#සංවර්ධන

ගොඩනගමු ‘අධිෂ්ඨානයේ සංහිඳ’

අතිශය වේදනාකාරී මතක රැසක් මෙරට ජන මනසේ ඉතිරි කළ දිට්වා සුළි කුණාටුවේ කනගාටු සටහන් තවමත් ඉතිරි ව පවතිනවා. අලුත්වැඩියාව, ප්‍රතිසංස්කරණය සහ ප්‍රතිපූරණය කළ හැකි තත්ත්වයේ බොහෝ දේපළ හානි මේ වන විට යථා තත්ත්වයට පත් කර අවසන්. ඉතිරි ප්‍රමාණය යථා තත්ත්වයට පත් කෙරෙමින් හෝ ඒ සඳහා සැලසුම් සැකසෙමින් හෝ පවතිනවා. කුණාටුවේ බලපෑමෙන් හානියට පත් වූ ආගමික සිද්ධස්ථාන බැතිමතුන්ගේ වන්දනාමාන පිණිස සහ ආගමික ක්‍රියාකාරකම් සඳහා සුදුසු තත්ත්වයට පත්කිරීම කඩිනමින් සිදු විය යුත්තක්. ඒවා ‘නැවත ගොඩනැංවීම, ප්‍රතිසංස්කරණය සහ යළි විවෘත කිරීම සඳහා වන ව්‍යාපෘතිය’ හෙවත් ‘අධිෂ්ඨානයේ සංහිඳ – ජාතික වැඩසටහන’ රජය විසින් මෙහෙයවනු ලබන්නේ ඒ අවශ්‍යතාව ඉටු කිරීමට.

පසුගිය ජනවාරි මස 27 දින ගම්පොළ දොරගල පීකොක් හිල් ජනපදයේ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයෙන් සහ එදින ම පස්වරු 3.00ට මාතලේ කවටයාමුණ පුරාණ රජමහා විහාරස්ථානයෙන් මේ වැඩසටහන ආරම්භ කෙරුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. මෙය ක්‍රියාවට නංවන්නේ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය.

ගිලිහී ගිය සදාචාරාත්මක ගුණාංග යළි කැඳවා ආර්ථික වශයෙන් මෙන් ම සමාජීය, සංස්කෘතික වශයෙන් ද දියුණු රටක් ගොඩනඟා රටේ සියලු‍ ක්ෂේත්‍රවල නව පුනරුදයක් ඇති කළ යුතු කාලවකවානුවකුයි ගෙවෙමින් පවතින්නේ. මෙබඳු කාලයක ආගමික මධ්‍යස්ථානවලට සුළි කුණාටුවෙන් සිදු වූ හානි ප්‍රතිපූරණය කරන අතරවාරයේ ගම සහ ආගමික සිද්ධස්ථාන අතර සබැඳියාව තවදුරටත් තහවුරු කිරීම ඉතා වැදගත් බව පෙන්වා දෙමින් සියලු‍ ආගමික සිද්ධස්ථාන සුරක්ෂිත කර දීමේ වගකීම රජය ඉටු කරන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ. ඔහු පවසන්නේ දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වු ආගමික සිද්ධස්ථාන යළි ගොඩනඟමින් ඒවා සංවර්ධනය කිරීම සඳහා රජයෙන් දායකත්වය ලබාදෙන මේ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රමානුකූලව ක්‍රියාත්මක කරන බව.

මධ්‍ය කඳුකරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මේ වසරේදි විශේෂ අධිකාරියක් පිහිටුවීමට ද රජය අදහස් කර තිබෙනවා. එම අධිකාරිය යටතේ කෘෂි, වාරිමාර්ග, වන සංරක්ෂණ ඇතුළු විශේෂිත විෂය ක්ෂේත්‍ර සම්බන්ධයෙන් හා යළි පදිංචි කිරීම් වැනි කාර්ය සඳහා විධිමත් ක්‍රියාවලියක් සකසන බවත් ඊට පූර්ණ රැකවරණය හා බලතල ලබාදෙන ශක්තිමත් නීතියක් හඳුන්වා දෙන බවත් ජනාධිපතිවරයා පවසනවා. ඒ අනුව මධ්‍ය කඳුකරයේ ක්‍රියාත්මක කරන සියලු‍ ව්‍යාපෘති සහ ඉදිකිරීම් සඳහා එම අධිකාරියේ අවසරය ලබා ගත යුතු වන අතර එහි සැලසුම් හා උපායමාර්ග බිඳ වැටෙන අවස්ථාවලදී දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද අධිකාරියට බලය ලැබෙනු ඇති.

ආපදාවට ගොදුරු වූ සිද්ධස්ථාන අතර පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත පෞරාණික ස්ථාන ද පිරිවෙන් ආයතන ද වෙනත් ආගමික සිද්ධස්ථාන ද රාශියක් තිබෙනවා. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙ‍නෙවි පවසන්නේ එම ස්ථානවල සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ කඩිනමින් සහ ඒ ඒ ස්ථානවල පැවැති පෞරාණික, ‌ඓතිහාසික, ආගමික සහ සංස්කෘතික අනන්‍ය ලක්ෂණවල අගය ආරක්ෂා වන පරිදි ගෞරවනීය මහා සංඝරත්නය ප්‍රමුඛ සෙසු ආගමික නායකයන්ගේ උපදෙස් සහ මඟපෙන්වීම යටතේ සිදු කරගෙන යන බව.

සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ නාය යෑම්, ගංවතුර ගැලීම්, ගස් කඩාවැටීම් යනාදී ආපදා නිසා ශ්‍රී ලංකාවේ විවිධ ආගම්වලට අයත් සිද්ධස්ථාන 1350ක් පමණ හානිදායක බලපෑමට ලක්වුණා. පූර්ණ හානි වූ බෞද්ධාගමික පූජනීය ස්ථාන 52ක්, අර්ධ හානිවලට ලක් වූ ස්ථාන 458ක්, සාමාන්‍ය ගංවතුරට යට වීම් වැනි සුළු හානි සිදු වූ ස්ථාන 300කට වැඩි ගණනක් ඇතුළු සිද්ධස්ථාන 850කට අධික සංඛ්‍යාවක් ප්‍රතිපූරණ දායකත්වය අවශ්‍ය වන තරමට ආපදාවට හසු ව තිබුණා. ඒ සියල්ලට ම මූලික ආපදා සහන ලෙස ලබා දෙන රුපියල් 25,000.00ක මුදල මේ වන විටත් ගෙවා අවසන්. තවමත් ඉදිකිරීම් සහ ප්‍රතිසංස්කරණ සිදු කරගෙන යන මූල්‍ය අනුග්‍රහ නිකුත් කර ඇති සහ හානිපූරණ අවශ්‍යතා හඳුනාගෙන ප්‍රතිසංස්කරණ ඇරඹීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නිකුත් කිරීමට අවශ්‍ය නිර්දේශ ලබා ගනිමින් පවතින විහාරස්ථාන සංඛ්‍යාව 688ක්.

බෞද්ධ පන්සල්, හින්දු කෝවිල්, ක්‍රිස්තියානි දේවස්ථාන (පල්ලි), ඉස්ලාම් ආගමික මධ්‍යස්ථාන ඇතුළු හානියට පත් සියලු ආගම්වලට අයත් ස්ථාන මේ ව්‍යාපෘතිය යටතේ ප්‍රතිසංස්කරණයට යොමුවන බව අමාත්‍යාංශ ලේකම් ප්‍රින්ස් සේනාධීර ප්‍රකාශ කරනවා. ඔහු අවධාරණය කරන්නේ ස්වාභාවික ආපදාවකින් විනාශ වූ ආගමික මධ්‍යස්ථාන සම්බන්ධයෙන් පමණක් නොව පොදු සහ පුද්ගලික සියලු දේපළ සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණය සිදුකර යථාතත්ත්වයට පත් කිරීමට එදා මෙදාතුර බලයට පත්වූ රජයක් ලබා දෙන වැඩි ම වන්දි ප්‍රමාණය බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් මේ අවස්ථාවේ ලබා දෙන බව.

ආපදාවට මුහුණ පෑ දිස්ත්‍රික්ක 22ක අතරින් වැඩි ම ආගමික මධ්‍යස්ථාන හානි වාර්තා වුණේ දිස්ත්‍රික්ක 7ක පමණ. ඒ, ස්ථානීය හඳුනා ගැනීම් සිදු කර ඇති පරිදි මහනුවර 173ක්, කෑගල්ල 68ක්, කොළඹ 68ක්, බදුල්ල 56ක්, නුවරඑළිය 52ක්, මාතලේ 41ක් සහ කුරුණෑගල 54ක් වශයෙන්.

බුද්ධ ශාසන අමාත්‍යාංශය, මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, අනෙකුත් පළාත් පාලන ආයතන ඇතුළු විවිධ රාජ්‍ය ආයතන මේ හඳුනාගැනීමේ කාර්යයට දායක වනවා. ඔවුන්ගේ පරීක්ෂණ, තක්සේරු කිරීම් සහ ගණනය කිරීම් අනුව පෙර පැවැති ස්ථානයේ ම නැවත ප්‍රතිසංස්කරණය කළ නොහැකි වන එනම්, සම්පූර්ණයෙන් ම භූමිය විනාශයට පත් ව යළි ස්වාභාවික ආපදා තත්ත්ව මතු වුවහොත් බලපෑම් ඇති වීමේ අවදානම සහිත ස්ථාන ද කිහිපයක් ම හඳුනාගෙන තිබෙනවා. කරන්නට සිදුව ඇත්තේ ඒ සඳහා වෙනත් භූමි තෝරාගෙන එම සිද්ධස්ථාන අලු‍තින් ම ඉදි කිරීම.

මෙහිදී ජය ගත යුතු දුෂ්කරතම සහ අභියෝගාත්මක ම කාර්ය ලෙස පවතින්නේ නැවත අලු‍තින් ම ඉදිකිරීමට සුදුසු ස්ථාන හඳුනා ගැනීම, ඒ පිළිබඳ නිර්දේශ වාර්තා ලබා දීම, ප්‍රතිසංස්කරණ කාර්යය සඳහා ඉංජිනේරු සහයෝගය ලබා දීම මෙන් ම පැරණි අගය, ‌ඓතිහාසික වටිනාකම, ස්ථානීය ගෞරවය, පාරිසරික සුන්දරත්වය වැනි අත්‍යවශ්‍ය අවශ්‍යතා ආරක්ෂිත ව සපිරෙන පරිදි ඒවා යළි ගොඩනැගීම යන ඒවා බව පවසන්නේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ආසිරි කරුණාරත්න. ඔහු පෙන්වා දෙන පරිදි තම ආයතනය ඇතුළු මේ ව්‍යාපෘතියට දායක වන සෑම ආයතනයක්ම ක්‍රියා කරන්නේ විනාශයට පත් වූ මහාමාර්ග, දුම්රිය මාර්ග, පාසල්, රෝහල් ඇතුළු රජයේ ගොඩනැගිලිත් සාමාන්‍ය ජනතාවගේ නිවාස සහ අනෙකුත් ගොඩනැගිලිත් ප්‍රතිසංස්කරණයට ප්‍රමුඛත්වය දීමේ විශාල අභියෝගය ද භාරගෙන කාර්යක්ෂමව වැඩ කරමින් පවතින අතරතුර. මේ උදෙසා පරීක්ෂණ සිදු කිරීම සහ තත්ත්ව වාර්තා, තක්සේරු වාර්තා, නිර්දේශ පත්‍රිකා යනාදිය පිළියෙල කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ආපදා සහනසේවා නිලධාරින්, තාක්ෂණ නිලධාරින්, ඉංජිනේරුවන් වැනි අයගේත් අනෙකුත් කාර්යමණ්ඩලවලත් සහයෝගය ලබා ගන්නා බවත් ඔහු පවසන කරුණක්. ග්‍රාම නිලධාරි ඇතුළු ප්‍රදේශය භාර වගකිවයුතු රාජ්‍ය නිලධාරින්ගේ ද ආගමික සිද්ධස්ථාන පාලක නායක පාර්ශ්වවලත් දායක සභාවලත් සහයෝගය මේ වැඩසටහනේ සාර්ථකත්වයට බලපානවා. 

සෑම රාජ්‍ය ආයතනයකට ම එකවර අධික පරිමාණයක රාජකාරි කන්දරාවක් ගොඩ ගැසුණු අනපේක්ෂිත හදිසි අවස්ථාවක් මෙය. එබැවින් වෘත්තීය කාර්යමණ්ඩලවල හිඟතාවට ඔවුන් මුහුණ පා සිටිනවා. මේ නිසා ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, පළාත්පාලන ආයතනවල, ස්වේච්ඡා සංවිධානවල සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ද සහයෝගය ලබා ගනිමිනුයි මේ ආයතන ක්‍රියා කරන්නේ.

අදාළ වාර්තා, ඇස්තමේන්තු, නිර්දේශ සහ අනුමැතිය ලද සැණින් ඒ ඒ ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණයට අවශ්‍ය මුදල් නිදහස් කිරීමට බුද්ශාසන අමාත්‍යාංශය සැදී පැහැදී සිටින අතර දැනටමත් රුපියල් මිලියන 50 ඉක්ම වූ මුදලක් මේ යටතේ නිදහස් කර තිබෙන බව බුද්ධශාසන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) සමන්ති නාගහතැන්න පවසනවා. මෙහිදී පූර්ණ හානි සිදු වූ පූජ්‍යස්ථානයක් වෙනුවෙන් රුපියල් මිලියන 7.5ක ද අර්ධ හානි සඳහා මිලියන 5ක ද උපරිමයකට යටත්ව මූල්‍ය ගෙවීම් සිදු කරන බවත් ගංවතුරට යටවීම වැනි සුළු හානි සඳහා පොදුවේ අනෙකුත් සියලු ආපදාවට ලක්වූවන්ට පිරිනමන ලද රුපියල් 25,000.00ක ආපදා සහන මුදල ද ලබා දී ඇති බවත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ද මේ කාර්යයයේදී ප්‍රබල මෙහෙවරක් සිදු කරන බවත් ඇය ප්‍රකාශ කරනවා.

සිද්ධස්ථාන සහ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමේ දුෂ්කරතාව සහ එහි නිර්මාණාත්මක ගුණය ආරක්ෂා කිරීමේ වගකීම හඳුනාගෙන ක්‍රියා කිරීමත් ඒ හේතුවෙන් ම සිදුවන ඉදිකිරීම්වල ප්‍රමාද වීම දඩමීමා කරගෙන අනවශ්‍ය බලපෑම් සහ කැළඹීම් සිදු නොකිරීමත් නිසි අවශ්‍යතා සපුරාගෙන විනිවිදභාවයෙන් යුතු ව සාර්ථක නිමාවක් සහිත ව රාජ්‍ය මූල්‍ය දායකත්වයේ පූර්ණ ප්‍රතිලාභය ඒ ඒ ආගමික සිද්ධස්ථාන භාරකරුවන්ට සහ බැතිමතුන්ට අත්විඳින්නට අවස්ථාව ලබා දීමත් මෙහිදී විශේෂයෙන් මහජනතාව සැලකිලිමත් විය යුතු කරුණු.

ගොඩනගමු ‘අධිෂ්ඨානයේ සංහිඳ’

ධර්ම යුද්ධය 2