#විවිධ

සූර්ය මංගල්‍යයේ සංක්‍රාන්තිය

අලුත් අවුරුදු මංගල්‍යය නැමති සමාජ අවස්ථාව සංස්කෘතිය නැමති පෘථුල විෂය ක්ෂේත්‍රයෙහි අස්පර්ශ සංස්කෘතියට (Intangible Culture) අයත් වන්නක්. සංස්කෘතික උරුමය නමැති දැනුම ප්‍රදේශයේදී එය අස්පර්ශ සංස්කෘතික උරුම (ICH – Intangible Cultural  Heritage) යටතට ගැනෙනවා.

ජනයා ඒකාබද්ධ කරවන සාමුහික උත්සවකාරී අවස්ථා මානව සමාජයට අවශ්‍ය වන්නක්. මානව ඉතිහාසයේ ආදිතම අවධිවල සිට ම මේ ක්‍රියාකාරී, ක්‍රීඩාශීලි, උත්සවකාරී මානව ප්‍රවේශවල දිගුවක් ලෙසට අලු‍ත් අවුරුදු උත්සවය හඳුනා ගන්නට පුළුවන්.

සංස්කෘතිය (Culture) යන වචනය මතු ව ඇත්තේ ස්වාභාවික (Nature) යන වචනයේ සහසම්බන්ධ ප්‍රතිපක්ෂයක් වශයෙන්. ස්වාභාවික පරිසරයට මානව මැදිහත්වීම නිසා සිදු වූ භූමිය වෙනස් කිරීම, කෘෂිකර්මයට එළැඹීම යන අවස්ථා මුල්කොටගෙන සංස්කෘතිය යන වචනය ගොඩනැගීමේ මූලයන් හඳුනා ගත හැකියි.

සූර්යයා නමැති ඉතා බලසම්පන්න වස්තුව මහ පොළොව සමඟ පවතින සබඳතාව, මහ පොළොවේ සමස්ත ජීවවාසී පැවැත්ම සඳහා හිරුගේ භෞතිකමය බලපෑම පාදකකොටගෙන විවිධ මානව සමාජ ඔවුන්ට අනන්‍ය වූ සංස්කෘතික උත්සව සකසාගෙන තිබෙනවා. සූර්ය මංගල්‍යය නමැති සංසිද්ධිය ද එම සංස්කෘතික එළැඹීම්වල එක් සාමාජීය අවස්ථාවක්.

සාම්ප්‍රදායික ව පැවත එන උත්සව සහ ඒ හා බැඳුණු චාරිත්‍රවල සමාජ චින්තනය පසුගාමී කරවන ක්‍රමෝපාය ගැබ් ව ඇති ආකාරය දක්නට පුළුවන්. එමෙන් ම එම ක්‍රියාකාරකම් හා බැඳුණු මිනිස් හා මානවීය වටිනාකම් ද පවතිනවා. අද්‍යතනයේදී සාම්ප්‍රදායික සංස්කෘතික උරුම සුරක්ෂාව පිළිබඳ ව නව දැනුමේ ප්‍රවේශය ද පැමිණ තිබෙනවා. ඒ අනුව අලු‍ත් අවුරුදු උත්සවය, සූර්ය මංගල්‍යය ආදී හැඟවුම්කාරකවලින් මතු කරවන හැඟවුම් සංකීර්ණ වී තිබෙන ආකාරය දක්නට පුළුවන්. එනම් එම උත්සව ක්‍රියාකාරීත්ව සමාජ ප්‍රගමනීය ව වැදගත් වන අතර ම මේ උත්සව අවස්ථා සංකල්පීය ව සිදු කරන්නේ පසුගාමී චින්තන සඳහා අවකාශ සැලසීම.

අලු‍ත් අවුරුදු උත්සවය ශ්‍රී ලාංකේය සමාජයට ගළපා ගත් විට එය ජාතික සමගිය සහ ජාතිකත්වය වෙත මනාව ගළපා ගැනීමේ විභවය පවතිනවා. සිංහල හා දෙමළ පොදු උත්සවයක් වීම එහි විශේෂත්වයක්. එමෙන් ම තනි පුද්ගල ජීවිත, සමාජීය ජීවිත බවට ඒත්තු ගන්වන අතර ම පුද්ගල මානව සබඳතා සඳහා වාර්ෂික ව වෙන් ව තිබෙන සාමාජීය ව වැදගත් වන අවස්ථාවක් ලෙස අලු‍ත් අවුරුදු උත්සවය සුවිශේෂයි.

මීට දශක දෙකකට පමණ පූර්වයෙහි සිට ක්‍රමික ව ව්‍යාප්ත වූ විද්‍යුත් මාධ්‍යවල බලපෑමට අලුත් අවුරුදු උත්සවය නතු වී තිබෙනවා. පූර්ව ප්‍රාප්ත එකී අවධිවල පොදු ජන විඥානයෙහි දේශපාලන මතවාදී සැකසුම සඳහා මේ උත්සවයේ       ප්‍රාසංගික අවස්ථා යොදා ගත් ආකාරය ද දැකිය හැකියි. ඒ අනුව මේ ජන උත්සවයේ හරයන් පිළිබඳ නැවත පරීක්ෂාකාරී විය යුතු ව තිබෙනවා.

විද්‍යුත් මාධ්‍යවල පදනම වනුයේ ලාබ උත්පාදනය. එහි සංස්කෘතික සම්ප්‍රේෂණය යනු ද මාධ්‍ය වෙළෙඳපොළ මත ම සිදුවන්නක්. එහිදී සූර්ය මංගල්‍යය ජනප්‍රිය ප්‍රාසංගික වූවක් බවට උත්කර්ෂයට පත් ව තිබෙනවා. එහිදී මේ උත්සවයේ සාමාජීය ස්වයං පෙලඹවීම යටපත් කර ඒ ඒ විද්‍යුත් මාධ්‍යවල සන්නාම ප්‍රවර්ධනය සඳහා සූර්ය මංගල්‍යයේ සංකේතීය වටිනාකම ගළපා ගත් ආකාරය දක්නට පුළුවන්. අවුරුදු උත්සවය පිළිබඳ ව ගොඩනැඟෙන සමාජීය සංඥාව මාධ්‍ය සන්නාම උත්කර්ෂීය දෙයක් බවට පත් කර සමාජය මතට පතිත කරවන්නක් බවට පත් කර අවසන්. එසේ සකසන ලද සංස්කෘතික සම්ප්‍රේෂණයේදී ස්වාභාවික කොවුල් නාදය මෙන් ම රබන් වාදනයේ සංස්කෘතික නාදය ද මාධ්‍ය වෙළෙඳපොළ තර්කනයට අනුගත කර තිබෙනවා.

මෙලෙස අවුරුදු උලෙළ වාණිජ උපකරණයක් බවට පත්වීමේදී සිදු වූ තවත් කරුණක් වූයේ ග්‍රාමීය දිළිඳු සරලත්වය නාගරික අලංකාරිකයක් ලෙස මෝස්තරකාරී ව උත්කර්ෂයට පත් කිරීම. එය සකසන ලද ව්‍යාජ ග්‍රාමීය සංස්කෘතියක් පාර-භෞතික ව ගොඩනැඟීමක්. එහිදී සිදු වී ඇත්තේ මේ සමාජීය උලෙළ ඊට අයත් තථ්‍ය සමාජ සංදර්භ වෙතින් දුරස් වීමක්. සකසන ලද ප්‍රාසංගික දෙයක් බවට අධිනිශ්චය වීමක්.

මේ කරුණට සාපේක්ෂ ව එම සමාජ අවස්ථාවේ ම දේශපාලන සංදර්භයෙහි සිදු වූයේ තවත් හැඩයක්. එනම් අවුරුදු උත්සවය නැමති සංකල්පය ජාතිකත්වය ගොඩනැඟීම උදෙසා නොව ජාතිවාදී සමාජ ව්‍යුහාත්මක සැකැස්මක් සඳහා ගළපා ගැනීමක්. අවුරුදු උලෙළ, සූ© මංගල්‍යය යන සංකේතීය අංග එම අවස්ථාවල පාලක පංති ප්‍රභූත්වය ගොඩනැගීමේ දෘෂ්ටිවාදී උපකරණයක් බවට පත්වූ ආකාරය දැකිය හැකියි.

මේ සඳහා සමාජ නිරීක්ෂණ කිහිපයක් නිදසුන්කොට ගත හැකියි. එහි එක් නිරීක්ෂණයක්නම් රාජ්‍ය දෙපාර්තමේන්තුවකින් සකසන ලද අලු‍ත් අවුරුදු නැකත් පත්‍රය එම අවස්ථාවල ජනාධිපතිවරයාට පිළිගැන්වීම. එය සකසන ලද නව චාරිත්‍රයක්. එහිදී ජනාධිපතිවරයාට එම නැකත් පත්‍රය පිළිගන්වනු ලබන්නේ අතීත වැඩවසම් රාජාණ්ඩු අවධිවල රාජ දූතයකු ලෙස වෙස්ගන්වන ලද අයෙකු විසින්. එය රාජ්‍ය ආයතනයක පූර්ණ අනුග්‍රහයෙන් මහජන මුදලින් සිදු කරන ලද නව චාරිත්‍රයක්. ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ව්‍යුහයකින් ජනාධිපතිවරයා පත් කළ ද ජනාධිපතිවරයාට එය ඉක්මවා අතීත රාජාණ්ඩුකරණයේ රජු සතු පූර්ණ බලයක් හිමි බවට අදහස් ජනිත කරවීමක් එහිදී සිදු කෙරෙනවා.

තවත් නිදසුන් වනුයේ වැඩ ඇල්ලීම, කිරි ඉතිරවීම, ගනුදෙනු කිරීම, ආහාර අනුභවය ආදී අවුරුදු චාරිත්‍ර ජනාධිපතිවරයාගේ නිවස හා ඔහුගේ පවුල කේන්ද්‍රීය ව සිදු කිරීම විද්‍යුත් මාධ්‍ය ප්‍රචාරණයෙන් කේන්ද්‍රීය අවධානයට ‍යොමු කරවීම. එහිදී පාලක ප්‍රභූ පවුල යන අදහස පොදුජන විඥානයට ඒත්තු ගැන්වෙනවා.  අලු‍ත් අවුරුදු මංගල්‍යය මේ දෘෂ්ටිමය අගතිවලින් මුදවා ගත යුතුයි. කලක් පැවති මේ තත්ත්වය වර්තමානයේ ඉවත් වෙමින් යාම සාධනීය ලකුණක්.

සූර්ය බලපෑම මත ජීවවාසී ලොවේ සිදුවන වෙනස්කම් සූර්යයාට සාපේක්ෂ ව පෘථිවිය චලනමය ලෙස වෙනස්වීමේදී ඒ ඒ භූමි කලාපවල පාරිසරික හා මානව සමාජවලට සිදුවන බලපෑම භෞතික ව ගළපා ගත් මේ උත්සව අවස්ථාව පෘථුල ව අර්ථ ගන්වා ගත යුතු ව තිබෙනවා. අවුරුදු උත්සවය තේමා කරගෙන ගොඩනැඟෙන සංවාද හා ශාස්ත්‍රීය ප්‍රවේශ ඔස්සේ අලු‍ත් අවුරුද්ද යන්න අතීත සමාජ උත්කර්ෂයට පත් කිරීමක් ලෙස දැකිය හැකියි. එය ගෙවී ගිය අතීතයක් පිළිබඳ ව එසේ පැවති සමාජවල යථාර්ථයට වැඩි දෙයක් (Hyperreality). බොහෝවිට එම සංවාද මානව සමාජ ගතිකත්වය මගහැර යන්නක්.

ඒ අනුව අලු‍ත් අවුරුද්ද යන සංකල්පය අර්ථ ගන්වා ගැනීම සඳහා විචාරාත්මක චින්තනය අවශ්‍ය වන අතර ඒ සඳහා නව සමාජ න්‍යාය ඇසුරු කර ගැනීමත් අවශ්‍ය වෙනවා. අද්‍යතනයේදී විද්‍යුත් මාධ්‍ය අවකාශ ප්‍රවේශ වී ඇත්තේ සංඛ්‍යාංක  තාක්ෂණය වෙතට. එහි පුද්ගල ජීවිත අතථ්‍ය අවකාශය (¹irtual Space) මත රැ​ඳන්නක් බවටත් ශරීරමය ක්‍රියාකාරී, ක්‍රීඩාකාරී සහභාගිත්වය වෙනුවට එය නැරඹීමට හුවමාරු වූ අවස්ථාවක් බවටත් පත් ව තිබෙනවා. ඒ අනුව අලු‍ත් අවුරුදු උත්සවය මානව ජීවිතයේ ජීව විද්‍යාත්මකවත් සමාජ ජීවිතයේ මානවීය අර්ථයෙනුත් නැවත හරයාත්මක ව මතුකර ගත යුතු ව තිබෙනවා.