#සෞඛ්‍ය

මොකක් ද? මේ Sepsis

ලෝක සෙප්සිස් දිනය (World Sepsis Day) සෑම වසරක ම සැප්තැම්බර් 13 දිනට යෙදී තිබෙනවා. 2012 වසරේ නම් කෙරුණු එම දිනයත් සමඟ ගෝලීය සෙප්සිස් සන්ධානය (Global Sepsis Alliance) සැප්තැම්බර් මාසය හඳුන්වන්නේ සෙප්සිස් රෝගී තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ මාසය ලෙස. මෙවර එහි තේමාව වන්නේ ‘ Invest In sepsis -Save lives’ යන්න.


ඉහළ ආදායම් ලබන රටවල සෙප්සිස් රෝගියෙකු සඳහා රෝහල් මට්ටමින් සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් 32,000ක් ඉක්මවන පිරිවැයක් දරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරනවා. එම සංවිධානයට අනුව ලොව වැඩි ම සෙප්සිස් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ උප සහරා අප්‍රිකාව, අග්නිදිග ආසියාව, නැගෙනහිර ආසියාව, දකුණු ආසියාව සහ අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල. එයින් 85%ක් පමණ මරණ සිදු වන්නේ අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල බවයි ගෝලීය සෙප්සිස් සන්ධානයේ දත්ත පෙන්වා දෙන්නේ.


ලෝක සෞඛ්‍ය සංවිධානය (World Health Organization) සඳහන් කරන ආකාරයට සෙප්සිස් යනු ලෝකයේ මරණ සිදුවන පොදු රෝග තත්ත්වයක් වුවත් නිශ්චිත විශ්වසනීය දත්ත රැස්කිරීමේ අභියෝග රැසක් පවතිනවා. වාර්ෂික ව ලෝකයේ සෙප්සිස් රෝගයට ගොදුරු වන පිරිස මිලියන 50ක්. එය ශ්‍රී ලංකාවේ ජනගහනය මෙන් දෙගුණයකටත් වඩා වැඩි බව පැහැදිලි වන්නක්. එම රෝගීන් මිලියන 50න් 20%ක් මේ රෝගය හේතුවෙන් මිය යන බවයි ගෝලීය සෙප්සිස් සන්ධානයේ දත්ත තහවුරු කරන්නේ. ඊට අමතර ව සෑම තත්පර 3කට වරක් සෙප්සිස් නිසා මරණ සිදු වන අතර ලෝකයේ සෑම මරණ 5:1ක් මේ රෝගය නිසා සිදු වීම කණගාටුවට කරුණක්.


සෙප්සිස් යනු ආසාදනයකට ශරීරයේ දැඩි ප්‍රතිචාරය. වෛද්‍ය විද්‍යාව අනුව එය ජීවිතයට තර්ජනයක් වන හදිසි අවස්ථාවක්. ඕනෑ ම අයෙකුට ඕනෑ ම ආකාරයේ ආසාදනයක් විය හැකි අතර ඕනෑ ම ආසාදනයක් සෙප්සිස්වලට හේතු විය හැකියි. ඉක්මන් ප්‍රතිකාර නොමැති වූ විට පටක හානි සිදු වී අවයව අකර්මණ්‍ය වී මරණයට හේතු විය හැකි බවයි ශ්‍රී ලංකා ජාතික මහ රෝහලේ ක්ෂුද්‍ර ජීවී විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේන් කොතලාවල අවධාරණය කරන්නේ. සෙප්සිස් රෝගී තත්ත්වය ඇති වන ආකාරය සම්බන්ධයෙන් අදහස් දක්වන ඔහු; “සෙප්සිස් යනු සිරුරේ ඇති වන්නා වූ කායික රෝගී තත්ත්වයක්. බැක්ටීරියාවක්, වෛරසයක්, දිලීරයක් ශරීරගත වන අවස්ථාවේදී අපේ සිරුර සැකසී ඇත්තේ ඒවාට විරුද්ධ ව ක්‍රියාත්මක වීමට. එහෙත් මේ සෙප්සිස් තත්ත්වයේදී සිදුවන්නේ සිරුරෙන් ඇති කරන්නා වූ ප්‍රතිචාරය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක නොවී සියලු පද්ධති අකර්මණ්‍ය කරමින් මරණයට පත් කිරීම. ඒ නිසා මේ රෝගය පිළිබඳව දැනුවත් ව සිටීම වඩා වැදගත්. මෙහි රෝග විනිශ්චය කර ගැනීම ඉතා අසීරු කාර්යයක්. හේතුව එහි මුල් අවස්ථාවේදී ඇතිවන්නා වූ රෝග ලක්ෂණ බොහෝ විට සාමාන්‍ය වෛරස් හෝ බැක්ටීරියා උණකට හෝ ඇති වන රෝග ලක්ෂණ හා සමාන වන නිසා. මුල් අවස්ථාවේදී ම රෝග විනිශ්චයෙන් පමණක් රෝගය පාලනයට සහ වළක්වා ගැනීමට පුළුවන්. එහෙත් රෝගය උත්සන්න වුවහොත් එය පාලනය කර ගැනීම අපහසු වන නිසා සෑම පුද්ගලයෙක් ම මේ රෝගය පිළිබඳ අවබෝධයෙන් සිටීමයි වඩා වැදගත්”.


සෙප්සිස්වලට තුඩුදෙන ආසාදන බොහෝ විට ආරම්භ වන්නේ ආමාශ ආන්ත්‍රික මාර්ගය, පෙණහලු, සම හා මුත්‍රා මාර්ගය ආශ්‍රිත ව. අධික වෙහෙසක් දැනීම, අධික උණ, ඇලෙනසුලු හෝ දහඩිය සහිත සම, අධික වේදනාවක් හෝ අපහසුතාවක් දැනීම, උණ නොමැති ව වෙවුලීම හෝ අධික සීතලක් දැනීම, මුත්‍රා අඩුවෙන් පිටවීම, ඉහළ හෘද ස්පන්දන වේගය හෝ දුර්වල ස්පන්දනය, හුස්ම හිරවීම වැනි ලක්ෂණයක් හෝ ලක්ෂණ කිහිපයක් හෝ සෙප්සිස් ඇති පුද්ගලයෙකුට තිබිය හැකියි. මෙවැනි රෝග ලක්ෂණ ඇති වූ අවස්ථාවලදී නොසලකා නොහැර රජයේ පිළිගත් රෝහලක් වෙත ගොස් වෛද්‍ය උපදෙස් සඳහා යොමු වීම අත්‍යවශ්‍ය කාරණයක් බව විශේෂඥ වෛද්‍ය මහේන් කොතලාවල පෙන්වා දෙනවා.
අවුරුදු 5ට අඩු දරුවන්, ගර්භිණී මව්වරු හා දරු ප්‍රසූතියෙන් පසු කාන්තාවන්, අවුරුදු 65ට වැඩි වැඩිහිටි පුද්ගලයන්, අනතුරුවලට ලක් වූ පුද්ගලයන් හා ප්‍රතිකාර ලබන්නන්, දියවැඩියාව, වකුගඩු සහ ආමාශගත රෝග වැනි දීර්ඝකාලීන රෝගවලට ප්‍රතිකාර ලබන්නන්, සෙප්සිස් රෝගයෙන් දිවි ගලවා ගත් පුද්ගලයන් මේ රෝගයේ අවදානම් කාණ්ඩ යටතට ගැනෙනවා. එහෙත් ඕනෑ ම නිරෝගි පුද්ගලයෙකුට රෝගය වැලඳීමේ අවකාශය තිබෙනවා.


යම් පුද්ගලයෙකුට මේ රෝගී තත්ත්වය ඇති බවට සැකයක් ඇති වුවහොත් ක්‍රියාත්මක විය යුතු ආකාරය සහ රෝගය තහවුරු වුවහොත් ප්‍රතිකාර ලබා දෙන ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි කරන නිර්වින්දන සහ දැඩි සත්කාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය චමිලා ලියනගේ; “රෝග ලක්ෂණ සම්බන්ධයෙන් සැකයක් පවතී නම් හැකි ඉක්මනින් රෝහල්ගත වීමයි වඩා වැදගත්. එහිදී රෝගියා අධ්‍යයනය කර, ලේ සාම්පල ලබාගෙන රෝගි බව තහවුරු කර පැයක් ඇතුළත ප්‍රතිජීවක ලබා දීම ආරම්භ කළ යුතුයි. ඒ අවස්ථාවේදී රෝගියාගේ අනෙකුත් සංකූලතා සමඟ ඔහුට/ඇයට ඇත්තේ හෘදයාබාධයක් සම්බන්ධ ව හෝ අඩු රුධිර පීඩන තත්ත්වයක් හෝ ශ්වසන ආබාධයක් හෝ නම් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ක්‍රියා කරනවා. මෙහිදී කායික හා මානසික රෝග යන සියල්ලට ම වෙන් වෙන් ව ප්‍රතිකාර ලබාදීමයි වැදගත්. සෙප්සිස් වැලඳී රෝහල්ගත වූ පමණින් ම සුව වනවා යන්න සිතීම නිවැරදි නැහැ. විශේෂයෙන් රෝහල්ගත වන අයගෙන් 60%-70%ක් පූර්ණ සුවය ලබනවා. එහෙත් 30%-40%ක් අතර පිරිසක් පූර්ණ සුවය ලබන්නේ නැහැ. ඒ පිරිසට විවිධාකාරයේ කායික හා මානසික සංකූලතා ඇති වීමට වැඩි ඉඩක් පවතිනවා”.


ආසාදන වැළැක්වීම සම්බන්ධයෙන් සැලකිලිමත් වීම (දෑත් පිරිසිදු ව තබා ගැනීම හා මුහුණු ආවරණ පැලඳීම වැනි), යහපත් සනීපාරක්ෂක පුරුදු පිළිපැදීම, රෝග ලක්ෂණ පිළිබඳ දැනුවත් බව හා ක්ෂණික ව ක්‍රියාත්මක වීම, සමබර ආහාර වේලක් ගැනීම හා ඉහළ ප්‍රතිශක්තිකරණයක් පවත්වාගෙන යාම සෙප්සිස් රෝගය වැළැක්වීමේ උපායමාර්ග.


2030 වසර වන විට සෙප්සිස් රෝගයට ප්‍රතිකාර නොකර සෞඛ්‍යට අදාළ තිරසර සංවර්ධන ඉලක්ක (ීSustainable Development Goals) සපුරා ගැනීම අපහසු කාරණාවක්. අවම වශයෙන් නව සෙප්සිස් රෝගින් මිලියන 12ක් වැළැක්වීම සහ අවම වශයෙන් මිලියන 2ක ජීවිත බේරා ගැනීම අභිලාෂයක් බවයි 2030 සෙප්සිස් ගෝලීය න්‍යාය පත්‍රයේ පැහැදිලි ව දක්වා ඇත්තේ.

මෙවර තේමාවට අදාළ ව මූල්‍යමය ආයෝජනයට එහා ගිය ජීවිත බේරා ගැනීමේ ක්‍රම තිබෙන්නේ ගණනාවක්. විශේෂයෙන් ප්‍රතිපත්ති සැකසීම හා රෝහල් පද්ධතිය දියුණු කිරීම ඔස්සේ ආයෝජනය කිරීමට රාජ්‍ය පාලකයන්ට අවස්ථාව තිබෙනවා. වඩා වැදගත් කාරණාව වන්නේ රෝගී වීමට ප්‍රථම සමාජය දැනුවත් කිරීම සහ රෝගී වූ පිරිස් කායික ව හා මානසික ව නගා සිටුවීමට ක්‍රියාත්මක වීම. ඒ අනුව වෛද්‍යවරුන් ලෙස තවදුරටත් නව දැනුම සමග මේ සම්බන්ධයෙන් වැඩමුළු පැවැත්වීමට සූදානම් බවයි විශේෂඥ වෛද්‍ය චමිලා ලියනගේ සඳහන් කරන්නේ. මේ රෝගය වෙනුවෙන් නව නිපැයුම්කරුවන්ට නව එන්නත් හා ඖෂධ සැකසීමෙන් දායකවීමට පුළුවන්. රටක පුරවැසියන් ලෙස කළ හැකි නිවැරදි ම ආයෝජනය වන්නේ සෙප්සිස් රෝගය පිළිබඳ දැනුවත්වීම හා දැනුවත් කිරීමට හැකි උපරිමයෙන් දායකවෙමින් තම වගකීම ඉටු කිරීමට වගවීම.


රංගිකා අබේසේකර

මොකක් ද? මේ Sepsis

මොකක් ද? මේ Sepsis