මැදපෙරදිග AI භීෂණය
ඊශ්‍රායලය හා ඇමරිකාව ඒකාබද්ධ ව 2026 පෙබරවාරි 28 දින ඉරානයට එල්ල කළ ප්‍රහාර මාලාවත් සමඟ උත්සන්න වූ මැදපෙරදිග යුද ගැටුම් මේ වන විට දරුණු වී තිබෙනවා. එදින පැවති ප්‍රහාරවලින් ඉරානයේ ආධ්‍යාත්මික නායක Ayatollah Ali Khameneiඇතුළු පිරිසක් මිය ගියා.
මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති මේ යුද්ධයට සෘජු ව මැදිහත් වී සිටින ඉරානය, ඊශ්‍රායලය හා ඇමරිකාව යන රටවල් තුන අතර ප්‍රචණ්ඩත්වය හා ආතතිය ඉතිහාසගත වන කරුණක්. Bostonys හි Brandeis විශ්වවිද්‍යාලයේ මැදපෙරදිග ඉතිහාසය පිළිබඳ මහාචාර්ය Naghmeh Sohrabi පවසන ආකාරයට මේ ආතතිය 1951 වසර දක්වා දිවෙන්නක්. එවකට ඉරාන අගමැති ලෙස කටයුතු කළ Mohammad Mosaddegh ඉරානයේ ක්‍රියාත්මක සියලු තෙල් සමාගම් ජනසතු කර තිබෙනවා. ඒ වන විට එම තෙල් සමාගම්වල පාලනය බ්‍රිරතාන්‍ය සමාගම් ද සතු වුණා. අගමැතිවරයාගේ ක්‍රියා කලාපය සමඟ තෙල් සමාගම් යළි ලබා ගැනීම සඳහා සහාය වන ලෙස බ්‍රිරතාන්‍යය ඇමරිකාවෙන් ඉල්ලා තිබෙනවා. СIA සංවිධානයේ මැදිහත්වීමෙන් සිදු කළ ක්‍රියාවලියේ ප්‍රතිඵලය වූයේ බ්‍රිරතාන්‍යයට හා ඇමරිකාවට තෙල් සමාගම්වලින් 40%ක් හිමිවීම. ඉරාන ෂා රජුගේ කාලය වන විට ඇමරිකාව සහ ඉරානය අතර සම්බන්ධතා වර්ධනය වුණා. 1954 වන විට ඉරානය නව ආරක්ෂක බුද්ධි බලකායක් බිහි කළ අතර ඒ සඳහා ඇමරිකාව මෙන් ම ඊශ්‍රායලය ද සහාය ලබා දී තිබෙනවා.
1979 වසරේ ඇති වූ විප්ලවකාරී වෙනසත් සමඟ ඉස්ලාමීය ජනරජයක් ලෙස ඉරානය නැඟී සිටියේ ආධ්‍යාත්මික නායක Ayatollah Ruhollah khameini නායකත්වය යටතේ. ඉන් අනතුරු ව ඉරානය, ඇමරිකාව හා ඊශ්‍රායලය අතර සම්බන්ධතා ඇණ හිට තිබුණා. එහෙත් 2015 වසරේදී ඉරානය සම්බන්ධයෙන් ඇතිකරගත් න්‍යෂ්ටික ගිවිසුමට ඇමරිකාව ද එක් ව තිබෙනවා. ඒ, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන් පාලනය කිරීමට. කෙසේ වෙතත් ජනාධිපති Donald Trump ගෙන් පසුව මේ ගිවිසුමෙන් ඇමරිකාව ඉවත් කර තිබෙනවා.
මේ යුද්ධය සමඟ ලොව අවධානය යොමු වූ ප්‍රධාන කරුණක් වන්නේ බුද්ධි අංශවල ක්‍රියාකාරිත්වය. එහිදී ඇමරිකා මෙන් ම ඊශ්‍රායල බුද්ධි අංශ පෙරමුණ ගත්ත ද මේ යුද්ධයේදී ඊශ්‍රායල ක්‍රියාකාරිත්වය ගැන වැඩි අවධානය යොමු වුණා. 1960 ගණන් වන විට ඊශ්‍රායලය බුද්ධි තොරතුරු ලබා ගැනීම සඳහා මානව ක්‍රියාකාරිත්වය කෙරෙහි වැඩි අවධානය යොමු කර තිබුණ ද වර්තමානයේ එම කාර්ය සඳහා මානව ක්‍රියාකාරීත්වය මෙන් ම තාක්ෂණය ද එක් ව තිබෙනවා. ඉරාන උත්තරීතර නායක Ayatollah Ali Khamenei ඇතුළු පිරිස ඝාතනයට ලක් වූයේ ඔවුන්ගේ චලනයන් පිළිබඳ ඊශ්‍රායලය සතු නිවැරදි දැනුම හේතුවෙන්. ආරක්ෂිත බංකරයට ළඟාවීමට පෙර මේ ප්‍රහාරය එල්ල කිරීමට හැකි වූයේ නිවැරදි ව ලබාගත් දත්ත මත. මේ අනුව ඉරානයේ මොසාඩ් ඔත්තුකරුවන් ක්‍රියාත්මක වන ආකාරය මෙන් ම කෘත්‍රිම බුද්ධිය ඔස්සේ ලබා ගන්නා දත්ත මේ සඳහා ඉවහල් වී ඇති ආකාරය දැකගත හැකියි. එසේ ම ඉරාන ආරක්ෂක ප්‍රධානියා වන Ali Ardashir Larijani ඝාතනය වූයේ ද තාක්ෂණය ඔස්සේ ඔහු ව හඹායාම හේතුවෙන්. පුද්ගලයෙකුගේ දුරකතනය, මොටර් රථ GPS හෝ ආරක්ෂක සන්නිවේදනය හැක්කිරීමෙන් තොරතුරු ලබා ගැනීමට ඊශ්‍රායල බුද්ධි අංශවලට හැකි ව තිබෙනවා. බොහෝ විට Ali Ardashir Larijani ජනතාව සමඟ සෙල්ෆි ඡායාරූප ලබා ගැනීම ඔහු කළ මූලික වරදක් විය හැකියි. එය ඊශ්‍රායලයට තොරතුරු ලබා ගැනීමට ඉවහල් වන්නට ඇති. ඇමරිකාවට සහ ඊශ්‍රායලයට ඔත්තු ලබාදෙන පුද්ගලයන් 97 දෙනෙකු ඉරානය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ අවි ආයුධ ද සමඟින්. ඉරාන බුද්ධි අංශ ප්‍රධාන වශයෙන් පුද්ගල ක්‍රියාකාරීත්වය මත තොරතුරු ලබා ගන්නා අතර ඇමරිකාව හා ඊශ්‍රායලය පුද්ගලයන්ට අමතර ව තාක්ෂණයේ සහය ද ලබා ගන්නවා. ඊශ්‍රායලය සතු ගෝලීය සයිබර් ඔත්තු බැලීමේ ඒකකය ඊට නිදසුනක්. වත්මන් යුද්ධය මිසයිල හා බෝම්බ පමණක් නොව තාක්ෂණික දත්ත සමඟ ද බැඳී තිබෙන්නක්.
යුද්ධය ආරම්භ වීමත් සමග හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නැව් ගමනාගමනය 95%කින් පමණ පහත වැටී තිබෙනවා. නාවික විශ්ලේෂකයන් වන Kpler ආයතනය පෙන්වා දෙන ආකාරයට 2026 පෙබරවාරි 28 දින සිට 2026 මාර්තු 20 දින දක්වා කාලයේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර තිබෙන්නේ නෞකා 99ක් පමණයි. එනම් දිනකට නෞකා හයක් පමණ. යුද්ධය ආරම්භයට පෙර, දිනකට මේ සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර තිබෙනවා නෞකා 138ක් පමණ. අදාළ කාලය තුළ ඉරාන ධජය සහිත නැව් 14ක්, චීනයට සම්බන්ධ නැව් 9ක්, ඉන්දියාවට සම්බන්ධ නැව් 6ක් ඒ අතර වුණා. නෞකා කිහිපයකට ම ප්‍රහාර එල්ල වීම ද මේ කාලයේ වාර්තා වුණා. ඇමරිකා ජනාධිපති Donald Trump 2026 මාර්තු 22 දින සඳහන් කළේ පැය 48කදී හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරාන බලශක්ති මධ්‍යස්ථානවලට පහර දෙන බව. එසේ පහර දුන්නොත් කලාපය සම්පූර්ණයෙන් වසන බව ඉරානය සඳහන් කළා. එම ප්‍රදේශය ආරක්ෂා කිරීමට මිත්‍ර පාර්ශ්ව රටවල සහය නොලැබුණහොත් නෙටෝ සංවිධානයට නරක අනාගතයකට මුහුණදීමට සිදුවන බවයි ඇමරිකා ජනාධිපතිවරයා සඳහන් කළේ. ඔහු චීනය වැනි රටවලින් ද ඉල්ලීමක් කළේ මේ ප්‍රදේශයට ආරක්ෂාව ලබා දෙන ලෙස. ප්‍රංශය, දකුණු කොරියාව සහ බ්‍රිරතාන්‍යයෙන් ද ඇමරිකා ජනාධිපතිවරයා එම ඉල්ලීම කළා. කෙසේ වෙතත් ඊට යහපත් ප්‍රතිචාර ලැබී නැහැ. ලෝක තෙල් සැපයුමෙන් 20%ක් පමණ සිදුවන්නේ මේ කලාපයෙන්. බ්‍රිතාන්‍ය සමුද්‍රීය වෙළෙඳ මෙහෙයුම් ආයතනය සඳහන් කරන ආකාරයට මාර්තු 12 දින වන විට නෞකා 16ක් ප්‍රහාරයට ලක් ව තිබෙනවා. යුද්ධය ආරම්භයේ සිට ගෝලීය තෙල් මිල 40%කට වඩා වරින් වර ඉහළ ගියා.
ගල්ෆ් කලාපයේ තෙල් සහ ගෑස් මත ලෝකය රඳා පවතින ආකාරය මේ යුද්ධය සමඟ මනාව පැහැදිලි වෙනවා. යුද්ධය ආරම්භ වූ දින සිට තෙල් මිල උච්චාවචනය වීම ඊට හොඳම නිදසුනක්. මෙහිදී බරපතළ ලෙස අවදානමකට ලක් ව තිබෙන්නේ අග්නි දිග ආසියාව. මැලේසියාව හා ඉදුනීසියාව ද ඒ අතරට අයත්. පිලිපීනයට බොරතෙල්වලින් 95%ක් පමණ ලැබෙන්නේ මැදපෙරදිග රටවලින්. ඉන්ධන ඉතිරි කර ගැනීම සඳහා දින 04ක වැඩ සතියකට මාරුවීමට ඔවුන් පියවර ගෙන තිබෙනවා. නිවසේ සිට වැඩ කිරීම, රජයේ කාර්යාලවල වායුසමන යන්ත්‍රවල වියදම් අඩු කිරීම වැනි පියවර තායිලන්තය ගෙන තිබෙනවා. වියට්නාමය ඉන්ධන මිල ගණන් 60%කින් පමණ වැඩි කර ඇති අතර බංගලිදේශයේ ද ඉන්ධන සඳහා දිගු පෝලිම් නිර්මාණය වුණා. බ්‍රිරතාන්‍යය ඩීසල් මිල 9%කින් වැඩි කර තිබෙනවා. දකුණු කොරියාව ද පියවර ගත්තේ ඉන්ධන සඳහා තාවකාලික සීමාවක් පැනවීමට. රොයිටර් පුවත් සේවය සඳහන් කරන්නේ ප්‍රංශය ඉන්ධන මිල සංශෝධනය කර ඇති බව. චීනය ඉන්ධන සංචිත පවත්වාගෙන යාමට කටයුතු කර තිබෙනවා. Kpler වෙළෙඳ විශ්ලේෂක ආයතනය දක්වන ආකාරයට දකුණු චීන මුහුදේ පාවෙන ගබඩාවක ඉරාන බොරතෙල් බැරල් මිලියන 46ක් පමණ ගබඩා කර තිබෙන බව සඳහන්. බලශක්ති වෙළෙඳපොළ අස්ථාවර වීම නිසා ආසියාවේ සහ අප්‍රිකාවේ සැපයුම් දාම මෙන් ම ගමන් බිමන්වලට ද බලපෑම් එල්ල වී තිබෙනවා. පොහොර අපනයනය කිරීමට ද බලපෑම එල්ල වුවහොත් ඉන් කෘෂිකර්මාන්තයට ගැටලු මතු විය හැකියි. ආහාර මිල ඉහළ යාමට ද එය හේතුවක්. විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණවලින් ආසියාවේ සහ අප්‍රිකාවේ ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලැබෙනවා. මැදපෙරදිග බොහෝ රටවල සිටින ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ, යුද්ධය නිසා අහිමි වුවහොත් එම රටවලට ප්‍රබල බලපෑමක් එල්ල විය හැකියි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේටය, සවුදි අරාබිය සහ බහරේනය ඇතුළු රටවල පිහිටි ඇමරිකාවට හා ඊශ්‍රායලයට අයත් ඉන්ධන මධ්‍යස්ථානවලට ද ඉරාන ප්‍රහාර දියත් වුණා. ඉරාන South Pars ගෑස් හා ඉන්ධන සහිත ප්‍රදේශයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් කටාරයේ Ras Laffan මධ්‍යස්ථානයට ඉරානය ප්‍රහාර එල්ල කළා. මේ ප්‍රහාරවලින් පසුව අරාබි රටවල නායකයන්ගේ ඒකාබද්ධ ප්‍රකාශනයක් ද නිකුත් වී තිබෙනවා. කටාර්, බහරෙන්, ජෝර්දාන්, කුවේට්, ලෙබනන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් ඊට අයත් වුණා. එහිදී සඳහන් වුණේ මැදපෙරදිග රටවලට ඉරානය ප්‍රහාර එල්ල නොකළ යුතු බව. ලෙබනනයට එල්ල කරන ඊශ්‍රායල ප්‍රහාරවලට ද ඔවුන් විරෝධය පළ කළා. බලශක්ති මිල ගණන් අඛණ්ඩ ව ඉහළ යාමට ද මේ ප්‍රහාර බලපා තිබෙනවා. මේ හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල උච්චාවචනය දිනපතා ම සිදු වීම නොවැළැක්විය හැකි තත්ත්වයක්.
ඉරාන යුද්ධයට අරමුදල් සැපයීම සඳහා පෙන්ටගනය ධවල මන්දිරයෙන් ඩොලර් බිලියන 200ක අරමුදලක් ඉල්ලා තිබෙනවා. එය ජනාධිපති Donald Trumpගේ මැතිවරණ ව්‍යාපාරයේ පිරිවැය ද ඉක්මවා ඇති බවයි වොෂින්ටන් පෝස්ට් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. යුද්ධයේ පළමු දින 06 තුළ ඇමරිකාව ඩොලර් බිලියන 11කට වැඩි වියදමක් දරා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ ආයතනය පෙන්වාදෙන ආකාරයට යුද්ධය හේතුවෙන් ඉරානයේ මිලියන 3.2ක පිරිසක් අවතැන්. ප්‍රහාර හේතුවෙන් 3200ක් වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.
ලෝක ආහාර වැඩසටහනට අනුව යුද්ධය ජුනි මාසය තෙක් පැවතුණහොත් මිලියන 45ක ජනතාවකට උග්‍ර කුසගින්නේ පසුවීමට සිදු වෙනවා. එය ගෝලීය කුසගිනි මට්ටම මිලියන 319ක මට්ටමකට ළඟා වීමක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවමින් කියා සිටියේ යුද්ධය වර්ධනය වුවහොත් එය ගෝලීය ආර්ථිකයට උද්ධමන අවදානමක් ඇති කළ හැකි බව. එය විරැකියාව ඉහළ යාමට ද හේතුවක්. උද්ධමනයෙන් ඇතිවිය හැකි බලපෑම් අඩු කිරීම සඳහා සංවර්ධිත රටවල පොලී අනුපාතය ඉහළ දැමුවහොත් එය ණය බරින් පෙළෙන රටවල ණය අර්බුදයක් ඇතිවීමට හේතුවක් වෙනවා. කෙසේ වෙතත් පුනර්ජනනීය බලශක්තිය, න්‍යෂ්ටික බලය හා ගල් අඟුරු සඳහා ආයෝජන සිදුකර ඇත්නම් එල්ල විය හැකි බලපෑම අවම වන බව ගෝලීය කටයුතු පිළිබඳ මැදපෙරදිග කවුන්සලය සඳහන් කරන කාරණයක්.
ඉරානයට මුල් ම ප්‍රහාරය එල්ල වී පැය හතරක් පමණ ඇතුළත ඉරානය ද ප්‍රතිප්‍රහාර එල්ල කර තිබෙනවා. බැලස්ටික් මිසයිලවල ඉලක්කය වූයේ ඊශ්‍රායලය හා මැදපෙරදිග ඇමරිකා හිතවාදී ස්ථාන සහ ඔවුන්ගේ කඳවුරු. මේ ප්‍රහාරයට දින දෙකකට පෙර ඕමානයේ පැවති සාකච්ඡාව අවසානයේදී එරට විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ ඉදිරි මාස තුනක් ඇතුළත ගිවිසුමකට එළඹීමට හැකියාව පවතින බව. රාජ්‍යතාන්ත්‍රික ගිවිසුමකට ආසන්න ව සිටි අවස්ථාවක මෙවැනි මෙහෙයුමක් සිදුකිරීම පිළිබඳ ව යළිත් සිතා බැලිය යුතු වෙනවා. මේ මෙහෙයුම, ඇමරිකාවේ උපායමාර්ගික කටයුතු සඳහා ද නැතහොත් ඊශ්‍රායලයේ උපායමාර්ගික කටයුතු සඳහා ද යන පැනය තවමත් පවතිනවා. ඉරානයට නව ආධ්‍යාත්මික නායක Mojtaba Khameneiගේ මාර්ගෝපදේශ අනුව ක්‍රියා කළ හැකියි. මේ ප්‍රහාරය කලාපීය යුද්ධයක් දක්වා වර්ධනය වී ඇති අතර අනෙකුත් බොහෝ රටවලට ද බලපෑම් එල්ල කර අවසන්. කෙසේ වෙතත් ඇමරිකාව යුද්ධයට එක් වීම පිළිබඳ ව ඇමරිකාවේ ම රාජ්‍යතන්ත්‍රික නිලධාරින් අප්‍රසාදය පළ කරන අතර ඊශ්‍රායලයේ ද යුද්ධයට එරෙහි ව සිවිල් වැසියන් උද්ඝෝෂණ සිදු කරන මට්ටමක් නිර්මාණය වී තිබෙනවා. මේ යුද්ධයෙන් හෙළි වූ තවත් කරුණක් වූයේ ඇමරිකාවේ තර්ජන හමුවේ යුද්ධයට පක්ෂපාති වීමට යුරෝපා රටවල් ක්‍රියා නොකරන බව. එම ප්‍රතිචාර අයහපත් වීම හේතුවෙන් නේටෝවේ අනාගතයට තර්ජනය කිරීමට ද Donald Trump ක්‍රියා කළ අතර එහි ප්‍රතිඵලය ද එතරම් යහපත් වූයේ නැහැ.
ඇමරිකාවේ ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ ප්‍රධානී Joe Kent සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. යුද්ධයට හෘද සාක්ෂියක් ඇති ව සහාය දීමට නොහැකි නිසා ඉවත්වන බවයි ඔහු සඳහන් කළේ. ඔහු පවසන්නේ “ඉරානය අපේ ජාතියට කිසිදු ආසන්න තර්ජනයක් එල්ල කළේ නැහැ. මේ යුද්ධය ආරම්භ කළේ ඊශ්‍රායලයේ සහ එහි නියෝජිතයන්ගේ බලපෑමෙන්.” යනුවෙන්. ඔහු සිදු කරන ප්‍රකාශය සත්‍යනම් යුද්ධය හුදෙක් ඊශ්‍රායලයේ අවශ්‍යතාව මත සිදු කළේ ද? යන ගැටලුව පවතිනවා. එසේනම් එක් රටක අවශ්‍යතාව මත බොහෝ රටවල් ගැටලුවලට ලක් ව තිබේ ද යන කරුණ පිළිබඳ ව ද විමසා බැලිය යුතු වෙනවා.
මාර්තු 26 දින වන විට ඇමරිකාව සහ ඉරානය අතර සාම සාකච්ඡා සඳහා විවිධ අදහස් සහ යෝජනා පළ වුණා. එහෙත් ඉරාන සඳහන් කරන්නේ ස්ථිර සාමයකට හැර වෙනත් කිසිදු යෝජනාවකට එකඟ නොවන බවත් මේ මොහොත වන විට පවතින වාතාවරණය අනුව සාකච්ඡාවට සූදානම් නැති බවත්. ඇමරිකාව ද සඳහන් කළේ එසේ එකඟ නොවන්නේනම් මෙහෙයුම් අඛණ්ඩ ව සිදු කරන බව. ඊශ්‍රායලය හා ඉරානය අතර ද වරින් වර ගැටුම් උත්සන්න වෙමින් තිබෙනවා.






