#සාහිත්‍ය

බුද්ධිමය කතිකාවකට එළඹුමක්

පොසොන් පොහොය’ නමැති සංසිද්ධිය මෙරට ජන සමාජයේ, සංස්කෘතික ලෝකයේ වඩාත් බලපෑම්සහගත වූවක්. කිසියම් ජන සමාජයක එම සමාජ සංස්කෘතිය සතු වංශකතා සාහිත්‍යයේ එන ඓතිහාසික මොහොතක් සමඟ එම සමාජය අඛණ්ඩ ව සම්බන්ධ වීම මෙන් ම එම ඉතිහාසමය මොහොත ජීව අවකාශමය ලෙස වර්තමානයට ගළපා ගැනීමේ අවස්ථාවක් ලෙසටත් එය දැකිය හැකියි. මිහින්තලා පව්ව නමැති භූමි සලකුණ, ඵල පිරි අඹ ගසක් හා තනි වූ තැති ගත් මුව පොව්වෙක් යන ස්වාභාවික පාරිසරිකමය රූපික අංග ත්‍රිත්වයක් සහිත පසුතල අවස්ථාවක් සමඟ දුනු හී දරා ගත් රජු සහ පව්ව මත මිහිදු හිමි ඇතුළු පිරිවර සහිත රූපික සංඥා ලෝකයක් ජන සමාජයේ සාමුහික මනස තුළ ‘පොසොන්’ යන්නෙන් ගොඩනැගෙනවා.

හැඟවුම්කාරකයක් ලෙස ‘පොසොන්’ නමැති වචනය භූමි, සත්ත්ව, ශාක, මානව හා දිව්‍යමය යන සංඥා සංරචනය ඔස්සේ මෙරට ජන සමාජයේ පොදු හැඟවුම්කරණයක් බවට පත් ව තිබෙනවා. එය බෞද්ධ ජන මනස තුළ පමණක් නොව පොදු සමාජයේ ම සමීප ව පිළිගැනෙන රූපික සංරචනයක් බවටයි පත් ව තිබෙන්නේ.

කුඩා දරුවෙකු තම කුරුටුගෑම ඉක්මවා සමාජ සංසිද්ධි නිරුපණයට එළඹෙත් ම ප්‍රකාශන චිත්‍ර ඇදීමට ආසක්ත වන විට මේ ‘පොසොන්’ සිදුවීම නිරුපණය වෙත නිතැතින් ම යොමු වන ආකාරය දැකිය හැකියි. ළමා ප්‍රකාශන චිත්‍රවල සිට 18 වැනි සියවසේ දඹුලු ලෙන් විහාර සිත්තරා දක්වාත් 20 වැනි සියවස මුල් අවදියේ එම්. සාර්ලිස් සිත්තරාගේ සිතුවම්වලදීත් වස්තු විෂය වූ මේ සිදුවීමේ රූපික පිහිටුවීම පොසොන් සැමරුම් ස්ථාපනමය දෘශ්‍ය ඉදිරිපත් කිරීම් ලෙසින් ද සමාජයේ ප්‍රතිනිර්මාණය වන ආකාරය දැකිය හැකියි. එම ඓතිහාසික මොහොත දෘශ්‍ය ස්ථාපනවලට යොදා ගැනීමේදී මුවා සහ රජු අතර ජංගමශීලී ක්‍රියාකාරී සිදුවීම එය නිරූපණය කර දැක්වීම සඳහා වැඩි ආකර්ෂණයක් හිමි ව ඇති බව පෙනී යනවා.

පොසොන් පොහොය’ පිළිබඳ ගොඩනැගී තිබෙන අදහස් සම්බන්ධ ව ලෝකයට අයත් තවත් වැදගත් කරුණක් වනුයේ මිහිඳු හිමි හා රජු අතර පැවැති සාකච්ඡාව. මහාවංසය නමැති ලිඛිත ඉතිහාස මූලාශ්‍රයෙහි ඇතුළත් නොයෙක් සිදුවීම්වලින් සංවාද කොතෙක් පැවතිය ද මේ ‘අඹ ගස” මූලික වූ සංවාදය පොදුජන මනස තුළ ස්ථාපිත වූවක්. ”සමනාමයං මහා රාජ..” යන ගාථා පාඨය වන්දනා ගාථාවක් සේ ජන මනසේ නිරායාස ව පවතින්නක්.

බෞද්ධාගමික ඓතිහාසික සැමරුම්වලට අදාළ ව ගත් විට පොසොන් උත්සවය යනු දේශජ සංස්කෘතික අවස්ථාවක්. මෙරටට අදාළ ව ගත් විට අනිකුත් සියලු බෞද්ධ උත්සවවලින් කේන්ද්‍රීය අවස්ථාව දරාගත් සංස්කෘතික සලකුණ වනුයේ පොසොන් උත්සවය.

පොසොන් උත්සවය’ නමැති අදහස අද දවසේ අර්ථ ගන්වා ගත හැක්කේ කෙසේ ද? මේ ඓතිහාසික සිදුවීම සම්බන්ධ ව ජන මනසේ පෙර-සැකසුම් වී ඇති නාට්‍යානුසාරී සරල කතන්දරමය විලාසය ම මේ සිදුවීම පිළිබඳ වඩාත් පෘථුල අවලෝකනය සීමා  කරවනවා. ගෙවී ගිය අතීත සමාජයක එනම් අනුරාධපුර අවධියට අයත් එක් නිශ්චිත සමාජ-දේශපාලනික අවස්ථාවක එකී සමාජ දේශපාලන සන්දර්භය ඉල්ලා සිටි ‘වංශකතාව’ ගොඩනැගීම නමැති බුද්ධිමය ප්‍රවේශය මෙහිදී හඳුනාගත හැකියි.

ලිඛිත ඉතිහාසයක් ගොඩනැගීමේ එම බුද්ධිමය හා බල අවශ්‍යතාවේ ප්‍රවේශය තුළ එම වංශකතාව ගොඩනගන කාල අවස්ථාවට සියවස් කිහිපයකට පූර්ව ව සිදු වූ මහින්දාගමනය නම් දේශපාලනික සිදුවීම මතක, ස්මරණ, පරිකල්පනය ඔස්සේ ලිඛිත ඉතිහාසමය බල ව්‍යුහයකට මෙහිදී රැගෙන එනවා.

නූතනවාදයෙන් පසු ව බිහි වූ දැනුම තුළ අතීතය දෙස විචාරශීලී ව බැලීමේ අවස්ථා සැලසී තිබෙනවා. නූතනවාදී අවස්ථා පසු කළ සමාජ ස්වරූප තේරුම් ගැනීමේ බුද්ධිමය ප්‍රවේශ තුළ මතු වී තිබෙන එක් ප්‍රවාදයක් වනුයේ ‘මේ වන විට මහා ආඛ්‍යාන අහෝසි වී ඇත’ යන කරුණ. තොරතුරු සන්නිවේදනය ප්‍රබල වූ වර්තමානයක ජන සමාජයේ තොරතුරු ලෝකයක් :ෂබදෙරප්එසදබ අදරකා) අත්පත් කරගෙන තිබෙන අතර දැනුම නිෂ්පාදනයේ සහ සංස්කෘතික ගොඩනැගීමේ දේශජ අර්ථයෙන් ඉවත් ව ගෝලීය අර්ථයක් වෙත පැමිණ තිබෙනවා. සංඛ්‍යාංක තාක්ෂණය මානව සමාජ මත අධිනිශ්චය වීමත් සමඟ එතෙක් අතීත සමාජවල අදහස් ලෝකයේ ස්ථාපිත ව පැවති මහා ආඛ්‍යාන ප්‍රශ්න කිරීම්වලට යොමුවීම දැකිය හැකියි. එම මහා ආඛ්‍යාන දරා සිටි සමාජ බල ව්‍යුහයක් වෙනස් වීමත් සමඟ මහා ආඛ්‍යාන වෙනුවට කුඩා කුඩා ආඛ්‍යාන ගණනාවන් මතු වීම දැකිය හැකියි. නිදසුනකට      මහින්දාගමනය ඓතිහාසික සිදුවීම ගත් විට එම සිදුවීම යනු කලාපීය බල දේශපාලනයට නතුවීමක්, සංස්කෘතික ආධිපත්‍යයකට නතුවීමක් ආදී ප්‍රවාද මතු ව තිබෙනවා.

ගොඩනැගී තිබෙන තවත් දැනුම් පද්ධතියක් වනුයේ මේ වංශකතා ගොඩනැගීම යනු අතීත සමාජය සතු දැනුමේ ප්‍රදේශ සංස්කෘතික උරුම ලෙසට අර්ථ ගන්වා ගැනීම. එය වර්තමාන සමාජය සතු ව පවතින උරුම වටිනාකම් බවට පත් ව තිබෙනවා. මෙරට මහාවංසය යුනෙස්කෝ ලෝක උරුමයක් බවට පත් ව ඇත්තේ මිනිස් මතකය නැමති මානව සමාජය අත්පත් කරගත් සංස්කෘතික උරුම මහිමය සැලකිල්ලට ගනිමින්.

සියවස් ගණනාවක පූර්ව අතීත සිදුවීම් දේශීය ව අර්ථ තුළ පමණක් නොව කලාපීය දේශපාලන සංසිද්ධීන් සමඟ තාර්කික ව ගළපා ගනිමින් අතීත සමාජ ඓතිහාසික ව ගොඩනැංවීම යනු සරල වූවක් නොව මහත් බුද්ධිමය සම්ප්‍රදානයක්. ඉන්දියානු පුරාවිද්‍යාත්මක කැණීම් ආශ්‍රිත ව ඉන්දියානු ඉතිහාසය ගොඩනැගීමට උත්සාහ ගත් අවස්ථාවලදී ඊට මෙරට මහාවංසයේ අද වූ අවස්ථා එහි කලාපීය සංවේදීතා සඳහා නිදසුනක්.

මිහිඳු හිමි පිළිබඳ මහාවංස නිරූපණය ම සැලකිල්ලට ගතහොත් වංශකතා රචකයාගේ ජීවමය මොහොතට පූර්ව අවධියක කාල ක්‍රමික ව ගොඩනැගුණු සංස්කෘතික භූමි දර්ශනය පිළිබඳ මිහිඳු හිමි සහ රජුගේ තත්කාලීන මොහොත තුළ ඊට අතීතමය හා අනාගත සබඳතාව තාර්කික කරනවා. මේ පාඨනමය මහිමය තේරුම් ගත හැක්කේ ඒ වෙත ආත්ම මූලික ව ප්‍රවේශ වීම් තුළ නොව මානව සාරමය සංස්කෘතික ප්‍රවේශ හඳුනා ගැනීමෙන්.

ඒ අනුව ගත් විට පොසොන් උත්සවය වඩාත් දියුණු සමාජ අපේක්ෂාවක් සඳහා බුද්ධිමය කතිකාවලට එළඹීමේ හැකියාව දරා ගත්තක්. අතීත සමාජය වෙත සරලමිතික මනෝමූලික  අර්ථගැන්වීම් ඉක්මවා විචාරශීලී වීම ඉල්ලා සිටින්නක්. අගතිවිරහිත මානව සමාජ වෙත දිශාගත විය හැකි වූවක්.

බුද්ධිමය කතිකාවකට එළඹුමක්

බලය පරයන ජවය