ව්‍යාපාරයට සුවපහසුවක්
ආයෝජන සහ කර්මාන්ත ආශ්රිත ව රාජ්‍ය ආයතන අතර පවතින පාලන හා නියාමන බාධා ඉවත් කර එම ක්‍රියාවලිය වේගවත් කිරීමේ අරමුණින් ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය (National Business Facilitation Center- NBFC) නොබෝදා (සැප්තැම්බර් 22) විවෘත කෙරුණා. ජනාධිපතිවරයාගේ සංකල්පයක් අනුව කර්මාන්ත ක්ෂේත්රයේ ධනාත්මක පරිවර්තනයක් සිදු කිරීමට ස්ථාපිත මේ මධ්‍යස්ථානයෙන් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී සහ එය පවත්වාගෙන යාමේදී රාජ්‍ය යාන්ත්‍රණය සමඟ ඇති වන ගැටලු සඳහා විසඳුම් ලබාදීම මෙන් ම අදාළ රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය පහසුකම් සැලසීම සිදු කෙරෙනවා.
රාජ්‍ය ආයතනවල විසිරී ඇති ක්‍රියාවලියක් පැවතීම, අවම අභ්‍යන්තර සන්නිවේදනයක් සහිත ව ආයතන හුදෙකලාව ක්‍රියාත්මක වීම, ආයතනික බලතල පිළිබඳ ගැටලු සහ පරිපාලනමය අකාර්යක්ෂමතාව ආදී තත්ත්ව හේතුවෙන් දේශීය ආයෝජන මුහුණ දී තිබෙන්නේ අභියෝග රැසකට. එක් ආයෝජන කාර්යයකට අදාළ ව අනුමත කිරීමේ ක්‍රියාවලිය රජයේ ආයතන කිහිපයක් අතර බෙදී පැවතීම දේශීය ආයෝජන ආරම්භ කිරීමේදී ප්‍රධානතම අභියෝගයක්. ඒ හේතුවෙන් ව්‍යාපෘති සංවර්ධනය සඳහා ඉඩම් වෙන් කරවා ගැනීම, පාරිසරික අනුමැතිය හා නියාමන බලපත්‍ර ලබා ගැනීම, විදුලි සම්බන්ධතා ලබා ගැනීම, ජල සම්පාදනය, බැංකු හා මූල්‍යකරණ පහසුකම් ලබා ගැනීම වැනි කාර්යවලදී නිරන්තරයෙන් ප්‍රමාද සිදු වන බවත් ආයෝජකයන් අපහසුතාවට පත් වීම මෙන් ම අධෛර්යයට පත් වීම සිදු වන බවත් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුවයි ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ව්‍යවසායකයන්ට මඟ පෙන්වීමට එක් සම්බන්ධීකරණ ආයතනයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව වර්තමාන රජය හඳුනා ගත්තේ. එහි ප්‍රතිඵලයක් ලෙස ආයෝජන සඳහා පවතින පරිපාලන බාධක ඉවත් කරමින් ක්ෂේත්රයේ ප්‍රතිපත්ති ප්‍රශස්තකරණයට අවශ්‍ය ඉහළ අධිකාරීත්වයක් සහිත ව එක් මධ්‍යස්ථානයකින් ක්‍රියාත්මක වන ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය ස්ථාපිත කෙරුණා.
ආර්ථික ප්‍රසාරණය සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය කිරීම කාලීන අවශ්‍යතාවක්. මෙරට වෙළෙඳපොළ යම් යම් සීමාවලට යටත් නිසා අපනයන ක්ෂේත්රය කෙරෙහි ද අවධානය යොමු කළ යුතු වනවා. මේ සඳහා විසඳුමක් ලෙසයි ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානයේ කාර්යභාරය සහ වගකීම නිර්මාණය කර තිබෙන්නේ. පෞද්ගලික සහ රාජ්‍ය අංශවල මනා සම්බන්ධීකරණයෙන් යුතු ව ව්‍යවසායකයන්ට උපරිම සේවයක් සැලසීම මේ මධ්‍යස්ථානයේ ප්‍රධාන කාර්යයක්. අමාත්‍යාංශ ගණනාවක් ඒකාබද්ධ කරමින් ව්‍යවසායකයන්ගේ ගැටලුවලට පහසුවෙන් විසඳුම් ලබා ගත හැකි පරිදි පවතින පද්ධති වෙනස් කරන මධ්‍යස්ථානයක් මෙය.
ලෝකයේ දර්ශක අනුව ව්‍යාපාරයක් ආරම්භ කර එය පවත්වාගෙන යාමේ පහසුව පිළිබඳ සොයා බැලීමේදී 2025 වසරේ ශ්‍රී ලංකාවට හිමි වන්නේ 79 වැනි ස්ථානය. සිංගප්පූරුව එහි 01 වැනි ස්ථානයේ සිටින බවයි ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් සීවලි අරුක්ගොඩ අවධාරණය කරන්නේ.
ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය ක්‍රියාත්මක වන්නේ ජාතික මෙහෙයුම් කමිටුවක් යටතේ. ජනාධිපති ලේකම්වරයා මෙහෙයුම් කමිටුවේ සභාපතිත්වය දරන අතර කමිටුව සමන්විත වන්නේ අදාළ අමාත්‍යාංශවල ලේකම්වරු සහ ඒ ඒ ආයතන ප්‍රධානීන්ගෙන්. යම්කිසි ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී ව්‍යාපාරිකයන් මුහුණදෙන ගැටලු විසඳීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපත්තිමය වෙනස්කම් ඇතුළු ව සියලු ම වෙනස්කම් සිදුකිරීම සඳහා රජය වෙත යෝජනා ඉදිරිපත් කිරීමට මේ කමිටුව වෙත බලතල පවරා තිබෙනවා. අදහස් දක්වන ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් සීවලී අරුක්ගොඩ; “අප මේ සමස්ත ක්‍රියාවලියෙන් බලාපොරොත්තු වන්නේ රටට අවශ්‍ය ආර්ථික පරිවර්තනයකට සුදුසු වාතාවරණයක් ඇති කර, නව කර්මාන්ත බිහි කිරීමට. ඒ ඔස්සේ නව රැකියා අවස්ථා බිහි කිරීමටත් කර්මාන්තවලින් රජයේ බදු ආදායම් ඉහළ නංවා ගැනීමටත් අපනයනය ඉහළ නංවා ගැනීමට හා විදේශ විනිමය වැඩි වශයෙන් ලබා ගැනීමටත් අවස්ථාව ලැබෙනවා. එයින් ජනතාවගේ ජීවන මට්ටම ඉහළ දැමීමට හැකි වන අතර රටේ සැකසෙන්නේ ආර්ථිකයටත් වාසි ලැබෙන වාතාවරණයක්.”
මේ මධ්‍යස්ථානය අදියර 2කින් ක්‍රියාත්මක කිරීමයි අපේක්ෂාව. පළමු අදියරේදී ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඉඩම්, විදුලි බලය, බැංකු ණය, මහා මාර්ග ආදී යටිතල පහසුකම් ලබා ගැනීමට අවශ්‍ය සහයෝගය දීමත් රාජ්‍ය ආයතනවලින් ලබා ගත යුතු අනුමත කිරීම්වලදී ඇති වන ගැටලුවලට මැදිහත් ව දැනට ඇති ක්‍රමවේදවලට අවනත ව ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධීකරණය කිරීමත් සිදු වනු ඇති. එහිදී කිසියම් රාජ්‍ය ආයතනයකින් හෝ රාජ්‍ය ආයතන කිහිපයකින් හෝ සේවාව ලබා ගැනීමට ගොස් සේවාව නොලැබේ නම්, අතරමග නැවතීම් ප්‍රමාද වීම් ඇති වී ඇත්නම් එහිදී ව්‍යාපාරිකයන් වෙනුවෙන් ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය ක්‍රියාත්මක වෙනවා. මෙහි දෙවැනි අදියරෙන් බලාපොරොත්තු වන්නේ කිසියම් අයෙකුට ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය නම් ඔහුට අවස්ථාව තිබෙනවා මේ ස්ථානයට පැමිණ හෝ මාර්ගගත ව හෝ ඔවුන්ගේ ව්‍යාපාරික සැලැස්ම පෙන්වා අවශ්‍ය උපදෙස් ඇතුළු සියලු ම පහසුකම් එක් ස්ථානයකින් සලස්වා ගැනීමට. මෙහි පළමු අදියරේ අත්දැකීම් අනුව ඒවා සලකා බලා දෙවැනි අදියර ක්‍රියාත්මක කිරීමයි රජයේ සැලැස්ම.
ශ්‍රී ලංකාවේ නව ව්‍යාපාර ආරම්භ කිරීමට බොහෝ අවස්ථාවල ආයතන කිහිපයක් සමඟ ගැටීමට සිදු වනවා. ඒවායෙහි ගැටලු විවිධාකාරයෙන් විසඳන අවස්ථා දක්නට ලැබෙනවා. මෙවැනි වාතාවරණයක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පුද්ගලයන් උත්සාහ ගන්නේ නැහැ. ඒ නිසා දක්නට ලැබෙන්නේ ආර්ථික පරිවර්තනයකට යාමේ දැඩි අපහසුතාවක්. එය වළක්වා ගැනීමටයි මෙවැනි ආයතනයක් වෙත අවධානය යොමු කර ඇත්තේ. මීට පෙර ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව සහ රාජ්‍ය ආයතන මට්ටමින් ගනුදෙනු කිරීමට මෙවැනි ආයතනයක් පැවතියේ නැහැ.
ව්‍යාපාර ගැටලු වෙනුවෙන් මුදල්, කාලය, ශ්‍රමය වැය කරමින් ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය වෙත පැමිණීමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ සඳහා https://nbfc.presidentsoffice.gov.lk වෙබ් අඩවියට පිවිස අදාළ පෝරමය (ත්‍දරප) පුරවා අවශ්‍ය තොරතුරු සම්පූර්ණ කිරීමට අවකාශ තිබෙනවා. ඒ ඒ රාජ්‍ය ආයතනවලට ගැටලුවක් ඉදිරිපත් කළ පසු නිශ්චිත කාල සීමාවක් ලබා දීම හා අදාළ කාලසීමාවේදී අවශ්‍ය තොරතුරු ලබා ගැනීම පිළිබඳ ව සැලකිලිමත් වෙමින් ඒ සඳහා ක්‍රමවේදයක් ඉදිරියේදී සකස් කරන බවයි ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් සීවලී අරුගොඩ අවධාරණය කරන්නේ. එහිදී තම ගැටලු සඳහා ක්‍රියාත්මක වන ආකාරය සහ දැනට ස්ථානගත වන්නේ කුමන ස්ථානයේ ද යන්න පිළිබඳ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අදියර වශයෙන් බලා ගැනීමට අදාළ පාර්ශ්වයට අවකාශ ලැබෙනු ඇති.
දැනට සිටින කර්මාන්තකරුවන්ගෙන් සහ ආයෝජකයන්ගෙන් ව්‍යාපාර ආරම්භ කළත් ඇතැම් ඒවා ඉතා කෙටි කාලයකින් නවතා දමන අවස්ථා දක්නට පුළුවන්. දැනට මේ සම්බන්ධයෙන් කුඩා කර්මාන්තකරුවන් වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් ක්‍රියාත්මක වීමට සාකච්ඡා කර ඇති බවයි ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම්වරයා පවසන්නේ. ඔහු සඳහන් කරන පරිදි මේ කාර්යය විශාල අභියෝගයක් වන අතර මෙය තාවකාලික නොවූ ස්ථීර ගැටලුවලට විසඳුම් සොයන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වනු ඇති.
මෙරට ස්ථාපිත ඇතැම් මහා පරිමාණ කර්මාන්ත පරිසර ගැටලු ඇති වන ආකාරයෙන් අනීතික ක්‍රියාවලට යොමු ව බලපත්‍ර ලබා ගන්නා අවස්ථා දක්නට පුළුවන්. පවතින නීති රාමුවෙන් ඔබ්බට ගොස් පරිසරයට නොගැළපෙන, රටට නොගැළපෙන ව්‍යාපාර දියුණු කිරීමට හා ඒවාට උපදෙස් දීමට සහ අනීතික ක්‍රියාමාර්ගවලට එළැඹීමට බලාපොරොත්තු නොවන බවත් නීති වෙනස් කිරීමට ඇති අවශ්‍යතාව සලකා බලන්නේ රටේ ආර්ථිකයට සහ රටට යහපතක් සිදුවේ නම් පමණක් බවත් ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් සීවලී අරුක්ගොඩ පෙන්වා දෙන කාරණාවක්.
විශේෂයෙන් පවතින ක්‍රමවේදවල සහ ආයතනවල නිලධාරින්ගේ ක්‍රියා කලාප හේතුවෙන් ව්‍යාපාරිකයන් විවිධ ගැටලුවලට මුහුණ දෙනවා. මේ මධ්‍යස්ථානය ඔස්සේ සෘජු ව ම විසඳුම් සෙවීමයි රජයේ අරමුණ. නෛතිකමය සහ ප්‍රතිපත්තිමය ගැටලු තිබෙන්නට පුළුවන්. ඒ ඒ අදාළ නිලධාරින්ට ඒවා විසඳීමට නොහැකි වන අවස්ථා තිබෙන්නට පුළුවන්. මේ නිසා එවැනි ගැටලු උදෙසා පිළියම් යෙදීමට වෙන ම ක්‍රමවේදයක් සකස් කර තිබීම සාධනීය තත්ත්වයක්.
ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය ඕනෑ ම අයෙකුට මේ මධ්‍යස්ථානය ඔස්සේ සේවය සැපයීමට උත්සුක වනු ඇති. ඒ නිසයි මේ නව ආයතනය සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් ක්‍රියාත්මක වන ආයතනයක් ලෙස හැඳින්විය හැක්කේ.






