#ආර්ථික

සල්ලි ගරන උගුල

බොහෝ අය නොමඟ යවන ව්‍යාපාරයක් බවට වර්තමානයේ පිරමීඩ යෝජනා ක්‍රමය පත් ව තිබෙනවා. 1988 අංක 30 දරන බැංකු පනතේ 83-ඇ වගන්තියට අනුව පිරමීඩාකාර යෝජනා ක්‍රමයක්  යනු යම් ආයතනයක් සාමාජිකයන්ට මුදලින් හෝ මූල්‍යමය අගයකින් හෝ ගෙවීමක් කිරීමට දායක වන්නාවූත් එමගින් සහභාගිවන අය උපයනු ලබන ප්‍රතිලාභ, යෝජනා ක්‍රමයේ සාමාජිකත්වය වැඩිවීම මත හෝ යෝජනා ක්‍රමයේ සාමාජිකයන් විසින් ගෙවනු ලබන මුදල් ප්‍රමාණය වැඩිවීම මත හෝ තීරණය වන ක්‍රමයක්. සරල ව ම එක් අයකු යම් වෙළෙඳාමකට තවත් අයකු හඳුන්වාදීම පිරමීඩාකාර යෝජනා ක්‍රමයක්. මෙය නීතියට පරිබාහිර ව යන ක්‍රියාවලියක්. රටේ සංවර්ධනයට සෘජු ව දායක වන තරුණ ප්‍රජාවට සිහින ලෝක පෙන්වමින් ඔවුන් සතු අවසන් රුපියල දක්වා ම සූරාකෑමට පිරමීඩ ජාවාරම්කරුවන් සමත් ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කරනවා. 

කෙටි කාලයකින්, කෙටි මාර්ගවලින් දියුණු වීමේ උත්සාහයක යෙදෙන පුද්ගලයන්ට ‘ඉක්මන කොටයි’ යන්න මනාවට තේරුම් කළ අවස්ථාවක් ලෙස පිරමීඩ ජාවාරම හැඳින්විය හැකියි. මෙහි ප්‍රධාන වගකිමක් උසුලන ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අජානි ලියනපටබැඳි පවසන ආකාරයට මහජනතාව දැනුවත් කිරීමෙන් මේ ජාවාරමට ගොදුරු වන්නන් අවම කරගැනීමට හැකියාව තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ Mr.BeeWise  ෆේස්බුක් පිටුව එලෙස මහජනතාව දැනුවත් කරන මාධ්‍යයක්.

2020 වසරේ ඇති වූ කොවිඩ් 19 වසංගතයත් සමග මේ නීති විරෝධි ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් ව්‍යාප්ත වුණා. මේ සඳහා zoom තාක්ෂණයේ ද විශාල දායකත්වයක් ලැබී තිබෙනවා. පිරමීඩ යෝජනා ක්‍රමය ජාල අලෙවිකරණයෙන් වෙනස්. විශේෂයෙන් ගුණාත්මකභාවය පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි වීමණි නව බඳවාගැනීම් වැඩි කරමින් කොමිස් ලබා ගැනිම අරමුණු කරගැනීමණි වෙළෙඳ පොළේ පහසුවෙන් දැකිය හැකි භාණ්ඩ නොවීමණි භාණ්ඩ පිළිබඳ පැමිණිලි කිරීමට පහසුකම් සපයා නොමැති වීමණි මෙහි සාමාජිකයෙක් වෙනත් පුද්ගලයකුට යම් භාණ්ඩයක් විකිණීමට පෙර ඒ භාණ්ඩය සාමාජිකයා විසින් මිලදී ගත යුතු වීම පිරමීඩ යෝජනා ක්‍රමයක ලක්ෂණ.

1988 අංක 30 දරන බැංකු පනතේ 83-ඇ වගන්තියට අනුව පිරමීඩ යෝජනා ක්‍රමයක් ආරම්භ කිරිම, ප්‍රවර්ධනය, ප්‍රචාරය, පවත්වාගෙන යාම, මුදල් සැපයීම හෝ කළමනාකරණය අපරාධමය වරදක්. මේ යටතේ වරදකරුවකු වන අයකුට වසර 3ක සිර දඩුවමක්, රුපියල් දස ලක්ෂයක් දක්වා දඩයක් හෝ මේ දඩුවම් දෙක ම ලබා දෙනවා. දැනුවත් ව වෙනත් අයකුට පාඩුවක් හෝ හිංසනයක් හෝ කළහොත් වසර 3-5ත් අතර බරපතළ වැඩ සහිත සිර දඩුවමක් සහ රුපියල් ලක්ෂ විස්සක් හෝ සහභාගිකරුවන්ගෙන් ලද මුදල මෙන් දෙගුණයක් හෝ ගෙවීමට සිදුවනු ඇති.

පිරමීඩ ජාවාරම් ක්‍රමය ඇමරිකා එක්සත් ජනපදයේ 20 වැනි සියවසේ මුල් භාගයේ ආරම්භ වූයේ ආයෝජකයන්ට සුපිරි ලාභ ලබාදෙන ආයෝජන ක්‍රමයක් ලෙස. ජනතාවගේ මුදල් කෙරෙහි පවතින කෑදරකම මත පිරමීඩ යෝජනා ක්‍රමවල ඉල්ලුම තීරණය වනවා. මේ ක්‍රමයෙන් කෙටි කාලයකින්, අඩු ශ්‍රමයකින් ධනවතකු වීමට ජනතාව පොළඹවනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ යානක රණවීර; “නව සාමාජිකයන් පිරිමීඩ යෝජනා ක්‍රමයට නිරන්තරයෙන් ආකර්ෂණය වන නිසා සෑම අදියරකදී ම සහභාගිවන්නන්ගේ සංඛ්‍යාව එක් එක් අවස්ථාවේ ශීඝ්‍ර ලෙස පුළුල් වෙනවා. එහෙත් මෙහිදී ප්‍රතිලාභ බෙදීයාමේදී වඩාත් අසරණ වන්නේ පිරමිඩයේ පහළ ම ස්ථරයේ ආයෝජකයන්.”

පිරිමීඩ යෝජනා ක්‍රම ප්‍රවර්ධනය මෙරට වඩාත් උපක්‍රමශීලී ව සිදුවන්නක්. විශේෂයෙන් මහජනතාව ඒකරාශී වන ක්‍රීඩා උත්සව, ආගමික උත්සව, සංගීත සංදර්ශන, ප්‍රජා සේවා මෙන් ම විවිධ වැඩමුළු සඳහා සම්පත් දායකත්වය ලබාදීම එහි එක් ක්‍රමයක්. ධනාත්මක චින්තන වැකි ඔස්සේ කරන පැහැදිලි කිරිම්, නෑදෑයන් හා මිතුරන් වැනි සමීපතමයන් මේ සඳහා සම්බන්ධ කරගැනීම වැනි කාරණා මෙහිදී හඳුනාගැනීමට පුළුවන්. සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය, සුඛෝපභෝගී වාහන සහ නිවාස ආදිය පිළිබඳ ව ජනතාව තුළ සිහින මැවීම තවත් ප්‍රවර්ධන ක්‍රමයක්.

උගත්, නූගත් සියල්ලන් තම ව්‍යාපාරයට හසුකර ගැනීමට පිරිමීඩ යෝජනා ක්‍රම සමත් වනවා. මහජනයා නමැති මසුන් බෑමට පිරමීඩ යෝජනාකරුවන් යොදා ගන්නා විවිධාකාර උපක්‍රම හේතුවෙන් කෙතරම් දැනුවත්වීම් කළ ද යම් පිරිසක් මේ කූට ව්‍යාපාරය සමග බැඳී සිටිනවා. භාණ්ඩ අලෙවිය පමණක් නොව සේවා සැපයීම, පැළ අලෙවි කිරිම, ට්‍රේඩින් (Trading) කිරීම ආදී විවිධ නම් භාවිත කරමින් පිරමීඩ යෝජනාකරුවන් ක්‍රියා කරන්නේ තම නීති විරෝධි ව්‍යාපාරය රටේ නොයෙක් ප්‍රදේශවල ව්‍යාප්ත කිරීමට.

කෙතරම් දැනුවත් කිරීම් සිදු කළ ද මහජනතාව යළි යළිත් පිරමීඩාකාර ව්‍යාපාර පසුපස හඹා යන පසුබිමක පිරමීඩ යෝජනාකරුවන් තම ව්‍යාපාර වඩාත් නිර්මාණශීලී ව මෙන් ම උපක්‍රමශීලී ව නීතියේ රැහැනට හසුනොවන අයුරින් ක්‍රියාත්මක කරනවා. ඉතිරි කිරිම්වලින්, වත්කම් විකිණීමෙන්, මුදල් ණයට ලබාගැනීමෙන් හා මුදල්  අතමාරු කරගැනීමෙන් පිරිමීඩ ව්‍යාපාර සඳහා මුදල් යෙදවීමට ආයෝජකයන් උත්සුක වන්නේ ඒවා දෙගුණ කර ගැනීමේ අරමුණින්. එහෙත් ආයෝජනය කළ මුදලවත් නැවත නොලැබීම නිසා රැකියා අත හැරීම, පවුල් සබඳතා බිඳ වැටිම, ප්‍රචණ්ඩත්වයට හා වෙනත් අපරාධවලට යොමුවීම, දික්කසාද වීම, සියදිවි නසාගැනීම මෙන් ම බංකොලොත්භාවයට පත් වීම වැනි අහිතකර තත්ත්වවලට ආයෝජකයන් ගොදුරු වන අවස්ථා දැකගැනීමට පුළුවන්. ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවල සඳහන් ආකාරයට විවිධ නම්වලින් සහ විවිධ ආයතනවලින් පෙනී සිටින්නේ එකම පිරමීඩ ජාවාරම්කරුවන් කණ්ඩායමක් විය හැකියි. මේ පිළිබඳ අදහස් දක්වන නියෝජ්‍ය අධ්‍යක්ෂ යානක රණවීර; “ජාල අලෙවිකරණ යෝජනා ක්‍රම ලෙස පෙනී සිටින පිරිමීඩ යෝජනා ක්‍රමවල බලපෑම කොතෙක් ද යන්න 1990 වර්ෂයේ ඇල්බේනියානු අත්දැකීම්වලින් පැහැදිලි කර ගැනීමට පුළුවන්. එහිදී සිදු වූ මරණ සංඛ්‍යාව 2000ට වැඩියි. එරට ආර්ථිකය කඩා වැටුණු බව ඇල්බේනියානු වාර්තාවලට අනුව පැහැදිලි වනවා.”

තම ප්‍රදේශයේ ව්‍යාප්ත වන මෙවැනි යෝජනා ක්‍රම පිළිබඳ විමසිලිමත් වීමණි විමර්ශන සහ වැටලීම්ණි යථා පරිදි අධිකරණයට කරුණු වාර්තා කිරීම හා වැඩිදුර විමර්ශනය සඳහා අවසර ලබා ගැනීමණි ග්‍රාමීය මට්ටමින් මහජනතාව දැනුවත් කිරීම හා නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් සඳහා යොමු කිරීම වැනි කාරණා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල වගකීමක්. පිරමීඩ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන ආයතන 22ක් පිළිබළිද තොරතුරු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති බවත් ඒ පිළිබඳ  විමර්ශන සිදු කෙරෙමින් පවතින බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂ යානක රණවීර සඳහන් කරන කාරණාවක්.

ජනතාව ලෙස අප දැනුවත් වීමටණි අන් අය දැනුවත් කිරීමටණි ජාවාරම්වලට තනි ව සහ එක් ව එරෙහි වීමටණි නීතිය ක්‍රියාත්මක කිරීමේ අංශ දැනුවත් කිරීමට ක්‍රියා කළ යුතු වනවා. අපගේ සමීපතමයන් ගොදුරු කරගත් මේ පිරිමීඩ ජාවාරම වැළැක්වීම ජනතාව ලෙස අපගේ ද නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල ද ශ්‍රී ලංකා මහ බැංකුවේ ද වගකීමක් සහ වගවීමක් විය යුතුයි.

චරිතා ලක්මිණි සමරවික්‍රම

සල්ලි ගරන උගුල

උණුසුමේ උණුසුම