සිනමා සියවස අභිමුව අනාගත සිනමාව
ශ්‍රී ලාංකේය සිනමාවේ සියවස සැමරීම (1925-2025) අභිමානවත් අයුරින් සිදු කර, 101 වැනි වස ගෙවමින් සිටින මොහොතේ සිංහල සිනමාවේ අනාගතය දෙස විමසුම් ඇසින් බැලීම කාලෝචිත යැයි සිතෙන්නක්.
ගෙවුණු සියවසේ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් කතාබහට ලක් වූ සිනමාපට, සිනමාකරුවන්, ග්‍රන්ථ, ලිපි, සිනමා විචාරකයන්, නිෂ්පාදන හා තාක්ෂණික ශිල්පීන් සහ අනෙකුත් ආනුෂංගික විෂයට අදාළ අංශ සහ ශිල්පීන් පිළිබඳ ප්‍රමාණාත්මක තොරතුරු අපට තිබෙනවා. ඒ පිළිබඳ සතුටු විය හැකි වුවත් වසර සියයක සිනමාවක් සනිටුහන් කරන අපට එය ප්‍රමාණවත් ද? වර්තමානය වන විට සිංහල සිනමාව සහ එහි පැවැත්මේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් බරපතළ සහ සංකීර්ණ අභියෝග රැසකට අප මුහුණ දෙමින් සිටිනවා.
ලාංකේය සිනමා ඉතිහාසයේ ආරම්භය ලෙස සැලකෙන්නේ 1925 වසරේදී නිෂ්පාදනය වූ රාජකීය වික්‍රමය (නොහොත් ශාන්තා) චිත්‍රපටය. සිංහල කථානාද සිනමාවේ ඇරඹුම සිදු වන්නේ 1947 වසරේ. 1947 ජනවාරි 01 දින තිරගත වූ කඩවුණු පොරොන්දුව ලංකා ඉතිහාසයේ පළමු වැනි දෙබස් කථන චිත්‍රපටය ලෙස සැලකෙනවා. එය සිදු වී වසර 79ක් ගත වී අවසන්. දේශීය අනන්‍යතාවක් සහිත සිනමා පුනරුදය ලෙස සැලකෙන්නේ 1956 වසර. දකුණු ඉන්දියානු ආභාසයෙන් මිදී සිනමාවේ ස්වෝත්පාදනයක් සිදුවූවා යැයි සැලකෙන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නිර්මාණය කළ ‘රේඛාව’ චිත්‍රපටය. විශේෂයෙන් චිත්‍රාගාර ආකෘතියෙන් මිදී කැමරාව ස්ථානගත කිරීම, සිමාත්මක ක්‍රමවේද භාවිත කිරීම, කතා තේමාව සහ ආකෘතිකමය ලක්ෂණ නිසා ලෙස්ටර් ජේම්ස් පීරිස් තමන්ට අනන්‍ය කතා කලාවකට ප්‍රවිෂ්ට වීමයි පුනරුදයේ ආරම්භය. 1962 වසරේදී මයික් විල්සන් අධ්‍යක්ෂණය කළ ‘රන්මුතු දූව’ චිත්‍රපටය ශ්‍රී ලංකාවේ පළමු වර්ණ චිත්‍රපටය ලෙස සැලකෙනවා.
‘දේශීය සිනමාව නගා සිටුවීම සහ නියාමනය’ සඳහා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටු වන්නේ 1972 වසරේදී. ඒ අර්ථයෙන් ලාංකේය සිනමාවට රාජ්‍ය මැදිහත්වීම සිදු වන්නේ මෙරට සිනමා නිෂ්පාදනය සහ ප්‍රදර්ශනය ආරම්භ වී වසර 50ක් ගත වීමෙන් පසුව.
මතු වන මූල්‍ය අර්බුදය මෙහිදී ප්‍රමුඛ අභියෝගයක්. අධික නිෂ්පාදන පිරිවැයක් දැරීමට සිදු වීම, සිනමා උපකරණ තාක්ෂණ සහ ශ්‍රම පිරිවැය ඉහළ යෑමත් නිසා චිත්‍රපට නිෂ්පාදකවරුන්ට විශාල පිරිවැයක් දැරීමට සිදු වී තිබෙනවා. අනෙක් අතට සිංහල සිනමාව අවදානාත්මක ආයෝජනයක් බවට ද පත් වී අවසන්. සිනමා සාක්ෂරතාවක් නොමැති වූවන් නිර්මාණකරණයෙහි යෙදීමත් අනෙක් අතට ප්‍රේක්ෂකාගාරය පිළිබඳ අවධානය යොමු නොකිරීමත් කලාත්මක සිනමාව පිළිබඳ තිබෙන අඩු මැදිහත්වීමත් අධික පරිභෝජනවාදයත් හේතුවෙන් සිනමාකරුවා ප්‍රේක්ෂකාගාරයෙන් ඈත්වීමක් දක්නට ලැබෙනවා. ඒ නිසා පෙන්නුම් කරන්නේ ආයෝජනය කළ මුදල නැවත උපයා ගැනීමට නොහැකි නිසා නිෂ්පාදකයන් සිනමා කර්මාන්තයෙන් දුරස් වීමේ අවදානමක්. කලාත්මක හෝ සිනමා ක්ෂේත්‍රය පිළිබඳ ඇති ආශාව හෝ මත චිත්‍රපට නිෂ්පාදනයේ යෙදෙනු වෙනුවට මුදල් විශුද්ධිකරණය වැනි කරුණු නිසා ජාවාරම්කරුවන් අතට සිනමාව පත්වීමේ අර්බුදයකට මුහුණ දී තිබෙනවා. විශේෂයෙන් පසුගිය කාලයේ බිහි වූ නිර්මාණ දෙස බලන විට විෂය මූලික හෝ නිර්මාණාත්මක අවබෝධයක්, සිනමා ක්ෂේත්‍රය පිළිබඳ ආශාවක් රහිත ප්‍රශ්නගත නිර්මාණ සමුදායක් දක්නට ලැබුණා.
ශ්‍රී ලංකාවේ සිනමා ශාලා විශාල සංඛ්‍යාවක් වේගයෙන් වැසී යාමේ තර්ජනයකට ලක් වී තිබෙනවා. කාලයට අනන්‍ය ලෙස නවීකරණය නොවීම, නවීන තාක්ෂණය භාවිත නොකිරීම, සිනමා ප්‍රේක්ෂකාගාරය නිසි ලෙස හඳුනා නොගැනීම, මෙතෙක් කිසිදු රජයක් සිනමා හෝල් හිමියන් එක්රැස් කරමින් ඔවුන්ගේ ගැටලු හඳුනා ගනිමින් සිනමා ප්‍රදර්ශනය පිළිබඳ ගැඹුරු සාකච්ඡාවක් ඇති කර නොගැනීම (උදාහරණයක් වශයෙන් හොඳ සිනමාපටයක් සිනමා ශාලාවකට පැමිණි පසු ප්‍රදේශයේ ප්‍රජා සංවිධාන, පාසැල් රාජ්‍ය ආයතන සංස්කෘතික බල මණ්ඩල භාවිත කරමින් යම් ප්‍රේක්ෂක ප්‍රජාවක් සිනමාව නැරඹීම සඳහා යොමු කිරීමේ පහසුකමක් නොතිබීම) වැනි සහේතුක කරුණු නිසා නව තාක්ෂණයට අනුව බිහි වූ චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා සුදුසු චිත්‍රපට ශාලා නොමැති වීමක් පෙන්නුම් කරනවා. ඉතිරි ව ඇති සිනමා ශාලාවල නවීන ශබ්ද පරිපාලන (Dolby Atmos ) හෝ උසස් තිර තාක්ෂණයක් හෝ නොමැති වීම නිසා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීම පහසු වී නැහැ.
කලාත්මක සිනමාපට බිහිවීමේ අඩුකමක් ද දක්නට ලැබෙනවා. සිනමා සාක්ෂරතාවක් සහිත රචකයන්ගේ අඩුකම, සිනමාව අධ්‍යයනය සඳහා සිනමා පාසලක් නොතිබීම, තිර රචකයන්ට ඉතා අඩු මුදලක් ගෙවීම නිසා තිර රචනා කලාවේ යෙදීමේ අඩුකම, නියාමනයක් රහිත ව විවිධ ආයතන සහ පුද්ගලයන් පවත්වන පාඨමාලා නිසා තිර රචනා කලාව පිළිබඳ පූර්ණ අවබෝධයක් සහිත රචක කණ්ඩායමක් සමාජයට අවතීර්ණ නොවීමෙන් හරවත් සහ ආකර්ෂණීය තිර රචනා (screen play) බිහිවීමේ විරල වීම ඊට හේතු. එය උසස් සිනමා රස රසවින්දනයකට බාධාවක්. තාක්ෂණික වශයෙන් ලෝක සිනමාව පිළිබඳ සැසඳීමේදී දෘශ්‍ය ප්‍රයෝග (VFX) වර්ණ සංකලනය, නවීන සිනමා කැමරා භාවිතය පිළිබඳ ගැටලු, තාක්ෂණික දැනුම සහ පහසුකම්වල විරලභාවය නිසා ලාංකේය සිනමාව තවමත් පවතින්නේ පසුගාමී මට්ටමක. එය නගා සිදුවීම සඳහා එක් පසෙකින් පුද්ගලික අංශයත් අනෙක් පසෙන් රාජ්‍ය අංශයත් යම් එකඟතාවකට, වැඩපිළිවෙළකට පැමිණිය යුතුයි. විශේෂයෙන් රජයේ චිත්‍රපට සංස්ථාව වැනි ආයතනයක් පූර්ණකාලීන ව එවැනි අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා මැදිහත් විය යුතු වෙනවා.
ඩිජිටල් තරගකාරිත්වයට මුහුණ දිය හැකි නිර්මාණාත්මක පසුබිමක ඉතා අවම වශයෙන් ප්‍රකට කිරීමත් දක්නට ලැබෙන්නක්. Netflix, Amazon Prime” OTT (Over-The-Top) වැනි ජාත්‍යන්තර සේවා මෙන් ම You Tube සහ අනෙකුත් platform, සමාජ මාධ්‍ය නිසා ප්‍රේක්ෂකයන් සිනමා ශාලා වෙත පැමිණීමේ මැළිකමක් දක්වනවා. මේ නිසා නිරීක්ෂණය වන්නේ රස වින්දනයේ යම් වෙනසක් සිදු වී ඇති බව. ලෝක සිනමාවේ උසස් නිර්මාණ නිවස තුළදී ම නැරඹීමේ හැකියාව උදා වී තිබෙනවා. එහෙත් සිනමා ශාලාවක චිත්‍රපටයක් නැරඹීමේදී ඇති වන අහ්ලාදය ප්‍රේක්ෂකයා දන්නා නමුත් බොහෝ ප්‍රේක්ෂකයන් ප්‍රේක්ෂකාගාරයට නොයන්නේ මුදල් වියදම් කර දුර්වල තත්ත්වයේ සිනමා පට නැරඹීමට ඇති අකමැත්ත නිසා. මේ අභියෝගය යම් තරමකට ජයගැනීමට පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ දීර්ඝකාලන මැදිහත්වීමක් අවශ්‍ය වෙනවා.
වසර සියයක අතීත කාමයක් අපට තිබුණත් නිහඬ යුගයේ චිත්‍රපට, උසස් නිර්මාණ, පැරණි චිත්‍රපට, සංරක්ෂණය පිළිබඳ අදහසක්, මුදල් වෙන් කිරීමක් හෝ අඩු තරමේ විදේශීය ආයතනයක් සමඟ ගිවිසුම්ගත ව සිදු කරන සංරක්ෂණයක් පිළිබඳවත් අපට ඇත්තේ දුප්පත් ප්‍රතිපත්ති. විශේෂයෙන් සිංහල දෙමළ කෝලාහල නිසා ලාංකේය චිත්‍රපට යම් සංඛ්‍යාවක් විනාශ වුණා. අනෙක් චිත්‍රපට විනාශ වී ඇත්තේ ඒ පිළිබඳ ප්‍රතිපත්තිමය තීන්දු නොගැනීම නිසා. ඒ සඳහා වැඩපිළිවෙළක් ඇති කිරීමට තවමත් අප ප්‍රමාද නැහැ. අතීත චිත්‍රපට කෙසේ වෙතත් වර්තමාන චිත්‍රපට සංරක්ෂණාගාරයක් පවත්වා ගැනීමට ඇති තාක්ෂණික ඥානය ලොව පුරා ඇති පවතින අතර අප සතුව ද එබඳු ඥානයක් සහිත මානවකයන් සිටින බව සිහියට ගැනීම වැදගත්.
උක්ත කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් රජයේ වග කිය යුතු අංශ කටයුතු කරන්නේ නම් අනාගත සිනමාව සුබවාදී ගමනක නිරත වෙනු ඇති. එහි අදහස වර්තමානයේ එවැනි චිත්‍රපට බිහි නොවනවා යැයි පැවසීම නොවෙයි. ඔස්කාර් සම්මාන උලෙළට චිත්‍රපටයක් ඉදිරිපත් කිරීම, චිත්‍රපට සංස්ථා පනත සකස් කිරීම ආදිය සිදු වෙමින් පවතිනවා, ජාතික සිනමා පාසලක් ඇරඹීම පිළිබඳ කතිකාවත් සාධනීය තත්ත්වයක්. එහෙත් සිනමාකරුවාගේ වර්ධනය පිළිබඳ පැහැදිලි අදහසක් දක්නට නොමැති වීම අවධානයට ලක් විය යුත්තක්. මෙහිදී සහේතුක ව ඉදිරිපත් කළ කරුණු පිළිබඳ ස්වයං විවේචනයක යෙදීම වැදගත් වන්නේ මෙරට අනාගත සිනමාව ද අතීත සිනමාව සේ ම කාලයේ වැලිතලාවෙන් වැසී යන්නට ඉඩ නොදී රැක ගැනීම අපගේ යුතුකමක් වන නිසා.
මනිෂ දුක්ගන්නාරාල
කථිකාචාර්ය
නාට්‍ය සිනමා හා රූපවාහිනි අධ්‍යයනාංශය
කැලණිය විශ්වවිද්‍යාලය






