තීරයක ප්‍රංශය දැඩි ව විවේචනයට ලක් වුණා. ඒ, ඔවුන්ගේ කණ්ඩායම ප්‍රංශයේ උපන් ක්‍රීඩකයන්ගෙන් සමන්විත ව සිටියත් ඒ සියල්ලන් ම සංක්‍රමණික පවුල්වලින් පැවත එන්නන් වීම හේතුවෙන්. ගෝලීය තත්ත්ව සමඟ වෙනස් වන ක්‍රීඩාව සහ මිනිස් අයිතිය ගැන නොදැන හෝ ප්‍රංශයේ දක්ෂතා ගැන කුහකකමින් කළ මේ ප්‍රකාශ පිටුපස ඔවුන් කතා නොකළ තවත් ඇත්තක් තිබුණා. ඒ, වෙනත් රටවල් නියෝජනය කළ බොහෝ ක්‍රීඩකයන්ට නිජබිම වෙමින් ද වාසස්ථානය වෙමින් ද ඔවුන්ගේ පාපන්දුව පෝෂණය කළේ ප්‍රංශය වීම නිසා.

ඇමරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව සිය සත්කාරකත්වයෙන් විශාල මූල්‍ය වාසියක් මෙන් ම කීර්තියක් ද අත්කර ගන්නට අවශ්‍ය පසුබිම සකස් කරගෙන තිබුණා. ශ්‍රී ලංකාව වැනි රටක සංගීත ප්‍රසංගයකදී පවා දකින්නට ලැබෙන්නේ දැඩි ප්‍රවාහන තදබදයක්. එහෙත් අවසාන තරගයේදී ක්‍රීඩා පිටිය අවට එවැනි තත්ත්වයක් නොදැනෙන්නට සියල්ල සැලසුම් කර තිබුණා. රටට ලැබෙන භෞතික ලාභවලින් නොනැවතී පාපන්දුවෙන් ඉහළ ස්ථානයකට පැමිණෙමින් රටවල් 03 ම දෙවැනි වටයට  පැමිණීම අගය කළ යුත්තක්. 

තරගාවලියේ මුල සිට අග දක්වා ම ලකුණු ලැබෙන ක්‍රමවේදයක ඒ ඒ අංශවලින් පෙරමුණේ සිටින්නේ කවුරුන්ද යන්න තහවුරු කළ හැකි ගණනයක් සිදු වුණා. එය විනිවිද දකින සාර්ථක සහ විශ්වසනීය ක්‍රමවේදයක්. ඒ ආකාරයට ගොඩනැඟුණු දක්ෂතා අතරින් ප්‍රධාන සම්මාන 3/4ක් ම සතු වුණේ ස්පාඤ්ඤයට. එම සම්මාන 03 වන්නේ රන් පන්දුව, රන් අත් ආවරණ සහ හොඳම නැඟී එන යොවුන් ක්‍රීඩකයා. වාර්තාගත දස්කම් දැක් වූ Kylian Mbappeg රන් පන්දුව හිමි වුණා.

මේ දක්ෂතා ඇගයීමේදී රන්, රිදී සහ ලෝකඩ ලෙස ස්ථාන 03ක් ම නම් කිරීම නිසා මූලික අදියරේ සිට දැක් වූ දස්කම් අගය කිරීමේ කාර්ය සාධන ක්‍රියාවලිය කැපී පෙනුණා. රටවල් 148ක් තරග බිමට පිවිසි මෙවර තරගාවලිය කණ්ඩායම් ක්‍රීඩාවකදී තනි තරුවකට කළ හැකි දේ වෙනුවට කණ්ඩායමකට එක් ව කළ හැකි දේ ප්‍රබල බව සහතික කළ කණ්ඩායම් ක්‍රීඩාවක තිබිය යුතු හැඩය සනාථ කළ තරගාවලියක් වුණා.