#දේශ විත්ති #දේශපාලන #සංවර්ධන

සේද මාවතේ සීරුවෙන් ගමන

  • ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ

වර්තමාන ජනාධිපතිවරයා ද මෙරට රාජ්‍ය තන්ත්‍රයේ පැවති සම්ප්‍රදායාන්‍රකූල විදෙස් සබඳතා පිළිවෙතට අනුගත වෙමින් නව රජයේ අන්තර්ජාතික සබඳතා ගමන්මග හෙළිපෙහෙළි කිරීමෙහි නිරත ව ඇති බව පෙනෙනවා. ජනාධිපතිවරයාගේ ඉන්දීය චාරිකාවෙන් දකුණු ආසියානු සබඳතාවලියේ කේන්ද්‍රස්ථානයට ආමන්ත්‍රණ‍ය කෙරුණා. චීන චාරිකාව සංකේතවත් කරන්නේ ආසියානු බල කේන්ද්‍රය වෙත අවතීර්ණ වීම.

සම්මුතිය ලෙස ද ඉතිහාසයට එක් වනවා. ගෝලීය සහල් හිඟය හා දේශීය නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම මත දැඩි සහල් අවශ්‍යතාවකින් පෙළුණු ශ්‍රී ලංකාවට සහල් සැපයීමත් ඈමරිකානු සම්බාධක නිසා රබර් ලබාගත නොහැකි ව කර්මාන්ත අකර්මණ්‍ය වන තැනට මුහුණ දී සිටි මහජන චීනයට රබර් සැපයීමත් ඉන් සිදු වුණා. ඉන් දෙපාර්ශ්වයේ අරමුණු වඩාත් සාධනීය ලෙස ඉටු වුණා.

ශ්‍රී ලංකා-චීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා

1956 වසරේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණු රජය බලයට පත්වීම ශ්‍රී ලංකා පාලනය හා විදෙස් පිළිවෙත දකුණේ සිට වමට බර එහෙත් මැද මාවතක් කරා යොමුවීම යන දේශපාලනික පෙරළි සනිටුහන් කළ වැදගත් සන්ධිස්ථානයක්. 1956 සැප්තැම්බර් 8 දින ශ්‍රී ලංකා ප්‍රථම රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස ශ්‍රීමත් ක්ලෝඩ් කොරයාගේ නායකත්වයෙන් එවකට මහජන චීනයේ අගනුවර වූ පීකිං වෙත පැමිණියේ තානාපති සබඳතා ඇරඹීමට පිඹුරුපත් සැකසීමට. ශ්‍රී ලංකාව අන්තර්ජාතික වේදිකාවලදී මහජන චීනයේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම ආරම්භ කළා. එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආර්. එස්. එස් ගුණවර්ධන ජගත් මහා මණ්ඩලය අමතමින් මහජන චීනයට එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය පිරිනැමීමේ වැදගත්කම අවධාරණය කළා. 1957 පෙබරවාරි මාසයේ 7 දින ශ්‍රී ලංකාවත් මහජන චීනයත් අතර තානාපති සබදතා ස්ථාපනය කෙරුණේ ද්විපාර්ශ්වික සහයෝගිතාව නැංවීමේ ඉහළතම ඵලය ලෙසින්. තානාපති සබඳතා පිහිටුවීම සනිටුහන් කිරීම සඳහා මහජන චීන රජයේ අග්‍රාමාත්‍ය චෞ එන් ලායි ශ්‍රී ලංංකාවේ රාජ්‍ය චාරිකාවක යෙදුණේ සාම්ප්‍රදායික සබඳතා පැවති රාජ්‍ය හැරුණුකොට අලුතෙන් බිහිවූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල පළමුවැන්න ඉතිහාසයේ සටහන් කරමින්.

නව ආණ්ඩුවේ විදෙස් පිළිවෙත

තානාපති සබඳතා බිහිවීමෙන් පසු මේ දක්වා බලයේ පැවති සෑම රජයක් ම මහජන චීනය සමග සුහද හා ඵලදායක සබඳතා

පවත්වාගෙන යාමට උත්සුක වුණා. වර්තමාන ජනාධිපතිවරයා ද මෙරට රාජ්‍ය තන්ත්‍රයේ පැවති සම්ප්‍රදායාන්‍රකූල විදෙස් සබඳතා පිළිවෙතට අනුගත වෙමින් නව රජයේ අන්තර්ජාතික සබඳතා ගමන්මග හෙළිපෙහෙළි කිරීමෙහි නිරත ව ඇති බව පෙනෙනවා. ජනාධිපතිවරයාගේ ඉන්දීය චාරිකාවෙන් දකුණු ආසියානු සබඳතාවලියේ කේන්ද්‍රස්ථානයට ආමන්ත්‍රණ‍ය කෙරුණා. චීන චාරිකාව සංකේතවත් කරන්නේ ආසියානු බල කේන්ද්‍රය වෙත අවතීර්ණ වීම. චීන ලංකා සබඳතා පිළිබඳ ඓතිහාසික පසුබිම වඩාත් පුළුල් ලෙස ගෙනහැර දැක්වීමට සිදුවූයේ වත්මන් ජනාධිපතිවරයාගේ චීන චාරිකාව, ශ්‍රී ලංකාව චීනය දෙසට වඩාත් නැඹුරුවීමක් ලෙස හැඟෙන ආකාරයෙන් මතු ව ඇති සංවාදාත්මක තත්ත්වය මුල්කරගෙන. මේ චාරිකාවේදී දෙරට අතර දේශපාලනික, ආර්ථික, සංස්කෘතික හා සමාජයීය යන ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගිතාව වර්ධනය කර ගැනිමේ ප්‍රවණතා වඩාත් හොදින් පිළිබිඹු වනවා. දේශපාලනික ක්ෂේත්‍රය ගත් කල රටක නව පාලනයක් බිහිවූ විට අන්තර්ජාතික තලයේදී වැදගත් වන්නේ එම පාලනයට කොතෙක්දුරට අන්තර්ජාතික ප්‍රජාවේ, එනම් සමීප හා දුරස් රටවල විශ්වාසය දිනාගත හැකි ද? යන කරුණ මත.

පොදුවේ ගත් කල රජයක් පිළිගත් අන්තර්ජාතික සම්මත, එනම් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සුරැකීම, නීතියේ ආධිපත්‍යය පවත්වා ගැනීම, සියලු‍ ජාතීන් හා ආගමිකයන් උදෙසා සමානාත්මතාව පවත්වා ගැනීම ආදී සංකල්පවලට පටහැනි ප්‍රතිපත්ති ප්‍රකාශයට පත් කරන්නේනම් හෝ ක්‍රියාත්මක කරන්නේනම් අන්තර්ජාතික ප්‍රජාව එම පාලනය පිළි නොගන්නා අතර එය පිටුදැකීම සඳහා සම්බාධක වැනි ප්‍රතිවාදී ක්‍රියාපිළිවෙත්වලට එළැඹෙනවා. පොදු අන්තර්ජාතික විශ්වාසය දිනා ගැනීම නමැති කඩුල්ල ලෙහෙසියෙන් පැන යාමට වත්මන් ජනපති ප්‍රමුඛ රජය සමත් වන්නේ ලැබූ ජනවරම හා යහපාලන සංකල්ප පදනම් කරගත් ප්‍රතිපත්ති ප්‍රකාශය නිසා. දෙවැනි ව එක් එක් රට සමග ද්වීපාර්ශ්වික විශ්වාසය තහවුරු කර ගැනීම. එය පොදු ක්‍රියාවලියට වඩා දුෂ්කර කාර්යයක්.

ඒ මන්දයත් පසමිතුරු ආකල්ප සහිත රාජ්‍ය සමග සහයෝගිතාවට එළැ‍ඹෙද්දී එම රටවල සංවේදී තත්ත්ව මොනවාද? එම සංවේදී තත්ත්ව මත පදනම් ව එකදු රටකට හෝ විශේෂයක් නොකර සමානාත්මතාව පදනම් කරගත් නොබැඳි පිළිවෙතක පිහිටා සිටීම. අනුන්ගේ ප්‍රශ්න අප අව‍බෝධ කරගත යුතු මෙන් ම අප එවැනි ප්‍රශ්නවලට අත පෙවීමෙන් වැළකිය යුතු වනවා. වත්මන් ජනාධිපතිවරයා සිය පළමු විදෙස් චාරිකාව වූ ඉන්දීය චාරිකාවේදී පැහැදිලි ව අවධාරණය කළේ ඉන්දියාවට තර්ජනයක් වන කිසිදු ක්‍රියාවකට හෝ පාර්ශ්වයකට ශ්‍රී ලංකා පොළොව හා මුහුද යොදා ගැනීමට අවසර නොදෙන බවට කළ ප්‍රතිඥාව.

ශ්‍රී ලංකා සබඳතාවලදී ඉන්දියාව වඩාත් සැලකිලිමත් වන්නේ ශ්‍රී ලංකාව තමන්ට අහිතකර පාර්ශ්වයකට එක්වීම වළක්වාලීමට. චීන චාරිකාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක චීනයට සංවේදී වශයෙන් ලබාදුන් වැදගත් ම පොරොන්දුව ‘එක චීනයක්’ ප්‍රතිපත්තියට අනුකූල වෙමින් ද්විපාර්ශ්වික සහයෝගිතාව පවත්වා ගැනීම. මෙය රටක් චීනය සමග සහයෝගිතාව පවත්වා ගැනීම සඳහා වන මූලික ම කොන්දේසිය. ‘එක චීනයක්’ පිළිවෙත තහවුරු කිරීමෙන් නව රජය ද මහජන චීනය සමග සහයෝගිතාව වර්ධනය කරගැනීමේ ස්ථාවරයේ සිටින වග ‍‍‍චීන පාලනයට තිරසර ලෙස දන්වා තිබෙනවා. ජනාධිපති අනුර හා ජනාධිපති ෂී ජින් පිං අතර සාකච්ඡාවලදී මූර්තිමත් කෙරුණේ ‘එක තීරයක්-එක මාවතක්’ වැඩසටහන හා චීන රාජ්‍ය සහයෝගිතාව මත පදනම් ව දෙරටට ම වාසිදායක ලෙස සබඳතා වර්ධනය කරගැනීමේ වැදගත්කම.

ශ්‍රී ලංකාව තවමත් 2022 ආර්ථික අර්බුදයේ පසු විපාකවලින් මිදී නැහැ. එහිලා වැදගත් වන මූලික සාධකයක් වන්නේ සාධනීය පදනමින් මෙරටට විදෙස් ආයෝජන ආකර්ෂණය කරගැනීම. ඇමරිකානු ඩොලර් බිලියන 3.7ක ායෝජනයක් සහිත සයිනොපෙක් ගිවිසුම මේ ජනාධිපතිවරයාගේ චීන චාරිකාවේදී සම්මත කෙරුණු අතර හම්බන්තොට වරාය ආශ්‍රිත ඛණිජතෙල් පිරිපහදුවක් ස්ථාපනය කිරීමයි ව්‍යාපෘතියේ අරමුණ. ඒ හැරුණුකොට චීන දැවැන්ත වෙළෙඳ හා තාක්ෂණ ආයතන නියෝජිතයන් සමග ජනාධිපතිවරයා පැවැත්වූ සාකච්ඡා වැදගත් වන්නේ එමගින් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා හා ප්‍රවණතා ගැන චීන දැවැන්ත ව්‍යාපාරික ආයතන දැනුවත් වීම. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා චීන එක්සිම් බැංකුව කැපවී ක්‍රියා කරන බව මේ චාරිකාවේදී අවධාරණය කෙරුණා.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සිව් දින චීන නිල සංචාරයේදී සමාජයීය ක්ෂේත්‍රයෙන් ද සහයෝගිතාව වර්ධනය කරගැනීමේ පියවර ගැනුණා. උදාහරණයක් වශයෙන් මේ චාරිකාවේදී දෙරට අතර අත්සන් කෙරුණු ගිවිසුම් 15 අතරින් රැසක් ම සමාජයීය හා සංස්කෘතික සහයෝගිතාව වර්ධනය කර ගැනීමට වැදගත්.

මෙරට රාජ්‍ය මාධ්‍ය හා චීන රාජ්‍ය මාධ්‍ය අතර සහයෝගිතාව නැංවීමේ ගිවිසුම් ඒ අතරින් මුල් තැනක් ගන්නවා. අප මෙතෙක් සඳහන් කළ කිසිදු ක්ෂේත්‍රයක් වෙනත් රටක බලපෑමට නතු වන්නේ නැහැ. එහෙත් චීනය හා ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය අංශයේ සමිපතාව අසල්වැසි ඉන්දියාව නොසතුටට පත්කරන්නක් වන්නට පුළුවන්. චීන ගවේෂණ නැව් ශ්‍රී ලංකා මුහුදු තීරයේ සැරිසැරීම කිසිසේත් අනුමත කළ නොහැකි යැයි ඉන්දියාව පැහැදිලි ව ම පවසා තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවට ගැටලු‍සහගත විය හැකි අංශයක්. අනෙක් අතට දැනට චීන සුපිරි තාක්ෂණ සමාගම් හා ඇමරිකානු-යුරෝපා ආණ්ඩු අතර පවතින්‍නේ දැඩි ගැටුමක්. ඇතැම් චීන සමාගම්වලට සම්බාධක පනවා තිබෙනවා. එවැනි ක්ෂෙත්‍ර සමග සම්බන්ධ වීම වඩාත් සැලකිලිමත් ආකාරයෙන් සිදු කළ යුත්තක්.

මෙරට අනෙකුත් ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාරවලට සාපේක්ෂ ව රටේ නිරික්ෂණය කළ හැකි තත්ත්වයක් වන්නේ වත්මන් ජනාධිපතිවරයාගේ විදෙස් චාරිකා සම්බන්ධ විවිධ මතවාද හා මතිමතාන්තර නිර්මාණය කිරීමේ වෑයමක් පැවතීම. යථාර්ථයට එහා ගිය සංකල්ප ඇතුළත් විවිධ සමාජ මාධ්‍ය හා ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය සටහන් වැඩිපුර දක්නට හැකිවීම අන් පාලන සමයවලට වඩා වෙනස් තත්ත්වයක්. උදාහරණයක් ලෙස ජනාධිපතිවරයාගේ චීන චාරිකාව ආරම්භයේදී පුළුල් වශයෙන් සංසරණය වූ සමාජ මාධ්‍ය විවරණයකින් කියැවුණේ ජනපති අනුර ‘එක චීනයක්’ ප්‍රතිපත්තිය පිළිගැනීම නිසා ඇමරිකාව උරණ වී ශ්‍රී ලංකාවට අහිතකර ඵලවිපාක ඇතිවිය හැකි යැයී කියා තිබීම. එහෙත් අල්ප තරමින් හෝ අන්තර්ජාතික දැනුමක් ඇති පුද්ගලයන් හොදින් දන්නා කරුණක් වන්නේ 1972 වසරේ මුලින් ම එක චීනයක් පිළිගත් රට වන්නේ ඇමරිකාව බව. රටවල් 180කට වැඩි ගණනක් හා මෙරට මෑතකාලීන සියලු ආණ්ඩු ‘එක චීනයක්’ මත පදනම් ව චීනය සමග සහයෝගිතාව පවත්වාගෙන තිබෙනවා.

මෙරට කුමන දේශපාලන දර්ශනයක් සහිත ආණ්ඩුවක් බලයට පත්වුව ද ඒ ඕනෑ ම ආණ්ඩුවකට සම්මත ගෝලීය රටාවට හා සංකීර්ණ අන්තර්ජාතික සබඳතා ජාලයට එක්වීමට සිදු වනවා. නව රජය ද සීරුවෙන් එම මග ඔස්සේ පිය නගන ආකාරයක් දැකගත හැකිවීම සාධනීය කරුණක්.