#ක්‍රීඩා

බලය පරයන ජවය

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ වීමට නියමිත ව ඇත්තේ 2016 ජූනි 11 දින සැලසුම් කර තිබෙන සමාරම්භක උත්සවයෙන්. එහෙත් තරගාවලිය සම්බන්ධයෙන් ඇත්තේ දැඩි අවිනිශ්චිතභාවයක්. ලෝක කුසලානය පැවැත්වෙන රටක් වන ඇමරිකා එක්සත් ජනපදය, ඉරානය සමඟ යුදමය ගැටුමකට මැදි ව සිටීම එම රටවල් දෙකට සිමා නොවුණු ලෝකයට ම බලපාන ගැටලුවක්.

මැදපෙරදිග ගැටුම් සහ ගුවන් ගමන් සීමා කිරීම හේතුවෙන් තරගාවලිය නැරඹීමට පැමිණෙන ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩු විය හැකි බව පෙන්වා දුන්නත් ඉතිහාසයේ වැඩි ම ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ වන විටත් සිදු ව ඇති බවයි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ. මෙතෙක් පැවති විවිධ අදියර යටතේ ටිකට්පත් මිලියන 3කට වඩා වැඩි සංඛ්‍යාවක් අලෙවි වී ඇති බව වාර්තා වෙනවා. මින් මිලියන 2ක් පමණ පසුගිය වසර අවසානයේ අලෙවි වූ අතර තවත් මිලියනයකට වඩා වැඩි සංඛ්‍යාවක් 2026 වසර මුලදී අලෙවි වී ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ. අධික ඉල්ලුම හේතුවෙන් අවසන් මහා තරගයේ ප්‍රවේශ පත්‍රයක මිල ඩොලර් 10,000 (රුපියල් ලක්ෂ 30ක් පමණ) ඉක්මවා ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ වාර්තා වන අතර 1994 වසරේ ඇමරිකාවේ පැවති ලෝක කුසලානයේ තැබූ මිලියන 3.5ක ප්‍රේක්ෂක සහභාගිත්ව වාර්තාව මෙවර බිඳ හෙළනු ඇතැයි ද FIFA ආයතනය අපේක්ෂා කරනවා. සමස්තයක් ලෙස තරගාවලිය පුරා මිලියන 5කට අධික ප්‍රේක්ෂක පිරිසක් ක්‍රීඩාංගණ වෙත පැමිණෙනු ඇතැයි යන්නයි ඔවුන්ගේ අපේක්ෂාව.

ක්‍රිකට් ආගමක් බඳු වන අතර ක්‍රීඩා කරමින් සහ නරඹමින් එය අදහන පිරිසක් සිටිනවා. බොහෝ පාපන්දු විශිෂ්ටයන්ගේ කෝටිපති ජීවිත ආරම්භ වී ඇත්තේ දරිද්‍රතාවේ පතුලේ සිට. ඒ නිසා ජීවිතය වෙනස් කළ හැකි ශක්‍යතාවක් ඇති දර්ශනයක් තරමට ඒ ජීවිතවල ඇත්ත කතා මිනිස්සුන්ට ලබාදෙන ආදර්ශය ද නිසා පාපන්දු යනු ජීවන චක්‍රය වෙනස් කරන විප්ලවයක් ලෙස සිතිය හැකියි. මේ ගැන පෙලේ, මැරඩෝනා සිට මෙසී, රොනාල්ඩෝ දක්වා වන සියලු පාපන්දු දෙවිවරුන් ලෙස ප්‍රෙක්ෂකයන්ගේ ආදරයට පමණක් නොව භක්තියට ද බඳුන් වන ජීවිත කතාවලට එබීමෙන් තහවුරු කර ගන්නට පුළුවන්.

මේ ආශ්චර්යය සහ ආකර්ෂණය යන කාරණා පැවසුවේ පවතින තත්ත්වය තුළ වෙඩි බෝම්බ මැදින් පාපන්දුවේ බලාපොරොත්තුවලට එම ජාතික සංචිත පණ දෙමින් සිටින තත්ත්වය ද නිදසුන් ලෙස ගනිමින්. ඉරානය පමණක් නොව මැදපෙරදිග ම පිරී තිබෙන්නේ යුද්ධයේ පීඩිතයන්ගෙන්. එවැනි තත්ත්වයක මැදපෙරදිග රටවල් මෙන් ම යුද්ධයේ ආසන්න ඉලක්කයක් ව පවතින තූර්කිය ද වසර 24කට පසු ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා තිබෙනවා.

එහිදී ඉරානය: ‘G‘ කාණ්ඩයෙන්,  ඉරාකය: ‘I. කාණ්ඩයෙන් (ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ 48 වැනි සහ අවසාන කණ්ඩායම), සෞදි අරාබිය: ‘H‘ කාණ්ඩයෙන්, කටාර්: ‘E’ කාණ්ඩයෙන්, ජෝර්දානය: ‘J‘ කාණ්ඩයෙන් (මංගල ලෝක කුසලාන සහභාගිත්වය), ඊජිප්තුව: ‘G‘ කාණ්ඩයෙන්, මොරොක්කෝව: ‘F’ කාණ්ඩයෙන්, ටියුනීසියාව.ත්‍. කාණ්ඩයෙන්, තූර්කිය; ‘D’ කාණ්ඩයෙන් තරගාවලියට එක්වෙනු ඇති.

යුද්ධයේ පාර්ශ්වකරුවෙකු වන ඉරානයට සියලු තරගවලට මුහුණදෙන්නට සිදු වී තිබෙන්නේ සිය ප්‍රතිවාදියා වන ඇමරිකාවේදී ම. මූලික තරගවලදී ඉරානය සහ නවසීලන්තය 2026 ජූනි 15 (ශ්‍රී ලංකා වේලාවෙන් ජූනි 16 අලුයම) කැලිෆෝනියාවේ ඉන්ගල්වුඩ්හි  SoFi ක්‍රීඩාංගණයේදී (Los Angeles Stadium) ද ඉරානය සහ බෙල්ජියම 2026 ජූනි 21 (ශ්‍රී ලංකා වේලාවෙන් ජූනි 22 අලුයම) එම ක්‍රීඩාංගණයේදී ම ද ඉරානය සහ ඊජිප්තුව 2026 ජූනි 26 (ශ්‍රී ලංකා වේලාවෙන් ජූනි 27 උදෑසන) වොෂින්ටන්හි සියැටල්හි Lumen Field ක්‍රීඩාංගණයේදී (Seattle Stadium) ද තරග වදිනු ඇති.

මේ සියල්ල සූදානම් ව තිබුණත් ඉරානය පැමිණෙනවාට ඇමරිකාව විරුද්ධ බවයි දැන් හඟවන්නේ. ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ඉරානය ගැන අකමැත්ත ප්‍රකාශ කරන්නේ මවා ගත් කරුණාවක් සහ ආදරයක් ද සහිත ව. ඒ, ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්. එහෙත් ලෝක පාපන්දු සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ (Gianni

Infantino)  අවධාරණය කර ඇත්තේ මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ වුවත් ඉරාන කණ්ඩායම සැලසුම් කළ පරිදි ම 2026 ලෝක කුසලාන තරගාවලියට ඇමරිකාවේදී ම සහභාගි විය යුතු බව. ඉරාන කණ්ඩායමේ තරග ඇමෙරිකාවෙන් බැහැර කර මෙක්සිකෝවට ලබාදෙන ලෙස ඉරානය කළ ඉල්ලීම ඔහු ප්‍රතික්ෂේප කර තිබෙනවා. තරගාවලිය සඳහා ඇත්තේ එක් සැලසුමක් (Plan A)පමණක් බවත් එය නිල කාලසටහනට අනුව ඇමෙරිකාවේදී පැවැත්වෙන බවත් ඔහු පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව ඉරාන කණ්ඩායමට තරගාවලිය සඳහා සූදානම් වීමට අවශ්‍ය උපරිම පහසුකම් සැලසීමට FIFA ආයතනය කැප වී සිටින බව ගියානි ඉන්ෆැන්ටිනෝ තුර්කියේදී ඉරාන ක්‍රීඩකයන් හමුවූ අවස්ථාවේ ප්‍රකාශ කළා. FIFA ආයතනය දේශපාලන කරුණු ලුහුබැඳ නොයන බවත් ක්‍රීඩාවෙන් මිනිසුන් එක්සත් කිරීම තම අරමුණ බවත් ඔහු පෙන්වා දුන්නා. ඉරාන කණ්ඩායම ඇමෙරිකාවට පැමිණ තරග කිරීමට අවසර දෙන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමාට සහතික වී ඇති බවත් ගියානි ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු රටවල් 211ක පාපන්දුවේ නායකයා. ට්‍රම්ප් බලය විහිදුවා හැසිරුණ ද එක රටකට අයත් නායකයෙක්. ලෝකය ආවරණය වන සංවිධාන ව්‍යහුයක නායකයන් මේ තනි රටවල නායකයන්ට අවනත වන්නේ නැති අතර ඔවුන් සිය ඉසව්ව තමන්ගේ අවශ්‍යතාවට අනුව අදාළ රටේ නායකයා කළ යුතු බව කිව හැකි ප්‍රබල බලපෑම් සහගත මට්ටමක සිටිනවා. ට්‍රම්ප් පමණක් නොව ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුව සමඟ හැප්පෙන්නට පැමිණි රුසියානු නායක පුටින්ට ද සිට රටේ ධජය දැන් ඔලිම්පික් උලෙළ ගණනාවක ඉහළට ඔසවන්නට ඉඩ ලැබුණේ නැහැ.

ලෝකයේ බිලියන 3.5 සිට 4 දක්වා පරාසයක වැඩි ම ප්‍රේක්ෂක පිරිසක් පාපන්දු ක්‍රීඩාව සමඟ සිටින බව විශ්වාස කරන අතර එය මෙවර ලෝක කුසලානය වන විට බිලියන 6ක් පමණ වනු ඇතැයි ද විශ්වාසය පළ වී තිබෙනවා. ඒ නිසා හදවතින් ම පාපන්දුව වැලඳගත් ලෝකයේ වැඩි ම ප්‍රේක්ෂක ආදරය දිනා ගත් ක්‍රීඩාව සමඟ හැප්පෙන්න ට්‍රම්ප්ට පහසු නැහැ. ලෝක කුසලාන තරගාවලිය අසාර්ථක කළ නායකයා හැටියට ඔහුට විශාල අවමානයක් විඳින්නට ඉඩ ලැබෙනු ඇති.

මේ සියලු යුද්ධ අතරේ සහභාගිත්වයේ අවිනිශ්චිතභාවයට දහසක් හේතු තිබියදීත් ඉරානය යුද්ධයෙන් පාපන්දු ක්‍රීඩකයන්ට වන බාධාව වළක්වමින් තූර්කියේ පුහුණුවේ යෙදී සිටිනවා. සිය ඥාතීන්ගේ, හිතවතුන්ගේ ජීවිත අනතුරක තිබෙන බව දැන දැනත් පුහුණුවෙන ඔවුන් සෑහෙන ශාරිරික නොවුණත් යහපත් මට්ටමක සිටින බව ඉරාන පුහුණුකරු පවසනවා. ඔවුන්ගේ සුපිරි ක්‍රීඩකයන් වන අලි රීසා ජහන්බක්ෂ් සහ මෙහ්දි තාරෙමි ද මේ වන විට පුහුණු සංචිතය සමඟ එක් ව සිටින බවයි දැන ගන්නට ලැබෛන්නේ.

ඉරානය සටන් වදින්නේ ආගමික මතවාදයක් පොරවාගෙන. ඊට විරුද්ධ වීමෙන් සහ ට්‍රම්ප්ගේ ලැදියාවෙන් ද පෙනෙන්නේ ආගමික පසුබිමක කතාවක්. එහෙත් පාපන්දු සෑම ආගමකට ම සම්බන්ධ අයට ආගමක්. ඒ නිසා ම දවස් ගණනක් දුක් විඳිමින් ඉරානය ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගයට පැමිණ බොස්නියාව පරාජය කරමින් ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කරන්නට අවසානයට ඇතුළත් වන කණ්ඩායම වුණා. ඒ නිසා පාපන්දු ක්‍රීඩකයා යුද්ධ දහසක් තිබුණත් ලෝක කුසලාන තරගාවලියට එන අදහස අත්හැර නොගන්නා බව සහතික කරුණක්. ඒ සහතිකයට පදනම් වන වුවමනාව වෙනුවෙන් ඔවුන් පසු නොබසිනු ඇති.

යුද්ධය පරාජය කළ හැකි, වෛරය පරාජය කළ හැකි මිත්‍රත්වයේ, ආදරයේ අවිය ලෙස පාපන්දු බලකාමීත්වයට එරෙහි ව එල්ල කරන ගෝලය තද එකක් වනු ඇති. ගියානි, ට්‍රම්ප්ට වඩා ප්‍රබලයෙක් බව මේ වන විට සුදුසුකම් ලබා සිටින සියලු ම ප්‍රබලයන් ඔප්පු කළහොත් ක්‍රීඩාව ඉදිරියේ ට්‍රම්ප්ට පසු බසින්නට සිදු විම නොවැළක්විය හැකි වනු ඇති.