ලූලා ද? ෆ්ලාවියෝ ද?
ලතින් ඇමරිකාවේ මේ වසරේ පැවැත්වෙන වැදගත් දේශපාලන තරගයක් ලෙස 2026 බ්රසීල ජනාධිපතිවරණය හඳුන්වන්න පුළුවන්. මේ සඳහා අපේක්ෂකයන් 13 දෙනෙකු ඉදිරිපත් වී සිටියත් ප්රධාන තරගය පවතින්නේ වත්මන් ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා (Luiz Inácio Lula da Silva) හා එරට හිටපු ජනාධිපතිවරයෙකු වූ ජෙයාර් බොල්සොනාරෝගේ (Jair Bolsonaro) පුත්රයා වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ (Flavio Bolsonaro) අතර. ජනාධිපතිවරණයේ පළමු වැනි වටය 2026 ඔක්තෝම්බර් 04 දින පැවැත්වෙන අතර එහිදී වලංගු ඡන්ද සංඛ්යාවෙන් 50%කුත් එක් ඡන්දයක් ලබා ගන්නා අපේක්ෂකයා ජනාධිපතිවරයා ලෙස පත්වනවා. යම් හෙයකින් ජනාධිපතිවරණයේ පළමු වටයේදී 50%ක ප්රතිශතය ඉක්ම වීමට කිසිදු අපේක්ෂකයෙකුට නොහැකි වුවහොත් බ්රසීල මැතිවරණ නීතියට අනුව ජනාධිපතිවරණයේ දෙවැනි වටය පැවැත්වීමට සිදු වනවා. මෙහිදී ජනාධිපතිවරණයේ මුල් අපේක්ෂකයන් දෙදෙනා හැර අනෙකුත් සියලු ම අපේක්ෂකයන් තරගයෙන් ඉවත් කරන අතර මුල් වටයේ පළමු අපේක්ෂකයන් දෙදෙනා අතර පමණක් ජනාධිපතිවරණ සටන පවතිනු ඇත. දෙවැනි වටයේ ද 50%ක් අවශ්ය නොවන අතර අපේක්ෂකයන් දෙදෙනාගෙන් වැඩිම ඡන්ද ලබාගන්නා අපේක්ෂකයා ජනාධිපතිවරයා ලෙස තේරී පත්වනවා.
බ්රසීල ජනාධිපතිවරණ නීතිය අනුව ජනාධිපතිවරණයේ දෙවැනි වටයක් ඇති වුවහොත් එය ඔක්තෝම්බර් මාසයේ සිව් වැනි ඉරිදා වන ඔක්තෝම්බර් 25 දින පැවැත්වීමට නියමිතයි. බ්රසීල ජනාධිපතිවරයෙකුගේ ධුරකාලය වසර 04ක් වන අතර අඛණ්ඩ ව ධුරය දැරිය හැක්කේ ධූර කාල 2ක් පමණයි. එනම් වසර 8ක්. ධුර කාල 02 අවසන් වීමෙන් පසු ඡන්දයෙන් ඉවත් වී සිට ඊට පසු වෙනත් ඡන්දයකදී තරග කර ජනාධිපතිවරයා වීමට බ්රසීල නීතියෙන් අවසර හිමි වෙනවා.
බ්රසීලයේ භූමි ප්රමාණය ආසන්න වශයෙන් වර්ග කිලෝමීටර් මිලියන 8.51ක්. එය පසු වන්නේ දකුණු ඇමරිකාවේ විශාලම රට වන අතර රටවල් අතර භූමි ප්රමාණයෙන් පස් වැනි ස්ථානයේ. මිලියන 213කට ආසන්න ජනතාවක් එහි වෙසෙන අතර ජනගහන වර්ධන වේගය පවතින්නෙ 0.4%ක් වැනි පහළ අගයක. බ්රසීලයේ නාමික දළ දේශීය නිෂ්පාදිතය (GDP) ඇමරිකන් ඩොලර් ටි්රලියන 2.228කට ආසන්න වන අතර එය ලෝක ආර්ථිකයෙන් 1.9%ක් නියෝජනය කරනවා. එරටෙහි ඒක පුද්ගල ආදායම ඩොලර් 10,371ක්. සෝයා බෝංචි, බඩ ඉරිඟු, සීනි, කෝපි, හරක් මස්, කුකුළු මස් වැනි කෘෂි නිෂ්පාදන විශාල වශයෙන් අපනයනය කරන රටක් වන බ්රසීලය ලෝකයේ ප්රමුඛතම කෝපි නිෂ්පාදකයා ද වනවා. බොරතෙල් (Crude Oil) එරට වේගයෙන් වර්ධනය වන අපනයන අංශයක්. මීට අමතර ව යකඩ අයස් (Iron Ore) සෙලියුලෝස් හා කඩදාසි, ගුවන්යානා හා කාර්මික භාණ්ඩ වැනි ඛනිජ හා බලශක්ති ප්රභව ද බ්රසීල ආර්ථිකයට සපයන්නේ ඉහළ දායකත්වයක්. බ්රසීලයේ ඒක පුද්ගල ආදායම තවමත් පවතින්නේ සංවර්ධිත රටවල්වල මට්ටමට වඩා අඩුවෙන් වන හෙයින් එය තවමත් හඳුන්වන්නේ ඉහළ මධ්යම ආදායම් ලබන රටක් ලෙස. ඒක පුද්ගල ආදායමෙන්, ඵලදායිතාවෙන්, ජීවන මට්ටමෙන් එය තවමත් පවතින්නේ සංවර්ධිත රටවලට වඩා පහළ මට්ටමක. ඵලදායිතාව ඉහළ නැංවීම, අධ්යාපන සංවර්ධනය, යටිතල පහසුකම් වර්ධනය, අසමානතාව අඩු කිරීම වැනි කරුණු බ්රසීලය මුහුණදෙන අභියෝග ලෙස ලෝක බැංකුව ද පෙන්වා දෙනවා.
වත්මන් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දැනටමත් විවිධ ජනමත විමසුම් පැවැත්වෙමින් තිබෙනවා. ඒ අනුව වත්මන් ජනාධිපති අසූ වියැති Lula da Silva පළමු වටයේ ඉදිරියෙන් සිටිනවා. Lula da Silva යනු බ්රසීල දේශපාලනයේ දශක ගණනාවක් පුරා ප්රබල චරිතයක්. ඔහු නියෝජනය කරන කම්කරු පක්ෂය (Workers Party) 1980 වසරේදී වෘත්තීය සමිති හා කම්කරු ව්යාපාරය සමඟ සම්බන්ධ වූ දේශපාලන බලවේගයක් ලෙසයි ගොඩනැඟුණේ. කම්කරු පක්ෂය සාමාන්යයෙන් වාමාංශික හෝ මධ්ය වාමාංශික පක්ෂයක් ලෙස සැලකෙනවා. සමාජ සුභ සාධනය, දුප්පත්කම අඩු කිරීම, කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, රාජ්ය ආයෝජන, සමාජ අසමානතාව අඩු කිරීම එහි දේශපාලන වැඩපිළිවෙළෙහි මූලික අංග.
Lula පාලනයේදී අඩු ආදායම්ලාභී පවුල් සඳහා ආහාර හා මුදල් ආධාර වැඩසටහන්, රැකියා ආදායම් වර්ධනය, අධ්යාපනය හා සෞඛ්ය වැනි ක්ෂේත්රවලට වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. එම නිසා බ්රසීලයේ දුප්පත් හා අඩු ආදායම්ලාභී ජනතාව අතර ඛමක්ට පවතින්නේ දිගුකාලීන ඡන්ද පදනමක්. දුප්පත් හා අඩු ආදායම්ලාභී ජනතාව වැඩි වශයෙන් ජීවත් වන ඊසාන දිග ප්රදේශය North East Lulaගේ ප්රධාන ඡන්ද බලකොටුව ලෙසයි සැලකෙන්නේ. එරට වෙසෙන කතෝලික ජනතාවගෙන් ද Lulaට විශාල සහයෝගයක් තිබෙනවා.
Lulaගේ පළමු වැනි පාලන කාලය (2003-2010) ආර්ථිකයේ ලබා තිබෙන්නේ සැලකිය යුතු දියුණුවක්. විශේෂයෙන් එම කාලය ආරම්භ වන විට බ්රසීල ආර්ථිකය පැවතියේ ආර්ථික අර්බුදයට ලක් වී උද්ධමන පීඩනයකට මුහුණදෙමින්. මේ තත්ත්වය හමුවේ ඔහු අනුගමනය කළ මූල්ය විනය, උද්ධමන පාලනය හා නම්යශීලී විනිමය අනුපාතය පවත්වා ගැනීම වැනි කරුණු නිසා ආර්ථික ස්ථාවරත්වයක් ඇතිවුණා. 2004-2008 අතර බ්රසීලයේ දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය සාමාන්යයෙන් වසරකට 5%කට ආසන්න වුණා. 2008-2009 ලෝක මූල්ය අර්බුදයෙන් බ්රසීලයට බලපෑමක් ඇති වුවත් ආර්ථිකය ඉක්මනින් නැවත වර්ධනය වුණා. Lulaගේ පාලනයේ විශේෂත්වය වන්නේ ආර්ථික වර්ධනයත් සමාජ සුභ සාධනයත් එක් ව පවත්වාගෙන යාම. Bolsa Famila වැනි මුදල් ආධාර වැඩසටහන් පුළුල් කළ අතර රැකියා හා වැටුප් තල ඉහළ යාමත් සමඟ දුප්පත්කම හා ආදායම් අසමානතාව අඩු වුණා. Lulaගේ වත්මන් පාලන කාලය ආරම්භ වූ 2023 වර්ෂයේ සිට GDP වර්ධනය 3.4%කට ආසන්න වන අතර දුප්පත්කම 20% දක්වා අඩු වී තිබෙනවා. නව රැකියා මිලියන 2.8ක් පමණ ලබා දී ඇති අතර විරැකියා අනුපාතය 6.2ක් දක්වා අඩු වී තිබීමත් වැටුප් වැඩිවීම 4.8 කින් ඉහළ යාමත් වත්මන් ජනාධිපතිවරයා වශයෙන් Lulaගේ ජනාධිපතිවරණ සටනට එක්කර ඇත්තේ විශාල ශක්තියක්.
Lula සමඟ සටනට ඉදිරිපත් වී සිටින අනෙකුත් ප්රධාන අපේක්ෂකයා වන්නේ එරට සෙනෙට් සභිකයෙකු වන 45 හැවිරිදි Flavio Bolsonaro. Flavioගේ විශාලතම දේශපාලන ශක්තිය වන්නේ ඔහුගේ පියාගේ දේශපාලන උරුමය. ලිබරල් පක්ෂය නියෝජනය කරමින් Flavio ඡන්ද සටනට ඉදිරිපත් වී සිටිනවා. ඔහුගේ දේශපාලන ස්ථාවරය වන්නේ දක්ෂිණාංශික කොන්සර්වේටිව් මතවාදය. බ්රසීලයේ දකුණු දිග ප්රදේශය ඔහුගේ ප්රධානම ඡන්ද බලකොටුව වන අතර දක්ෂිණාංශික කොන්සර්වේටිව් මතවාදය දරන කොටස්, ක්රිස්තියානි ඉවැන්ජලිකල් (Evangelical) ජනතාව ඔහුට තිබෙන තවත් ශක්තියක්. පෞද්ගලික ව්යාපාර, ආර්ථික නිදහස, සාම්ප්රදායික සමාජ වටිනාකම්, ආරක්ෂාව, අපරාධ මර්දනය වැනි කරුණු ෆ්ලෝවියාගේ කඳවුරේ ප්රමුඛ සටන් පාඨ.
මෙවර මැතිවරණයේදී තවත් ප්රධාන කරුණක් ලෙස ආර්ථික තත්ත්වය හඳුන්වන්නට පුළුවන්. ඉන්ධන, නිවාස හා අනෙකුත් අත්යවශ්ය මිල වැඩිවීම ඛමක්ට යම් තරමක අවාසිදායක තත්ත්වයක් මතු වී Lulaට වාසිදායක ලෙස බලපාන්නට පුළුවන්. අද වන විට බ්රසීල මැතිවරණය ඉතාමත් තරගකාරී මැතිවරණයක් බවට පත් වී තිබෙනවා. පළමු වැනි වටයේ ජනමත සමීක්ෂණවලින් ඛමක් ඉදිරියෙන් සිටියත් දෙවැනි වටයේ ජනමත සමීක්ෂණවලින් ඛමක්ගේ සමීප තත්ත්වයක Flavio සිටිනවා. මෙවර ජනාධිපතිවරණයේදී ජය තීරණය වීමේදී බලපාන තවත් කරුණු කිහිපයක් පවතිනවා. විශේෂයෙන් විශාල ජන කොටසක් ජීවත් වන South East (ගිණිකොන ප්රදේශය) ජය ගන්නේ කවුරුන් ද? යන කාරණය බ්රසීල ජනාධිපතිවරණයේදී බලපාන ප්රධාන කරුණක් ලෙස බොහෝ විචාරකයන් හඳුන්වනවා. ජනාධිපති සටනේ යුදබිම ලෙස සැලකෙන්නේ මෙම ප්රදේශයයි. දැනට තුන් වැනි හා හතර වැනි තැනට පත් වී ඇති අපේක්ෂකයන්ගේ ඡන්ද දෙවන වටයේ ඡන්දයක් පැවතියහොත් Lulaට ද නැත්නම් Flavioට ද යන කරුණ මත ජයග්රහණය තීරණය වීමට බලපානවා. කෙසේ වෙතත් මධ්යස්ථ ජන්දදායකයන්ගේ වැඩි වාසිය Lulaට ඇති බවයි සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ. දැනට පවතින සියලු සමීක්ෂණ වාර්තා අනුව පළමු වටයේ ඡන්ද විමසීමේදී Flavio අභිභවා Lula සිටියත් 50%ක ඡන්ද සංඛ්යාවක් හිමි වන බව පෙනෙන්නට නැහැ. එම නිසා බ්රසීල ජනාධිපතිවරණය බොහෝදුරට දෙවැනි වටයක් දක්වා යා හැකි බවයි වාර්තා වන්නේ.
ඩබ් එම් ශාන්තප්රිය






