#විදේශ විත්ති

සඳ මෙහෙයුම

  • නිහාල් පීරිස්

කලකට පෙර අභ්‍යවකාශ ගවේෂණ ක්‍ෂේත්‍රයේ ඉදිරියෙන් ම සිටියේ ඇමරිකාව සහ රුසියාව යන රටවල් වුවත් චීනය ද මේ ක්‍ෂේත්‍රයේ වේගවත් ඉදිරි ගමනක නිරත ව සිටින බව නොරහසකි. අභ්‍යවකාශ ගවේෂණ ක්‍ෂේත්‍රයේ මෙයට පෙර කිසිවකුත් නොකළ තවත් ඓතිහාසික වික්‍රමයක් කිරීමට පසුගිය දිනවල චීනය සමත් විය. ඔවුන් මේ දස්කම කළේ සඳ ගවේෂණ ක්‍ෂේත්‍රයට අදාළවයි.

සඳෙහි කිසි විටෙක පෘථිවියට නොපෙනෙන අර්ධයක් තිබේ. එම අර්ධය ‘අඳුරු අර්ධය’ යන නමින් ද හැඳින්වේ. මෙය නිතර ම පෘථිවියෙන් ඉවතට මුහුණ ලා පිහිටන්නේ සඳ තමා වටා භ්‍රමණය වන වේගය සහ එය පෘථිවිය වටා ගමන් කරන වේගය සමාන වීම නිසා ය. ‘අඳුරු අර්ධය’ යන නමින් හැඳින්වුණත් මෙය අන්ධකාරයෙන් වැසුණු කලාපයක් නම් නොවේ. එයට ද සාමාන්‍ය ආකාරයෙන් හිරු එළිය පතිත වේ. එහෙත් ‘අඳුරු අර්ධය’ යන නම භාවිත වන්නේ එම අර්ධය කිසිදා පෘථිවියට නොපෙනීම නිසා ය.

මෙයට පෙර සඳ තරණයෙහි නිරත වූ ඇමරිකාව, රුසියාව වැනි රටවල් විවිධ අවස්ථාවල සඳෙහි පස් සහ ගල් සාම්පල පෘථිවියට රැගෙනවිත් තිබුණත් ඒ කිසිදු රටක් මේ අඳුරු අර්ධයෙන් එම සාම්පල රැගෙනවිත් තිබුණේ නැත. සඳ ගවේෂණ ඉතිහාසයේ පළමු වතාවට එම දස්කම කිරීමට සමත් වූයේ චීනයයි. මේ කලාපයෙන් මෙවැනි සාම්පල ගෙන ඒම තබා එම කලාපය මත යානයක් ගොඩ බැස්සවීම පවා ඉතා දුෂ්කර සහ අභියෝගාත්මක කාර්යයක් ලෙස සැලකේ. මේ අර්ධය මත යානයක් ගොඩ බැස්සවීමේදී යානය සඳට මුවා වීම හේතුවෙන් එය සහ පෘථිවිය අතර සන්නිවේදන සබඳතා අඩාල වීම ඊට හේතුවයි. එහෙත් චීනය මේ අභියෝගය ජය ගන්නට සමත් විය. එහිදී ඔවුන් යානය සමග සබඳතා පවත්වා ගත්තේ සඳට ඉහළින් ස්ථානගත කර තිබූ විශේෂ සන්නිවේදන චන්දි්‍රකාවක් ඔස්සේයි.

ඉතිහාසයේ පළමු වරට සඳෙහි අඳුරු අර්ධයෙන් පස් සාම්පල පෘථිවියට රැගෙන ආ චීන මෙහෙයුම හැඳින්වුණේ චැංග්’ඊ- 6 යන නමිනි. චැංග්’ඊ යනු චීනයේ පුරාණ කතාවල එන සඳට අධිපති දෙවඟනකගේ නමකි. මේ මෙහෙයුම ක්‍රියාත්මක කළේ චීනයේ ජාතික අභ්‍යවකාශ ආයතනයයි. චැංග්’ඊ 6 සිය ඓතිහාසික කාර්යය සඳහා චීනයේ හයිනාන් දූපතේ පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයකින් පිටත් වූයේ මැයි 3 දින ය.

මේ මෙහෙයුම මොඩියුල (Modules) කිහිපයක් ඔස්සේ ක්‍රියාත්මක වූවකි. සඳ වටා ගමන් කරන Orbiter මොඩියුලයක්, සඳ මත ගොඩ බසින Lander මොඩියුලයක්, සාම්පල සඳ මත සිට Orbiter මොඩියුලය වෙත රැගෙන එන Ascender මොඩියුලයක් සහ අවසානයේ එම සාම්පල පෘථිවිය වෙත රැගෙන එන Returner මොඩියුලයක් ඊට අයත් විය.

Lander මොඩියුලය පස් සාම්පල එකතු කිරීම සඳහා සඳ මත ගොඩබට ස්ථානය ද විශේෂ ස්ථානයකි. එයිට්කන් ද්‍රෝණිය නමින් හැඳින්වෙන එය සැලකෙන්නේ සූර්යග්‍රහ මණ්ඩලයේ පිහිටි විශාලතම ආවාටයක් ලෙසිනි. එය කෙතරම් විශාල අවාටයක් ද යත් එහි විශ්කම්භය කි.මී. 2,500ක් පමණ බව සඳහන් වේ. ගැඹුර කි.මී. 8කට ආසන්න ය.

මේ ආවාටය තුළට ගොඩ බැසීමෙන් පසු පස් සාම්පල එකතු කිරීමේ කාර්යය ආරම්භ වූ අතර එය සිදු වූයේ රොබෝ හැන්දක් සහ විදුම් උපකරණයක් ඇසුරෙනි. සාම්පල ගන්නා ලද්දේ සඳෙහි පෘෂ්ඨය මීටර 2ක් පමණ ගැඹුරට විදීමෙනි. මේ සාම්පල රැගත් ඍැඑමරබැර මොඩියුලය ජුනි 25 දින පෘථිවියට සේන්දු විය. චැංග්’ඊ- 6 හි සම්පූර්ණ ගමන සඳහා ගත වූ කාලය දින 53කට ආසන්න වූයේ ය.

සඳෙහි පස් සාම්පල පිළිබඳ අධ්‍යයනය කිරීමට විද්‍යාඥයන් මේ තරම් උනන්දුවක් දක්වන්නේ පෘථිවිය ඇතුළු සූර්යග්‍රහ මණ්ඩලයේ ආරම්භය සහ විකාශනය පිළිබඳ අවබෝධ කරගැනීමට ඒ ඔස්සේ හැකියාව ලැබෙන නිසා ය. චැංග්’ඊ 6 ගොඩබට යෝධ ආවාටය මෙයට වසර බිලියන 4කට පමණ පෙර ඇති වූවක් බව සඳහන් වේ.

සඳ මත ඇති ස්වාභාවික සම්පත් සම්බන්ධයෙන් ද යම් අවබෝධයක් ලබා ගැනීමට මේ සාම්පල අධ්‍යයනය කිරීමෙන් විද්‍යාඥයන්ට හැකියාව ලැබේ.

අනාගතයේ සඳ මත විද්‍යාගාර වැනි ඉදි කිරීම් කිරීමට ද විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති. මෙවැනි කාර්ය සඳහා භාවිත කිරීමට අදහස් කරන්නේ ද සඳේ පස්වලින් සාදා ගන්නා ගඩොල් ය. පස් සාම්පල පරීක්‍ෂා කිරීමෙන් මෙබඳු කාර්ය සඳහා උදව් වන තොරතුරු ද උකහා ගැනීමට හැකියාව තිබේ.

සඳෙහි පෘථිවියට පෙනෙන අර්ධයට වඩා මේ අර්ධයේ ඇති එක් විශේෂත්වයක් ලෙස සැලකෙන්නේ එහි ආවාට ආදිය අතීතයේ ගලා ගිය ලාවා වැනි දේවලින් එතරම් ආවරණය වී නොතිබීමයි. මේ නිසා වඩාත් නිවැරදි තොරතුරු ලබා දිය හැකි සාම්පල, වඩාත් පහසුවෙන් රැස් කර ගැනීමට හැකියාව ඇති බව විශ්වාස කෙරේ.

චීනය සඳෙහි අඳුරු අර්ධය මත යානයක් ගොඩ බැස්සවූයේ දෙවැනි වතාවටයි. පළමු වරට ඔවුන් මේ දස්කම කළේ 2019 වසරේ ය. එම මෙහෙයුම හැඳින්වුණේ චැංග්’ ඊ- 4 යන නමිනි. එය ද ඓතිහාසික මෙහෙයුමක් වූයේ ඊට පෙර කිසිදු රටක් මේ අඳුරු අර්ධය මත යානා ගොඩබස්සවා නොතිබූ බැවිනි. එහෙත් එම අවස්ථාවේ පස් සාම්පල ගෙන ඒමක් සිදු වූයේ නැත.

ඉදිරියේදී සඳ ඉලක්ක කර තවත් මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කිරීමට චීනය බලාපොරොත්තු වෙයි. 2026 වසරේ දියත් කරන චැංග්’ඊ-7 මෙහෙයුමෙන් සඳෙහි දක්‍ෂිණ ධ්‍රැව කලාපයට යානයක් ගොඩ බැස්සවීමට ඔවුන් සැලසුම් කර තිබේ. මේ කලාපය ද දැනට විද්‍යාඥයන්ගේ දැඩි අවධානයක් දිනාගෙන ඇත. මෙහි ඇති කිසිදා හිරු එළිය නොවැටෙන ගැඹුරු, සීතල ආවාට තුළ මිදුණු ජලය ඇතැයි විශ්වාස කෙරේ. මේ ජලය යොදාගෙන ඉන්ධන නිපදවීමට විද්‍යාඥයන්ගේ බලාපොරොත්තුවක් ඇත. එමෙන් ම අනාගතයේ සඳ මත ඉදිවන විද්‍යාගාර ආදිය සඳහා ද මේ ජලය යොදා ගැනීමට හැකියාව තිබේ. මේ දක්‍ෂිණ ධ්‍රැව කලාපය මත පළමු වරට යානයක් ගොඩ බැස්සවූයේ ඉන්දියාවයි. ඒ 2023 වසරේ දියත් කෙරුණු චන්‍ද්‍රයාන්-3 මෙහෙයුමෙන් ය.

2030 වසරට පෙර චීන අජටාකාශගාමියකු සඳ මත ගොඩ බැස්සවීම ද චීනයේ තවත් ඉලක්කයකි. මෙතෙක් මේ දස්කම කර ඇත්තේ ඇමරිකාව පමණි. 1960-70 දශකවල ක්‍රියාත්මක වූ ඇපලෝ වැඩසටහන යටතේ ඔවුහු සඳ වෙත අජටාකාශගාමීන් යැවූහ.