නොකියවීම කියවීම
නොකියවීම නිසා බිහි වන්නේ අසම්පූර්ණ, අසංස්කෘතික, අඥාන, ප්‍රඥා විරහිත සමාජයක්. කියවීම වුව ද ඉගෙනුමට ම සීමා වූ තැන (Read to Learn) බිහි වන්නේ යාන්ත්‍රික, වෘත්තීයමය සමාජයක්. ඊට මානවීය ගුණ සහ රසය මුසු වන්නට නම් කියවීමට උගත් (Learn to Read) කියවීම හුරු අය (Readers) සිටිය යුතුයි. කෙසේ වෙතත් නොකියවීමට වඩා ඉගෙනුමට කියවීම හෝ කියවීමට ඉගෙනීම හෝ යන දෙකෙන් එකකටවත් යොමු වීම වටිනවා. මේ කියවීම් ක්‍රම දෙක ම සමාන අගයෙන් භාවිත කරන්නන්ට සමබර පුද්ගලයන් වීම පහසු වන අතර එබඳු පුද්ගලයන්ගෙන් සමන්විත සමාජය ප්‍රඥාසම්පන්න චර්යා සහිත, නීතිගරුක සහ සාමකාමී යහපත් සමාජයක් වීම ස්වයංක්‍රීය ව සිදු වනවා.
සාහිත්‍ය මාසය සහ කියවීමේ මාසය
සාහිත්‍ය මාසය හෙවත් සැප්තැම්බරයේ මෙරට ප්‍රධානතම සාහිත්‍ය ඇගයුම් උලෙළ වන රාජ්‍ය සාහිත්‍ය උලෙළ ඇතුළු ජාතික තලයේ ඇගයුම් උලෙළ ගණනාවක් වාර්ෂික ව පැවැත්වෙනවා. ඊට අමතර ව ප්‍රාදේශීය, දිස්ත්‍රික් සහ පළාත් මට්ටමේ සාහිත්‍ය තරගාවලි සහ උත්සව ද සිය දහස් ගණනින් පොත් දොරට වැඩුම් ද දක්නට ලැබෙන්නේ දිවයිනේ නන් දෙස. මෙබඳු අවස්ථා පුළුල් කිරීමේ අභිලාෂයෙන් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය සහ මහජන පුස්තකාල ද සාහිත්‍ය ක්ෂේත්රයේ සහ කියවීම් සංස්කෘතියේ උන්නතිය වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.
පොත් සැණකෙළිය
වාර්ෂික ව සැණකෙළි අසිරියෙන් ඔදවැඩෙන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රය මෙවර ඒ සඳහා වෙන් වුණේ ඔක්තෝම්බර් 04 දක්වා දින 10ක කාලයක්. එහි සමාරම්භක දිනය වූ සැප්තැම්බර් 25 දින රටේ ප්රමුඛ පුවත බවට පත් වූයේත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති Wei Huaxiang ගේත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපාලි සුබසිංහගේත් සහභාගිත්වයෙන් එය ආරම්භ වුණා. මෙය වසරක් වෙහෙස වුණු සාහිත්‍ය ක්‍රියාකාරකම්වල ඵල සාරය ජනයා වෙත ගලා යාමට සකස් කළ ප්‍රධාන මුවදොර 2026 වසරට විවර කිරීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය කියවීමේ රුචිය වර්ධනය කරමින් සහකම්පනයෙන් යුත් සමාජයක් ගොඩනැඟීමට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ පියවර ගන්නා බව ප්‍රකාශ කළා. ජනාධිපතිවරයාගේ පණිවිඩය උපුටා දක්වමින් ඉදිරි අයවැයේදී පොත් කර්මාන්තයට පනවා ඇති වැට් බදු සම්බන්ධයෙන් සහනදායී තීරණයකට එළැඹීම සඳහා රජය උත්සාහ කරන බව ද ඇය පැවසුවා. එය පොතට හිතැති නමුත් පොත් මිලෙන් බැට කන පාඨක, ප්‍රකාශක දෙපාර්ශ්වයේ ම සිත් සැහැල්ලු කරන ආරංචියක්. කියවීම සහ යහපත් සමාජය අතර ඇති සම්බන්ධය ගැන කවුරුත්, කොතැනත්, කවදත් කතා වන නමුත් ඒ සඳහා වැට බඳින කියවීම සඳහා වන පොත්වල අධික මිල අවම මිලකට ගෙන ඒමට රජයේ බලාපොරොත්තුවක් ඇති බවයි එයින් පැහැදිලි වන්නේ.
වාර්ෂික ව පවත්වන පොත් ප්‍රදර්ශනයේදී කියවීම සහ කියවීමට ඉගෙනීම අභිභවා ඉගෙනීමට කියවන අධ්‍යාපන තරගයේ තරගකරුවන්ට පහසුකම් සපයන වේදිකාවක් නිර්මාණය වන බවට සහ හුදෙක් ප්‍රබන්ධ පොතපතට පරිබාහිර වෙනත් වෙළෙහෙළෙඳාම්වලට මූලිකත්වය ලැබෙන බවට ඇතැම් සාහිත්‍යකරුවන් සහ පාඨකයන් විවිධ ධන-ඍණ විවාද, සංවාද මතු කරනවා. ආහාර-පාන, පාසල් උපකරණ, ක්‍රීඩා භාණ්ඩ සහ අනෙකුත් දේ, සෙල්ලම් බඩු, විවිධ ක්‍රියාකාරකම් යනාදිය සඳහා ජනතා අවධානය යොමු වීමේ ඉහළ ප්‍රවණතාව සාහිත්‍යයට අදාළ නොවේ ය යන්න එබඳු එක් මතයක්. එයින් කියවීම් පොත් ප්‍රචලිත වීමට තිබෙන කාලය සහ අවකාශය ඇහිරෙන බවත් පොත් කියවීම හැරණු කොට වෙනත් අනේකවිධ අවශ්‍යතා සඳහා ප්‍රදර්ශන භූමියට පැමිණෙන්නන්ගෙන් අතුරු සිදුරු නොමැති ව පරිශ්‍රය පිරී ඉතිරී යන නිසා සාහිත්‍යකාමී පාඨකයන්ට බාධා සිදුවන බවත් තවත් අදහසක්.
එනමුත් මේ ගලන ජන ගඟත් මාධ්‍ය ඔස්සේ ප්‍රදර්ශනයට ලැබෙන ප්රවෘත්තිමය සජීවීකමත් ඔස්සේ ස්වයංක්‍රීය ව සිදුවන ප්‍රචාරණය පොත් ක්ෂේත්රය සම්බන්ධයෙන් ඉතා වැදගත්. ලේඛක, ප්‍රකාශක, චිත්රශිල්පී, පාඨක යන පොත්වලට ඍජු ව මැදිහත් වන පාර්ශ්ව එකට මුණගැහෙන තෝතැන්නක් BMICH හි නිර්මාණය වීමත් වටිනවා. ඒවා, කියවන සමාජයක ධනාත්මක ලක්ෂණ.
නොකියවන සමාජය
පොත්පත් නොකියවන්නන් සිටින නූගත්, නිරක්ෂරතාව (Illiteracy)සහිත පසු සාක්ෂරතාව (Post-Literacy) අවම සමාජයක් අශිෂ්ට, අපිළිවෙළ, අශ්ලීල, අවනීතික, අගතිගාමී, අසංවර්ධිත වීම වළක්වන්න අපහසුයි. එවැනි සමාජයක් විචාරාත්මක චින්තනය දුර්වල, විශ්ලේෂණාත්මක බුද්ධිය සහ තර්කන ශක්තිය වර්ධනය නොවූ, ගැඹුරින් විමසා ක්‍රියා කිරීමට අසමත්, මතුපිටින් පෙනෙන දේ එලෙසින් ම පිළිගන්නා, සංජානන ශක්තිය පිරිහුණු (Cognitive & Intellectual Decline) ජනයාගෙනුයි සමන්විත වන්නේ. ඔවුන්ගේ තොරතුරු ග්‍රහණය පටු අගයකත් දීර්ඝ විග්රහ සහ සංකීර්ණ අදහස් තේරුම් ගැනීමේ ධාරිතාව (Attention Span) පහළ අගයකත් පවතිනවා. ඔවුන් වඩාත් ප්‍රිය කරන්නේ කෙටි, සරල සහ දෘශ්‍ය මාධ්‍ය ඔස්සේ ලැබෙන ඕපාදූප වැනි ක්ෂණික තොරතුරු පරිභෝජනයට. එබඳු සමාජයක් ගමන් කරන්නේ පසුගාමීත්වයට මිස ඉදිරිගාමීත්වය කරා නොවෙයි. ඔවුන් භාවිත කරන වචන මාලාව (Vocabulary) ඉතා සීමිත වන නිසා තමන්ගේ හැඟීම් හෝ අදහස් නිවැරදි ව ප්‍රකාශ කිරීම සහ අනෙක් අය ප්‍රකාශ කරන අදහස් තේරුම් ගැනීම අපහසු බැවින් ප්රකාශනය විෂයෙහි ඇත්තේ පටු, සීමාසහිත සහ අසංවිධිත බවක්. අක්ෂර සහ ව්‍යාකරණ රීති, නිර්මාණාත්මක, කලාත්මක සහ උචිත ලේඛන විධි, අන්තර්ජාතික ප්‍රමිතිගත නොවන සහ උත්කෘෂ්ට තත්ත්වයේ නොපවතින ග්‍රාම්‍ය සන්නිවේදන රටා සහ ප්රමිතිකරණය ගිලිහුණු භාෂා භාවිතයකුයි එබඳු සමාජයක දැක ගත හැක්කේ. එවිට භාෂාව සහ සන්නිවේදනය පරිහානියට පත්වීම (Degradation of Language &
Communication) වළක්වන්න බැහැ.
ප්‍රබන්ධ පොත් නොකියවන්නන් විවිධ මතවාද සංසන්දනය කර බැලීමේ හැකියාව අවම නිසා ව්‍යාජ පුවත්වලටත් (Fake news) දේශපාලන හා වෙළෙඳ ප්රචාරණවලටත් මිත්‍යා විශ්වාසවලටත් පහසුවෙන් ගොදුරු වන අය. තමන්ගේ ඉතිහාසය, සංස්කෘතික උරුම සහ සාහිත්‍යය පිළිබඳ ලිඛිත සාක්ෂි පරිශීලනය නොකිරීම නිසා අනන්‍යතාව අහිමි වී ඔවුන්ට අමතක වන්නේ සිය ඉතිහාසය (Historical Amnesia).
මිනිසා අනෙකාගේ ජීවිත දෙස සානුකම්පිත ව බැලීමට පුරුදු වන්නේ සාහිත්‍ය නිර්මාණ පරිශීලනයෙන්. කියවීමක් නැති සමාජයක මිනිසුන් ආත්මාර්ථකාමී සහ පටු ආකල්ප සහිත පුද්ගලයන්. මේ නිසා සහකම්පනය (Empathy) අවම වී හිංසනය, ක්රෑරත්වය, අමානුෂිකත්වය රජයන සමාජයකුයි අත්දකින්නට සිදුවන්නේ. පරිකල්පනය, අලුත් අදහස්, නව සොයා ගැනීම්, නිර්මාණශීලී නිමැවුම් අවම සමාජයක ආර්ථික සංවර්ධනයත් අඩාළ වීම වළක්වන්න බැහැ. ආකල්පමය වශයෙන් සහ දැනුමෙන් සන්නද්ධ සවිඥානික පුරවැසියන් බිහිවන්නට නම් යහපත් කියවීමේ අවස්ථා සහ කියවීමේ පුරුදු ජනතාවට තිබිය යුතුයි. එබඳු පුරුදු සහිත ජනයා අඩු රටවල පාලකයන්ට සහ ධනපතියන්ට සාමාන්‍ය ජනතාව මුළා කිරීම පහසු නිසා ප්රජාතන්ත්රවාදී ව්‍යුහ බිඳවැටීමට සහ ඒකාධිපති, මර්දනකාරී, චෞර පාලන ව්‍යුහ ස්ථාපිත වීමටයි මඟ පෑදෙන්නේ. එවිට ගුණාත්මකභාවයෙන් යුත් විනෝදාස්වාදය (Superficial Entertainment Cult)” , උසස් කලා රසවින්දනය (Appreciation of Classical Art) පිරිහෙන නිසයි ඔවුන් ක්ෂණික තෘප්තිය සහ මතුපිට විනෝදාස්වාදය දනවන සමාජ මාධ්‍ය වැනි වේදිකාවල රස්තියාදුකාරයන් බවට පත්වන්නේ.
කියවීමේ වාසි
සහකම්පනය (Empathy) වර්ධනය වීම, මානසික ආතතිය අවම වීම, චිත්තවේගී බුද්ධිය (Emotional Intelligence) ඉහළ යාම, සාහිත්‍යානුකූල මනෝචිකිත්සක අගය (Bibliotherapy) වර්ධනය වීම වැනි මිනිසකුට අත්‍යවශ්‍ය සහනශීලී මනෝවිද්‍යාත්මක සහයෝගය ද සාහිත්‍ය පරිශීලනයෙන් ලැබෙනවා. ජාතිය, ආගම, කුලය, සංස්කෘතිය, ලිංගිකත්වය හෝ සමාජ පන්තිය වැනි සමාජ ඒකාකෘති, පූර්ව නිගමන (Stereotypes) සහ අගතීන් බිඳදැමීම; ‘පොත් සමාජ’ (Book Clubs) සහ සාහිත්‍ය සංසද වැනි ක්රියාත්මකවීම්වලින් සමාජ සහයෝගිතාව සහ සන්නිවේදනය පහසු කිරීම; විවේචනයෙන් හා විචාරයෙන් සමාජයේ පවතින දූෂණය, අසාධාරණය, දේශපාලන අධිකාරිත්වය වැනි හානිකර තත්ත්ව වෙනස් කොට සමාජ ප්‍රතිසංස්කරණ හා සමාජ ප්‍රගතිය සඳහා මහජන මතය ගොඩනැගීම සහ තහවුරු කිරීම වැනි සමාජවිද්‍යාත්මක සාධනීය තත්ත්ව ද ළඟා කර දෙන මෙවලමක් ‘සාහිත්‍යය’.
නිර්මාණශීලීත්වය සහ ප්‍රශ්න විසඳීමේ හැකියාවත් මොළයේ ක්‍රියාකාරීත්වය සහ චින්තන ශක්තියත් වර්ධනය වීමෙන් ඉහළ ඵලදායීතාවකින් යුත් ශ්‍රම බළකායක් ඇතිවීම හෙවත් මානව ප්රාග්ධනය (Human Capital) වර්ධනය වීම; ප්‍රකාශන සහ නිර්මාණාත්මක කර්මාන්තය (Creative Industries) මගින් කර්තෘවරුන්, ප්‍රකාශකයන්, මුද්‍රණ ශිල්පීන්, පොත් අලෙවිකරුවන්, ඩිජිටල් පොත් ප්‍රකාශකයන් වැනි වෘත්තීන් ගණනාවක් උත්පාදනය කිරීම; තීරණ ගැනීමේ හැකියාව සහ උපායමාර්ගික චින්තනය වර්ධනය වීමෙන් පුද්ගල ජීවිතයේ මූල්‍ය සහ වෘත්තීය තීන්දු ගැනීම සඳහා බුද්ධි බලයක් ආරෝපණය වීම වැනි ආර්ථිකමය සහයෝග ද සාහිත්‍යයෙන් සපිරෙන්නේ අධ්‍යාපන සංවර්ධනයට ද අනුබලය, පිටිවහල සහිත ව.
කියවීමේ සංස්කෘතිය
දැනට රජය හැරුණු කොට රටේ සීමිත ප්‍රකාශකයන් සංඛ්‍යාවක් සහ ලේඛක ලේඛිකාවන් සංඛ්‍යාවක් කියවීමේ සංස්කෘතිය ප්‍රවර්ධනයට මැදිහත් වී සිටිනවා. සංස්කෘතික අමාත්‍යාංශයේ සාහිත්‍ය අනුමණ්ඩලය, ශ්‍රී ලංකා ළමා සාහිත්‍යවේදී සංසදය, සිංහල සංස්කෘතික ආයතනයේ සාහිත්‍ය අනුමණ්ඩලය වැනි පාර්ශ්ව රටේ විවිධ පළාත්වල ළමා සහ යොවුන් කියවීම් කඳවුරු, පාඨක සමාජ දැනුවත් කිරීමේ වැඩමුළු යනාදිය සංවිධාන කරමින් පොත්පත් කියවීමට ජනයා පොලඹවාලමින් උසස් කියවීමේ සංස්කෘතියක් ඇති කරවීමට වෙහෙසෙනවා. වඩාත් පුළුල්, සංවිධානාත්මක සහ මූල්‍ය ප්රතිලාභ මුල්කර නොගත් ව්‍යුහයකින් මේ ක්‍රමවේදය රටේ ව්‍යාප්ත කිරීම සඳහා ශක්තිය, දැනුම, පුහුණුව, පළපුරුද්ද වැනි සියලු වෘත්තීය අවශ්‍යතා සම්පූර්ණ කළ සාහිත්‍යකරුවන් අත්වැල් බැඳගෙන සිටියත් මූල්‍යමය ගැටලු බොහෝ විට ක්‍රියාවලිය අඩපණ කරවන බවයි ඒ ක්‍රියාකාරීන් පවසන්නේ. එය, පැවැති රජයන් ප්‍රමාණවත් අවධානයක් යොමු නොකළ පැතිකඩක්.
වෙළෙඳ ප්‍රචාරණයට වැය කරන මුදල්; ළමා, යොවුන්, තරුණ, වැඩිහිටි සහ වයෝවෘද්ධ වශයෙන් වයස් කාණ්ඩ යටතේ බෙදා කියවීම හුරු කරවීමේ පුළුල් යාන්ත්රණයකට යෙදවීමේ අවශ්‍යතාව රජයට අමතර ව සාහිත්‍යකරුවන් සහ ප්‍රකාශකයන් හඳුනා ගත යුත්තක්. අප රට සාක්ෂරතා අගය සියයට 97.4%ක්, එනම් 100%ට ආසන්න අගයක් වීමේ සතුට භුක්ති විඳින රටක් වුවත් මානව ධර්මතා, විනයානුකූල පැවැත්ම, නීතිගරුක බව, සාමය යනාදී ශික්ෂිත ජන සාමාජයක උත්තම ලක්ෂණ පිරිහීමේ අභියෝගයට ලක් ව ඇත්තේ ගුණාත්මක සාහිත්‍යය ඇසුරු කිරීමේ පුරුද්ද සමස්ත සමාජයේ ව්‍යාප්ත ව නොතිබීමේ අඩුපාඩුව නිසා.
පෙලඹීම සහ පෙලඹවීම
පොත් කියවීම සඳහා පුද්ගලයා හුරු කරවීම නොහොත් පෙලඹවීම සඳහා චර්යාත්මක මනෝවිද්‍යානුකූල (Behavioral Psychology) ක්‍රමවේද ඉවහල් කර ගත හැකියි. දිනකට පිටු 2ක් හෝ මිනිත්තු 5ක් වැනි ඉතා සුළු ඉලක්කයක් තබාගෙන කුඩා පියවරකින් ආරම්භ කිරීම (Micro-habits) , දිනපතා සිදුකරන පුරුද්දක් සමඟ කියවීම බද්ධ කර ගැනීම සහ කියවන පොත නිතර ම ඇස ගැටෙන තැනක තබා ගැනීම ඔස්සේ මොළයට කියවීමේ ‘සංඥාවක්’ (Cue) නිකුත් කිරීමට උත්තේජනයක් ලබා දීම පිණිස කියවීමට යෝග්‍ය සලකුණු සහ පරිසරය සකස් කිරීම (Habit Stacking) මගින් ද කෙනෙකු ඊට ඈඳා ගැනීම පහසුයි.
පොතක පරිච්ඡේදයක් වැනි කොටසක් කියවා අවසන් වූ පසු විනෝදාංශයක හෝ තමන් කැමති වෙනත් කාර්යයක (කෙටි ආහාරයක් හෝ පානයක් හෝ ගැනීම, ප්‍රියතම ගීතයකට සවන්දීම වැනි) නිරත වීම හෙවත් ස්වයං ත්‍යාග ක්‍රමය (Reward System) සහ කියවා අවසන් කළ පොත් ලැයිස්තුවක් පවත්වාගෙන යාම හෝ පොතක් කියවූ පසු දින දර්ශනයක සලකුණු කිරීම (Gamification) හෝ මගින් ස්වකීය ප්‍රගතිය දෘශ්‍යමාන වීමට (Visualizing Progress) සැලැස්වීම ද කෙනෙකුට යළි යළි කියවීමට කැමැත්ත දනවන සාධක. මේ ක්‍රම ආදේශ කරන පුද්ගලයකුගේ ස්නායු පද්ධතිය සහ ඩොපමින් පද්ධතිය (Neuroscience & Dopamine) කියවීමේ ක්‍රියාවට දක්වන්නේ යහපත් ප්‍රතිචාර.
ඩිජිටල් තිර භාවිතය අධික ව සිදු කරන කෙටිකාලීන සහ වේගවත් ඩොපමින් උත්තේජනවලට හුරුපුරුදු වූ අය පොත් කියවීමට පෙර සැලකිය යුතු කාලයක් (අවම වශයෙන් විනාඩි 30ක්) නිදහස් ව සිට කියවීමට පටන් ගැනීම හෙවත් ඩිජිටල් විෂහරණ (Digital Detox) පොතේ අන්තර්ගතය කෙරෙහි අවධානය යොමු කිරීමට අවශ්‍ය ‘සන්සුන් මනස’ (Cognitive stamina) ඇති කරවනවා. කෙනකුගේ බලකිරීම් රහිත ව පුද්ගලයා වඩාත් ම ඇලුම් කරන ක්ෂේත්රයකට සහ සාහිත්‍ය ශානරයකට අදාළ පොතකින් කියවීම ආරම්භ කිරීම නොහොත් තෝරා ගැනීමේ නිදහස (Autonomy in Selection) භුක්ති විඳීමත් කියවීමට ආසක්ත වීමට බලපාන්නක්.
මිනිසාගේ කියවීමේ රුචිකත්වය ස්වාභාවික ව ම වැඩි කළ හැකි සාධකයක් වන පොත්පත් කියවන පිරිසක් සමඟ එකතු වීමට සැලැස්වීම (Positive Peer Pressure iy Social Proof) නැතිනම් කියවීමේ කණ්ඩායම් (Book Clubs) නිර්මාණය කිරීමත් ආලෝකය හොඳින් ලැබෙන, ශබ්දයෙන් තොර, සුවපහසු පරිසරයක් සහිත, අවධානය උපරිමයෙන් ආරක්ෂාවනසුලු වටපිටාවක කියවීමට යොමු කිරීමත් මගින් සමාජ සහ පරිසර සාධක (Social & Environmental Factors) යොදා ගැනීමත් මේ සඳහා සුදුසු ක්‍රමවේද. මෙසේ කියවීම කලාවක්, විනෝදාංශයක්, යහපුරුද්දක්, අවශ්‍යතාවක්, සංස්කෘතියක් බවට බලගැන්වීම සහ දියුණු කිරීම සාහිත්‍ය ක්ෂේත්රයේ දියුණුවත් ප්‍රකාශන ක්ෂේත්රයේ අභිවෘද්ධියත් පොත් කියවීම ව්‍යාප්ත වුණු යහපත් ජන සමාජයක් නිර්මාණය වීමත් සඳහා අත්‍යාවශ්‍යයි. ඊට මාවත විවර වන්නේ පුද්ගලයා කියවීමට පෙලඹවීමේ රහස ඇත්තේ ‘බලකිරීම’ මත නොව, කියවීම නම් වූ ක්‍රියාවලිය මොළයට පහසු සහ සතුටුදායක අත්දැකීමක් (Frictionless & Rewarding) බවට පත් කිරීම මත බවයි අවධාරණයට ගත යුත්තේ.
නුවන් කුමාර කටුගම්පල






