සංවර්ධිත රාජ්‍යයක පෙර නිමිති
ශ්‍රී ලංකාව 2022 වසරේ ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය හේතුවෙන් ලෝකයේ දැඩි අවධානයට ලක් වූ රටක් බවට පත් වුණා. විදේශ විනිමය හිඟය, ණය පැහැර හැරීම, ඉන්ධන හා ඖෂධ හිඟය, ඉහළ උද්ධමනය සහ ආර්ථික ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන් පාහේ බිඳවැටීම එම අර්බුදයේ ප්‍රධාන ලක්ෂණ. එහි ප්‍රතිඵලයක් ලෙස සමස්ත දේශපාලන ව්‍යුහය කඩා වැටී දැඩි අසන්නකාරී තත්ත්වයකට පත් වුණා. එවැනි අභියෝගාත්මක කාල සමයක ගමන් කරමින් පැවති ශ්‍රී ලංකාව, ඉතා කෙටි කාලයකින් ලෝක බැංකුව විසින් නැවතත් ඉහළ මධ්‍යම ආදායම් රටක් (Upper Middle-Income Country) ලෙස වර්ගීකරණය කරනු ලැබීම ජාත්‍යන්තර වශයෙන් ලද සුවිශේෂ ජයග්‍රහණයක්. එය ආර්ථිකය සම්බන්ධයෙන් ලබා දුන් යහපත් සංඥාවක්. ඉහළ මධ්‍යම ආදායම් රටක් ලෙස වර්ගීකරණය වීම යනු රටේ සියලු ආර්ථික ගැටලු විසඳී ඇති බවක් හෝ සියලු ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ ගොස් ඇති බවක් හෝ අදහස් කරන්නේ නැහැ. එබැවින් මේ වර්ගීකරණයේ සැබෑ ආර්ථික අර්ථය නිවැරදි ව අවබෝධ කර ගැනීම වැදගත්.
ශ්‍රී ලංකාව ප්‍රථම වරට 2019 වසරේදී එක් පුද්ගලයෙකුට හිමි දළ ජාතික ආදායම (Gross National Income per capita – GN¸ per capita) මත පදනම් ව ලෝක බැංකුව විසින් ඉහළ මධ්‍යම ආදායම් රටක් ලෙස වර්ගීකරණය කරනු ලැබුවා. එහෙත් ඉතා කෙටි කාලයකින් 2022 වසරේ ඇති වූ දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් රටේ ආදායම් මට්ටම පහත වැටීම සහ විනිමය අනුපාතිකය ශීඝ්‍රයෙන් බිඳ වැටීම සමඟ ශ්‍රී ලංකාව නැවතත් පහත වැටුණේ පහළ මධ්‍යම ආදායම් වර්ගීකරණයට. ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව නැවත ආර්ථික ස්ථාවරත්වයක් කරා ගමන් කිරීම සඳහා ගත් ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (International Monetary Fund) සමඟ ක්‍රියාත්මක කරන ලද විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන (Extended Fund Facility), රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ, බදු ප්‍රතිපත්ති සංශෝධන සහ දේශීය ආර්ථික කළමනාකරණ ක්‍රියාමාර්ග මේ ප්‍රගතියට මූලික වශයෙන් දායක වුණා. ආර්ථික අර්බුදයෙන් පසු සංචාරක කර්මාන්තයේ යථා තත්ත්වයට පත්වීම සහ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය මෙහිදී ඉටු කළේ වැදගත් කාර්යභාරයක්.
ශ්‍රී ලංකාව ලද මේ සුවිශේෂ ජයග්‍රහණය කෙරෙහි 2025 වර්ෂයේදී ශ්‍රී ලංකාව ලබාගත් ආර්ථික කාර්ය සාධනය තීර්ණාත්මක බලපෑමක් ඇති කළා. පසුගිය වර්ෂය උග්‍ර ආර්ථික අර්බුදයෙන් පසු සාර්ව ආර්ථික ස්ථායීකරණය සාර්ථක ව ඉදිරියට ගෙන යමින්, තිරසාර ආර්ථික ප්‍රතිසාධනයක් කරා රට අවතීර්ණ වූ වසරක් වුණා. මැද පෙරදිග කලාපයේ නොසන්සුන්තා සහ වසර අවසානයේ ඇති වූ ස්වාභාවික විපත් වැනි අභියෝග පැවතියත් ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.0ක දළ දේශීය නිෂ්පාදන වර්ධනයක් වාර්තා කරමින් ආර්ථිකයේ දරාගැනීමේ හැකියාව පැහැදිලි ව ප්‍රදර්ශනය කළා. එම වසරේ සංචාරකයන් මිලියන 2.36කට අධික පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණියා. එමඟින් උපයා ගැනීමට හැකි වුණේ ඇමරිකානු ඩොලර් බිලියන 3කට අධික විදේශ විනිමය ආදායමක්. එය විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීමට මෙන් ම සේවා අපනයන ආදායම ඉහළ නැංවීමටත් සැලකිය යුතු දායකත්වයක් ලබා දුන්නා. මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් ද වැදගත් ප්‍රගතියක් වාර්තා වුණා. රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 16.7 දක්වා ඉහළ නැංවීමට හැකි වූ අතර අය වැය හිඟය පාලනය කිරීමේදී සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගත්තා. සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 91.6 දක්වා පහත වැටීමත් දේශීය බැංකු පද්ධතියේ මූල්‍ය ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් වීමත් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණවල සාර්ථකත්වය පිළිබිඹු කරන වැදගත් දර්ශක. විනිමය අනුපාතිකය ස්ථාවර වෙමින් ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂ ව සැලකිය යුතු ලෙස ශක්තිමත් වීමත් මේ තත්ත්වයට බලපා ඇති තවත් ප්‍රමුඛ ආර්ථික සාධකයක්. මෙවැනි සාර්ව ආර්ථික දර්ශකවල වර්ධනය සහ ආර්ථික ස්ථාවරත්වයේ ප්‍රගතිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික ආදායම නැවත ඉහළ ගොස්, ලෝක බැංකුව විසින් නියම කර ඇති ඉහළ මධ්‍යම ආදායම් රටවල සීමාව ඉක්මවා යාමට අවශ්‍ය පදනම සකස් වුණා.
ලෝක බැංකුව (World Bank) සෑම වසරක ම ලෝකයේ රටවල් ඒවායේ ආර්ථික මට්ටම සහ එක් පුද්ගලයෙකුට හිමි දළ ජාතික ආදායම (Gross National Income per capita – GN¸ per capita) පදනම් කරගෙන ප්‍රධාන ආදායම් කාණ්ඩ හතරකට වර්ගීකරණය කරනවා. ඒ, අඩු ආදායම් රටවල් (Low-Income Countries)පහළ මධ්‍යම ආදායම් රටවල් (Lower-Middle-Income Countriies); ඉහළ මධ්‍යම ආදායම් රටවල් (Upper-MIddle-Income Countries) සහ ඉහළ ආදායම් රටවල් (High-Income Countries) යනුවෙන්.
මේ වර්ගීකරණය සෑම වසරක ම ජූලි 01 දින යාවත්කාලීන කරනවා. ඒ සඳහා උපයෝගි කර ගන්නේ පෙර වසරේ දත්ත. මේ වර්ගීකරණයට යොදා ගත් නිර්ණායක අනුව ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් කාණ්ඩයට (Upper-Middle-Income Category) ඇතුළත් වීමෙන් අදහස් වන්නේ රටේ ඒක පුද්ගල සාමාන්‍ය ආදායම ඇමරිකානු ඩොලර් 4,496 – 13,935 අතර සීමාවේ පවතින බව. මෙය ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය පිළිබඳ ජාත්‍යන්තර දර්ශකයක් වන අතර එය ආයෝජක විශ්වාසය, ජාත්‍යන්තර ප්‍රතිරූපය සහ නව ආර්ථික අවස්ථා පුළුල් කර ගැනීමට උපකාරී වෙනවා. මේ වර්ගීකරණය රටවල ආර්ථික තත්ත්වය මත වර්ගීකරණයක් ලෙස ජාත්‍යන්තර පිළිගැනීමක් පැවැතියත් එය රටේ සියලු ජනතාවගේ ජීවන තත්ත්වය සමාන ලෙස වැඩිදියුණු වී ඇති බවක් අදහස් නොකරන නිසා ඉදිරි කාලයේදී ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ සමාජයේ සියලු පාර්ශ්ව වෙත සාධාරණ ලෙස ළඟා කරමින්, තිරසර සංවර්ධන මාවතක් ගොඩනැඟීම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ආර්ථික අභියෝගය වනු ඇති.
මේ වර්ගීකරණය මූලික වශයෙන් පදනම් වන්නේ රටක සාමාන්‍ය ආදායම් මට්ටම මත. මෙයින් දරිද්‍රතාව, ආදායම් බෙදී යාම, රැකියා අවස්ථා, සමාජ සුභ සාධනය හෝ ජනතාවගේ සැබෑ ජීවන තත්ත්වය හෝ සෘජු ව මැනෙන්නේ නැහැ. එබැවින් ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගය වන්නේ මේ තත්ත්වය තාවකාලික ආර්ථික ප්‍රගතියක් ලෙස නොව තිරසර ආර්ථික සංවර්ධනයක් සඳහා පදනමක් ලෙස භාවිත කිරීම. මධ්‍යම ආදායම් මට්ටමෙන් ඉහළට ගමන් කරමින් ඉහළ ආදායම් ලබන රටක් බවට පත්වීම සඳහා නවෝත්පාදනය, තාක්ෂණික සංවර්ධනය, මානව ප්‍රාග්ධනය ශක්තිමත් කිරීම, අපනයන වර්ධනය, ආයෝජන ප්‍රවර්ධනය සහ සමාජ සාධාරණත්වය තහවුරු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව නැවතත් ඉහළ මධ්‍යම ආදායම් රටක් බවට පත්වීම යනු හුදෙක් ආදායම් වර්ගීකරණයේ වෙනසක් පමණක් නොව රටේ ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵල සහ ඉදිරි සංවර්ධන ගමනේ වැදගත් සංධිස්ථානයක්.
ශ්‍රී ලංකාව නැවත මේ කාණ්ඩයට ඇතුළත් වීම ජාත්‍යන්තර ආයෝජකයන්ට ගෙන දෙන්නේ ධනාත්මක පණිවිඩයක්. එමඟින් රටේ ආර්ථික ස්ථාවරත්වය සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය යම් මට්ටමකට යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවත් වෙළෙඳපොළ විශ්වාසය වර්ධනය වන බවත් පිළිබිඹු වෙනවා. මේ හිතකර තත්ත්වය හේතුවෙන් විදේශීය සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීම පහසු වීම, ජාත්‍යන්තර ණය වෙළෙඳපොළෙහි රටේ විශ්වාසනීයත්වය ඉහළ යාම, සංචාරක කර්මාන්තයේ ඉදිරි වර්ධනයට මනා පිටුවහලක් ලැබීම, අපනයන වෙළෙඳපොළ පුළුල් කිරීමට සහ ජාත්‍යන්තර ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීමට අවස්ථා උදා වීම සිදු වෙනවා.
ඒ අනුව ඉහළ මධ්‍යම ආදායම් රටක් බවට පත්වීම ශ්‍රී ලංකාව ලැබූ වැදගත් ආර්ථික සංධිස්ථානයක් වුවත් මීළඟ ප්‍රධාන අභියෝගය වන්නේ මේ තත්ත්වය තිරසර ව පවත්වා ගනිමින් ඉහළ ආදායම් ලබන රටක් (High-Income Country) බවට පරිවර්තනය වීම. එහෙත් මේ සියලු වාසි සැබෑ ප්‍රතිලාභ බවට පත්වන්නේ නිසි ආර්ථික ප්‍රතිපත්ති ක්‍රමානුකූල ව ක්‍රියාත්මක කළහොත් පමණයි.
ශ්‍රී ලංකාව නැවතත් ඉහළ මධ්‍යම ආදායම් රටක් බවට පත් වීම සැලකිය යුතු ජයග්‍රහණයක් වුවත් එම තත්ත්වය දිගුකාලීන ව පවත්වාගෙන යාම සහ ඉහළ ආදායම් රටක් බවට පරිවර්තනය වීම විශාල අභියෝගයක්. මේ අභියෝගය ආර්ථික විද්‍යාවේ ‘මධ්‍යම ආදායම් උගුල’ (Middle-Income Trap) ලෙස හැඳින්වෙනවා. මධ්‍යම ආදායම් උගුල යනු රටක් අඩු ආදායම් මට්ටමෙන් මධ්‍යම ආදායම් මට්ටමට සාර්ථක ව පැමිණියත් ඉන් ඔබ්බට ඉහළ ආදායම් රටක් බවට පත්වීමට නොහැකි ව දිගු කාලයක් මධ්‍යම ආදායම් මට්ටමේ ම රැඳී සිටින තත්ත්වය. සාමාන්‍යයෙන් අඩු ආදායම් රටවල් අඩු ශ්‍රම පිරිවැය සහ ස්වාභාවික සම්පත් මත පදනම් ව වේගවත් ආර්ථික වර්ධනයක් අත්කර ගන්නවා. එහෙත් මධ්‍යම ආදායම් මට්ටමට පැමිණි පසු වැටුප් මට්ටම් ඉහළ යාම නිසා අඩු පිරිවැය මත පදනම් වූ තරගකාරිත්වය ක්‍රමයෙන් අහිමි වෙනවා. එම අවස්ථාවේදී නවෝත්පාදන, තාක්ෂණික දියුණුව, පර්යේෂණ, උසස් නිෂ්පාදන සහ ඉහළ ඵලදායිතාව මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැගීමට නොහැකි වුවහොත් රට මධ්‍යම ආදායම් මට්ටමේ ම සිර වී යාම වැළැක්විය නොහැකියි. එහෙත් නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති හා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙන් මැද ආදායම් උගුලෙන් මිදිය හැකි බවට රටවල් රැසක් ප්‍රායෝගික උදාහරණ සපයනවා. ඉහළ මධ්‍යම ආදායම් මට්ටමේ සිට ඉහළ ආදායම් ලබන රටක් බවට පත්වීමට ඇතැම් නැගෙනහිර ආසියානු රටවල් ගත කර ඇත්තේ වසර 7 – 10 දක්වා වූ ඉතා කෙටි කාලයක්. හොංකොං සහ දකුණු කොරියාව වසර 7කදී, ජපානය වසර 9කදී, සිංගප්පූරුව වසර 10කදී මේ සංවර්ධන මට්ටමට ළඟා වී තිබෙනවා. ඊට ප්‍රතිවිරුද්ධ ව යුරෝපීය හා ලතින් ඇමරිකානු රටවලට මේ ඉලක්කය සපුරා ගැනීම සඳහා වසර 11 – 40 දක්වා වූ සාපේක්ෂ ව දීර්ඝ කාලයක් ගත වී තිබෙනවා. ඉහළ ඵලදායිතාවක් පවත්වා ගැනීම, ආර්ථිකය විවිධාංගීකරණය, නවෝත්පාදන ප්‍රවර්ධනය සහ ශක්තිමත් ආයතනික පද්ධතියක් ගොඩනැඟීම යන සාධක හේතුවෙන් මේ නැගෙනහිර ආසියානු රටවලට ‘මැද ආදායම් උගුලෙන්’ සාර්ථක ව මිදී ඉහළ ආදායම් ලබන රටවල් බවට පත්වීමට හැකි වී තිබෙනවා.
දකුණු ආසියාවේ බොහෝ රටවල් තවමත් වර්ගීකරණය වන්නේ පහළ මධ්‍යම ආදායම් රටවල් ලෙස. ඉන්දියාව, බංගලි දේශය, පාකිස්තානය, නේපාලය සහ භූතානය එම කාණ්ඩයට අයත්. එම නිසා ශ්‍රී ලංකාව නැවත ඉහළ මධ්‍යම ආදායම් කාණ්ඩයට පැමිණීම කලාපීය වශයෙන් වැදගත් ජයග්‍රහණයක්. එහෙත් කලාපීය තරගකාරිත්වය රැක ගැනීමට නම් ආර්ථික වර්ධනය පමණක් නොව නිෂ්පාදන ඵලදායිතාව ද ඉහළ නැංවිය යුතු වෙනවා.. ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා වත්මන් රජය ක්‍රියාත්මක කළ රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ, බදු ප්‍රතිපත්ති සංශෝධනය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ එකඟ වූ ප්‍රතිසංස්කරණ වැඩසටහන්, රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම, විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීම සහ උද්ධමනය පාලනය මේ ප්‍රගතිය සඳහා ලබා දී තිබෙන්නේ යම් දායකත්වයක්. එහෙත් මේ ජයග්‍රහණය තිරසර වීමට නම් ආර්ථික වර්ධනය සමඟ සමාජ සාධාරණත්වය ද තහවුරු කළ යුතුයි. ඉහළ මධ්‍යම ආදායම් රටක් ලෙස දිගුකාලීන ව පවත්වාගෙන යාම සඳහා කෘෂිකර්මාන්තය නවීකරණය කර ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම, විදේශීය සෘජු ආයෝජන සඳහා විනිවිදභාවයෙන් යුත් ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීම, අපනයන විවිධාංගීකරණය සහ ඉහළ අගය එකතු කළ නිෂ්පාදන ප්‍රවර්ධනය, ඩිජිටල් කුසලතා සංවර්ධනය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ශක්තිමත් කිරීම, පර්යේෂණ හා නවෝත්පාදන සඳහා රාජ්‍ය සහ පෞද්ගලික ආයෝජන වැඩි කිරීම, දරිද්‍රතාව හා ආදායම් අසමානතාව අවම කිරීම සඳහා ඉලක්කගත සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාව ප්‍රමුඛතාව ලබා දිය යුතු ක්ෂේත්‍ර.
මේ සමඟ ස්ථාවර සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, ඵලදායී ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ, යහපත් රාජ්‍ය පාලනය සහ පෞද්ගලික අංශය මූලික කරගත් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම අඛණ්ඩ ව ඉදිරියට ගෙන යා යුතු වෙනවා. එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඛණ්ඩ ව පවත්වා ගනිමින් ශ්‍රී ලංකාව ඉහළ ආදායම් ලබන සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කිරීම ජනතාවගේත් ප්‍රතිපත්ති සම්පාදකයන්ගේත් සමස්ත ජාතියේත් පොදු අපේක්ෂාව හා වගකීම විය යුතුයි.






