යනු ගමන් අලිමංකඩින්
අලි-මිනිස් ගැටුමට තිරසර විසඳුම් ලබාදීම සහ මෙරට වන අලි සම්පත සංරක්ෂණය කෙරෙහි අවධානය යොමු වී තිබෙන්නේ රජයේ පරිසර ප්‍රතිපත්තිය වන “තිරසර ජෛව ගෝලයක් – සදාහරිත ජීවිතයක්” යටතේ ජාතික සංරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවමින්. ලෝක අලි දිනය අගෝස්තු මස 12 දිනට යෙදී තිබුණු නිසා මේ කතාබහ නැවත කරළියට පැමිණියා.
මෙරට ග්‍රාමීය ජනතාව මුහුණදෙන අලි-මිනිස් ගැටුමට ප්‍රායෝගික හා තිරසර විසඳුම් ලබාදීම පරිසර අමාත්‍යාංශය හමුවේ ඇති ප්‍රධාන අභියෝගයක්. ඒ අනුව අලි-මිනිස් ගැටුම පාලනය සඳහා කෙටි, මධ්‍ය හා දිගුකාලීන ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.
අලි මිනිස් ගැටුමට තිරසර සහ විද්‍යාත්මක විසඳුම් සෙවීමට පරිසර අමාත්‍යාංශය නොබෝදා ප්‍රායෝගික පියවරක් තැබුවේ දිගුකාලීන පියවරක් ලෙස අලි මිනිස් ගැටුම දරුණුවට ම පවතින කලාප මූලික කර ගනිමින් ප්‍රධාන අලිමංකඩ තුනක් නිදහස් කිරීමට. වැටහිර කන්ද, කොහොලන්කඩ යන අලිමංකඩ දෙක හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් අතර හඳපානාගල අලිමංකඩ මොනරාගල දිස්ත්‍රික්කයට අයත්. මොනරාගල දිස්ත්‍රික්කයේ වන අලි සංක්‍රමණ මාර්ග හඳුනා ගැනීමේ වැඩසටහන යටතේ හඳපානාගල සිට දෙමෝදර මැණික් ගඟ හරහා යාල ජාතික උද්‍යානය දක්වා වන අලි සංක්‍රමණ මාර්ගය හඳුනාගෙන තිබෙනවා.
ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයේ සිට උඩවලව ජාතික උද්‍යානය දක්වා (යාල ජාතික උද්‍යානයේ vi කලාපය) කොටස වැටහිර කන්ද වන අලි සංක්‍රමණ මාර්ගය ලෙස හඳුනාගෙන තිබෙනවා. එම භූමි ප්‍රදේශය තුළ මෙතෙක් සංවර්ධනය කර නොමැති ඉඩම් කට්ටි 05ක් හඳුනාගෙන ඒ වෙනුවට වනජීවී රක්ෂිතයෙන් පිටත සුදුසු ස්ථානයක විකල්ප ඉඩම් ලබා දී වැටහිර කන්ද ස්වභාව රක්ෂිතයේ බාධක ඉවත් කරමින් ‘වන පිවිසුමක්’ ලෙස නැවත ප්‍රකාශයට පත් කිරීමයි මෙහිදී වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ අපේක්ෂාව.
හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයේ වන අලින් බූන්දල ජාතික උද්‍යානය තුළට සංක්‍රමණය වන්නේ කොහොලන්කඩ ප්‍රදේශයෙන්. මේ ස්ථානය ඉතා පටු භූමි ප්‍රදේශයක්. එහි නිවාස හා කුඩා පරිමාණයේ වාණිජ ගොඩනැගිලි 08ක් ඉදිකර ඇති බැවින් එම පටු බිම් තීරුව තවදුරටත් සුදුසු වන්දියක් ගෙවා ඉඩම් රජය අත්පත් කර ගැනීමෙන් බධාවකින් තොර ව වන අලින්ට සංක්‍රමණය වීමේ අවස්ථාව උදාවෙනවා. මේ අනුව වන අලි සංක්‍රමණ අභය භූමියක් ලෙස හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීමෙන් කොහොලන්කඩ අලිමංකඩ තවදුරටත් ආරක්ෂා වෙනවා.
අලිමංකඩක් යනුවෙන් හඳුන්වන්නේ අලින්ට තමන්ගේ සාම්ප්‍රදායික වාසභූමි හෝ වනාන්තර කලාප දෙකක් හෝ අතර බාධාවකින් තොර ව සංක්‍රමණය වන්නට ස්වාභාවික ව ම පිහිටා තිබෙන පටු බිම් තීරුව. අලියෙකු දිනකට කිලෝමීටර ගණනක් ආහාර, කලත්‍රයන් සහ ජලය සොයාගෙන සංක්‍රමණය වෙනවා. මේ සාම්ප්‍රදායික ගමන් මාර්ග මිනිස් ජනාවාස, වගාබිම්, මහා පරිමාණ ව්‍යාපෘති නිසා අවහිර වූ විට වන අලින් අකමැත්තෙන් වුවත් පෙළඹෙන්නේ ගම්වැදීමට. අලි මිනිස් ගැටුමයි මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ.
මෙරට සමස්ත වන අලි සංඛ්‍යාව 8000ක් වනු ඇති බව ඇස්තමේන්තු කර තිබෙනවා. 2024 වසරේදී වන ජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව වන අලින් 7451ක් ඇසුරෙන් කළ සමීක්ෂණය අනුව අලින්ගේ වාසභූමි වී ඇති වනාන්තර සහ ජනාවාස මෙරට සමස්ත භූමියෙන් 2/3ක්. අසීමිත භූමි පරිභෝජනය, අවිධිමත් සැලසුම් සහ වනාන්තර විනාශ කිරීම වැනි මානව ක්‍රියාකාරකම් නිසා අද වනවිට අලි මිනිස් ගැටුම දරුණු වී තිබෙනවා. අලින්ගේ සාම්ප්‍රදායික ගමන් මාර්ග වන ‘අලිමංකඩ’ අවහිර කරමින් ජනාවාස ඉදිකිරීම නිසා වන අලි ගම්වැදීම නොවැළැක්විය හැකි තත්ත්වයක්. 2025 වසරේ පමණක් මෙරටට අහිමි වූ අලි ඇතුන් සංඛ්‍යාව 455ක් වන අතර මිනිස් ජීවිත ගණන 160ක්.
පාරිසරික හා භූගෝලීය දත්ත අනුව ශ්‍රී ලංකාවේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 30%කට ආසන්න ප්‍රමාණයක් වනාන්තරවලින් වැසී පවතිනවා. ගැටලුව වන්නේ වනාන්තර පද්ධති එකිනෙකට යා වූ අඛණ්ඩ වනාන්තර ලෙස නොපිහිටා තැනින් තැන ඛණ්ඩනය වූ ලැහැබ් ලෙස පැවතීම. මේ හේතුවෙන් මෙරට සමස්ත භූමියේ 40%කට වඩා වැඩි ප්‍රමාණයක අලි ඇතුන් සහ මිනිසුන් එක ම පරිසරයක එකට ජීවත් වීමට සිදුවීම අභියෝගාත්මක තත්ත්වයක්.
අලි මිනිස් ගැටුම කළමනාකරණය කිරීමේදී පරිසර අමාත්‍යාංශය ප්‍රතිපත්තිමය මට්ටමින් සහ රක්ෂිත ප්‍රකාශයට පත් කිරීම ඔස්සේ විවිධ උත්සාහ දැරුවත් වඩාත් ම ප්‍රායෝගික සහ භූමීය මට්ටමෙන් බරපතළ ම කාර්යභාරය පැවරෙන්නේ වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට. වනජීවී නිලධාරින් දිවා රෑ නොබලා ක්ෂේත්රයේ නිරත වෙමින් මේ ගැටලුව පාලනය කරන්නට උත්සාහ කළත් දිගු කලක් තිස්සේ ඔවුන් මුහුණ දුන් ප්‍රධානතම අභියෝගය වූයේ දැඩි මානව හා භෞතික සම්පත් හිගය. මේ නිසා රජය පියවර ගත්තේ වනසත්ත්ව අඩවි ආරක්ෂකයන් 149ක්, වනසත්ත්ව නියාමකයන් 381ක්, අලි වැට සහයකයන් 3500ක් බඳවා ගැනීමට. වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට අවශ්‍ය භෞතික සම්පත්වල හිගය පියවීම සදහා අත් ට්‍රැක්ටර්, ට්‍රැක්ටර්, යතුරුපැදි ආදිය මිල දී ගැනීම් ද සිදු කෙරෙමින් පවතින්නක්.
මේ අර්බුදයට සාම්ප්‍රදායික විසඳුම්වලින් ඔබ්බට ගිය විද්‍යාත්මක ක්‍රමවේදයක් භාවිත කරමින් අලිමංකඩ සංඛ්‍යාව නිරීක්ෂණය වැඩි කිරීමට පියවර ගත් බවයි වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් (මෙහෙයුම්) මංජුල අමරරත්න පවසන්නේ. අදහස් දක්වන ඔහු; “රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන ආයතන, විවිධ පර්යේෂකයන් කළ පර්යේෂණ මේ අලි මංපෙත් හඳුනා ගැනීමට පිටුවහලක් වුණා. මෑතක සිට චන්ද්‍රිකා තාක්ෂණය මගින් භාවිත කරන රේඩියෝ කරපටි යොදා ගන්නවා. ඉහළ ඇලහැර අමුණ ව්‍යාපෘතිය වැනි වැඩසටහන් යටතේ අලි 60 දෙනෙකුට පමණ රේඩියෝ කරපටි පලඳා තිබෙනවා. එම ප්‍රදේශවල අලින්ගේ විසුම් පරාස සහ අලි ගමන් ගන්නා ස්වාභාවික හා නිරන්තරයෙන් ගමන් ගන්නා සංක්‍රමණික මාර්ග මේ ඔස්සේ හඳුනා ගනිමින් තිබෙනවා. අලි සංක්‍රමණික මාර්ග 03 හඳුනා ගැනීමටත් මේ තාක්ෂණය සහ ජනතාවගෙන් ලැබුණු තොරතුරු පදනම් කර ගත්තා.”
අනුරාධපුර වැනි ප්‍රදේශවල පිහිටි අලිමංකඩ නැවත විවර කර නිදහස් කිරීමටත් රජය සාධනීය ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා. අතිරේක අධ්යක්ෂ ජනරාල් (මෙහෙයුම්) මංජුල අමරරත්න පවසන්නේ රජය සමග පැවැති විශේෂ සාකච්ඡාවකින් පසු අලි මිනිස් ගැටුම පාලනය කිරීමට දිස්ත්‍රික් මට්ටමෙන් විශේෂ කමිටු පත්කිරීමට තීරණය කළ බව. තාක්ෂණික දත්ත සහ බිම් මට්ටමේ පරිපාලනමය මැදිහත්වීම් එකිනෙක බද්ධ කරමින් වසර ගණනාවක් තිස්සේ ඇහිරී තිබූ අලිමංකඩ විවෘත කිරීමෙන් දීර්ඝකාලීන ව පීඩාවට පත් වූ මේ ගැටලුව සාර්ථක ව අවම කරගැනීමට හැකිවනු ඇතැයි බලධාරින් මෙන් ම පරිසරවේදීන් ද පසු වන්නේ දැඩි විශ්වාසයකින්.
ඉමේෂා මදුශානි






