සතුන් ගණනය

- නිරෝෂි දොඹගහගේ
මෙරට ආහාර බෝග වගාවලට සිදුවන වන සත්ත්ව හානි අවම කිරීම සඳහා නිර්දේශ සකස් කිරීමේ කමිටු වාර්තාව නොබෝදා එළිදැක්වුණා. මේ කමිටුව ස්ථාපිත කරන ලද්දේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය විසින්. ‘කෘෂිකාර්මික බෝග සඳහා හානි සිදු කරන වන ජීවීන් පිළිබඳ ජාතික සංගණනය’ 2025 මාර්තු මස 15 දින දීප ව්‍යාප්ත ව පැවැත්වුණේ මේ කමිටුවෙහි තීරණයක් ලෙස. කමිටු වාර්තාව අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 340ක රිලවා, වඳුරා, මොනරා සහ දඬුලේනා ලෙස සංගණනයට ලක් වූ මුළු සතුන් ගණන 13,897,515ක්.
මේ සංගණන ප්‍රතිඵල සත්යායනයේදී වඳුරන් හා රිලවුන් සම්බන්ධ ව මෙරට ප්‍රජාව ලබාදී ඇති තොරතුරුවල සත්‍යතාව 50%ක මට්ටමක පවතින බවයි කමිටු වාර්තාවෙහි දැක්වෙන්නේ. අදාළ සත්ත්ව කාණ්ඩයේ පැතිරීම, අවදානම් කලාප හඳුනාගත හැකි ලෙස ප්‍රදේශ අනුව සිතියම්ගත කර ඇත්තේ මේ සත්යායනයෙන් අනතුරු ව.
බෝග වගාවලට හානි කරන සතුන්ගේ ගහනය සහ එම වන සතුන් ඇති කරන උවදුරු පාලනය සඳහා භාවිත කළ හැකි උපක්‍රම පිළිබඳ ගොවියන්, පරිසරවේදින් සහ විද්වතුන් ඇතුළු සියලු ම පුරවැසියන්ගෙන් අදහස් හා යෝජනා කැඳවීමක් ද කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය විසින් සිදු කරනු ලැබුවා. ඒ, සියලු පාර්ශ්වල අදහස් විමසා බලා මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට. එම පාර්ශ්ව ලබා දී ඇති යෝජනා මේ වන විටත් ප්‍රමුඛතාව අනුව පෙළ ගස්වා විශ්ලේෂණය කර ඇති බව එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (කෘෂි සංවර්ධන) ආර්.ඩී. චිත්රනයනා පවසනවා.
විදුලි වැට, ජෛව වැට, සූර්ය බල වැට, එල්ලෙන වැට, මී මැසි හඬ සහිත වැට යනාදී ලෙස ආරක්ෂක වැට යෙදීම, වන සත්ත්ව මාර්ග ඇති කිරීම හා ඒවා සංරක්ෂණය මේ ගැටලුවට වැඩි පිරිසක් විසඳුම් ලෙස කර තිබෙන යෝජනා. මීළඟට ප්‍රමුඛතාව ලැබී ඇත්තේ උපත් පාලනය හා වන්ධ්‍යකරණයට. තෙවැනි ව සතුන්ට අවශ්‍ය ආහාර හා ජලය සැපයීම (සතිපොළ ආර්ථික මධ්‍යස්ථානවලින් ඉවතලන ආහාර සතුන්ට ලබා දීම ආදී).

ඉඩම් කැබලි කිරීම පාලනය, බලෙන් ආක්‍රමණය කරගත් බිම් නැවත අත්පත් කර ගැනීමෙන් සත්ත්ව වාස භූමි සංරක්ෂණය, වන බිම් වැඩි කිරීම, ඉඩම් කළමනාකරණය, වනාන්තරවල සිදුවන නීති විරෝධී ක්‍රියා වැළැක්වීම, අධි ආරක්ෂිත කලාප පිහිටුවීම, තෘණ භූමි ඇති කිරීම හා වන විනාශය වැළැක්වීම වැනි යෝජනා ද ඊට ඇතුළත්. සතුන් මැරීම, දඩයම් කිරීම, මස් පරිභෝජනය, මස් ප්‍රවාහනය යනාදී කාරණා සහ වන විනාශය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වන අණපනත් සංශෝධනය, නව නීති සම්පාදනය වැනි යෝජනාත් මෙලෙස එම පාර්ශ්ව ඉදිරිපත් කර තිබෙනවා.
අඩු මුදලට හෝ බලපත්‍ර සහිත ව වායු රයිපල් ලබාදීම, ප්‍රාදේශීය බෝග ආරක්ෂණ කමිටු පිහිටුවීම, ආරක්ෂක අංශවල රජයේ බලය පැවරූ නිලධාරින් ග්රාමාරක්ෂකයන්ගේ දායකත්වයෙන් පාලනයක් සහිත ව සතුන් මැරීම මෙන් ම ආලෝකය, ලේසර් පරාවර්තක, ශබ්දය, චලන සංඛ්‍යාත, සංගීතය වැනි සන්නිවේදක භාවිතය යනාදිය ප්‍රමුඛතාව අනුව පෙළ ගැස්විය හැකි තවත් යෝජනා.

සියලු කරුණු සලකා බලා මේ සම්බන්ධයෙන් ඉදිරි විසඳුම් තීරණය කිරීමට ජනාධිපති ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් ද ‘වන සතුන්ගෙන් සිදුවන වගා හානි නිසා ජන ජීවිතයට සිදුවන හානි කළමනාකරණය සඳහා වන ජාතික මෙහෙයුම් කමිටුව’ පත් කර තිබෙනවා. මෙය සමන්විත වන්නේ ජනාධිපති කාර්යාලය, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, විශ්වවිද්‍යාල, ත්‍රිවිධ හමුදාව නියෝජනය කරන සාමාජිකයන් 20 දෙනකුගෙන්. වන සතුන්ගෙන් වගාවලට සිදුවන හානි කළමනාකරණය සම්බන්ධයෙන් කඩිනම් විසඳුමකට යාමේ කඩිනම් අවශ්‍යතාව දැනටමත් මේ කමිටුව සමාලෝචනය කර තිබෙනවා. කෙටිකාලීන, මධ්‍යකාලීන, දිගුකාලීන ලෙස තිරසර විසඳුමක් සහිත ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇත්තේ ඒ අනුව. එම ක්‍රියාකාරී සැලැස්ම ඉතා කෙටි කලකින් සකස් කෙරෙනු ඇති බවයි අතිරේක ලේකම් හා ජාතික ක්‍රියාකාරී මෙහෙයුම් කමිටුවේ කැඳවුම්කරු ආර්.ඩී. චිත්රනයනා පවසන්නේ.
මේ ජාතික මෙහෙයුම් කමිටුවේ සාමාජික කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න අදහස් දක්වන පරිදි වන සතුන්ගෙන් වගා හානි සිදුවීමේ ගැටලුව වර්තමානයට පමණක් සීමා වූවක් නොවෙයි. මිනිසා පරිසරය සමග ගැටීම ගොවිතැනට හුරුවූ මුල් කාලයේ සිට ම ආරම්භ වූවක්. එම ගැටුම ධනාත්මක මෙන් ම විටෙක සෘණාත්මකයි. වගාවට අවැසි වන ලෙස පරිසරය සූදානම් කර ගැනීමට පස සාරවත් කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ගවලින් ශාක හා සතුන්ට හිතකර පරිසරයක් ඒ අවට ගොඩනැගීමෙන් පරිසරයට ධනාත්මක බලපෑමක් සිදුවෙනවා. මේ නිසා සතුන්ගේ මෙන් ම ශාකවල ආක්රමණවලට ගොවි බිම් ලක් වීම සාමාන්‍ය තත්ත්වයක්. එබැවින් අතීතයේ පටන් ම ගොවියා එම සතුන් හා ශාක සම්බන්ධයෙන් යම් පාලනයක් සිදු කළා.
වර්තමානයේදී මේ ගැටලුව බරපතළ වී තිබෙන්නේ කැළෑ ඉඩම් ගොවියන් සහ ව්‍යාපාරිකයන් අනවසරයෙන් අත්පත් කර ගැනීමට උත්සාහ දැරීම මත වනාන්තර විනාශ කිරීමෙන් පරිසර සමතුලිතතාව බිඳවැටීමේ ප්‍රතිඵලයක් ලෙස. රජයේ ඉඩම් බලපත්‍ර අවභාවිත කිරීමේ මේ තත්ත්වය වියළි කලාපයේ වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. ඇතැම් ප්‍රදේශවල මේ ක්‍රියාවලියට දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරින්ගේ මැදිහත්වීමත් තිබෙනවා. වන සතුන්ට වාසස්ථාන අහිමි වී තිබෙන්නේ මේ කාරණා නිසා. එනම් එවැනි මානව ක්‍රියා නිසා වාසස්ථාන ඛණ්ඩනය වී තිබෙනවා. සතුන් ආහාර වෙනුවෙන් හෝ අනෙකුත් සීමිත අවශ්‍යතා වෙනුවෙන් වගා බිම්වලට කඩා වදින තත්ත්වයක් උද්ගත වී තිබෙන්නේ මේ නිසා. මෙවැනි පසුබිමක සතුන් විශාල සංඛ්‍යාවක් ගොවියන් අතින් ඝාතනයට ලක්වනවා. ඒ අනුව අනීතික නිලධාරිවාදය, අනීතික ව්‍යාපාරික ප්‍රජාව, අනවශ්‍ය දේශපාලන බලපෑම් සහ ගොවි ජනතාවගේ නොසැලකිල්ල යන කරුණු මෙරට වන සතුන්ගෙන් වගා හානි සිදුවීමේ ගැටලුව උග්‍ර වීම කෙරෙහි බලපා තිබෙන බව නිරීක්ෂණය කළ හැකියි.
මෙයට කෙටිකාලීන ව ගත හැකි ක්‍රියාමාර්ග දෙයාකාර වන බවයි මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න පවසන්නේ. වගාවලට හානි කරන පළිබෝධ විශේෂ ශ්‍රී ලංකාවේ සම ව පැතිරී නැහැ. එක් එක් ප්‍රදේශවල පැතිරී ඇත්තේ වෙනස් පළිබෝධ. රටේ බව බෝග ව්‍යාප්තියත් සමාන නැහැ. මේ නිසා ඒ ඒ පළාත්වල බෝග ව්‍යාප්තිය සහ පළිබෝධ විශේෂ අතර ඇති සබඳතාව මෙහිදී හඳුනාගත යුතු වනවා.
අදහස් දක්වන මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න; “පළමු ව රිලවා, වඳුරා, අලියා වැනි වන සතුන්ට ආහාර ලබාදීම ජනතාව සම්පූර්ණයෙන් ම නවතා දැමිය යුතුයි. රතිඤ්ඤා යනාදිය භාවිත කරමින් සතුන් වගා බිම්වලින් පලවා හැරීම කළ යුත්තක්. අනීතික ලෙස අත්පත් කරගෙන තිබෙන ඉඩම් නැවත සතුන්ගේ භාවිතය වෙනුවෙන් වෙන් කළ යුතුයි. තවත් පියවරක් වන්නේ සත්ත්ව ගහන පාලනය වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීම. මේ මොහොතේ අප සිටින්නේ ගැටලුවට මුහුණ දී තිබෙන කලාප හඳුනා ගැනීමේ අදියරේ. ඕට්‍රේලියාව කැන්ගරුවන් මරා දැමීම, ඇමරිකාව මුවන් මැරීම යනාදී ලෝකයේ වෙනත් රටවල සිදුවීම් පූර්වාදර්ශ ලෙස ගෙන සතුන් මරා දමා ගහනය පාලනය අපේ සංස්කෘතියට අනුකූල වන්නේ නැහැ. එය ක්‍රියාත්මක වනවානම් ක්‍රියාත්මක විය යුත්තේ අවසාන විකල්පය ලෙස.”
ස්වාභාවික සම්පත් හා වන ජීවින් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම උරුමයක්. රටේ සංචාරක කර්මාන්තයෙහි අරටුව ලෙස ක්‍රියා කරන්නේ මේ උරුමය. රටේ ජනතාවගෙන් ලක්ෂ දෙකක පමණ පවුල් සෘජු ව ම තමාගේ ජීවිකාව සරි කර ගන්නේ සංචාරක ව්‍යාපාරයෙන්. වන සතුන් වගා හානි කිරීම ගොවියන්ට ගැටලුවක් වුවත් සංචාරක කර්මාන්තයේ නියැළෙන්නන්, පරිසරවේදින්, පරිසර සමතුලිතතාව සහ රටේ උරුමය සලකා බැලූ කල වන ජීවීන්ට ලැබෙන්නේ ප්රමුඛස්ථානයක්. මේ නිසා මේ ගැටලුව දෙස අප බැලිය යුත්තේ මධ්‍යස්ථ ව.