#අධ්‍යාපන

දශක හයක මානව අයිතිය

සාක්ෂරතාව මූලික මානව අයිතියක්. එය අනෙකුත් සියලු මානව අයිතීන් මෙන් ම ගෝලීය නිදහස භුක්ති විඳීම සඳහා ද මග විවර කරනවා. නීතියේ ආධිපත්‍යය, සහයෝගිතාව, යුක්තිය, විවිධත්වය, ඉවසීම මෙන් ම දැනුම, කුසලතා, වටිනාකම්, ආකල්ප, හැසිරීම් සඳහා ද සාක්ෂරතාවට පදනමක් සපයනවා. යුනෙස්කෝ සංවිධානයට අනුව සාක්ෂරතාව යනු විවිධ සන්දර්භ තුළ මුද්‍රිත හා ලිඛිත ශ්‍රව්‍ය භාවිත හඳුනා ගැනීමට, තේරුම් ගැනීමට, අර්ථ නිරූපණය කිරීමට, නිර්මාණය කිරීමට, සන්නිවේදනය කිරීමට හා ගණනය කිරීමට ඇති හැකියාව.

1965 වර්ෂයේදී ඉරානයේ ටෙහෙරාන් නගරයේදී පැවති අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ ලෝක සමුළුවේදී ජනගහනයක ‘සාක්ෂරතාව’ සමාජ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට සිදුකරන වැදගත්කම සාකච්ජා කර තිබෙන අතර එහිදී ගෝලීය වශයෙන් සැමට සාක්ෂරතාව ලබා දීම සඳහා ජාත්‍යන්තර මට්ටමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අවධාරණය කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙසයි 1966 වසරේදී යුනෙස්කෝ මහා සම්මේලනයේ 14 වැනි සැසි වාරයේදී සැප්තැම්බර් මස 08 දින ‘ජාත්‍යන්තර සාක්ෂරතා දිනය’ ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් වන්නේ.  ඒ අනුව පළමු වැනි ජාත්‍යන්තර සාක්ෂරතා දිනය 1967 සැප්තැම්බර් 08 දින සැමරුණු අතර එතැන් සිට සෑම වසරක ම සැප්තැම්බර් 08 දින ජාත්‍යන්තර සමරනවා.

සාක්ෂරතාවේ වැදගත්කම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමත් සැමට අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථා වැඩි කිරීමත් ළමයින්, තරුණයන් සහ වැඩිහිටියන් අතර සාක්ෂරතාව වැඩි කිරීමත් සාක්ෂරතාව ඔස්සේ සමාජ, ආර්ථික සහ තිරසර සංවර්ධනය කරා ජනතාව යොමු කිරීමත් සෑම ආකාරයක ම සාක්ෂරතාව වැඩිදියුණු කිරීම සහ ජීවිත කාලය පුරා ඉගෙනීම දිරිමත් කිරීමත් යනාදිය කෙරෙහි අවධානය යොමු කරමින් විවිධ තේමා යටතේ මේ සැමරීම සිදු කර තිබෙනවා.

මෙවර 60 වැනි ජාත්‍යන්තර සාක්ෂරතා දිනය සමරන්නේ ‘ජනතාව, පෘථිවිය සහ සමෘද්ධිය සඳහා සාක්ෂරතාව’ (Literacy for people, the planet, and prosperity) යන තේමාව යටතේ. මෙක්සිකෝ රජය සමඟ සහයෝගයෙන් යුනෙස්කෝ සංවිධානය 2026 සැප්තැම්බර් 08-09 දිනවල ගෝලීය සාක්ෂරතා දිනය සැමරීමට සූදානම්. ලොව කැපී පෙනෙන සාක්ෂරතා වැඩසටහන් ඇගැයීම සඳහා යුනෙස්කෝ ජාත්‍යන්තර සාක්ෂරතා ත්‍යාග ප්‍රදානෝත්සවය ද මීට ඇතුළත්. ගෙවුණු දශක 06හි ලොව පුරා රටවල් සහ විවිධ හවුල්කරුවන් මූලික මානව අයිතියක් ලෙස සහ තිරසර සංවර්ධනයේ ප්‍රධාන සාධකයක් ලෙස සාක්ෂරතාව දියුණු කර තිබෙනවා. ඒ අනුව 1967 සිට සාක්ෂරතා ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය හා නවෝත්පාදන සඳහා ත්‍යාග ප්‍රදානය කිරීමට ද මෙවර කටයුතු යොදා තිබෙන්නේ ඒ පිළිබඳ අවධානය යොමු කරමින්. සාක්ෂරතා දිනයේදී ත්‍යාග 02ක් පිරිනමන අතර ඒ සඳහා පදනම් කර  ගැනෙන්නේ ජාත්‍යන්තර ජූරි සභාවක නිර්දේශ.

කොළඹ විශ්විද්‍යාලයේ ජනගහන දෙපාර්තමේන්තුවේ ප්‍රජාවිද්‍යා අධ්‍යයනාංශයේ  මහාචාර්ය සුනෙත්‍රා පෙරේරා පෙන්වා දෙන ආකාරයට නූතන සාක්ෂරතාව යන්නට කියවීම හා ලිවීම සමඟ ඩිජිටල් තොරතුරු හඳුනා ගැනීමේ, අවබෝධ කරගැනීමේ, විශ්ලේෂණය කිරීමේ හා සන්නිවේදනය කිරීමේ හැකියාව ද එය දෛනික ජීවිතයේ ඵලදායී ලෙස භාවිත කිරීමට ඇති හැකියාව යනාදිය ද ඇතුළත්.

අදහස් දක්වන ඇය; “ජන සංගණන හෝ නියැදි සමීක්ෂණ හෝ ඔස්සේ බොහෝ රටවලින් සාක්ෂරතාව පිළිබඳ ව එකතු කරන තොරතුරු, ජනගහනයක යම්කිසි භාෂාවක් ලිවීමේ හා කියවීමේ හැකියාව හෙවත් භාෂා සාක්ෂරතාව  පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා වැදගත්. 2024 යුනෙස්කෝ දත්ත අනුව සකස් කරන ලද 2025 ලෝක අධ්‍යාපන සංඛ්‍යා ලේඛන (World Education Statistics) වාර්තාව අනුව ලෝක මට්ටමින් තරුණ ප්‍රජාවගෙන් (වයස අවුරුදු 15-24)    93.1%ක් ම භාෂා සාක්ෂරතාව ලබා තිබෙනවා. වයස අවුරුදු 15 සහ ඊට වැඩි මුළු ගෝලීය ජනගහනයේ සාක්ෂරතා සහිත පිරිස 87.7%ක්. එනම් 2024 වසර වන විටත් ලොව පුරා තරුණයන් සහ වැඩිහිටියන්ගෙන් මිලියන 739කට වැඩි පිරිසකට මූලික සාක්ෂරතා කුසලතා නොමැති  බව සඳහන්.” 

යුනෙස්කෝ සංවිධානය පෙන්වා දෙන ආකාරයට ලොව පුරා මිලියන 75ක් පමණ පාසල් යන්නේ නැහැ. තව බොහෝ දෙනෙක් පාසල් අධ්‍යාපනය ලබන්නේ ආක්‍රමවත් ආකාරයට. එසේ නැතහොත් අතරමග අධ්‍යාපනය හැර ගොස් තිබෙනවා. කියවීමෙන් පුද්ගලයෙකුට ප්‍රතිලාභ රැසක් අත් කර ගන්නට පුළුවන්. නව තොරතුරු පිළිබඳ දැනුම ලබා ගැනීම, පරිකල්පනය වැඩිදියුණු කිරීම, විවිධ ලිවීමේ ක්‍රම අධ්‍යයනය කළ හැකි වීම, මොළයට ව්‍යායාමයක් ලැබීම සහ වචන මාලාව පුළුල් කර ගැනීමට ඉන් හැකියාව ලැබෙනවා.

ශ්‍රී ලංකාවේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන ආකාරයට භාෂා සාක්ෂරතාව යනු වයස අවුරුදු 10 හා ඊට වැඩි පුද්ගලයකුට සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂාවලින් අවම වශයෙන් එක් භාෂාවක් ලිවීමට හා කියවීමට ඇති හැකියාව. එහි දත්ත අනුව 1881 වසරේ 17.4%ක් වූ භාෂා සාක්ෂරතාව 2024 වසරේ 97.4%ක් වෙනවා. පුරුෂ සාක්ෂරතා අනුපාතය ස්ත්‍රී සාක්ෂරතා අනුපාතයට වඩා වැඩි අගයක් ගත්තත් 2024 වසරේදී ස්ත්‍රී සාක්ෂරතා අනුපාතය පුරුෂ සාක්ෂරතා අනුපාතයට ආසන්න වෙමින් පවතිනවා. එනම් 1881 වසරේ පුරුෂ සාක්ෂරතා අනුපාතය 29.8%ක් වන විට කාන්තා සාක්ෂරතා අනුපාතය 3.1%ක් වන අතර 2024 වසර වනවිට පුරුෂ සාක්ෂරතා අනුපාතය 97.9%ක් ලෙසත් කාන්තා සාක්ෂරතා අනුපාතය 97%ක් ලෙසත් සටහන් වෙනවා.

වර්තමානය වනවිට භාෂා සාක්ෂරතාවට අමතර ව ජනගහනයක  ඩිජිටල් සාක්ෂරතාව එනම් ආරක්ෂිත ව මාර්ගගත මෙවලම් සහ ඩිජිටල් වේදිකා හැසිරවීම සහ විශ්ලේෂණය කිරීම. මූල්‍ය සාක්ෂරතාව එනම් මුදල් කළමනාකරණය, අයවැයකරණය සහ මූල්‍ය තේරීම් අවබෝධ කර ගැනීම, තොරතුරු සාක්ෂරතාව  එනම් විවිධ මූලාශ්‍රවලින් තොරතුරු සෙවීම, විශ්ලේෂණය කිරීම සහ භාවිත කිරීම මෙන් ම පරිගණක සාක්ෂරතාව කෙරෙහි ද අවධානය යොමු කරන බවයි මහාචාර්ය සුනෙත්‍රා පෙරේරා සඳහන් කරන්නේ. 2024 වසරේදී ශ්‍රී ලංකා ජනගහනයේ ඩිජිටල් සාක්ෂරතාව 67.6.%ක් වූ අතර පරිගණක සාක්ෂරතාව 38.4%ක්. මූල්‍ය සාක්ෂරතාව 57.9%ක්.

මේ අනුව බලන විට රටක සාක්ෂරතාවෙන් තොර ව කිසිදු ක්ෂේත්‍රයක සාර්ථකත්වය ළඟා කර ගන්නට බැහැ. ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව මෙලෙස ඉහළ මට්ටමක පැවතීම මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය ලැබූ ජයග්‍රහණයක්.      

දශක හයක මානව අයිතිය

කෘත්‍රිම හිරු