#සෞඛ්‍ය

සෙල්ලම් නැති හැපීම

සැප්තැම්බර් මස 28 දිනට යෙදෙන ලෝක ජලභීතිකා දිනයේ (world Rabies Day ) මෙවර තේමාව වන්නේ ‘සුවය සපිරි දැයක්’ යන්න. මේ දිනය ප්‍රකාශයට පත් කරනු ලබන්නේ 2007 වසරේ ලෝක ජලභීතිකා පාලන සන්ධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්. ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක සත්ත්ව සෞඛ්‍ය සංවිධානය ඇතුළු ආයතන කිහිපයක් එක් ව 2026 වසරේ ජලභීතිකා රෝගය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඉලක්කයක් හඳුන්වා දී තිබෙනවා. එම ඉලක්කය වන්නේ 2030 වසර වන විට සුනඛයන්ගෙන් පැතිරෙන ජලභීතිකා මරණ සංඛ්‍යාව ශුන්‍ය කිරීම. එම ඉලක්කය සපුරා ගැනීමට ‘සුවය සපිරි දැයක්’ යන මෙවර තේමාවෙන් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රවේශය මෙහිදී විමසා බැලීම ඉතා වැදගත්.

වසර 4000කට පමණ පෙර ජලභීතිකාවට සමාන ලක්ෂණ සහිත රෝග පිළිබඳ තොරතුරු සඳහන් වෙනවා. ජලභීතිකාව යනු සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වන වෛරස් රෝගයක්. ආසාදිත සත්ත්වයකුගේ ඛේටයේ ඇති ජලභීතිකා වෛරසය මිනිස් සිරුරට ඇතුළු වූ පසු පර්යන්ත ස්නායු පද්ධතියේ සිට මධ්‍ය ස්නායු පද්ධතියට ගමන් කර එය මොළයට ඇතුළු වෙනවා. රෝග ලක්ෂණ මතු වන්නේ ඉන් පසුව. රෝග ලක්ෂණ මතු වූ පසු ප්‍රතිකාර නොලැබුවහොත් අනිවාර්යයෙන් ම මරණයට පත්වෙනවා.

ශ්‍රී ලංකාවේ ජලභීතිකා මරණවලින් 95%-99% අතර සිදු වන්නේ සුනඛ සපා කෑමෙන්. සුනඛයන්ගෙන් පැතිරෙන ජලභීතිකා රෝගය මර්දනය මෙරට එනත්කරණ වැඩසටහන්වල මූලික ඉලක්කය. සුනඛයන්ගෙන් පමණක් නොවෙයි ඕනෑ ම ක්ෂීරපායි සතෙකුගෙන් ජල භීතිකාව වැලf​ඳන්න පුළුවන්. පූසෙකු සීරීමෙන් හෝ ලෙව කෑම නිසා කෙළ ශරීරගත වීමෙන් හෝ ජලභීතිකාව වැලඳෙන්න පුළුවන්. 2026 වසරේ සිට පූසන් ද ජලභීතිකා එන්නත්කරණ වැඩසටහනට යොමු කරන ලෙස ජනතාවට උපදෙස් ලබා දුන්නා.

1970 දශකයේදී ශ්‍රී ලංකාවේ වසරකට ජල භීතිකා මරණ 377ක් පමණ වාර්තා වී තිබෙනවා. එම කාලයේ සත්ත්ව එන්නත්කරණය සහ මහජන දැනුවත් කිරීම සීමිතයි. නිදැල්ලේ සිටින සුනඛයන් පාලනය කිරීමට විධිමත් ක්‍රමවේද තිබුණේ නැහැ. සෑම වසරක ම ජලභීතිකාව හේතුවෙන් යම් මරණ සංඛ්‍යාවක් සිදුවෙනවා. එහෙත් ඒ කාලවලට පැමිණෙන විවිධ රෝග නිසා ජලභීතිකාව පිළිබඳ අවධානය අඩු වෙනවා. 2026 වසරේ ජලභීතිකාව නිසා මරණ සිදු වී තිබුණත් ඩෙංගු රෝගය නිසා එය යටපත් වුණා. ජලභීතිකාව කාලෙන් කාලෙට මතු වන්නක් නොවෙයි. එය බරපතළ        රෝගයක්. 1977දී 377ක් වූ මරණ සංඛ්‍යාව 2025 වසර වන විට 14ක් දක්වා අඩු වී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ තිබෙන මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය 2026 සිට 2030 උපායමාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කිරීමෙන් අපේක්ෂා කරන්නේ 2030 වසර වන විට ජලභීතිකා මරණ සංඛ්‍යාව ශුන්‍ය කිරීමේ ඉලක්කය වෙත ළඟා වීම. ඒ අනුව සත්ත්ව එන්නත්කරණය,  ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම් වැඩිදියුණු කිරීම, සුනඛ වන්ධ්‍යකරණය, ප්‍රජා දැනුවත් කිරීම, ඒකීය සෞඛ්‍ය ප්‍රවේශයක් තුළ සියලු පාර්ශ්වකරුවන් ඒකරාශී කර ගැනීම හා ඍජු පසු ඇගයුම් සහ විපරම් යන ප්‍රධාන ක්ෂේත්‍ර 6හි මැදිහත්වීම් එලෙස ජලභීතිකා මරණ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහළ දැමීමට හේතු වනු ඇති.

මෙලෙස 2026 සිට 2030 දක්වා ක්‍රියාත්මක කරන උපායමාර්ගික සැලැස්ම අනුව ක්‍රියා කළහොත් 2030 වසරට පෙර  අපේ ඉලක්ක සපුරා ගත හැකියි. මෙහිදී එන්නත්කරණය 80%-90% අතර සත්ත්ව ගහනයකට ලබා දිය  යුතුයි. අවශ්‍ය ප්‍රතිකාර පහසුකම් වැඩිදියුණු කිරීමත් ඉදිරි අපේක්ෂාවක්. ග්‍රාමීය රෝහල්වලින් මූලික රෝහල්වලට යෑමට අපහසු පිරිස් සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමටත් වැඩපිළිවෙළක් සකස් කරනවා. රෝහලෙන් ප්‍රතිකාර ලැබීම පිළිබඳ පසු විමසීමට එම ප්‍රතිකාර ලැබූවන්ට දුරකතන ඇමතුම් හෝ කෙටි පණිවිඩ ලබාදීම වැනි ක්‍රම භාවිත කරනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක් ව තෝරාගත් පාසල් ළමයින් මාර්ගයෙන් අනෙක් පාසල් ළමයින් සහ ගම්වාසීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමත් ඉදිරි අපෙක්ෂාවක්. ඇතැම් පාසල්වල නිදැල්ලේ සිටින සුනඛයන්ට වාර්ෂික ව එන්නත් ලබාදීම අවශ්‍යයි. ගැහැනු සතුන් සිටිනවා නම් වන්ධ්‍යකරණය කළ යුතුයි. ළමයින් සහ සුරතල් සතුන් අතර යහපත් සම්බන්ධතාවකින් ජලභීතිකාව නැවත ඇති නොවන තත්ත්වයට පත් කිරීම අපේ අරමුණක්. ප්‍රජා නායකයන් සහ දහම් පාසල් සම්බන්ධ කරගෙන ජලභීතිකා මර්දනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් ග්‍රාමීය සමිති මාර්ගයෙන් මේ පණිවිඩය ජනතාව අතරට ගෙන යාමටත් ඉදිරියේදී පියවර ගන්නවා.

ජලභීතිකාව මර්දනය කිරීමේදී මුහුණ දෙන ප්‍රධාන ගැටලුව වන්නේ ප්‍රජා දායකත්වය අඩු වීම. ජනතාව මේ පිළිබඳ එතරම් උනන්දු  නැහැ. මේ නිසා ජනතාවගේ උනන්දුව වැඩි කිරීමත් වැදගත්. සතකු සපා කෑ විට එම පුද්ගලයා රෝහලකට පැමිණීම ප්‍රමාද කරන අවස්ථා තිබෙනවා. රෝහල්වල සිදු කරන වෛද්‍ය ප්‍රතිකාරවල ක්‍රමවේදයක් තිබෙනවා. ඊට අමතර ව විකල්ප වෛද්‍ය ක්‍රමත් තිබෙනවා. ජල භීතිකාව සම්බන්ධයෙන් පුද්ගලයන්ට ලබා දෙන එන්නත්කරණය 1885 වසරේ සිට ම ක්‍රියාත්මක වන සාර්ථක වැඩපිළිවෙළක්.  අද වන විට සාර්ථක ව ජලභීතිකාවට එන්නත් ලබා දීම සිදු වෙනවා. ඒ පිළිබඳ නිසි අවබෝධයක් නොමැති ව වෙනත් ක්‍රමවලට යොමු වීම භයානකයි. අපට පවතින සම්පත් ප්‍රමාණය මත සමහර කටයුතු අඩාළ වෙනවා. ජලභීතිකා මර්දනයට කණ්ඩායම් කිහිපයක් සම්බන්ධ වන නිසා ඔවුන් ඇතැම් අවස්ථාවල ක්‍රියා කරන්නේ වෙන වෙන  ම. එයත් ගැටලුවක්. සියලු දෙනා ම එක් ව ක්‍රියා කිරීමෙන් යහපත් ප්‍රතිඵලයක් ලබාගන්න පුළුවන්. පවතින සම්පත් නිසි ලෙස  කළමනාකරණය කරගැනීම වැදගත්.

බල්ලෙකු සපා කෑමට හෝ පූසෙකුගේ සීරීමට ලක් වුවහොත් හෝ තුවාලය හොඳින් සේදිය යුත්තේ ගලා යන ජලයෙන්. අවම වශයෙන් විනාඩි 15ක් සබන් යොදා තුවාලය හොඳින් සේදිය යුතුයි. එවිට තුවාලයේ රැඳී තිබෙන වෛරස ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් වගේ ම පවතින අවදානම තරමක් අඩු වෙනවා. ඉන් අනතුරුව තුවාලය පිරිසිදු කර විෂබීජ නාශකයක් තිබෙනවා නම් ගල්වන්න පුළුවන්. පසුව වහා ම ළඟ ම තිබෙන රජයේ රෝහලට ගොස් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්යයෙන් ම කළ යුත්තක්. ජලභීතිකා මර්දනය සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් කළ නොහැකියි. ප්‍රජා සහභාගිත්වය සහ දායකත්වය නොමැති ව මේ වැඩසටහනේ සාර්ථකත්වයක් දකින්නට බැහැ. මහජනතාව සක්‍රිය ලෙස දායක වුවහොත් මේ කාර්යභාරය ඉදිරියට රැගෙන යන්න පුළුවන්. එක් මනුෂ්‍ය මරණයක් හෝ වළක්වා ගත හැකි නම් එය රටේ ජයග්‍රහණයක්.