මනසින් සවිමත් – දරුවන් පොහොසත්
එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය අනුව ළමයකු යනු උපතේ සිට වයස අවුරුදු 18 දක්වා වයස් සීමාවේ පසුවන ඕනෑ ම අයෙක්. ශාරීරික ව සහ මානසික ව නොමේරූ අවධියක සිටීම හේතුවෙන් ළමයෙකුට උපතට පෙර මෙන් ම උපතින් පසුව ද යෝග්‍ය නෛතික රැකවරණය ඇතුළු ව විශේෂ ආරක්ෂාව සහ රැකවරණය අවශ්‍ය බව සැලකෙනවා.
ජිනීවා නගරයේ පැවති ලෝක සමුළුවකදී ඔක්තෝම්බර් 01 දින ‘ලෝක ළමා දිනය’ ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන්නේ 1925 වර්ෂයේ සිට. ඉන්පසු 1954 වසරේදී UNICEF ආයතනය සමඟ ඒකාබද්ධ වී එක්සත් ජාතීන්ගේ සංවිධානය නොවැම්බර් 20 දින ‘විශ්ව ළමා දිනය’ වශයෙන් ප්‍රකාශයට පත් කළා. එහෙත් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක් 1955 වර්ෂයේ සිටයි ළමා දිනය ඔක්තෝම්බර් 01 දින සමරන්නේ.
මෙවර ලෝක ළමා දිනයේදී සැමරුමකට එහා ගිය අරමුණු රාශියක් සාක්ෂාත් කරගැනීමටයි රජය ඉලක්ක කළේ. එහිදී අධ්‍යාපනය, සෞඛ්‍යය, ආරක්ෂාව, සමාජ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳ දරුවන් සම්බන්ධ කාරණාවලදී ගතයුතු තීන්දු සමාජයට මතක් කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරෙනවා. ළමා අපචාර, ළමා ශ්‍රමය වැනි සමාජ උවදුරුවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නීති සම්පාදනය සහ පවතින නීති බලාත්මක කිරීම සඳහා වන ප්‍රමාද දුරු කිරීම පිළිබඳ මෙහිදී විශේෂ සැලකිල්ලක් දක්වන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සඳහන් කරනවා. වර්ධනය වෙමින් පවතින මන්දපෝෂණ තත්ත්වය සහ පෝෂණ ඌනතා පිටුදැකීම තවත් ඉලක්කයක්. පසුගිය වසර 10කට ආසන්න කාලයක සිට ළදරු උපත් අනුපාතය ලක්ෂයකින් පමණ අඩු වී තිබෙනවා. ප්‍රශස්ත සංවර්ධනයක් පවත්වා ගතයුතු රටක අවම වශයෙන් දරු උපත් 320,000 – 360,000ත් අතර සංඛ්‍යාවක් තිබිය යුතු වුවත් මේ වන විට එය අඩු වී තිබෙන්නේ 260,000ක් පමණ දක්වා. ඒ අනුව අනාගත සංවර්ධනය සඳහා දායක කර ගැනීමට අවශ්‍ය ශ්‍රම බලකායේ හිඟයක් ඇතිවීමේ අවදානම අවම කර ගැනීම සඳහා දරුවන්ගේ රැකවරණය, පෝෂණය, අධ්‍යාපනය සහ අනෙකුත් සියලු තත්ත්ව ගොඩනැගීම සඳහා වන විධිවිධාන සකස් කිරීමට විශේෂ අවධානයක් යොමු කිරීමත් ලෝක ළමා දිනයේ තවත් එක් අරමුණක්. දරුවන්ගේ නිර්මාණශීලීත්වය අගයමින් ඔවුන්ට සමාජ වටිනාකම් ලබා දෙන රටක් බවට පත්කිරීම හා දරුවන්ට සිය ළමා කාලය නිදහසේ ගෙවීමට සුදුසු ගෘහස්ථ, සමාජයීය සහ අධ්‍යාපනික පරිසරයක් නිර්මාණය කිරීම සඳහා වන වැඩසටහන් සකස් කිරීම ඊට ඇතුළත්.
සැප්තැම්බර් 25 දින ආරම්භ කර, ඔක්තෝබර් 01 දින ප්‍රධාන උත්සවයෙන් අවසන් කිරීමේ සතියක් පුරා වූ එම වැඩපිළිවෙළ අමාත්‍ය මණඩල එකඟතා සහිත ව ‘ළමා දින සතිය’ ලෙස නම් කෙරුණා. මේ සතියේදී නව පනත් සහ ජාතික ප්‍රතිපත්ති හඳුන්වාදීම, පවතින ප්‍රතිපත්තිවල පරතරය හඳුනා ගැනීම, සමාලෝචනය සහ බාධක මගහරවා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම; නායකත්වය, ආත්ම විශ්වාසය, සහයෝගිතාව, සමාජ ඒකාබද්ධතාව වර්ධනය වන ආකාරයේ ක්‍රියාකාරකම් පාදක කරගත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම; ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිට සමාජගත වන වයස අවුරුදු 18ට වැඩි දරුවන් සමාජගත කිරීම සඳහා නියමු වැඩසටහන් සංවිධානය කිරීම; දරුවන්ගේ මානසික යහපැවැත්ම, ස්වයං ප්‍රකාශනය, ආතති කළමනාකරණය, ආත්ම විශ්වාසය ප්‍රවර්ධනය වන ආකාරයේ වැඩසටහන් පාසල් මට්ටමින් ක්‍රියාත්මක කිරීම; ගුරු භූමිකාව හා දෙමාපිය භූමිකාව පිළිබඳ ඔවුන් දැනුවත් කිරීම යනාදිය කෙරෙහි අවධානය යොමු කෙරුණා. ඒ අනුව ලෝක ළමා දින සතියේ වැඩසටහන් සියල්ල පෙළ ගැසුණේ ළමයින් උදෙසා වූ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියේ ආරක්ෂාව, පැවැත්ම, සංවර්ධනය සහ සහභාගිත්වය යන ප්‍රධාන කුලුනු හතර මත පදනම් ව.
‘මනසින් සවිමත් – දරුවන් පොහොසත්’ යන්න ගෝලීය තේමාව සමඟ සමපාත ව, ශ්‍රී ලංකාවට ගැළපෙන අයුරිනුයි නිර්මාණය වී තිබෙන්නේ. නිරෝගී දරු පරපුරක් වෙනුවෙන් දෙමාපියන්ගේ සහ ගුරුවරුන්ගේ සමාජ වගකීම මෙන් ම රාජ්‍ය පාලනයේ නියැළෙන පාලනාධිකාරීවල, දරුවන් සමඟ ක්‍රියා කරන සියලු ම ආයතනවල නිලධාරින් යන සියලු දෙනාගේ වගකීමෙනුයි ‘පිරුණු දරුවෙක්’ සමාජයට දායාද වන්නේ.
ගෙවුණු දෙවසරේදී පෙර පාසල් දරුවන්ගේ උදෑසන ආහාර වේල රුපියල් 60.00 සිට රුපියල 100.00 දක්වා වැඩි කර තිබෙනවා. ඒ, දරුවන්ගේ පෝෂණීය අවශ්‍යතාව සපුරාලීම වෙනුවෙන්. වීදිවල දරුවන් සිඟමනේ යෙදවීම සහ අන්තරාදායක ලෙසින් අවදානම් රැකියාවල යෙදවීම තහනම් කිරීම සඳහා 2025 ජූලි 01 දින සිට පවතින නීතිය තදින් ක්‍රියාත්මක කර වීදි දරුවන් සිඟමනේ යෙදවීම අවසන් කර තිබෙනවා. ආයතනගත ව සිටි දරුවන්ට අධ්‍යාපන ආධාර ලෙසින් රුපියල් 5000ක දීමනාවක් ‘අර්ථ‘ යන නමින් ගිණුමක් ආරම්භ කර ලබාදීමට පියවර ගත්තේ පසුගිය වසරේ. ආයතනගත ව සිට සමාජගත වන දරුවන්ට, අවදානම් තත්ත්වවලට පත්වන දරුවන්ට මිලියන 02ක නිවාස ආධාර ලබාදීමේ වැඩසටහන ‘දිවියට සවියක්‘ යන නමින් ආරම්භ කළා. එහිදී ශ්‍රී ලංකාවේ සියලු ම දිස්ත්‍රික්කවල නිවාස 1000ක් මේ යටතේ ගොඩනැඟෙනු ඇති. ළමා වරදකරුවන්, ළමා සංවර්ධන මධ්‍යස්ථානවල දරුවන් අධිකරණ හෝ වෙනත් ඕනෑ ම කාර්යයක් වෙනුවෙන් ප්‍රවාහනය කිරීමේදී ඔවුන් සඳහා වෙන ම වාහන සෑම පළාතකට ම ලබාදීමෙන් පරිවාසගත ව සිටින දරුවන්ට සුරක්ෂිත ප්‍රවාහන සේවාවක් සැපයීමට ද රජය පියවර ගෙන තිබෙනවා.
වයස අවුරුදු 3-5 අතර වයස් සීමාවේ පසුවන දරුවන් වෙනුවෙන් මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ වූ ජාතික විෂයමාලා රාමුව හඳුන්වා දීම තවත් සුවිශේෂී පියවරක්. මුල් ළමාවියේදී මිනිස් මොළයේ ස්නායු සම්බන්ධතා 90%කට වඩා වර්ධනය වන බව තහවුරු වූ කරුණක්. භාෂාමය සන්නිවේදන හැකියාව වර්ධනයේ ද වැදගත් කාලසීමාව වන මේ කාලයෙහි දරුවන්ට ලබා දෙන අධ්‍යාපනය කෙරෙහි වැඩි අවධානයක් ලබා දීම වැදගත්. අධ්‍යාපන අමාත්‍යාංශය, UNICEF සංවිධානය සමඟ ඒකාබද්ධ ව ගුරුවරුන්ට ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය, ක්‍රියාකාරකම් සංග්‍රහය සහ විෂයමාලා රාමුව යන සියල්ල ම සපයමින් වැඩි අවධානයක් යොමු කර තිබෙන්නේ ක්‍රියාකාරකම් පාදක චර්යාත්මක වෙනසක් සඳහා වූ දරුවෙකු ගොඩනැඟීමට. 2027 වර්ෂයේදී ආරම්භ කිරීමට නියමිත මුල් ළමා විය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා සියලු ම ගුරුවරුන් පුහුණු කිරීම, ජාතික ළමාරක්ෂක අධිකාරියේ පවතින සේවක පුරප්පාඩු 109ක් සපුරාලීම 2026 වසරේ නිම කිරීමට අපේක්ෂිත කාර්ය අතර වෙනවා. ළමා අපරාධ සම්බන්ධ වැරදිකරුවන් කිසිවෙකුටත් 2027 වසරේදී රාජ්‍ය සේවයට ප්‍රවේශ වීමට නොහැකි වන ලෙස නීති සකස් කරමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව අධ්‍යාපන, ක්‍රීඩා, සෞඛ්‍යය, මහජන ආරක්ෂාව, පරිවාස, ළමාරක්ෂණ සේවා ආදී සියලු ම ක්ෂේත්‍රවල, දරුවන්ට ප්‍රවේශය සහිත රැකියාවල නියුතු සෑම අයෙකු ම ළමා අපරාධකරුවකු නොවන බවට සහතික කරගෙනයි රාජ්‍ය සේවයට ප්‍රවේශ විය යුත්තේ. එම සහතිකය වසර 03කට වරක් අලුත් කළ යුතුවීම ද අනිවාර්ය අංගයක්. නැවත ළමා අපරාධ ඇතිවීමේ අවදානම අවම වීම සහ අපරාධවලට යොමු වීම පාලනය මේ ඔස්සේ සිදුවන බැවින් එහි සාධනීය පැතිකඩක් පවතිනවා. එහෙත් නිරන්තර අවධානයෙන් එම තීරණ ඒ ආකාරෙන් ම ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය කාරණාවක්.
මුල් ළමාවිය සංවර්ධනය, ළමා ආරක්ෂාව හා ළමා අපයෝජනය වැළැක්වීම, ළමයාගේ උපරිම යහපත තහවුරු කිරීම යන ප්‍රධාන තේමා තුන ඔස්සේ රජය උපායමාර්ගික සැලැස්ම සකස් කර තිබෙනවා. උපරිම යහපත වෙනුවෙන් ක්‍රියා කිරීමේදී ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සහ නිවෙස්වල සිටින දරුවන්ගෙන් 2500කට පමණ උප්පැන්න සහතික නොමැති බව සඳහන්. ඒ අතරින් 700කට පමණ රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලය සමඟ ඒකාබද්ධ වෙමින් උප්පැන්න සහතික ලබා දීමට පියවර ගෙන තිබෙනවා. අනෙකුත් දරුවන්ට 2026 වර්ෂය අවසන් වීමට පෙර උප්පැන්න සහතික සකස් කරදීමයි අරමුණ.
දරුවන්ට ‘පවුල’ යන සංකල්පය තුළ වැඩෙන්නට අවකාශය සලසා දීමෙන් සහ ආරක්ෂාව, සෙනෙහස, ආදරය, රැකවරණය යටතේ වැඩෙන දරුවන් අනාගත ලෝකයේ යහපත් පුරවැසියන් ලෙස ජීවත් වනවා. එබැවින් විකල්ප රැකවරණ ප්‍රතිපත්තිය මත ක්‍රියාත්මක වීමේදී ‘ළමා සංවර්ධන මධ්‍යස්ථානය’ යනු යොමුවිය යුතු අවසාන විකල්පය බව හඳුනා ගැනීම වැදගත්.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ( UNDP ) සහ සාර්ක් අරමුදල සමඟ ඒකාබද්ධ ව ළමයින් හා කාන්තාවන් සඳහා වූ දුරකතන සේවා තවදුරටත් වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු ව තිබීම ද විශේෂත්වයක්. ඒ සමග ම සිද්ධි කළමනාකරණ පද්ධතියක් සංවර්ධනය වෙමින් පවතිනවා. ළමයා සම්බන්ධ ව මාධ්‍ය වාර්තා කිරීම, ළමා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වන ආචාරධර්මවලට අනුකූල ව සිදුවීමේ අවශ්‍යතාව මත ජාතික මාර්ගෝපදේශ කෙටුම්පත් කර තිබෙන බව ද සඳහන්. ඒ, 2026 වසර අවසන් වීමට පෙර.
මෙලෙස සැමරුම් උත්සවවලට වඩා ඔබ්බට යමින් ප්‍රතිපත්තිමය වශයෙන් ළමයින් සුරක්ෂිත කිරීමට හොඳම අවස්ථාව දරුවන්ට ලබාදීමෙන් එය සෑම අංශයකින් ම ‘පිරුණු දරුවකු’ නිර්මාණය වීමේ ක්‍රියාවලියට දායක වනු ඇති.
(රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් ඇසුරින්)
නයනිකා පියුමලී






