ජීවිත විසල් කරන සුයාමය
සාහිත්‍ය කෘතියක් දෑතට ගත්විට විස්තර කළ නොහැකි යම් සතුටුදායක හැඟීමක් අපට දැනෙනවා. යම් විටෙක එය අප කුඩා අවදියේ කතන්දර පොතක් ඉතා ආසාවකින් රැගෙන සිටි විට දැනුණ හැඟීමේ, පොතේ සුවඳේ මතකය සමඟ මුසු වුවක් විය හැකියි. සාහිත්‍ය කෘතියක් යනු එය නිම වී තිබෙන ද්‍රව්‍යාත්මක දෙයට වඩා වෙනත් වටිනාකමක් තිබෙන බව අපට හැඟෙනවා. සාහිත්‍ය කෘතියක් සමඟ පාඨකයෙකුට පවතින්නේ භාවාත්මක මෙන් ම බුද්ධිමය බැඳිමක්. ඒ අනුව සාහිත්‍ය කෘතියක් යනු සෞන්දර්ය වස්තුවක් ලෙසයි අර්ථකථනය වන්නේ. එයින් අදහස් වන්නේ කෘතිය නමැති භෞතික ස්පර්ශිත වස්තුව පමණක් නොව එම කෘතියේ අන්තර්ගත සාහිත්‍ය නම් අස්පර්ශනීය වූ කලාත්මක දෙය ද සෞන්දර්ය වස්තුවක් බවට පත් වන වග. කාව්‍ය කෘතියකදී එම කෘතිය මෙන් ම එහි අඩංගු කාව්‍ය නිර්මාණයක් ද සෞන්දර්ය වස්තුවක් ලෙසයි හඳුනා ගැනෙන්නේ.
සාහිත්‍යය යන්නට නවකතා, කෙටිකතා, කවි, ගේය පද, චරිතාපදාන, සංචාරක අත්දැකීම්, ජීවිත අත්දැකීම්, මුද්‍රිත නාට්‍ය පිටපත්, මුද්‍රිත සිනමා පිටපත් ආදිය ගැනෙනවා. එමෙන් ම ළමා සාහිත්‍යය, යොවුන් සාහිත්‍යය ආදී ප්‍රවර්ග ලෙස ද එය දැකිය හැකියි.
සාහිත්‍ය කෘතියක් සමඟ පාඨකයෙකු සෘජු ලෙස ම සම්බන්ධ වන්නේ එම පාඨකයා කියවීම නමැති ක්‍රියාකාරිත්වයට යොමු වීමෙන්. මෙහිදී සාහිත්‍ය කෘතිය සමඟ වඩාත් අර්ථාන්විත ලෙස සම්බන්ධ වීම එනම් එම කෘතිය නැවත නැවත කියවමින්, එය රස විඳ ගනිමින්, එයින් විවිධ අර්ථ මතු කර ගැනීමට උත්සාහ ගනිමින් කියවන්නා සක්‍රිය පාඨකයෙක්.
සාහිත්‍ය කෘතියකට පූර්ණ අර්ථයක් ලැබෙන්නේ එම කෘතිය සක්‍රිය පාඨකයෙකුගේ පාඨනයට යොමුවීමෙන්. එලෙස සාහිත්‍ය කියවීමට යොමුවීම යනු පාඨකයෙකු තමන් ජීවත්වන සමාජයේ සංස්කෘතිය නිපදවීමට දායකවීමක්. එනම් සාහිත්‍ය කියවීම යනු තනි පුද්ගල ක්‍රියාකාරිත්වයක් වුවත් එය එම සමාජයේ සංස්කෘතික නිෂ්පාදනයේ සාමුහික දායකත්වයකට එක්වීමක්. සමාජයක නිශ්චිත කාල අවකාශයක ඒක පුද්ගල කියවීමේ පැය ගණන යනු සංස්කෘතික සංවර්ධනය පිළිබඳ නියැදියක්. එනම් උද්යෝගී සක්‍රිය සාහිත්‍ය පාඨනය යනු හුදෙකලා ක්‍රියාවක් ඉක්ම වූ සමාජීය ක්‍රියාකාරකමක්.
සැප්තැම්බර් යන භාෂා හැඟවුම්කාරකය සමඟ සාහිත්‍ය පොත්පත්, පොත් ප්‍රදර්ශන, සාහිත්‍ය දේශන, සාහිත්‍ය සංවාද, සාහිත්‍ය කියවීම ආදී හැඟවුම් ගණනාවක් මතු වෙනවා. මෙරට සාහිත්‍ය මාසයක් ස්ථාපිතවීම හා මුල් ම රාජ්‍ය සාහිත්‍ය උත්සවයක් ආරම්භ වීම යනු නූතනවාදී බුද්ධිමය ප්රවේශයේ අවස්ථාවක් ලෙසට හඳුනා ගත හැකියි. 20 වැනි සියවස මධ්‍යයේදී එනම් 1957 වසරේ සැප්තැම්බර් මස 07 සහ 08 දිනවල ජයවර්ධනපුර කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙනේදී පවත්වන ලද ප්‍රථම රාජ්‍ය සාහිත්‍ය උත්සවය යනු සැප්තැම්බර් මාසය සහ සාහිත්‍යය යන්න එක් ව බැඳෙන්නක් බවට පත්වීමේ මූලික අවස්ථාවක්. ඊට වසරකට පූර්ව සැප්තැම්බරයේදී ම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ස්ථාපිත වීමත් සැප්තැම්බර් සංස්කෘතික උරුමයේ ම අවස්ථාවක් ලෙස හඳුනා ගත හැකියි.
සැප්තැම්බර් මාසය අන්තර්ජාතික වශයෙන් වෙන් ව ඇත්තේ අන්තර්ජාතික සාක්ෂරතා මාසය (International
Literacy Month) වශයෙන්. එම දිනය යෙදී ඇත්තේ සැප්තැම්බර් මස 08 දිනට. යුනෙස්කෝ ආයතනය එම මාසය හා එම දිනය වෙන්කර ඇත්තේ සාක්ෂරතාව යනු මූලික මානව අයිතියක් සහ එය මානව ගරුත්වය සඳහා පදනමක් ලෙස පිළිගනිමින්. සාක්ෂරතාව සහ සාහිත්‍යය අතර පවතින්නේ අන්‍යෝන්‍ය සබඳතාවක්. භාෂාව සිය ප්‍රකාශන මාධ්‍යය වූ සාහිත්‍යය හැඳින ගැනීමට සහ රසවිඳ ගැනීමට රසික සමාජයකට අවස්ථාව මූලික ව ම ලැබෙන්නේ සාක්ෂරතාවෙන්. එමෙන් ම නිර්මාණ සාහිත්‍ය පරිශීලනයෙන් ද සිදු වන්නේ එම සමාජයේ සාක්ෂරතාවේ සංවර්ධනයක්. ඒ අනුව අන්තර්ජාතික සාක්ෂරතා මාසයේ ම සාහිත්‍ය මාසය එක් ව තිබීම මනා ගැළපීමක්.
වර්තමානය වන විට තරුණ වියේ සහ නව යොවුන් වියේ පසු වන්නේ Z පරම්පරාව. මේ පරම්පරාවට උරුම ව පවතින සමාජ අවස්ථාව වන්නේ සංඛ්‍යාංක තාක්ෂණික ලෝකයට අනුගත වීම. මේ දෙන ලද අතථ්‍ය සමාජ අවස්ථාවෙහි සාහිත්‍ය කෘතියක් කියවීම යනු අභියෝගාත්මක වූවක්.
‘කියවීම මිනිසා සම්පූර්ණ කරයි’ යන යෙදුම මනසට හුරුපුරුදු ලෙස හැඟෙන යෙදුමක් වුවත් එහි ගැඹුරු හා පෘථුල අර්ථය නැවත විමසා බැලීමට සිදු වෙනවා. මහාකවි විලියම් ශේක්ෂ්පියර්ට සමකාලීන ඉංග්‍රීසි දාර්ශනිකයෙකු හා ලේඛකයෙකු වූ ප්‍රැන්සිස් බේකන් (1561-1626) විද්වතාගේ මේ ප්‍රකාශය අද දවසේ තරුණ, නව යොවුන් පරම්පරාව හමුවේ සහ අනාගත ඇල්ෆා පරම්පරාව (2013 සිට 2029 දක්වා අයත් යැයි සැලකෙන) හමුවේත් තාර්කික බව පැහැදිලි වෙනවා.
සාහිත්‍ය කියවීමේ මානව අදාළතාව පිළිබඳ වැඩි අවධානයක් යොමු ව ඇති පර්යේෂණ ක්ෂේත්රයක් වන්නේ ස්නායු හා මනෝවිද්‍යා ක්ෂේත්රය. ඒ පිළිබඳ මෑත අවදියේ පර්යේෂණ ලිපි ගණනාවක් ම සම්පාදනය වී තිබෙනවා. එම පර්යේෂණවලදී අවධානයට යොමු වී ඇති කරුණක් වන්නේ ප්‍රබන්ධ හා නවකතා පාඨනයට යොමුවීමෙන් මිනිස් මොළයේ ක්‍රියාකාරිත්වයට, සමාජීය කුසලතාවලට සහ මානසික සෞඛ්‍යයට ධනාත්මක බලපෑම් සිදු කරන බව.
විශේෂයෙන් නිර්මාණාත්මක සාහිත්‍ය පාඨනයට යොමුවීමෙන් අන් අයගේ සිතිවිලි, අදහස් සහ හැඟීම් තේරුම් ගැනීමේ හැකියාව ඉහළ මට්ටමක තිබීමේ හැකියාව පැවතීම හඳුනාගෙන තිබෙන්නක්. සමාව දීම හා සානුකම්පිත බව (Empathy) මෙන් ම සහෝදරාත්මක හැඟීම් වර්ධනය වන බව ප්‍රබන්ධ සාහිත්‍ය පරිශීලනයට යොමු වූ ළමා හා යොවුන් පාඨකයන් ඇසුරෙන් හඳුනාගෙන තිබෙනවා.
මොළයේ සන්නිවේදන හැකියාව වැඩිදියුණු බව මෙන් ම මනසේ සන්සුන් බව ද සාහිත්‍ය පාඨනයේ ධනාත්මක බලපෑම් බව අනාවරණය වූවක්. පාඨකයෙකුට තම ජීවිත අත්දැකීම්වල සීමිතතා ඉක්මවා යමින් මුළු මානව සමාජය මෙන් ම පාරිසරික ජීවී ලෝකය පිළිබඳ ව ද ස්වීය වූ ආත්මීය කලාපයකට පිවිසීමට සාහිත්‍ය පරිශීලනයෙන් හැකියාව ලැබෙනවා.
සක්‍රිය පාඨකයෙකුට තම ලිංගිකමය, වාර්ගිකමය, සංස්කෘතිකමය, භූ-දේශපාලනිකමය කලාප ඉක්මවා විසල් පර්යාලෝකයකට සාහිත්‍ය පරිශීලනයෙන් පිවිසිය හැකියි. නිදසුනකට උතුරු අත්ලාන්තික් සාගරය සැබෑ ලෙස අත්දකින්නට නොලැබුණු පාඨකයෙකුට වුවත් මහල්ලා සහ මුහුද නවකතාවෙන් එම සාගරය ස්වීය ආත්මීය අත්දැකීම් කලාපයක් බවට පත්වෙනවා.
යම් විටක සාහිත්‍යමය අත්දැකීම අතීත ම අවදියක කාල-අවකාශයක් පිළිබඳ විය හැකියි. උදා නොවූ අනාගත ජීවිත අවස්ථාවක් විය හැකියි. නොඑසේ නම් තථ්‍ය ලෝකයට අයත් නොවන මායා යථාර්ථවාදී ලෝකයක් හෝ ජීවිත අත්දැකීම් නිරූපණයක් හෝ විය හැකියි. සාහිත්‍යයෙහි නිරූපිත එම සියලු අවස්ථා පාඨක පරිකල්පන ලෝකය සමඟ එක්වන්නක්.
සාහිත්‍ය කෘතියක් සක්‍රිය ව පරිශීලනයට යොමුවීමෙන් පාඨකයෙකුගේ විචාර චින්තනය සහ විශ්ලේෂණ හැකියාව වැඩිදියුණු වීම සිදු වන්නක්. එමෙන් ම පාඨකයෙකුට දැනුම හා පැතිරුණු ලෝක දැක්මක් මෙන් ම ස්වයං ගවේෂණයකට අවස්ථාව අත්පත් කරගැනීමට අවකාශ සැලසෙනවා.
ඒ අනුව සැප්තැම්බර් මාසය යනු අපගේ භාවමය සහ බුද්ධිමය ප්‍රදේශ ආමන්ත්‍රණය කරන කාල අවකාශයක් බවට, ජීවිත විසල් කරන සුයාමයක් බවට පත් වන අතර ම අපගේ ජීවිතය පරිපූර්ණ කරවන මාසය බවට ද පත් වෙනවා.






