#දේශපාලන

46 වසක රාජ්‍යතාන්ත්‍රික මිතුදම

  • චන්දන මාරසිංහ

ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර සබඳතාවලට පවතින්නේ දීර්ඝ ඉතිහාසයක්. 1979 වසරේ ජූලි මාසයේදී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට විවෘත කිරීමත් සමග දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇරඹෙනවා.

එරට සිටින ලක්ෂ 03 ඉක්මවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් නිරත වන්නේ ඉහළ මට්ටමේ රැකියාවල. ඒ අනුව ලැබෙන විදෙස් ප්‍රේෂණ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කරන බලපෑම සුළුපටු නැහැ. ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර සුහදතාව වර්ධනය කර ගැනීම මෙන් ම ආර්ථික කටයුතු දියුණු කර ගැනීම සඳහා ගිවිසුම් කිහිපයක් ද අත්සන් කර තිබෙනවා. මිනිස් බල බඳවා ගැනීම් ගිවිසුම ද ඒ අතර මූලික වන්නක්. 2014 වසරේදී පිහිටුවා ගත් ඒකාබද්ධ කොමිසම ද දෙරටට වැදගත් වනවා.

මෙවැනි විදෙස් සබඳතාවක් පවතින පසුබිමක 2025 පෙබරවාරි 10 දින සිට පෙබරවාරි 13 දින දක්වා ජනාධිපති අනුර කුමාර දිසානායක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වුණේ එරට ජනාධිපති  Sheikh Mohamed bin Zayed Al Nahyan ගේ ආරාධනයකට අනුව. එය වත්මන් ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක සිදු කළ තෙවැනි විදෙස් නිල සංචාරය ලෙස ඉතිහාසයට එක් වනවා. එහිදී පසුබිම සැකසුණේ රටට වැදගත් වන වැඩපිළිවෙළ ගණනාවක තීරණ සඳහා එළඹීමට.

පෙබරවාරි 12 දින ශ්‍රී ලංකා ජනාධිපතිවරයා 2025 ලෝක රාජ්‍ය සමුළුව ඇමතුවේ අභියෝගවලට මුහුණ දීම සඳහා ගෝලීය පුරවැසියන් ලෙස සියලු දෙනාට පවතින වගකීම සිහිපත් කරමින්. මානව වර්ගයා සම්බන්ධයෙන් වැදගත් වන අංශවල අනාගත ගමන් මග සඳහා ද මේ සමුළුව වැදගත්. රටවල් 150ක පමණ නියෝජිතයන් 4000කට වැඩි පිරිසක් ඊට එක් ව සිටියා. මෙහිදී ජනාධිපතිවරයා පැවසුවේ “දේශසීමා ඉක්මවා යන අභියෝගවලට මුහුණදීම සඳහා අප ගෝලීය පුරවැසියන්

ලෙස එකට එක්විය යුතු බව මා යළිත් ඔබගේ අවධානයට යොමු කරනවා. මේ අභියෝගවලට මුහුණදීම සඳහා සාමුහික ගෝලීය ක්‍රියාමාර්ගයක් සහ ඒකාබද්ධ පෙරමුණක අවශ්‍යතාව තිබෙනවා.” යනුවෙන්.

ගෝලීයකරණය වූ වර්තමාන ලෝකයේ කිසිදු රටකට හුදකලාව ජීවත් වීමේ හැකියාවක් නැහැ. විශේෂයෙන් ලෝකය විවිධ කලාප මෙන් ම න්‍යායපත්‍ර අනුව බෙදී වෙන් වී සිටිනවා. එවැනි වාතාවරණයක ඇතිවන පීඩනය හමුවේ වැඩි ම බලපෑමක් එල්ල වන්නේ දුප්පත් රටවලට. එවිට සියලු පාර්ශ්ව එක් ව ක්‍රියා කිරීම වැදගත්. විවිධ අරමුණු අනුව බෙදී සිටිය ද අභියෝග හමුවේ එක් ව ක්‍රියා කිරීමෙන් ගැටලු විසඳා ගැනීමේ හැකියාව පවතිනවා. සමාජ ආරක්ෂණය, නීතියේ ආධිපත්‍යය මෙන් ම ප්‍රමිතිගත රාජ්‍ය ක්‍රමයක් වර්තමාන ලෝකයට අවශ්‍ය වනවා. එක් ව ලෝකය ගොඩනැගිය හැකි වන්නේ අවංක ව ඊට කැපවුවහොත් පමණයි. ඒ අනුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පළ කළ එම අදහස් කාලෝචිත සහ අතිශය වැදගත්.

2025 ලෝක රාජ්‍ය සමුළුවට (WGS) සහභාගි වීමට සමගාමී ව මේ සංචාරයේදී ද්වීපාර්ශ්වික සාකච්ඡා රැසක් පැවැත්වුණා. ජනාධිපති Sheikh Mohamed bin Zayed Al Nahyan සමග පැවැත් වූ සාකච්ඡාවලදී දෙරට අතර සහයෝගිතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට හැකි වුණා. ශ්‍රී ලංකාවට ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා තොරතුරු තාක්ෂණ, කෘත්‍රිම බුද්ධිය, බලශක්ති, සංචාරක, මූල්‍ය සහ ජනමාධ්‍ය යන අංශවල ප්‍රමුඛ පෙළේ ගෝලීය සමාගම්වල විධායක නිලධාරින් ගණනාවක් සමග ජනාධිපතිවරයා අදහස් හුවමාරු කර ගත්තා. කුවේට් අග්‍රාමාත්‍ය  Sheikh Ahmed Abdullah AI ahmad AI Sabah සමග පැවති සාකච්ඡාවලදී ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මෙරට පවතින අවස්ථා පිළිබඳ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එහිදී කරුණු පැහැදිලි කළා.

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන ක්‍රියාවලියේදී විදෙස් ආයෝජන මෙන් ම සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයටත් ප්‍රමුඛත්වය ලැබෙනවා. විශේෂයෙන් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමත් එහි ආදායම් වැඩි කර ගැනීමත් රජයේ සැලසුම්වලට ඇතුළත්. එමගින් නව ආදායම් උත්පාදනයට හැකියාව ලැබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම් ලබා ගැනීමේදී කුවේට් රාජ්‍යයෙන් ශ්‍රී ලංකාවට සහය හිමි වූ නිසා මිත්‍ර පාර්ශ්වයක් ලෙසට මේ සම්බන්ධතා වර්ධනය කර ගැනීම වැදගත්. ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අගමැතිවරයාට ස්තුතිය පළ කිරීමටත් අමතක කළේ නැහැ. විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලැබෙනවා. ඔවුන්ගෙන් විශාල පිරිසක් සේවය කරන්නේ මැදපෙරදිග කලාපයේ. කුවේට් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමික පිරිස 150,000ක් පමණ. මේ නිසා මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 700ක පමණ විදේශ ප්‍රෙෂණ ලැබෙනවා. මේ තත්ත්වය ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල ශක්තියක්. විදෙස් ශ්‍රමික රැකියා අවස්ථා වැඩිකර ගැනීමටත් මෙවැනි ද්වීපාර්ශ්වික සහයෝගිතාව වැදගත් වනවා.

පාකිස්තාන අගමැති Muhammad Shehbaz Sharif සමග ද ජනාධිපති අනුර කුමාර දිසානායක සාකච්ඡා පැවැත්වූවා. එහිදී වත්මන් ආණ්ඩුව ලැබූ ජයග්‍රහණ පිළිබඳ පාකිස්තාන අගමැතිවරයා ප්‍රශංසාව පළ කිරීම සුවිශේෂත්වයක්. අසල්වැසි රටක් වශයෙන් ඉන්දියාව සමග මෙන් ම පාකිස්තානය සමගත් සම්බන්ධතා වර්ධනය කරගත යුතු වනවාශ්‍රි ලංකා පකිස්ථාන වෙළෙඳාම ශකත්මිත් කිරීම, වෙළෙඳපොළ විවිධාංගීකරණය ගැනත් මෙහිදී අවධානය යොමු වුණා. මේ සාකච්ඡාවලදීත් මෙරට සංචාරක කර්මාන්තය සංවර්ධනය කරන ආකාරය ගැන විශේෂයෙන් කතාබහට ලක් ව

තිබෙනවා.

බ්‍රිතාන්‍ය හිටපු අගමැති ඔදබහ ඊක්සර සමග අදහස් හුවමාරුවේදී ඔහු පෙන්වා දී ඇත්තේ විවිධ ක්ෂේත්‍රවලට එරට දැනුම හා පුහුණුව ලබාගත හැකි ආකාරය පිළිබඳව. කෘෂිකර්මාන්තය වැනි ක්ෂේත්‍රවලට අදාළ විශේෂඥ දැනුම හා පුහුණුව ලබා ගැනීම කෙරෙහි එහිදී විශේෂ අවධානය යොමුවුණා. එය ඵලදායී ආර්ථික වැඩපිළිවෙළක් හඳුන්වා දීමේදී ඉතා වැදගත්. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, ආයෝජන අවස්ථා පිළිබඳවත් අදහස් පළ වී තිබෙනවා. ජනාධිපතිවරයා තවත් වැදගත් සාකච්ඡාවක නිරත වුණේ ඔරකල්  (Oracle) සමාගමේ විධායක උපසභාපති Mike Sicilia සමග. ඔරකල් යනු ලෝකයේ විශාලතම පරිගණක මෘදුකාංග සමාගමක්. ශ්‍රී ලංකාව මේ වන විට ඩිජිටල්කරණය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර අවසන්. එවැනි පසුබිමක ඇමරිකානු සමාගමක් වන ඔරකල් සමග කටයුතු කිරීමෙන් වාසි ගණනාවක් අත්කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ, ආර්ථික මෙන් ම පාලන කාර්යක්ෂමතාව වර්ධනය කර ගැනීම වෙනුවෙන්. ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය මෙන් ම ක්ලවුඩ් (Сloud) යටතට පහසුකම් ලබා ගැනීම පිළිබඳ ව අවධානය මෙහිදී යොමු වුණා. ඒ අනුව ඩිජිටල්කරණයට සහය වීමට ඔරකල් සමාගම කැමැත්ත පළ කර තිබෙන අතර මෙරට ක්‍රියාත්මක ඩිජිටල් ගෙවීම් පහසුකම් ඇති කිරීමේ වැඩසටහන ගැනත් සාකච්ඡා කර තිබෙනවා.

කොළඹ වරාය නගරයේ ඩිජිටල්කරණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට ජනාධිපතිවරයා කළ ආරාධනයට තමන් දැඩි උනන්දුවක් දක්වන බවයි ඔරකල් විධායක උපසභාපතිවරයා සඳහන් කළේ. එය දකුණු ආසියා කෘත්‍රිම බුද්ධිය (AI) සහ වලාකුළු මධ්‍යස්ථානය (Сloud Hub) ලෙසටත් ක්‍රියා කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල වාසියක් ගෙනෙන ව්‍යාපෘතියක් වනු ඇති. පාලන කාර්යක්ෂමතාව, ආර්ථික සංවර්ධනය සහ ගෝලීය තරගකාරීත්වය සඳහා ආයෝජන අවස්ථා. ජනාධිපතිවරයාගේ මේ සංචාරය අතරතුර තවත් වැදගත් ගිවිසුමකට එළඹීමට හැකිවුණා. එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග ආර්ථික හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම සඳහා ප්‍රවර්ධනය හා අන්‍යෝන්‍ය ආයෝජන ආරක්ෂණ ගිවිසුමකට එහිදී අත්සන් කර තිබෙනවා. ඊට අත්සන් කර තිබෙන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙනුවෙන් එහි මූල්‍ය කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය Mohamed Bin Hadi Al Hussaini. මේ ද්වීපාර්ශ්වික ගිවිසුමෙන් ගෝලීය වෙළෙඳපොළ ආයෝජන අවස්ථා පුළුල් කිරීමත් විදේශවල ආයෝජන ආරක්ෂා කිරීමත් වෙනුවෙන් ආරක්ෂිත නීතිමය රාමුවක් සපයනවා. ආයෝජකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් එහි කාර්යයක්.

ඕනෑ ම රටකට ආයෝජකයන් ආකර්ෂණය කරගත හැකි වන්නේ ඔවුන්ට පහසුකම් සැලසීමෙන් මෙන් ම ස්ථාවර සහ ආරක්ෂිත වටපිටාවක් ලබාදීමෙන්. ශ්‍රී ලංකාව විදේශ ආයෝජන දිරි ගැන්වීමේ වැඩසටහන්වලට වැඩි අවධානය යොමු කර තිබෙනවා. එවැනි අවස්ථාවක මෙවැනි ගිවිසුම්වලට එළඹීමෙන් ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු කරගැනීමේ හැකියාව පවතිනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජකයන් දිරිගැන්වීමත් මෙහි අරමුණක්. ද්විපාර්ශ්වික ආර්ථික සංවර්ධනය මෙන් ම මූල්‍ය ස්ථාවරත්වය රටකට අතිශයින් වැදගත් වනවා. ඇති කරගන්නා මෙවැනි ගිවිසුම්වලින් වන්නේ නීතිමය රාමුව ඔස්සේ එකිනෙකා කෙරෙහි විශ්වාසයෙන් යුතු ව ක්‍රියා කළ හැකි වීම. විනිවිද පෙනෙන ස්ථාවර පරිසරයක් සැකසීමට ද මෙවැනි ගිවිසුම් ඉවහල් වනවා. විශේෂයෙන් ඔරකල් වැනි සමාගම් ආකර්ෂණය කර ගැනීමටත් මේ විනිවිද බව හා ආරක්ෂණය ඉතා වැදගත්.