#Uncategorized

80 වැරුමේ කතාව

ලංකාවේ දේශපාලන ඉතිහාසය උද්ඝෝෂණ, වෘත්තීය ක්‍රියාමාර්ග හා වැඩ වර්ජනවලින් ලියැවුණක්. ඒ තරමට තීරණාත්මක වැඩ වර්ජන ඉතිහාසයේ හමුවෙනවා. වැඩ වර්ජන පිළිබඳ ඉතිහාසය ගැන කතා කරන විට 1980 ජූලි වර්ජනය අමතක කරන්නට බැහැ. එය සිදු වී වසර 46ක් ගත වී තිබෙනවා.

1977 වසරේදී පාර්ලිමේන්තුවේ 5/6ක බලයක් සහිත ව බිහි වූ එජාප පාලන කාලය ලාංකික සමාජය උඩු යටිකුරු කළ දැවැන්ත ඛේදවාචක ගණනාවක් ඇති කළා. ආණ්ඩුව පත් වූ විගස විධායක ජනාධිපති ධුරයක් සහිත ඒකාධිපති ව්‍යවස්ථාවක් සම්මත කරගත් අතර නව නීති සම්පාදනය කරමින් ගිය ගමනයි 80 ජූලි වර්ජනයට මග පෑදුවේ. ආණ්ඩුව රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්නට ගත්තා. ලංකාවේ විශාලතම පෙහෙකම්හල වූ තුල්හිරිය මෙන් ම පූගොඩ ඇතුළු කර්මාන්ත රැසක් පෞද්ගලීකරණය කළා. මේ නිසා බොහෝ පිරිසකට රැකියා අහිමි වුණා. ඒ හේතුවෙන් පෞද්ගලීකරණයට එරෙහි විරෝධතා නැඟුණේ සේවකයන් පාරට බැස උද්ඝෝෂණය කරන්නට පටන් ගැනීමෙන්.

විවෘත ආර්ථීකය හඳුන්වා දුන් මුල් අවස්ථාවේ නව රැකියා බිහි වුණත් ඊට පසු දැඩි නීති රීති පනවා සිදු කළ ශ්‍රම සූරාකෑම නිසා සේවකයන් පීඩාවට පත් වුණා. ජීවන වියදම ඉහළ යාම, වැටුප් වැඩි නොකිරීම, කම්කරුවන්ගේ වෘත්තීය අයිතිවාසිකම් මර්දනය, සේවකයන් රැකියාවලින් ඉවත් කිරීම වැනි ක්‍රියා ඔස්සේ පාලකයන් ගියේ දැඩි මර්දනකාරි ගමනක්.

මේ පීඩනය දරාගත නොහැකි වූ විට ජීවන වියදම පියවා ගැනීම සඳහා රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයන්ට දිනකට රුපියල් 10 බැගින් මසකට රුපියල් 300ක වැටුප් වැඩිවීමක් සහ ජීවන දර්ශකයට සාපේක්ෂ ව දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලා වැඩපොළ සේවකයන් වැඩ වැරුවා. මීට සමගාමී ව ඒ ඒ ආයතනවලට ම ආවේණික ප්‍රශ්න පැන නැඟුණා. ඒවාට එරෙහිවත් තැනින් තැන මතු වුණේ විරෝධතා. විශේෂයෙන් රත්මලාන දුම්රිය සේවක වැඩ වර්ජනයත් එවැන්නක්. ඒ විදිහට 1980 වසරේ ජූලි 05 දින සිට විවිධ ආයතන මට්ටමෙන් ආරම්භ වූ වැඩ වර්ජන හා විරෝධතා ක්‍රමයෙන් වැඩි වුණා. මේ තත්ත්වය දුටු වෘත්තීය සමිති නායකයන් තීරණය කළේ සමස්ත මහා වැඩ වර්ජනයක් කැඳවීමට. ඒ අනුව ජූලි 18 දින මේ වැඩ වර්ජනය කැඳවූ අතර වර්ජනය කළහොත් සේවය හැර ගියා සේ සලකා  වැටුප් නතර කරන ලෙසටයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කළේ. එහෙත් වර්ජනය නැවැත්වූයේ නැහැ. වර්ජනය කළ ලක්ෂයකට අධික පිරිසකට රැකියා අහිමි වුණා. එහි ප්‍රතිඵලය වුණේ ආණ්ඩුව පාක්ෂිකයන්ගෙන් ඒ හිඩැස් පිරවීම.

ජූලි වර්ජකයන් තමන්ට රැකියා ලබාදෙන ලෙස දිගින් දිගට ම බලයට පත් වන රජයෙන් ඉල්ලීම් කළා. එහිදී ඇතැම් අවස්ථාවල දේශපාලන පළිගැනීම් ලෙස ඒ ඒ පාලකයන් විසින් තමන්ගේ හිතවතුන් නැවත සේවයේ පිහිටුවනු ලැබූ අතර ඇතැමෙකුට වන්දි හිමි වුණා. ඇතැමෙකුට සේවය අහිමි ව සිටි කාලයත් සේවයේ සිටි කාලයක් සේ සලකා විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ අවස්ථාව සකස් කර දුන්නා. අනෙක් අතට හතළිස් දහසකට ආසන්න පිරිසක් කිසි ම අවස්ථාවක් නොලැබ, කිසි ම සාධාරණ වන්දියක් නොලැබ අසරණ ව ම ජීවත් වුණා. ඇතැමුන් චිත්ත පීඩා දරාගත කොහැකි ව අසරණ ව රෝගී වී මරණයට පත් වුණා.

80 වර්ජනයේ ප්‍රතිඵල මෙසේ වුවත් ඉන් එහා ගිය අවාසියක් වැඩ කරන ජනතාවට සිදු වූ බවයි ඇතැම් වෘත්තීය සමිති නායකයන් පවසන්නේ. ඒ, මේ සිදුවීමෙන් බොහෝ කාලයක් ගත වන තෙක් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එකතු වන්නට වැඩ කරන ජනතාව බියක් දැක්වීම නිසා. මේ තත්ත්වය දන්නා පාලකයනුත් තමන්ට කැමති ලෙස බලය පවත්වාගෙන යාමට 80 ජූලි වර්ජනය පෙන්වමින් තව තවත් ජනතාව බියට පත් කළ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

80 ජූලි වර්ජනයට සහභාගි වූ හිටපු වෘත්තිය සමිති නායක ලෙස්ලි දේවේන්ද්‍ර පැවසුවේ මෙවැන්නක්. ඔහු “ඒ කාලේ පාරිභෝගික භාණ්ඩ මිල වේගයෙන් ඉහළ ගියා. නමුත් අපේ වැටුප් වැඩි වුණේ නැහැ. ඒ නිසා අපි මාසෙට රුපියල් 300ක වැටුප් වැඩිවීමක් ඉල්ලුවා. ඒ මත තමයි මේ අරගලය නිර්මාණය වුණේ. ඒ අවස්ථාවේ වෘත්තිය සමිති නායකයන් තීරණය කළා සමස්ත මහා වැඩ වර්ජනයක් කැඳවන්න. ආණ්ඩුව හදිසි නීතිය ගෙනත් එය මර්දනයට සුදානම් වුණා. රජයේ පමණක් නෙවෙයි පෞද්ගලික අංශයේ සෑම ආයතනයක්මත් හදිසි නීතිය යටතේ අත්‍යවශ්‍ය සේවා කළා. එයින් ඒ හැමෝට ම රැකියා අහිමි කළා. මේ විදිහට ලෝකෙ කොහෙවත් අත්‍යවශ්‍ය සේවා නම් කරලා නැහැ. මේ නිසා අපේ 80,000කට වැඩි පිරිසකට රස්සා නැති වුණා. වෘත්තිය සමිති නායකයෝ හිරේ ගියා. ඒක දැවැන්ත මර්දනයක්. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා වූ පසු කොටසකට නැවත රැකියා ලැබුණා. තවත් පිරිසකට වන්දි ලැබුණා. නමුත් ඒ වෙනකොට සමහර අය දිවි නසාගෙන. සමහරු දුකට පත් ව ලෙඩ වී මිය ගියා. දැන් ඒ අයගෙන් ජීවත් වන්නේ ඉතා සුළු පිරිසක්. මේ අරගලයේදී අපේ නායකයෝ, අපේ වෘත්තීය සමිතිවල තත්ත්වයයි රජයේ ශක්තියයි හොඳින් විග්‍රහ කර නොගැනීම විශාල අඩුවක්.”

80 ජූලි වර්ජනය නිසා වර්ජකයන්ට මුහුණ දෙන්නට සිදු වූ තත්ත්වය නිසි ලෙස සැලසුම් කර, වෘත්තීය සමිතිවල ශක්තිය මෙන් ම ආණ්ඩුවේ ශක්තියත් කිරා මැන බලා වර්ජනය නොකැඳවීමේ ප්‍රතිඵලයක් බවයි වෘත්තීය සමිති නායකයෙකු ලෙස කලක් වැඩ කළ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ද පවසන්නේ. එසේ ම පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් සහ විධායක බලතල සහිත ජනාධිපතිවරයෙකුගේ නායකත්වය සහිත ආණ්ඩුවට තමන් කැමති විදිහට පාලනය ගෙන යා හැකි වීමත් මීට බලපෑ බවයි ඔහුගේ අවධාරණය.

අදහස් දක්වන කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා; “ජූලි වර්ජකයන්ගෙන් කොටසකට විටින් විට විවිධ ආණ්ඩු යටතේ යම් යම් සහන ලැබුණා. නමුත් සමස්තයක් විදිහට මේ වර්ජනයට සහභාගි වීමෙන් රැකියා අහිමි වූ ලක්ෂයකට අධික රජයේ සේවකයන් දශක ගණනාවක් තිස්සේ දැඩි පීඩනයකට ලක් ව ජීවත් වුණා. විටින් විට යම් යම් පාලන යටතේ ඇතැම් කණ්ඩායම්වලට සහන ලබා දී තිබෙනවා. 80 දශකයේ පමණක් නොවෙයි ඉන්පසු බිහි වූ සෑම පාලනයක් යටතේ ම වැඩකරන ජනතාවට තමන්ගේ අයිතීන් දිනාගන්න දැඩි අරගලයක් කරන්න සිදු වුණා. ඒ හැම විටක ම ඒ ඒ ආණ්ඩු මර්දනකාරී ව කටයුතු කළා. නමුත් දැන් තත්ත්වය වෙනස්. වැඩ කරන ජනතාවගේ ආණ්ඩුවක් තිබෙන නිසා ඔවුන්ගේ අවශ්‍යතා හොඳින් හඳුනනවා. ඒ නිසා පළමු අය වැයෙන් ම රාජ්‍ය සේවක වැටුප් වැඩි කළා. සේවක අවම වැටුප් සීමාව ඉහළ දැම්මා. මේ වසරේ අය වැයෙන් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කරන්න මහා  භාණ්ඩාගාරයෙනුත් මුදලක් වෙන් කළා. මේ කිසිවක් ආණ්ඩුව ලබා දුන්නේ අරගලවලට පිළියම් විදිහට නොවෙයි. කලින් ආණ්ඩු කාලේ වැඩ කරන ජනතාව කළ අරගලවලට මේ ආණ්ඩුව යටතේ පිළියම් යෙදුවා. වැඩ කරන ජනතාවගේ ඇත්ත ප්‍රශ්නය හඳුනා ගනිමින් පිළිතුරු සෙව්වා.”

නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන කරුණ මේ වන විට යථාර්ථයක් ව අවසන්. දෛනික වැටුප වැඩි කරන ලෙස ඉල්ලා වතු කම්කරු ජනතාව අරගල කළේ දශක ගණනාවක්. එය මල්ඵල ගැන්වුණේ මේ ආණ්ඩුව යටතේ. ඒ අනුව වතු හිමියන් සමඟ දීර්ඝ ව සාකච්ඡා කර වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1750 දක්වා ඉහළ දැමුණේ එයින් රුපියල් 200ක් මහා භාණ්ඩාගාරයෙන් ගෙවන එකඟතාව මත.

2025 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවකයෙකුගේ අවම මූලික වැටුප රුපියල් 15,750කින් ඉහළ නැංවුණේ වසර 03ක්, අදියර 03ක් යටතේ වන සැැලසුමකට අනුව. එහිදී මෙතෙක් ලබා දුන් අතුරු දීමනා සියල්ලත් මූලික වැටුපට ඒකාබද්ධ කළා. 2025 ජනවාරි 01 දින හෝ ඉන්පසු විශ්‍රාම යන රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුපත් මේ වැටුප් පරිමාව මතයි සැකසෙන්නේ. රාජ්‍ය සේවකයන්ගේ ආපදා ණය සීමාව රුපියල් 250,000 සිට රුපියල් ලක්ෂ 400,000 දක්වා නංවා තිබෙනවා.

පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමට රජයට නොහැකි වුවත් 2025 අංක 11 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන (සංශෝධන) පනත ගෙනෙමින් සේවකයන්ගේ අවම වැටුප 2025 ජනවාරි 01 දින සිට රුපියල් 9500කින් ද 2026 ජනවාරි 01 දින සිට රුපියල් 3000කින් ද වැඩි කළා.

වත්මනේ සේවක අයිතීන් වෙනුවෙන් මෙවැනි පසුබිමක් ගොඩනැඟී ඇති අතර කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන පරිදි මේ දක්වා කිසි ම සාධාරණ සේවක උද්ඝෝෂණයක්, වැඩ වර්ජනයක් මර්දනය කර නැහැ. ඒ අයිතිය ඔවුන්ට ලබා දී තිබෙනවා. ඉදිරියටත් එහි වෙනසක් නොමැති බවයි ඔහුගේ අවධාරණය.

80 වැරුමේ කතාව

80 වැරුමේ කතාව