#විවිධ

යතිවර මාපිය නිවහන

සියවස් ගණනාවක් ජාතික අනන්‍යතාව, හික්මීම, සංස්කෘතික උරුමය සහ උසස් සදාචාරාත්මක පදනම සුරක්ෂිත කරන්නේ සම්බුද්ධ ශාසනයේ සෙවණ සලසන පූජනීය මහා සංඝරත්නය. තම ලෞකික අපේක්ෂා, පවුලේ අභිවෘද්ධිය කැප කරමින් සසුනට දරුවන් පූජා කළත් නිසි ස්ථිර සෙවණක් නොමැති ව දැඩි ආර්ථික අසීරුතාවලට මුහුණ දී සිටින දෙමාපියන් බොහෝ සිටිනවා. ඔවුන් වෙනුවෙන් ‘යතිවර මාපිය නිවහන’ ජාතික වැඩසටහන නොබෝදා ( සැප්තැම්බර් 19) රජය විසින් ආරම්භ කරන ලද්දේ බදුල්ල හාලිඇල, පට්ටියගෙදරදී.

මේ ජාතික වැඩසටහන හුදෙක් සාමාන්‍ය මට්ටමේ සහනාධාර ලබා දීමේ ව්‍යාපෘතියක් නොව එය බෞද්ධ සමාජයක මූලික පදනම වන ගිහි-පැවිදි සබඳතාව තවදුරටත් අර්ථවත් කරමින්, රාජ්‍ය අනුග්‍රහය සහිත ව සංකල්පගත කරන ජාතික මෙහෙවරක්. මේ උතුම් ශාසනික මෙහෙවර ක්‍රියාත්මක වන්නේ නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන්. ඒ යටතේ දිවයින පුරා දියත් වන ජාතික නිවාස වැඩසටහනට අනුබද්ධිත සුවිශේෂ ප්‍රමුඛතා ව්‍යාපෘතියක් ලෙසයි ‘යතිවර මාපිය නිවහන’ ජාතික ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ. මේ ව්‍යාපෘතිය සාර්ථක ව සහ විධිමත් ව ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය ආයතන සහ අමාත්‍යාංශ කිහිපයක් පූර්ණ නිරීක්ෂණය, සම්බන්ධීකරණය සහ සෘජු දායකත්වය ලබා දීමට තීරණය කර තිබෙනවා. මෙය බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියත් එක් ව වගකීම දරන ජාතික මට්ටමේ ක්‍රියාන්විතයක්.

යතිවර මාපියන්ගේ ශාසනික තොරතුරු, අදාළ විහාරස්ථාන සහ නිකාය සමඟ සජීවී ව සම්බන්ධීකරණය වෙමින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වැඩසටහනට අවශ්‍ය ශාසනික සහතිකය සහ අනුමැතිය ලබාදෙන අතර ව්‍යාපෘතියේ සමස්ත ප්‍රතිපත්තිමය මගපෙන්වීම, නියාමනය සහ රාජ්‍ය අංශයේ ප්‍රමුඛතා පාලනය සිදු කරන්නේ නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශය. සැබෑ ලෙස ම අසරණ වී සිටින යතිවර දෙමාපියන් හඳුනා ගැනීම සඳහා මේ ජාතික වැඩසටහන යටතේ අතිශය විනිවිදභාවයෙන් යුතු නිර්ණායක පද්ධතියක් අනුගමනය කරනවා.

‘යතිවර මාපිය නිවහන’ ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී සලකා බලන නිර්ණායක පිළිබඳ අදහස් දක්වන බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි; “ස්වාමීන් වහන්සේලා පැවිදි දිවියට ඇතුළත් කර වසර 05ක් සම්පූර්ණ වීම මූලික සුදුසුකමක්. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප්‍රාදේශීය ලේකම් වෙත යොමු කරනු ලබන අයදුම් පත් බෞද්ධ කටයුතු සමායෝජක හා බෞද්ධ කටයුතු ශාසනාරක්ෂක බලමණ්ඩල ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා මගින් විහාරස්ථාන කරා යොමු කළ යුතුයි. නිසි පරිදි සම්පූර්ණ කළ එම අයදුම් පත් අදාළ නිර්ණායක මත විමසා බැලීමෙනුයි තෝරා ගැනෙන්නේ. මේ ජාතික වැඩසටහන යටතේ සැලසුම් කර ඇති භෞතික සහ මූල්‍යමය දත්ත ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරයේ සෘජු මූල්‍ය ප්‍රතිපාදන මත පදනම් ව නිකුත් වීම විශේෂත්වයක්.“

‘යතිවර මාපිය නිවහන’ යනු ගඩොල් සහ සිමෙන්ති මත ගොඩනැඟෙන භෞතික නිවාස ව්‍යාපෘතියක් පමණක් නොව එය බෞද්ධ සමාජයක ගිහි-පැවිදි සබඳතාව තවදුරටත් අර්ථවත් කරන උතුම් සංස්කෘතික පියවරක්. නිවාස ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ පවසන පරිදි ‘යතිවර මාපිය නිවහන’ යටතේ නිවසක් ඉදිකර ගැනීම සඳහා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ලක්ෂ 15ක මුදලක් වෙන් කරනවා. ඒ, නැවත අය කර නොගන්නා පදනමින්. එය ආධාර මුදලක්. ඒ සමඟ ම මේ වැඩසටහන සඳහා තාක්ෂණික දායකත්වයත් අධීක්ෂණයත් රජය සිදු කරනවා.

මේ වැඩසටහනේ පළමු පියවර ලෙස ප්‍රමුඛතාව සහිත යතිවර මාපියන් වෙනුවෙන් නිවාස  270ක් ඉදිකිරීම ආරම්භ කර ඇති අතර මෙහි අවසාන අරමුණ වන්නේ දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි අදියර කිහිපයක් යටතේ නිවාස 1000ක් ඉදිකිරීම. නිවාස 1000 සඳහා වෙන් කර ඇති මුළු මුදල රුපියල් මිලියන 1500ක්.

රජයේ අරමුදල්වලට අමතර ව ග්‍රාමීය ප්‍රජාවගේ සහ දායක සභාවල ශ්‍රම දායකත්වය ද එක්කර ගැනීම මේ ව්‍යාපෘතියේ තවත් ලක්ෂණයක්. මේ පිළිබද අදහස් දක්වන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ; “සුවපහසු නිවසක් ඉදිකර ගැනීමට ප්‍රජා දායකත්වය ලබා දීම සඳහා සෑම ග්‍රාම නිලධාරී වසමක ම ප්‍රජා ශක්ති යාන්ත්‍රණය ස්ථාපිත කර තිබෙනවා. මෙහිදී රජය සහ ප්‍රජා දායකත්වය, පවුලේ දායකත්වය සහ ගමේ දායකත්වය සහිත ව ලක්ෂ 20-25ක පමණ වටිනාකමක් ඇති ජීවත් වීමට සුදුසු සුවපහසු අංග සම්පූර්ණ නිවසක් මේ භික්ෂූන් වහන්සේලාගේ දෙමාපියන්ට ලබාදීමයි අපගේ අපේක්ෂාව.” ග්‍රාමීය මට්ටමින්  නිවාස ඉදිකිරීම සඳහා මෙලෙස ගම්වාසීන්, ප්‍රජා සංවිධාන, රාජ්‍ය නිලධාරින් සහ විහාරස්ථාන එකමුතු වී ශ්‍රම දායකත්වය ලබා දීමෙන් ගිහි සහ පැවිදි පාර්ශ්ව අතර පවතින අන්‍යෝන්‍ය සබඳතාව සහ ගෞරවය තවදුරටත් ශක්තිමත් වීමත් මේ වැඩසටහනෙන් සමාජයට ලැබෙන ඵලදායී ආයෝජනයක්.

තම මව්පියන් අසනීපයෙන් හෝ අබලන් වූ තාවකාලික පැල්පතක හෝ වෙසෙන බව දකින සාමණේර, උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට සිතේ සහනයෙන් යුතු ව ශාසනික මෙහෙවරෙහි යෙදෙන්නට හැකියාවක් නැහැ. තම මව්පියන් සුරක්ෂිත, ගෞරවනීය සෙවණක වෙසෙන බව දැනීම ශාසනය බාර සංඝ රත්නයට ද නිරවුල් මනසින් සිය ශාසනික මෙහෙවරෙහි යෙදීමට මහත් පිටිවහලක් සහ ආශීර්වාදයක්. තමන් සසුනට පූජා කළ දරුවන් වෙනුවෙන් රජය සහ සමාජය දක්වන මේ ගෞරවනීය රැකවරණය, ඉදිරියේදීත් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා තම දරුවන් සසුනට පූජා කිරීමට දෙමාපියන් තුළ ඇති උනන්දුව සහ භක්තිය වැඩිදියුණු විමක්.

ඉමේෂා මදුශානි