#දේශපාලන

ගරිල්ලා සටනේ සංකේතයක්

ලෝක ඉතිහාසයේ ගරිල්ලා සටන්කරුවන් අතරේ අර්නෙස්ටෝ චේ ගුවේරාට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. වෛද්‍යවරයකු, ලේඛකයකු, ගරිල්ලා සටන්කරුවකු, ආර්ථික හා දේශපාලන චින්තකයකු වූ ඔහු ලොව ප්‍රසිද්ධියට පත්වූයේ කියුබානු විප්ලවයේ නායකයකු ලෙස. අදත් ඔහුගේ රුව සහිත පින්තූර, පෝස්ටර් හා ටී-ෂර්ට් විවිධ රටවල දක්නට ලැබෙන අතර එම රුව පිටුපස සිටි මිනිසාගේ දේශපාලන අදහස් සහ ඔහු ජීවත් වූ යුගයේ සමාජ යථාර්ථය පිළිබඳ විවිධ දෘෂ්ටිකෝණවලින් විමසා බැලීම කාලීන ව වැදගත්.

චේ ගුවේරා උපත ලැබුවේ 1928 ජූනි 14 දින ආර්ජන්ටිනාවේ රොසාරියෝ නගරයේදී. වෛද්‍ය විද්‍යාව හැදෑරූ ඔහු තරුණ වියේදී ලතින් ඇමරිකාව පුරා කළ සංචාර ඔහුගේ දේශපාලන සිතුවිලි වෙනස් කිරීමට කළේ විශාල බලපෑමක්. විශේෂයෙන් දුප්පත් ගොවියන්ගේ ජීවිතය, කම්කරුවන්ගේ දුෂ්කරතා, ඉඩම් හිමිකාරිත්වයේ අසමානතාව සහ විදේශීය සමාගම්වල ආර්ථික බලය ඔහුගේ අවධානයට ලක් වුණා.

සංචාරවලදී දුටු ලතින් ඇමරිකානු සමාජ අසාධාරණතා ඔහුට එක් වැදගත් ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. ඒ, දුප්පත්කම යනු පුද්ගලයකුගේ අවාසනාවක් පමණක් ද? නැතහොත් එය සමාජ හා ආර්ථික ක්‍රමයේ ප්‍රතිඵලයක් ද? යන්න. එහිදී චේගේ පිළිතුර වුණේ දෙවැන්න. එනම් ‘ දුප්පත්කම යනු සමාජ හා ආර්ථික ක්‍රමයේ ප්‍රතිඵලයක් ය’ යන්න. ඔහු ක්‍රමයෙන් රැඩිකල් අදහස් වෙත ළඟා වූයේ එම පසුබිමෙහි සිට.

1954 වසරේදී ගෝතමාලාවේ ජාකෝබෝ ආර්බෙන්ස්ගේ රජය පෙරළා දැමීමත් චේගේ දේශපාලන චින්තනයට වැදගත් බලපෑමක් කළ සිදුවීමක්. ආර්බෙන්ස් ඉඩම් ප්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළත් එය විශාල ඉඩම් හිමියන්ගේ සහ විදේශීය ආර්ථික බලවේගවල විරෝධයටයි ලක් වුණේ. ඇමරිකානු මැදිහත්වීමෙන් සිදු වූ එම පාලන පෙරළිය චේට ලතින් ඇමරිකාවේ විදේශීය අධිරාජ්‍යවාදී බලපෑම පිළිබඳ විශාල අවබෝධයක් ලබා දුන්නා.

ඉන්පසු ඔහු ගියේ මෙක්සිකෝවට. එහිදී ඔහුට ෆිදෙල් කස්ත්‍රෝ හමු වුණා. ෆිදෙල්ගේ අරමුණ වූයේ කියුබාවේ එවකට බලයේ සිටි ෆුල්හෙන්සියෝ බැටිස්ටාගේ ආඥාදායක පාලනය පෙරළා දැමීම. චේ ද එම අරගලයට එක් වුණා.

1956 නොවැම්බර් මාසයේදී ෆිදෙල් කස්ත්‍රෝ, චේ ගුවේරා සහ තවත් රැඩිකල්වාදීන් පිරිසක් Granma නෞකාවෙන් කියුබාවට පැමිණි අතර මුල් අවස්ථාවේදී ඔවුන්ට මුහුණදීමට සිදු වුණේ දැඩි පරාජයකට. එහෙත් සියෙරා මාඑස්ත්‍රා කඳුකරයේදී ගරිල්ලා ව්‍යාපාරය ක්‍රමයෙන් ශක්තිමත් වුණා.

චේ ගුවේරා වෛද්‍යවරයකු වුවත් ඔහුගේ භූමිකාව එතැනින් නතර වූයේ නැහැ. ඔහු හමුදා නායකයකු බවට ද පත් වුණා. ඔහුගේ නායකත්වයෙන් සිදු වූ සටන්වලින් විප්ලවවාදීන්ගේ බලය වැඩි වූ අතර ම 1958 වසර අවසානයේදී බැටිස්ටාගේ පාලනය වේගයෙන් දුර්වල වුණා. 1959 ජනවාරි 01 දින බැටිස්ටා කියුබාවෙන් පලා ගිය අතර රැඩිකල්වාදීන් ජයග්‍රහණය කළා. ඔවුන්ගේ මතවාදය වුණේ කැස්ත්‍රෝවාදය. ඒ, රැඩිකල්වාදීන් කියුබාවේ බලය ලබා ගැනීම පිළිබඳ එක් මතයක්. මාක්ස්වාදීන් මේ ජයග්‍රහණය පිළිබඳ වෙනත් මතයක් දක්වනවා.

චේගේ පුද්ගලික ගුණාංග අතර නිර්භීතකම, ආත්ම පරිත්‍යාගය, අන්ත දුගී ජීවිතය වෙනුවෙන් ජීවිතය පූජා කිරීම අගය කළ හැකි ලක්ෂණ. එහෙත් මේ ගුණාංග තනි ව ම ඒවා දරන අයගේ දේශපාලනික සහ පන්ති ස්වභාවය පිළිබඳ දර්ශක නොවෙයි. ආගමික නිකාය සහ ෆැසිස්ට් ව්‍යාපාර පවා සම්පූර්ණයෙන් ම ප්‍රතිගාමී අරමුණු වෙනුවෙන් සමාන ගුණාංග සහිත ප්‍රාණ පරිත්‍යාගීන් බිහි කළ බවට පුරසාරම් දෙඩිය හැකියි. නිර්භීතකම දේශපාලන වැඩසටහනක් නොවෙයි.

චේ අනුගමනය කළේ FOCO න්‍යාය. ඉන් අදහස් වන්නේ කුමක් ද? ස්පාඤ්ඤ භාෂාවේ FOCO යනු ‘කේන්ද්‍රස්ථානයක්’ හෝ ‘උණුසුම් කේන්ද්‍රයක්’ යන අදහස. මේ න්‍යායේ මූලික අදහස වූයේ ‘කුඩා හා කැපවුණු ගරිල්ලා කණ්ඩායමක් ග්‍රාමීය ප්‍රදේශයකින් ආරම්භ කර, ජනතාව අතර දේශපාලන සහ සමාජ විරෝධය වර්ධනය කරමින්, අවසානයේ පුළුල් විප්ලවීය ව්‍යාපාරයකට පරිවර්තනය විය හැකි ය’ යන්න. මෙය මුළුමනින් ම මාක්ස්වාදී ප්‍රවේශයට ප්‍රතිවිරුද්ධ වූවක්. මාක්ස්වාදී දේශපාලනයේදී අවධාරණය වූයේ කම්කරු පන්තියේ සංවිධානය, දේශපාලන පක්ෂය සහ ජනතා ව්‍යාපාරය වර්ධනය කිරීම.

චේ ගුවේරාගේ FOCO අදහස ඊට වෙනස් අවධාරණයක් දැරුවා. ඔහුගේ අදහස අනුව, විප්ලවය සඳහා සුදුසු තත්ත්ව සියල්ල සම්පූර්ණයෙන් බලා සිටීම අවශ්‍ය නැහැ. කැපවුණු කුඩා කණ්ඩායමක් ක්‍රියාත්මක වීමෙන් ජනතාව තුළ තිබෙන අසන්තෝෂය ක්‍රමයෙන් පුළුල් දේශපාලන අරගලයකට ගෙන යා හැකි බව ඔහු විශ්වාස කළා.

තවදුරටත් පැහැදිලි කරන්නේ නම් චේගේ කේන්ද්‍රීය න්‍යාය වූයේ ගරිල්ලා ‘FOCO (නාභි ලක්ෂ්‍යය) සංකල්පය. එනම් ‘සන්නද්ධ ගරිල්ලා කණ්ඩායමකට කම්කරු පන්තියේ ස්වාධීන සංවිධානයකින් තොර ව, කුඩා සටන්කාමී කණ්ඩායමක ක්‍රියා ඔස්සේ විප්ලවයක් ඇවිළවිය හැකි ය’ යන්න. මෙය මාක්ස්වාදයට සෘජු ව ම පටහැණියි. සමාජවාදය යනු අවසාන විග්‍රහයේදී කම්කරු පන්තියේ ස්වයං-නිර්ණය. එය වෙනත් පන්ති                                                    බලවේගයක් විසින් කම්කරුවන් වෙනුවෙන් උපයා දෙනු ලැබිය නොහැකියි. චේගේ ප්‍රවේශය කම්කරු පන්තියේ සවිඥානික, ප්‍රජාතන්ත්‍රවාදී ව සංවිධාන වූ අරගලය වෙනුවට ගොවි ගරිල්ලා හමුදාවක් ආදේශ කෙරුණා. මෙය කම්කරු පන්තිය අසරණ කරන, කුඩා-ධනේශ්වර නායකත්වයට ඓතිහාසික කාර්යභාරය පවරන උපායමාර්ගයක්.

අනෙක් අතට ඒ වන විට පැවති බැටිස්ටාගේ ආණ්ඩුවට එරෙහි මහජන කැරැල්ලක් මෝදු වෙමින් පැවතුණා. එහි විප්ලවවාදී නායකත්වයක් නොතිබුණු පසුබිමක චේ හා කැස්ත්‍රෝගේ ගරිල්ලා කණ්ඩයමට පහසුවෙන් ම බැටිස්ටා පලවා හැරීමටත් රාජ්‍ය බලය තහවුරු කර ගැනීමටත් හැකි වුණා. ගරිල්ලා ව්‍යාපාරවල එහෙම නැතිනම් සුළු ධනේශ්වර පක්ෂවල නෛසර්ගික ලක්ෂණයක් වන්නේ යම් බලයක් තහවුරු කර ගත් විට දේශපාලනික විරුද්ධවාදීන් හඹා ගොස් ඝාතනය කිරීම.

විප්ලවයෙන් පසුව චේ ගුවේරාට හිමි වුණේ කියුබාවේ වැදගත් රාජ්‍ය වගකීම්. ඔහු ජාතික බැංකුවේ සභාපතිවරයා ලෙසත් පසුව කර්මාන්ත අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළා. ඔහුගේ අවධානය යොමු වූයේ කියුබාවේ ආර්ථිකය සමාජවාදී දිශාවකට ප්‍රතිසංවිධානය කිරීම වෙත.

කියුබානු විප්ලවය ඉදිරියට යන විට ඇමරිකා එක්සත් ජනපදය සහ කියුබාව අතර සබඳතා වේගයෙන් නරක අතට හැරුණා. කියුබාව පියවර ගත්තේ ඇමරිකානු සමාගම් සතු ඉඩම් හා ව්‍යාපාර ඇතුළු විශාල ආර්ථික සම්පත් ජනසතු කිරීමට. මෙය කම්කරු පාලනය යටතේ ජනසතු කිරීමක් නොව පාලනය රාජ්‍ය යටතට ගැනීම. ඇමරිකාව කියුබාවට ආර්ථික සම්බාධක පැන වූ තත්ත්වය කියුබාව සෝවියට් සංගමය සමඟ සමීප සබඳතා ගොඩනඟා ගත්තා.

1965 වසරින් පසු චේ සම්බන්ධ වුණේ අප්‍රිකාවේ කොංගෝවේ විප්ලවීය ව්‍යාපාරයකට. එය සාර්ථක වුණේ නැහැ. පසුව ඔහු බොලිවියාවට ගිය අතර එහිදී ගරිල්ලා ව්‍යාපාරයක් ගොඩනැඟීමට ඔහු උත්සාහ කළා. එහෙත් එයට ද අපේක්ෂිත ජනතා සහය ලබා ගැනීමට හැකි වුණේ නැහැ. 1967 ඔක්තෝම්බර් 08 දින බොලිවියානු හමුදා චේ අල්ලා ගත් අතර ඔක්තෝබර් දින බොලිවියාවේ ලා හිගුවෙරා ප්‍රදේශයේදී ඔහු මරා දමන විට චේගේ වයස අවුරුදු 39ක්.

චේ ගුවේරාගේ ජීවිතය පිළිබඳ විනිශ්චය අදත් විවාදයට ලක් වෙනවා. ඔහු අධිරාජ්‍යවාදයට, සමාජ අසාධාරණයට සහ ආර්ථික සූරාකෑමට එරෙහි ව සටන් කළ විප්ලවවාදියකු ලෙසයි ඔහුගේ ආධාරකරුවන් දකින්නේ. විවේචකයෝ ඔහුගේ ගරිල්ලා ක්‍රම, දේශපාලන ප්‍රචණ්ඩත්වය සහ කියුබානු විප්ලවයෙන් පසු සිදු වූ ඇතැම් ක්‍රියා දැඩි ලෙස විවේචනය කරනවා.

එහෙත් එක් කරුණක් පැහැදිලියි. චේ ගුවේරා තමන් විශ්වාස කළ දේශපාලන අදහස් වෙනුවෙන් තම ජීවිතය ම කැප කළ චරිතයක්. ඔහුට විප්ලවය යනු බලය අල්ලා ගැනීම පමණක් නොව සමාජය වෙනස් කිරීමේ උත්සාහයක්.

ඒ නිසා චේ ගුවේරාගේ උරුමය කියුබාවේ ඉතිහාසයට පමණක් සීමා වී නැහැ. ඔහු 20 වැනි සියවසේ ලතින් ඇමරිකානු විප්ලවයේ සංකේතයක්. ඔහුගේ රුව ලෝකයේ විවිධ ස්ථානවල දක්නට ලැබීමෙන් පෙනෙන්නේ ඔහු පිළිබඳ මතකය තවමත් ජීවමාන බව.

එබැවින් චේ ගුවේරා එක් පුද්ගලයකුගේ කතාවක් පමණක් නොව එය 20 වැනි සියවසේ ලතින් ඇමරිකාවේ දුප්පත්කමට, අධිරාජ්‍යවාදයට සහ සමාජ අසමානතාවට එරෙහි ව මතු වූ විප්ලවීය සිහිනයේ කතාවක්.

මනෝ ප්‍රනාන්දු