යුක්තියට අලුත් හුස්මක්
ප්‍රභූ දේශපාලනයේ ‘යුක්තිය’
2001 පරිවාස ආණ්ඩුවේදී පොදුජන එක්සත් පෙරමුණට ජවිපෙ බොහෝ කොන්දේසි දැම්මා. එවක ජනාධිපති චන්ද්‍රිකා ඉන් වැඩිමනත් කොන්දේසි ඉටු කළේ ජවිපෙ මන්ත්‍රී ධුර දහයේ බලවත්කම සලකමින්. එම කොන්දේසි අතර වඩාත් වැදගත් කොන්දේසිය වූයේ ස්වාධීන කොමිසම් සභා පිහිටුවීම. එය ඉටු කරමින් විධායක බලතලවලට යටත් නොවන කොමිසම් සභා ගොඩනැඟෙන 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවා. එහෙත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයට පත් ව 18 වැනි සංශෝධනයෙන් කොමිසම් සභා බලතල කප්පාදු කළා. මෙය ජනතාව ඉල්ලූ නීතියේ සාධාරණත්වය, යුක්තිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක්. විධායක ජනාධිපති බලතල යළි තහවුරු කිරීමක්. ඉන්පසු 2015 වසරේ යළි දුබල ආණ්ඩුවක් බිහි වූ මොහොතේ එයට බලපෑම් කරමින් ජවිපෙ ප්රමුඛ ප්රගතිශීලී පිරිස් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක බලතල අඩු කළා. කොමිසම් සභා වඩා ශක්තිමත් පදනමින් යළි රැගෙන ආවා. නැවත රාජපක්ෂලා බලයට පැමිණ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් තමන්ට ජනාධිපතිවරණයට තරග කළ හැකි වාර ගණනේ සීමාව වාර 02 යන්න ඉවත් කළා. ඔවුන් ජනතා පරමාධිපත්‍යය නොසලකා රටේ නීතිය ජනතාවට එරෙහි ව භාවිත කළේ එලෙසින්.
එවක යුක්තිය සහ නීතිය තේරුම් ගැනීමට පහසු ම උදාහරණය උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් පත් කළ ‘දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීම සඳහා වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ’ ක්‍රියාකාරිත්වය. උපාලි අබේරත්න යනු හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්. මේ කොමිසමේ ආන්දෝලනාත්මක නිර්දේශ වර්ගීකරණය කළහොත් පළමු ව ප්‍රභූන් සහ නිලධාරින් 100කට අධික පිරිසකට එරෙහි ව දැමූ නඩු ඉවත් කර ගැනීමට නිර්දේශ කළා. දෙවැනි ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා අල්ලස් කොමිසමේ ජ්‍යේෂ්ඨ නිලධාරින්ට (ශානි අබේසේකර ආදි) සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට නඩු පවරන ලෙස නිර්දේශ කළා. තුන් වැනි ව චූදිතයන්ට වන්දි ගෙවීමට නිර්දේශ කළා.
මේ කොමිසම එලෙස ඉවත් කළ විශේෂ නඩු තිබෙනවා. රජයට කෝටි ගණනක පාඩුවක් සිදුකළේ යැයි ගෝඨාභය රාජපක්ෂ, නිශ්ශංක සේනාධිපති ඇතුළු පිරිසකට එරෙහි ව පැවැරූ ඇවන්ගාඩ් නඩුව දේශපාලන පළිගැනීමක් සේ සලකා ඉවත් කිරීමට නිර්දේශ කිරීම; සුප්‍රසිද්ධ මිග්යානා ගනුදෙනු වංචාව (ගෝඨාභය සහ ලලිත් වීරතුංග) පිළිබඳ නඩුව අත්හිටුවීමට නිර්දේශ කිරීම; ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම පිළිබඳ නඩුව මහාධිකරණයේ විභාග වෙමින් තිබියදී එයට බාධා වන සේ කොමිසමෙහි යළි සාක්ෂි විභාග කිරීම; ලලිත් – කූගන් අතුරුදන් කිරීමට එරෙහි නඩුව අත්හිටුවීමට නිර්දේශ කිරීම ඉන් කිහිපයක්. මේ කොමිසම භාවිත කළ තාක්ෂණික සහ නීතිමය උපක්‍රම තිබෙනවා. ඒ, මහේස්ත්‍රාත් අධිකරණ හෝ මහාධිකරණයේ හෝ ඇසෙමින් පවතින නඩු සම්බන්ධ සාක්ෂි විමසීම් යළි කොමිසම තුළ ද පවත්වාගෙන යමින් නඩුව විභාග වන අධිකරණ ක්‍රියාවලියට බාධා පැමිණවීම; එම චෝදනා විමර්ශනය කරන නිලධාරින් (ශානි අබේසේකර වැනි) චූදිතයන් බවට පත්කොට පරීක්ෂණ පිළිබඳ විශ්වාසය දුබල කිරීම; නීතිපතිවරයාට නියෝග දීම එවැනි උපක්‍රම.
දැන් එම ප්‍රභූ දේශපාලනය රටේ බහුතරයක කැමැත්තෙන් අවසන් කර තිබෙනවා. නීතිය, නීතිය ක්‍රියාත්මක කරන ආයතන ස්වාධීනයි. නීතිය වඩා හොඳින් ඉටු කළ හැකි පරිසරයක් උදෙසා නීති, රෙගුලාසි සංශෝධනය වෙමින් තිබෙනවා. එයටත් වඩා ජනවරමෙහි වංචාවට, දූෂණයට හා හොරාගත් දේපළ යළි පවරා ගැනීම උදෙසා මහජන කැමැත්තක් ප්‍රකාශ වී තිබෙනවා.
යුක්තියට නව පණක්
යම් රටක දියුණුව මැන බැලෙන්නේ එම රටේ ජනතාවට යුක්තිය කෙතරම් ඉක්මනින්, සාධාරණ ව හා විශ්වාසයෙන් ලබාදිය හැකි ද යන්න මත. නීතියේ ආධිපත්‍යය ශක්තිමත් වූ සමාජයක ආයෝජකයාට විශ්වාසයක්, ව්‍යාපාරිකයාට ආරක්ෂාවක් මෙන් ම සාමාන්‍ය පුරවැසියාට ඇත්තේ තම අයිතිවාසිකම් සුරක්ෂිත බවට සහතිකයක්.
යුක්තිය ඉටුකිරීම සඳහා පහසුකම් සැපයීම සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රමුඛතම වගකීමක්. අධිකරණ පරිපාලනය සඳහා අමාත්‍යාංශය සැමවිට ම පූර්ණ සහයෝගය අධිකරණ සේවා කොමිෂන් සභාවට (න්ීක්) ලබා දෙනවා. වර්තමානය වන විට ගැසට් කර ඇති මහාධිකරණ කලාප 34 තුළ ක්‍රියාත්මක වන අධිකරණ හා කම්කරු විනිශ්චය සභා 293කට අදාළ අධිකරණ ශාලා 398කට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමේ දැවැන්ත කාර්යභාරය අමාත්‍යාංශය ඉටු කරමින් සිටිනවා.
නව අධිකරණ පිහිටුවීම සහ ක්‍රියාකාරීත්වය පුළුල් කිරීම
දීප ව්‍යාප්ත ව විසඳීමට ඇති නඩු සංඛ්‍යාවෙන් වැඩි ම සහ සංකීර්ණ ම වාණිජ හා අපරාධ නඩු සංඛ්‍යාවක් පවතින්නේ කොළඹ අධිකරණ කලාපයේ. කොළඹ නඩු විසඳීම කඩිනම් කිරීම සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාවේ ප්‍රතිපත්තිමය තීරණවලට අනුකූල ව අමාත්‍යාංශය නව අධිකරණ රැසක් ස්ථාපිත කිරීමට පහසුකම් සලසා තිබෙනවා. ඒ අනුව සිවිල් අභියාචනා මහාධිකරණ සංඛ්‍යාව 02 දක්වාත් වාණිජ මහාධිකරණ සංඛ්‍යාව (2කින් වැඩි කර) 05 දක්වාත් අපරාධ නඩු අසන මහාධිකරණ සංඛ්‍යාව (3කින් වැඩි කර) 11 දක්වාත් ඉහළ නංවා තිබෙනවා. එමෙන් ම මූල්‍ය අපරාධ, අල්ලස් හා දූෂණ නඩු කාර්යක්ෂම කිරීම සඳහා මහාධිකරණ විනිසුරුවරුන් 03 දෙනෙකුගෙන් ස්ථිර විනිසුරු මඩුල්ලක් පත් කර ඇති අතර මහාධිකරණ ශාලා අංක 06, 10 සහ 11 වෙන් කර තිබෙන්නේ අල්ලස් නඩු විභාග කිරීම සඳහා.
ප්‍රධාන ආයතනික සංවර්ධන කාර්ය
- කොළඹ MCC ගොඩනැගිල්ල තුළ ස්ථිර මහාධිකරණයක් ස්ථාපිත කිරීම
- පාස්කු ප්‍රහාරය පිළිබඳ නඩු විභාගය සඳහා විශේෂ අධිකරණයක් ස්ථාපිත කිරීම
- සුළු මූල්‍ය ආරවුල් කඩිනමින් විසඳීම සඳහා සුළු හිමිකම් අධිකරණයක් ස්ථාපිත කිරීම
- හිටපු ඇමති නිල නිවාස පරිශ්‍ර තුළ ස්ථිර මහාධිකරණ 02ක් ස්ථාපිත කිරීම
- 2025.09.12 දිනැති අතිවිශේෂ ගැසට් අංක 2453/36 මගින් ග්‍රාමීය හා අර්ධ නාගරික ජනතාවට යුක්තිය ඉටුකිරීම පහසු කරමින් දෙයියන්දර, අගුණකොළපැලැස්ස, බිබිල, ගල්ගමුව, හෙට්ටිපොළ, ආනමඩුව සහ තඹුත්තේගම යන මහේස්ත්‍රාත් අධිකරණ 07කට දිස්ත්‍රික් අධිකරණ බලතල පැවරීම.
- නිලධාරි හිඟය මත තාවකාලික ව අත්හිටුවා තිබූ රත්නපුර සහ ගම්පහ අතිරේක දිසා අධිකරණ 02 සහ අනුරාධපුර හා අම්පාර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණ 02 නැවත ස්ථාපිත කිරීම.
- කොළඹින් පිටත ප්‍රදේශවල යුක්ති ප්‍රවේශය පුළුල් කරමින් පුත්තලම, වවුනියාව, වැල්ලවාය, දෙහිඅත්තකණ්ඩිය සහ හැටන් යන ප්‍රදේශවල නව අතිරේක අධිකරණ පිහිටුවීම.
ඩිජිටල් පරිවර්තනය (e-Justice ව්‍යාපෘතිය)
ඩිජිටල් නඩු කළමනාකරණය දක්වා අධිකරණ පද්ධතිය පරිවර්තනය කිරීමත් වත්මන් රජයේ ප්‍රමුඛතම උපායමාර්ගයක්. අගවිනිසුරුගේ මඟ පෙන්වීම යටතේ ආරම්භ කරන ලද ‘ඊ-උසාවි‘ ස්වයංක්‍රීයකරණ ව්‍යාපෘතිය ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ (NPD) නිර්දේශය සහිත ව 2025.10.07 දින අනුමත වුණා. අනතුරු ව ‘ක්ලීන් ශ්‍රී ලංකා‘ වැඩසටහනේ අරමුදල් උපයෝගි කර ගනිමින් එය ක්‍රියාත්මක කිරීමට 2025.12.15 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. මෙය උපකරණ මිල දී ගැනීමක් පමණක් නොව අධිකරණ පරිපාලනයේ සමස්ත සංස්කෘතික හා ව්‍යුහාත්මක වෙනසක්.
අපරාධ නඩු විධාන සංග්‍රහයට සිදු කරන ලද නූතන සංශෝධනවලට අනුකූල ව සාක්ෂිකරුවන්ට සහ චූදිතයන්ට විවෘත අධිකරණයට නොපැමිණ ශ්‍රව්‍ය දෘශ්‍ය තාක්ෂණය ඔස්සේ සාක්ෂි දීමටත් බන්ධනාගාර රැඳවියන් මාර්ගගත ව අධිකරණයට ඉදිරිපත් කිරීමටත් අවශ්‍ය තාක්ෂණික උපකරණ කට්ටල 193ක් දිවයින පුරා ස්ථාපනය කර තිබෙනවා මහේස්ත්‍රාත් අධිකරණ සඳහා තාක්ෂණික උපකරණ කට්ටල 130ක්, මහාධිකරණ සඳහා තාක්ෂණික උපකරණ කට්ටල 47ක්, අධිකරණ වෛද්‍ය ඒකක (JMO Unit) සඳහා තාක්ෂණික උපකරණ කට්ටල 15ක් හා විශ්වවිද්‍යාලයීය අධිකරණ වෛද්‍ය පර්යේෂණ ක්ෂේත්‍ර සඳහා උපකරණ කට්ටල 01ක් වශයෙන්.
මේ පද්ධති අඛණ්ඩ ව පවත්වාගෙන යාම සඳහා අධිකරණ නිලධාරින් විශේෂ පුහුණු පාඨමාලා නිම කර තිබෙනවා. සියලු ම අධිකරණ සංකීර්ණ වෙත සන්නිවේදන ප්‍රමාදය අවම කිරීම සඳහාත් පියවර ගෙන තිබීම විශේෂත්වයක්. ඒ, අතිවේගී තන්තු දෘශ්‍ය අන්තර්ජාල පහසුකම් (Fiber) ලබාදීම වේගවත් ව සිදු කරමින්.
විද්‍යාත්මක සාක්ෂි කළමනාකරණය
වර්තමානයේ අපරාධ විමර්ශන සාර්ථක වන්නේ විද්‍යාත්මක සාක්ෂි මත. DNA රසායනික විශ්ලේෂණ, ඩිජිටල් සාක්ෂි සහ අධිකරණ විද්‍යාත්මක වාර්තා අපරාධ නඩුවල ප්‍රතිඵල තීරණය කරන ප්‍රධාන සාධක බවට පත් ව තිබෙනවා. ඒ නිසා ම රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීම සඳහා පසුගිය වසර 02 තුළ ගෙන තිබෙන්නේ සැලකිය යුතු පියවර. ඒ අනුව අපරාධ විමර්ශන හා නඩු කටයුතු ප්‍රමාද වීමට බලපාන ප්‍රධානතම සාධකයක් වූ විද්‍යාත්මක වාර්තා ප්‍රමාද වීම වැළැක්වීම සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ මානව හා ආයතනික සම්පත් ධාරිතාව ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා. වසර ගණනාවක සිට පැවති දැඩි මානව සම්පත් හිඟයට කඩිනම් විසඳුමක් ලෙස රසායන විද්‍යා උපාධිධාරින් 50 දෙනෙකු තාවකාලික පදනම මත බඳවා ගැනීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගෙන අවසන්. වේගවත් ක්ෂේත්‍ර පර්යේෂණ සඳහා නවීන රසායනාගාර පහසුකම් සහිත විශේෂිත බහාලුම් රසායනාගාර 04ක් දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති අතර මීට අමතර ව ස්ථීර සේවය සඳහා විද්‍යාත්මක නිලධාරින් 22 දෙනෙකු අලුතින් බඳවාගෙන තිබෙනවා.
දෙපාර්තමේන්තුවේ දිගුකාලීන ස්ථාවරත්වය වෙනුවෙන් නව තනතුරු 131ක් ඇති කිරීමට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව (DMS)මූලික කටයුතු සම්පාදනය කරමිනුයි සිටින්නේ. එමෙන් ම විද්‍යාත්මක වාර්තා හුවමාරුව වඩාත් විධිමත් හා ආරක්ෂිත කිරීම සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ දැනුම් දීම් පද්ධතිය, ශ්‍රී ලංකා පොලිසිය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ කිරීමේ මහා පරිමාණ ඩිජිටල්කරණ ව්‍යාපෘතිය සඳහා 2027 අය වැයෙන් ප්‍රතිපාදන සැපයීමට ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබෙනවා.
ප්‍රාග්ධන වියදම් සහ අධිකරණ යටිතල පහසුකම් සංවර්ධනය
අධිකරණ යටිතල පහසුකම් සංවර්ධනය යනු හුදෙක් ගොඩනැගිලි ඉදිකිරීම පමණක් නොව පුරවැසියන්ගේ යුක්තියට ඇති ප්‍රවේශය පුළුල් කිරීමක්. යුක්තිය ප්‍රමාද වීම යනු යුක්තිය අහිමි වීමක් බව නීති ක්ෂේත්රයේ ප්‍රකට මූලධර්මයක්. එබැවින් නඩු ගොඩගැසීම අවම කිරීම හා ජනතාවට පහසුවෙන් අධිකරණ සේවා ලබා ගැනීම සඳහා නව අධිකරණ පිහිටුවීම සහ පවතින අධිකරණ ශක්තිමත් කිරීම සඳහා පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. 2025.01.01 සිට 2026.06.30 දක්වා වූ කාල සීමාවේ රුපියල් මිලියන ගණනක ප්‍රාග්ධන ආයෝජනයක් සිදුකරමින් ව්‍යාපෘති රැසක් නිම කර ජනතා අයිතියට පත් කර අවසන්.
අවසන් කිරීමට ආසන්න ව්‍යාපෘති:
■ ගාල්ල අධිකරණ සංකීර්ණය (රු.මි. 1,686.00)
■ පූගොඩ අධිකරණ සංකීර්ණය (රු.මි. 377.80)
■ නිකවැරටිය (රු.මි. 177.19)
■ මනම්පිටිය (රු.මි. 75.84)
■ හෙල්බොඩ (රු.මි. 51.23)
2026 වසරේදී කඩුවෙල නව අධිකරණ සංකීර්ණය අලුතින් ම ආරම්භ කිරීමට නියමිත අතර පසුගිය සමයේ අතරමග නතර කර තිබූ වලපනේ, දකුණුල්ල, මහව, කලවාන, කින්නියා, මොණරාගල සහ කැකිරාව ඇතුළු ව්‍යාපෘති 17ක් නැවත ආරම්භ කර තිබෙනවා.
දිගුකාලීන සැලසුම්කරණය යටතේ 2027 අය වැය ඇස්තමේන්තු සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 36,747.80ක (රු. බිලියන 36.7ක) මුළු පිරිවැයක් සහිත ව්‍යාපෘති 14ක් නිර්දේශ කර අවසන්. මෙයට කොළඹ යෝජිත ‘අධිකරණ නගරය‘ සිවිල් අධිකරණ සංකීර්ණය (රු.මි. 22,003.70), මහනුවර සහ මොරටුව අධිකරණ ගොඩනැගිලි (එක් ව්‍යාපෘතියකට රු.මි. 2,500.00 බැගින්) සහ මතුගම අධිකරණ ගොඩනැගිල්ල (රු.මි. 2,203.00) ඇතුළත්.
බන්ධනාගාර රැඳවියන්ගේ තදබදය අවම කිරීමේ උපායමාර්ග
බන්ධනාගාර යනු දඬුවම් පමණක් නොව, පුනරුත්ථාපනයේ ස්ථානයක් ද විය යුතුයි. මේ දර්ශනය මත පදනම් ව රැඳවියන්ගේ තදබදය අවම කිරීම, නව බන්ධනාගාර ඉදිකිරීම සහ පවතින පහසුකම් පුළුල් කිරීම ඇතුළු ව බන්ධනාගාර පද්ධතිය මුහුණදෙන දැවැන්ත තදබදය අවම කිරීම සඳහා අමාත්‍යාංශය දියත් කර තිබෙන්නේ කෙටිකාලීන හා දිගුකාලීන ව්‍යුහාත්මක පරිවර්තන රැසක්. පල්ලන්සේන බන්ධනාගාරයේ රුපියල් මිලියන ගණනක වියදමකින් නිම කරන ලද දෙමහල් ගොඩනැගිලි 04ක් මේ වන විට රැඳවියන් සඳහා විවෘත කර ඇති අතර වැලිකඩ, මැගසින් සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරවල තාවකාලික ගොඩනැගිලි ඉදිකිරීම් අවසන් අදියරේ පවතිනවා.
මහා පරිමාණ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති කිහිපයක් සඳහා වෙන් කර තිබෙන්නේ සෘජු ප්‍රතිපාදන. නව තාක්ෂණය ඔස්සේ රු. මිලියන 446.9ක දළ ඇස්තමේන්තුවක් යටතේ වටරැක බන්ධනාගාරයේ (පළමු අදියර) සිරමැදිරි ගොඩනැගිලි 02ක් සහ මායිම් බිත්ති ඉදිකිරීම සඳහා 2026 වසරට රු. මිලියන 100ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා (2027 නිම කිරීමට අපේක්ෂිත). දෙවැනි අදියර රු.මි. 1,770ක පිරිවැයකින් 2027 වසරේදී ආරම්භ කිරීමටයි නියමිත. කළුතර බන්ධනාගාරයේ හානි වී තිබූ දෙමහල් ගොඩනැගිලි කඩා අලුතින් ඉදිකිරීම සඳහා රු. මිලියන 100ක ප්‍රතිපාදන 2026 වසරේදී ලබා දී ඇති අතර (මුළු පිරිවැය රු.මි. 209.6) ලංසු ඇගයීම් අවසන් අදියරේ පවතිනවා.
පල්ලකැලේ බන්ධනාගාරයේ රු. මිලියන 1,782ක දළ ඇස්තමේන්තුවක් සහිත සිරමැදිරි ගොඩනැගිලි ඉදිකිරීමේ ව්‍යාපෘතිය 2028 වසරේ නිම කිරීමට නියමිත ව දැනටමත් ක්‍රියාත්මක වෙනවා. 2027-2029 කාල පරාසයේදී වාරියපොල බන්ධනාගාරය පුළුල් කිරීමට (රු.මි. 4,421.9ක) සහ මාතර බන්ධනාගාරය කටුවිලවත්ත ප්‍රදේශයේ නැවත ස්ථාපනය කිරීමට (රු.මි. 5,189.16ක) ප්‍රතිපත්තිමය අනුමැතිය ලැබී අවසන්.
කොළඹ වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ මිල්ලෑව ප්‍රදේශයට විතැන් කිරීමේ මහා ව්‍යාපෘතියේ සැලසුම් නිම කර ඇති අතර එය රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයකින් (PPP) ආයෝජකයෙකු මගින් ක්‍රියාත්මක කිරීමටයි වර්තමාන ඇස්තමේන්තු සංශෝධනය කරමින් පවතින්නේ. භෞතික යටිතල පහසුකම්වලට අමතර ව සුළු දඩ මුදල් ගෙවීම මත සිරගත වන පිරිස අවම කිරීම සඳහා ‘ඇප සංශෝධන පනත‘ සහ බන්ධනාගාරගත කිරීමට විකල්පයක් ලෙස ‘ගෘහ අඩස්සියට පත් කිරීමේ’ නව නීති සම්පාදනය සඳහා විශේෂ විද්වත් කමිටු ද ක්‍රියාත්මකයි.
ව්‍යවස්ථාදායක ප්‍රගතිය
නීතිය යනු සමාජය සමඟ වෙනස් විය යුතු ජීවමාන පද්ධතියක්. එබැවින් දශක ගණනාවක් තිස්සේ සංශෝධනය නොවූ නීති යාවත්කාලීන කිරීම සඳහා අමාත්‍යාංශය විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. මේ වනවිට විවිධ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි නීති විශේෂඥයන්, වෘත්තිකයන් සහ අදාළ ආයතන නියෝජනය කරමින් කමිටු 21ක් පත් කර ඇති අතර නීති සංශෝධන හා නව පනත් කෙටුම්පත් රැසක් සකස් කරමින් පවතිනවා.
2025 ජනවාරි සිට 2026 ජූලි දක්වා කාලය තුළ අධිකරණ ක්ෂේත්රයේ විප්ලවීය වෙනසක් සිදු කරමින් ප්‍රධාන පනත් රැසක් පාර්ලිමේන්තුවේදී සහතික කර අවසන්.
මීට අමතර ව අපරාධ නඩුවලට අදාළ සාක්ෂි ආරක්ෂිත ව ගබඩා කිරීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මෙන් ම මූල්‍ය අපරාධ, අල්ලස් සහ දූෂණ නඩු කාර්යක්ෂම කිරීම සඳහා මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් යුත් ස්ථිර විනිසුරු මඩුල්ලක් පත් කර ඇති අතර පවතින නීති සමාලෝචනය කිරීම සහ අවශ්‍ය පරිදි නීති යාවත්කාලීන කිරීම නීති විශේෂඥයන්ගෙන් සමන්විත කමිටු සිදු කරමින් සිටිනවා. එසේ ම ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත; විෂ වර්ග, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥා පනත සංශෝධනය කිරීම පිළිබඳ කමිටු වාර්තාව (83 වන වගන්තිය); සංවිධානාත්මක අපරාධ මැඩ පැවැත්වීම උදෙසා නීතියක් සම්මත කිරීම උදෙසා වූ කමිටු වාර්තා ලබා දී අවසන්.
විකල්ප ආරවුල් විසඳුම් ක්‍රමවේද
සියලු ආරවුල් අධිකරණයට ගෙන යා යුතු නැහැ. අධිකරණය වෙත පැමිණෙන බොහෝ සිවිල් ආරවුල් සුහද සාකච්ඡාවලින් විසඳිය හැකි බව ජාත්‍යන්තර අත්දැකීම් පෙන්වා දී තිබෙනවා. එබැවින් සමථ මණ්ඩල ශක්තිමත් කිරීම, ප්‍රජා සමථකරුවන් පුහුණු කිරීම සහ ස්වේච්ඡා සමථකරණය සඳහා නව නීතිමය රාමුවක් හඳුන්වා දීම අමාත්‍යාංශයේ ප්රමුඛ අවධානයට ලක් ව තිබෙන්නක්.
මේ නිසා අධිකරණවල නඩු ගොඩගැසීම වැළැක්වීම සඳහා විකල්ප ආරවුල් විසඳුම් ක්‍රමවේද (Alternative Dispute Resolution – ADR) ශක්තිමත් කර තිබෙනවා. පසුගිය සමයේ 50%ක් දක්වා කපා හැර තිබූ සමථ මණ්ඩල ප්‍රතිපාදන වත්මත් රජය සම්පූර්ණයෙන් ලබා දී ඇති අතර ස්වේච්ඡා සමථකරණය සඳහා නව නීති රාමුවක් හඳුන්වා දෙන සමථ (සිවිල් සහ වාණිජ ආරවුල් විසඳුම්) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අවසන්. 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතට සංශෝධන අනුව සමථකරුවෙකු ඔවුන් සේවය කරන කාලය තුළ එම ප්‍රදේශය සඳහා නීත්‍යානුකූල ව සාම විනිසුරුවරයෙකු (න JP) ලෙස පිළිගැනීමට 2025-08-20 දින පාර්ලිමේන්තු අනුමැතිය හිමි වුණා. මේ වන විට පහළ ම නිලධාරියාගේ සිට විනිසුරුවරයා දක්වා සියලු ම ක්ෂේත්රවල දහස් ගණනක් ව පවතින කාර්යමණ්ඩල හිඟය පියවීම සඳහා ද වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
නවීන ආර්ථික විද්‍යා සහ රාජ්‍ය පරිපාලන මූලධර්ම අනුව නීතියේ ආධිපත්‍යය සහ විශ්වාසනීය අධිකරණ පද්ධතියක් යනු රටක තිරසර ආර්ථික වර්ධනයේ මූලික ම පදනම. ව්‍යාපාරිකයෙකුට වාණිජ ආරවුලක් හෝ ගිවිසුමක් හෝ බලාත්මක කරවා ගැනීමට වසර ගණනාවක් අධිකරණයේ රැඳී සිටීමට සිදු වේ නම් එය රටක ආයෝජන අවදානම ඉහළ නංවන අතර සංවර්ධනය අඩාළ කරනවා. එබැවින් වත්මන් රජය අධිකරණ ප්‍රතිසංස්කරණ හුදෙක් අධිකරණ ක්ෂේත්රයට පමණක් සීමා නොකර රටේ සමස්ත ආර්ථික පරිවර්තනය සමග බද්ධ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ප්‍රතිසංස්කරණවල සැබෑ සාර්ථකත්වය මැනිය යුත්තේ සම්මත කළ නීති ගණනින් නොව, පුරවැසියාට නඩු විභාගය සඳහා ගතවන කාලය අඩු වී තිබේ ද? රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලැබේ ද? සහ නීතිය සැමට සමාන ව ක්‍රියාත්මක වේ ද? යන ප්‍රායෝගික සාධක මත. යුක්තිය ශක්තිමත් වන තැන ප්රජාතන්ත්රවාදය ශක්තිමත්. ප්රජාතන්ත්රවාදය ශක්තිමත් වන තැන ජනතාවගේ විශ්වාසය ගොඩනැගෙනවා. එම විශ්වාසය මත ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධනය ගොඩනැගෙනු ඇති.






