#දේශපාලන

71 නැගිටීම

1971 අප්‍රේල් නැගිටීම යනු මෙරට සිදු වූ සන්නද්ධ අරගලයක පළමු වැනි සංසිද්ධිය. විශාල තරුණ සහභාගිත්වයක් සහිත ව සිදු වූ මේ අරගලය මෙරට පශ්චාත් යටත්විජිත දේශපාලන තන්ත්‍රය පුරාවට කම්පන තරංග යැවීමෙහිලා සමත් වුණා. ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන බලවේගයක් ලෙස මෙරට දේශපාලනයේ ස්ථාපිත කළ සන්ධිස්ථානාත්මක අවස්ථාව ලෙස ද 1971 අප්‍රේල් නැගිටීම හැඳින්විය හැකියි.

1971 පිළිබඳ තිබෙන ප්‍රකට කියැවීමක් වන්නේ, ආර්ථික ප්‍රශ්න නිසා සමාජ අසහනයෙන් පෙළුණු තරුණ පිරිස් නිසා මේ අරගලය ඇති වූ බව. අප්‍රේල් නැගිටීමට නායකත්වය දුන් ජනතා විමුක්ති‍ පෙරමුණ පිළිබඳ විවේචනාත්මක වන අය පවා පොදුවේ මේ අදහස ප්‍රකාශකොට තිබෙනවා. නිදසුනක් ලෙස, 71 නැගිටීම පිළිබඳ විනිශ්චය සඳහා පත් කළ අපරාධ යුක්ති විනිශ්චය කොමිසන් සභාවේ විනිසුරුවරයෙකු ලෙස සේවය කළ ඒ.සී. අලස් මේ පිළිබඳ රචිත කෘතිය ආර්ථික ප්‍රශ්න නිසා ඇති වූ තරුණ අසහනය අරගලයට හේතු වූ ප්‍රබලතම සාධකය ලෙස ගෙන හැර දක්වනවා.

1971 අරගලයේ සමාජ පසුබිම දෙස බලන විට එය ප්‍රධාන වශයෙන් තරුණ අන්තර්ගතයක් සහිත වූවක් බවත් විශේෂයෙන් ගම්බද පසුබිමකින් එන, යම් අධ්‍යාපනයක් ලද පිරිස් බහුල වශයෙන් එහි නියෝජනය වූ බවත් පැහැදිලි වන්නක්. එවකට බහුල වශයෙන් පැවති තරුණ විරැකියාව, උඩුකුරු සමාජ චල්‍යතාව දුබල වීම ආදී වූ ආර්ථික ප්‍රශ්න තරුණ පිරිස් රැඩිකල්කරණය වීම සඳහා බලපෑ බව ද සත්‍යයක්. මේ ‘සමාජ විද්‍යාත්මක’ කියැවීම නිසා එහි එක් වැදගත් දේශපාලන මානයක් වැසී යාමේ අවදානමක් තිබෙනවා. එම දේශපාලන මානය වන්නේ එවකට වූ දේශපාලන පසුබිමෙහි නිර්ප්‍රභූ සමාජ මූලයක් සහිත අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයක් ලෙස 1971 අප්‍රේල්හි තිබෙන වැදගත්කම.

ජාතික විමුක්ති අරගල යුගය

1971 අරගලයට නායකත්වය දුන් ජනතා විමුක්ති පෙරමුණ යනු මෙරට කොමියුනිස්ට් පක්ෂ දේශපාලන සම්ප්‍රදායෙන් කැඩී ආ දේශපාලන ප්‍රවණතාවක්. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර එවකට මෙරට ක්‍රියාත්මක වූ චීන හිතවාදී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු පූර්ණකාලීනයෙක්. එම පක්ෂය නිර්මාණය කිරීමට පුරෝගාමී වූ බොහෝ අය චීන හිතවාදී, එසේ නැතිනම් රුසියානු හිතවාදී කොමියුනිස්ට් පක්ෂවලින් ඛණ්ඩනය වූ අය. මේ පිරිස් විසින් ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කරන ලද්දේ මාක්ස් ලෙනින්වාදී පක්ෂයක් ලෙසට.

ආරම්භයේ සිට ම මේ නව ව්‍යාපාරය තමන් ව හඳුන්වා ගත්තේ අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයක් ලෙස. අධිරාජ්‍ය විරෝධය සහ ජාතික විමුක්තිය මේ නැගිටීම තුළ ප්‍රබල ලෙස නියෝජනය වූ සංකල්ප රූප. ලංකාව 1948 වසරේදී ස්වාධීන රාජ්‍ය්‍යක් බවට පත් ව තිබූ පසුබිමක ‘අධිරාජ්‍ය විරෝධය’ දේශපාලන වශයෙන් තීරණාත්මක සටන් පාඨයක් ලෙස මෙලෙස වර නගන ලද්දේ ඇයි ?

මෙය වටහා ගැනීමටනම්, එකල අන්තර්ජාතික පරිමාණ ව වූ පොදු දේශපාලන වාතාවරණය පිළිබඳ සලකා බැලිය යුතුයි. 1945 දෙවැනි ලෝක යුද්ධය අවසාන වීමත් සමඟ, එතෙක්කල් ලෝකය පාලනය කළ යටත්විජිත අධිරාජ්‍ය විසිරී යාම ආරම්භ වුණා. ආසියාවේ හා අප්‍රිකාවේ රටවල් ගණනාවක් අලු‍ත නිදහස ලැබුවා. මෙලෙස නිල වශයෙන් නිදහස ලැබුණත් ආර්ථිකමය ලෙස අන්තර්ජාතික පද්ධතිය පැරණි යටත්විජිත රටවල අධිකාරිය යටතේ තවමත් තිබෙන බවට මේ අලු‍ත නිදහස් වූ රටවල් පැමිණිලි කළා. මේ නව තත්ත්වය ‘නව යටත් විජිතවාදය’ ලෙස නාමකරණය කෙරුණා.

මේ විවේචනයට අනුව වෙනස් වූයේ පැරණි යටත් විජිතවාදයේ ‘රූපය’ පමණයි. ආර්ථික වශයෙන්, පැරණි යටත්කරණීය සම්බන්ධතා පවත්වා ගැන්මෙන් යටත්විජිතවාදය නව වේශයකින් ක්‍රියාත්මක වුණා. අප්‍රිකාවේ චිර ප්‍රසිද්ධ යටත්විජිත විරෝධී නායකයෙකු වූ ක්වාමේ න්කෲමා (Kwame Nkrumah) නව යටත් විජිතවාදය යනු අධිරාජ්‍යවාදයේ අවසන් අවධිය’ ලෙස නම් කළේ මෙවැනි පසුබිමක.

මේ අනුව 1960 හා 70 දශකවල තුන් වැනි ලෝකයේ රටවල යටත්විජිතවාදයට හා නව යටත්විජිතවාදයට එරෙහි විවිධ අරගල හා ප්‍රවණතා පැන නගින ආකාරය           දැකගැනීමට පුළුවන්. මේ තුන් වැනි ලෝකවාදය තරමක සංකීර්ණ ප්‍රපංචයක්. එහි එක් අතෙකින් නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයට පුරෝගාමී වූ නේරු, අබ්දුල් ගමල් නසර්, සුකර්නෝ බඳු වූ මධ්‍යස්ථවාදී ජාතිකවාදී නායකයන් නියෝජනය වූ අතර අනෙක් අතට කියුබානු විප්ලවය, වියට්නාමයේ හෝ චි මිං, චේ ගුවේරා බඳු වූ රැඩිකල් සමාජවාදී ප්‍රවණතා ද වුණා.

විශේෂයෙන් රැඩිකල් සමාජවාදී ප්‍රවණතාවල විවේචනයට ලක් වූ එක් කරුණක් වූයේ ස්වකීය රටවල ප්‍රභූ පාන්තික කොටස් යටත්විජිතවාදය මත දැඩි ලෙස ආර්ථික, දේශපාලන හා සංස්කෘතික වශයෙන් පරායක්ත බවත් එම නිසා නව යටත්විජිතවාදයට එරෙහි ව නායකත්වය දීමට ඔවුන් අපොහොසත් බවත් ඒ අනුව එම අරගලයේ නායකත්වය පොදු ජන පන්තීන් එනම් ප්‍රභූ නොවන ජනතා කොටස් අතරින් එන ව්‍යාපාර විසින් පවරා ගනු ලැබිය යුතු බවත්.

මේ දෘෂ්ටිය එවකට ලතින් ඇමරිකාවේ, ආසියාවේ හා අප්‍රිකාවේ රටවල් ගණනාවක දේශපාලන වර්ධනය කෙරෙහි බලපෑවා. මේ යුගයේ ලතින් ඇමරිකාවේ රටවල් ගණනක අධිරාජ්‍ය විරෝධී සටන් පාඨ මත විවිධ ගරිල්ලා සටන් ඇති වුණා. එක්සත් ජනපදයේ අනුග්‍රහය සහිත ව මේ රටවල ඇති කළ මිලිටරි ආණ්ඩු මේ ගරිල්ලා ව්‍යාපාර මර්දනය කළේ දරුණු ලෙස.

පාර්ලිමේන්තු දේශපාලනය සිදු කළ, අතිදැවැන්ත කොමියුනිස්ට් පක්ෂයක් වූ ඉන්දුනිසියාවේ කොමියුනිස්ට් පක්ෂය 1965 වසරේදී එක්සත් ජනපද ආධාර සහිත ව සිදු කළ හමුදා කුමන්ත්‍රණයක ප්‍රතිඵල ලෙස සමූලඝාතනය විමත් සමඟ, පාර්ලිමේන්තුවාදී දේශපාලනයේ සීමාව පිළිබඳ බරපතළ විවාදයක් හටගත්තා. චීන විප්ලවයේ ආදර්ශය අනුව විවිධ සන්නද්ධ අරගල ආසියා කලාපයේ ඇති වුණා. අසල්වාසී ඉන්දියාවේ 1968 වසරේදී ඇති වූ නක්සල්බාරි නැගිටීම මේ සම්බන්ධ උදාහරණයක්.

මැද මාවතේ ප්‍රශ්නය

1960 ගණන්වල මෙරට දේශපාලනයේ වූ වර්ධනය සහ 1971 සිදුවන සන්නද්ධ නැගිටීම අපට තේරුම් ගැන්මට සිදු වන්නේ මේ පළල් සන්දර්භයට සාපේක්ෂ ව. මේ පසුතලයෙහි සිට බලන විට 1960 ගණන්වල මෙරට තරුණ ජනයා අතර සිදුවන දේශපාලන රැඩිකල්කරණය හුදෙකලා සංසිද්ධියක් නොව, එක්තරා ආකාරයකට තුන් වැනි ලෝකයේ රටවල සිදු වෙමින් පැවැති පොදු ප්‍රවණතාවක යම් ආකාරයක දේශීය ප්‍රකාශමාන වීමක්.

සමාජවාදය සහ ජාතික විමුක්තිය අතර ඇති කරන ලද සුසම්බන්ධය ජනතා විමුක්ති පෙරමුණ විසින් මුලින් ඉදිරිපත් කරන ලද්දක් නොවෙයි. මේ තේමාව මෙරට වාමාංශික ව්‍යාපාරයේ මුල සිට ම දක්නට ලැබුණක්. 1935 වසරේදී බිහි වූ සමසමාජ පක්ෂයේ ප්‍රධාන සටන් පාඨයක් වූයේ ජාතික නිදහස. පසුව බිහි වූ ලංකා කොමියුනිස්ට් පක්ෂයේ අදහස්වල ද අධිරාජ්‍ය විරෝධී විවේචනය අන්තර්ගත වුණා. 1948 වසරේ ලද නිදහස පූර්ණ හා හරයාත්මක එකක් නොවේ ය යන අදහස මේ පක්ෂ බෙදාගත් අතර අධිරාජ්‍ය විරෝධී සටන හා සමාජවාදී අරගලය අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ බවට වූ ප්‍රවාදය ඔවුන් අතර ද වුණා.

එසේනම්, 1971 අරගලයට පසුබිම් වූ කතිකාව වෙනස් වන තැන කුමක් ද? එය එතෙක් වූ ප්‍රධාන ධාරාවේ වාමාංශික පක්ෂවල සමාජවාදී-අධිරාජ්‍ය විරෝධී කතිකාවෙන් වෙනස් වන ප්‍රධානතම තැනනම් අධිරාජ්‍ය විරෝධී අරගලයෙහි ප්‍රභූ පාන්තික කොටස්වල දේශපාලන පක්ෂවලට විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයිති තැන පිළිබඳ විසංවාදය.

1951 වර්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවීම මෙරට සාම්ප්‍රදායික වාමාංශික පක්ෂ අබියස යම් උභතෝකෝටිකයක් ඇති කළා. වාමාංශික පක්ෂවල වි‍ශ්ලේෂණය වූයේ නිදහසින් පසුව රට භාරගත් එක්සත් ජාතික පක්ෂය අධිරාජ්‍ය ගැති-කොම්ප්‍රදෝරු ධනපති පන්තිය නියෝජනය කරන පක්ෂය බව. 1951 වසරේදී ශ්‍රීලනිපය පිහිටුවීමත් සමඟ, සිය දේශපාලනය සමාජවාදය හා ධනවාදය අතර ‘මැද මාවත’ යැයි ප්‍රකාශ කළ බණ්ඩාරනායක මහතා එතෙක් වාමාංශික පක්ෂ විසින් ඉදිරිපත් කළ යම් යම් ප්‍රතිසංස්කරණවාදී අදහස් සිය වැඩපිළවෙළට ඇතුළු‍ කළා.

මේ පක්ෂයේ නායකත්වයෙන් 1956 වසරේදී ඇති වූ මැතිවරණ පෙරළියෙහි අන්තර්ගත වූයේ විශාල ජනතාවාදී සංරචකයක්. ඉන්පසුව ඉඩම් ප්‍රතිසංස්කරණ, ජනසතු කිරීම් ආදී වූ යම් යම් ප්‍රගතිශීලී ක්‍රියාමාර්ග ගැනුණා. මෙවැනි පසුබිමක සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රගතිශීලී පක්ෂයක් ලෙස නාමකරණය කළා. සමසමාජ පක්ෂයට අනුව ශ්‍රීලනිපය මධ්‍යම පන්තික සම්භවයක් සහිත පක්ෂයක් වූ අතර කොමියුනිස්ට් පක්ෂයේ විශ්ලේෂණය අනුව එය ප්‍රගතිශීලී ජාතික ධනපති පන්තිය නියෝජනය කරන්නක් වුණා. මේ විශ්ලේෂණයේ ප්‍රතිඵල ලෙස 1960 ගණන් වන විට සාම්ප්‍රදායික වාමාංශික පක්ෂ සහ ශ්‍රීලනිපය අතර සන්ධානගත වීමක් සිදුවනු දැකගත හැකියි. මේ සන්ධානගත වීම අධිරාජ්‍ය විරෝධී අරගලයේ අවශ්‍යතාවක් ලෙස න්‍යායගත කෙරුණා.

දේශපාලන ප්‍රවණතා ද්විත්වයක්

ජනතා විමුක්ති පෙරමුණ අධිරාජ්‍ය විරෝධය සහ සමාජවාදී අදහස් අතර සිදු කළ සන්ධිගත කිරීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ ‘ප්‍රගතිශීලී’ භූමිකාව ප්‍රතික්ෂේප කෙරුණා. 1960 ගණන්වල සිදු වූ ශ්‍රීලනිපය හා පරණ වාමාංශික පක්ෂ අතර සන්ධානගත වීම ජවිපෙ අතින් දැඩි ලෙස විවේචනයට ලක් වුණා. මේ සන්ධානගත වීම ‘පාවාදීමක්’ ලෙස නාමකරණය වූ අතර සමාජවාදය සහ අධිරාජ්‍ය විරෝධී ඉදිරි ගමන සඳහා ස්වාධීන ලෙස බලය ගැනීමේ අවශ්‍යතාව අවධාරණයට ලක් වුණා.

මේ වෙනස තීරණාත්මක වූවක්. එහි තීරණාත්මකභාවය පැහැදිලි වන්නේ 1971ට පසුව මෙරට වාමාංශික ව්‍යාපාරය පරිණාමය වූ ආකාරය දෙස බලන විට. එක අතකට සමසමාජ සහ කෙමියුනිස්ට් පක්ෂ ශ්‍රීලනිපයේ ප්‍රගතිශීලීත්වය පිළිබඳ අදහස වෙත අවශෝෂණය වෙමින්, එම පක්ෂය ප්‍රමුඛ සභාග තුළ ගිලී ගිය අතර සිය ස්වාධීන දේශපාලන අනන්‍යතාව අහෝසි කරගත්තා. අනෙක් අතට 1971 අප්‍රේල් නැගිටීමෙහි ස්ථාපිත කළ දේශපාලන සම්ප්‍රදාය එනම් ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය යනු ප්‍රගතිශීලී වෙනස්කම්වලට නායකත්වය දිය හැකි එකක් නොවේ යන ප්‍රවණතාව අනන්‍ය ප්‍රවාහයක් ලෙස පරිණාමය වුණා. මේ භේදය අතිශය මූලධාර්මික වූවක්.

ප්‍රගතිශීලී ‘ජාතික ධනපති පන්තිය’ පිළිබඳ අදහස ප්‍රතික්ෂේප කළ එක ම ව්‍යාපාරය ජවිපෙ නොවෙයි. 1960 ගණන්වල ක්‍රියාත්මක වූ කුඩා වාමාංශික කණ්ඩායම් අතර වූ ඇතැම් පිරිස් මේ අදහස බෙදා ගත්තා. එහෙත් දේශපාලන වශයෙන් බලපෑම්සහගත වීමට මේ කණ්ඩායම් සමත් වුණේ නැහැ.  අවසන් විග්‍රහයේදී දේශපාලන ඉතිහාසයේ සිය මුද්‍රාව සටහන් කරන්නට සමත් වූයේ ජවිපෙ ප්‍රමුඛ දේශපාලන ප්‍රවණතාව.  

යටත්විජිත ආර්ථිකය සමඟ ඓන්ද්‍රීය සම්බන්ධතාවක් සහිත ව වර්ධනය වූ ලංකාවේ සාම්ප්‍රදායික ප්‍රභූ පන්තිය වෙතින් ප්‍රබල අධිරාජ්‍ය විරෝධී දේශපාලනයක් නිරූපණය වුණේ නැහැ. නිදහසට පසුව ලංකාව ස්වාධීන ජාතික ආර්ථිකයක් සහිත රටක් ලෙස ගොඩනැංවීම සම්බන්ධ ව ඔවුන් අසමත් වුණා. 1971 අරගලය යනු එක්තරා ආකාරයකට මේ අසමත්භාවය ආමන්ත්‍රණය කිරීමට මෙරට නිර්ප්‍රභූ සමාජ ස්ථර නියෝජනය කරන බලවේගයක් විසින් දරන ලද ප්‍රයත්නයක් ලෙස සැලකිය හැකියි.

1971 අප්‍රේල් අරගලය හුදු තරුණ අසහනය නිසා ඇති වූ කැරැල්ලක් යැයි කියන විට, එම ආඛ්‍යානයට යට කී දේශපාලන පැතිමානය මග හැරෙනවා. එම නැගිටීම ඉතිහාසයේ සටහන් විය යුත්තේ එහි මේ දේශපාලන සුවිශේෂත්වය පිළිබඳ නිසි බර තැබීම සහිත ව.

71 නැගිටීම

71 නැගිටීම