#අධ්‍යාපන

රාජ්‍ය සේවා තරග විභාග අත්වැල

නාලක දිසානායක
ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් (පාර්ලිමේන්තු කටයුතු)
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය.
අධ්‍යක්ෂ (පාලන) වැ.බ
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

පසුගිය කලාපයෙන්…..
රාජ්‍ය/පළාත් රාජ්‍ය මෙන් ම අර්ධ රාජ්‍ය නිලධරයන් සඳහා දශකයකට ආසන්න කාලයකට පසුව කළ මූලික වැටුපේ සංශෝධනය සමග ‘වැටුප්’ පිළිබඳ කතාබහක් තිබුණු නිසා එ් සම්බන්ධ ප‍්‍රශ්නෝත්තර සංග‍්‍රහයක් පසුගිය කලාපයේ සිට ඇරඹුවා. මේ පළ වන්නේ එහි දෙවැනි කොටස.

09.         උසස් වීමකදී වැටුප් පරිවර්තනය කිරීමේ විධිවිධාන කෙසේ ද?

  • උසස්වීම ලබන අවස්ථාවේදී නිලධරයා අවසාන වශයෙන් ලබාගත් වැටුප නව පරිමාණයේ වැටුප් වර්ධක පියවර අතරේ ගැනේ නම්, ඔහු නව වැටුප් පරිමාණයේ ආසන්න ඉහළ පියවරේ තබනු ලබන අතර ඔහුට අතිරේක වැටුප් වර්ධකයක් ගෙවිය යුතු ය.
  • උසස්වීම ලබන අවස්ථාවේදී නිලධරයකු අවසාන වශයෙන් ලබාගත් වැටුප නව වැටුප් පරිමාණයේ වැටුප් පියවරකට අනුරූප වේ නම් ඔහු ආසන්න ඊළඟ ඉහළ වැටුප් පියවරේ තැබිය යුතු ය.
  • උසස්වීම ලබන අවස්ථාවේදී නිලධාරියකු අවසාන වශයෙන් ලැබූ වැටුප නව පරිමාණයේ ආරම්භක වැටුපට එක් වැටුප් වර්ධකයකින් (උසස්වු තනතුරේ වැටුප් වර්ධක අගය) හෝ ඊට වැඩි වර්ධක ගණනකින් අඩු වන්නේ නම් ඔහු වැටුප් පරිමාණයේ ආරම්භක වැටුපෙහි තබනු ඇත.
  • උසස්වීම ලබන අවස්ථාවේදී නිලධාරියකු අවසාන වශයෙන් ලැබූ වැටුප නව පරිමාණයේ ආරම්භක වැටුපට වඩා අඩුවන්නේ එක් වැටුප් වර්ධකයක අගයට (උසස්වු තනතුරේ වැටුප් වර්ධක අගය) අඩු ප‍්‍රමාණයකින් නම් ඔහු වැටුප් පරිමාණයේ ආරම්භක වැටුපෙහි තබා අතිරේක වැටුප් වර්ධකයක් ගෙවිය යුතු ය.

10. යම් නිලධරයකු වැටුප් වර්ධක දිනයේදී ම උසස්වීම ලබන්නේ නම් එහිදී පළමු ව සිදු කළ යුත්තේ කුමක් ද?

  • වෙනත් ආකාරයක බාධාවක් නොමැති නම් පළමු ව පූර්ව තනතුරේ/ ශ්‍රේණියේ/ පන්තියේ වැටුප් වර්ධකය ලබා දී ඉන්පසුව උසස්වීමේ වැටුප පරිවර්තනය කළ යුතු ය.

11.උසස්වීමකදී ඉදිරි වැටුප් වර්ධක දිනය වන්නේ කුමක් ද?

  • උසස්වීම ක‍්‍රියාත්මක වන දිනය

12.වැටුප් වර්ධක වාසි (Incremental Credits) යනු මොනවාද?

  • රජය යටතේ ස්ථිර හෝ තාවකාලික පදනමක් යටතේ කලින් සේවය කර ඇති නිලධරයකු රජය යටතේ ම අලූ‍ත් තනතුරකට පත් වූ විට තම පූර්ව සේවය වෙනුවෙන් ඔහුට ලබා දෙන වැටුප් වර්ධක වාසි වේ.

13.         වැටුප් වර්ධකය අර්ථ දක්වන්න.

  • රාජ්‍ය නිලධරයකුට සාමාන්‍යයෙන් වර්ෂයකට වරක් වැටුපට සිදුවන වැඩිවීම වැටුප් වර්ධකය ලෙස හැඳින්වේ. වැටුප් වර්ධකය යනු ආයතන සංග‍්‍රහයෙහි අර්ථ දක්වා ඇති ආකාරය විභාගාදියෙහිදී එවැනි ප‍්‍රශ්නකදී පිළිතුර ලෙස අපේක්ෂා කෙරේ. ඒ අනුව වැටුප් වර්ධකය යනු,  නිලධරයකුට වැටුප් වර්ධකයක් අයිතිවාසිකමක් වශයෙන් ලබාගැනීමට හිමිකමක් නැත. සිය රාජකාරි කාර්යක්ෂමවත් අනලස්වත් ඉටු කිරීමෙන් හා වැටුප් වර්ධක කාල පරිච්ෙඡ්දය තුළ මුළුමනින් ම සේවය කිරීමෙන් ඔහු එම වැටුප් වර්ධක උපයාගත යුතු ය.

14. වැටුප් වර්ධක අනුමත කරන බලධාරියා හා ප‍්‍රතික්ෂේප කරන බලධාරියා හඳුන්වන්න.

වැටුප් වර්ධක ප‍්‍රදානය කිරීමේ නිසි බලධරයන් පහත දැක්වෙන පරිදි ය.

(අ) යම් අමාත්‍යාංශයක සේවය කරන සියලූ‍ ම රාජ්‍ය නිලධරයන් සඳහා අදාළ අමාත්‍යාංශ ලේකම්වරයා හෝ බලය පවරන ලද නිලධාරියා

(ආ) පළාත් සභාවක සේවය සඳහා මුදාහරින ලද සියලූ‍ ම රාජ්‍ය නිලධරයන් සඳහා පළාත් සභාවේ ප‍්‍රධාන ලේකම්වරයා හෝ බලය පවරන ලද නිලධාරියා

(ඇ) රාජ්‍ය සංස්ථාවක්, මණ්ඩලයක් ආදියෙහි සේවය සඳහා ද්විතීයන කරන ලද සියලූ‍ ම රාජ්‍ය නිලධරයන් සඳහා අදාළ රාජ්‍ය සංස්ථාව, මණ්ඩලය ආදිය අයත්වන අමාත්‍යාංශයේ ලේකම්වරයා හෝ බලය පවරන ලද නිලධාරියා

(ඈ) යම් රජයේ දෙපාර්තමේන්තුවක ‌සේවය කරන සියලූ‍ ම රාජ්‍ය නිලධරයන් සඳහා දෙපාර්තමේන්තු          ප‍්‍රධානියා හෝ බලය පවරන ලද නිලධරයා

(ඉ) දෙපාර්තමේන්තු ප‍්‍රධානියා සඳහා අදාළ අමාත්‍යාංශ ලේකම් වැටුප් වර්ධකයන් ගෙවීම ප‍්‍රතික්ශේප කිරීම සඳහා නිසි බලධරයන් පහත සඳහන් පරිදි වේ.

(අ) ශ‍්‍රී ලංකා පරිපාලන සේවය, ශ‍්‍රී ලංකා ඉංජිනේරු සේවය, ශ‍්‍රී ලංකා විද්‍යාත්මක සේවය, ශ‍්‍රී ලංකා වාස්තු විද්‍යාත්මක සේවය, ශ‍්‍රී ලංකා ගණකාධිකරණ සේවය, ශ‍්‍රී ලංකා ක‍්‍රම සම්පාදන සේවය යන යම් සේවයක නිලධරයකු සඳහා රාජ්‍ය පරිපාලන විෂයභාර අමාත්‍යාංශයේ ලේකම්

(ආ) අනෙකුත් දීපව්‍යාප්ත සේවාවන්ට අයත් නිලධරයන් සඳහා අදාළ සේවය භාර අමාත්‍යාංශයේ ලේකම් (උදා; ශ‍්‍රී ලංකා වෛද්‍ය සේවය – සෞඛ්‍ය විෂය භාර ලේකම්*

(ඇ) මාණ්ඩලික ශ්‍රේණියේ වෙනත් රාජ්‍ය නිලධරයකු සඳහා අදාළ අමාත්‍යාංශයේ ලේකම්

(ඈ) දෙපාර්තමේන්තුවක සේවය කරන අනෙකුත් සියලූ‍ ම රාජ්‍ය නිලධරයන් සඳහා අදාළ දෙපාර්තමේන්තු ප‍්‍රධානියා

(ඉ) අමාත්‍යාංශයක සේවය කරන අනෙකුත් සියලූ‍ ම රාජ්‍ය නිලධරයන් සඳහා අමාත්‍යාංශයේ ලේකම්

15.වැටුප් වර්ධක ප‍්‍රතික්ෂේප කරන ක‍්‍රම කීය ද? ඒ මොනවා ද?

          ක‍්‍රම 04කි.

1. වැටුප් වර්ධකය තාවකාලික ව අත්හිටුවීම

2. වැටුප් වර්ධකය නතර කිරීම

3. වැටුප් වර්ධකය අඩු කිරීම

4. වැටුප් වර්ධකය විලම්භනය කිරීම

16. රජයේ නිලධරයකු වැඩ තහනම් කළ විටක වැටුප් ගෙවීම (Salary on interdiction) හා සම්බන්ධ විධිවිධාන කෙටියෙන් පහදන්න.

  • මෙවැනි අවස්ථාවක ගෙවිය යුතු වැටුප සම්බන්ධයන් II කාණ්ඩයේ XඛVIII වැනි පරිච්ෙඡ්දයේ 31:11 දක්වා වගන්ති අදාළ වේ.
  • යම් නිලධරයකු පිළිබඳ විශේෂ කරුණු ගැන සලකා බලා පඩිනඩිවලින් භාගයකට වඩා වැඩි අනුපාතයක් ඔහුට ගෙවන ලෙස නියෝග කිරීමට විනය බලධරයාට පුළුවනි.
  • වැඩ තහනම් කරනු ලැබ ඇති නිලධරයකුට විරුද්ධ ව නගා ඇති චෝදනාවලට වගඋත්තර සැපයීම සඳහා ඉඩදී ඇති කාලය තුළදී එම වගඋත්තර සැපයීමට ඔහු අපොහොසත් වුවහොත් හෝ සෑහෙන හේතුවක් නොමැති ව නියමිත දිනයේදී පරීක්ෂණය සඳහා පෙනී සිටීමට ඔහු අපොහොසත් වුවහොත් හෝ ඉහත උප වගන්ති යටතේ ඔහුට අනුමත කර ඇති පඩිනඩි ප‍්‍රමාණය ගෙවීම, ඔහු එකී චෝදනාවලට වගඋත්තර සපයන තෙක් හෝ පරීක්ෂණයට පෙනී සිටින තෙක් හෝ නැවැත්වීමට දෙපාර්තමේන්තු ප‍්‍රධානියා ක‍්‍රියා කළ යුතු ය.
  • වැඩ තහනම් කරනු ලැබූ නිලධරයකුට විරුද්ධ ව කෙරෙන පරීක්ෂණයේ ප‍්‍රතිඵලයක් වශයෙන් ඔහු සේවයෙන් පහකරනු ලැබුවහොත් නොගෙවා අත්හිටුවන ලද කිසිදු පඩිනඩියක් ඔහුට නොගෙවිය යුතු ය.
  • පරීක්ෂණයේ ප‍්‍රතිඵලයක් වශයෙන් නියම කරන දඬුවම සේවයෙන් පහකිරීමට වඩා අඩු තත්ත්වයේ දඬුවමක් නම්, නොගෙවන ලද පඩිනඩි ප‍්‍රමාණය හෝ ඉන් කොටසක් හෝ ගෙවීම ගැන දඬුවම නියෝග කරන විනය බලධරයා විසින් තීරණය කොට එම තීරණය ද එම නියෝගයෙහි සඳහන් කළ යුතු ය.
  • නිලධරයාට විරුද්ධ ව නගා ඇති චෝදනාවලින් එම නිලධරයා නිර්දෝෂී බව පරීක්ෂණයේදී තීරණය වුවහොත් නොගෙවා රඳවා ගන්නා ලද පඩිනඩි ඔහුට ගෙවිය යුතු ය.