මිනිසාට ඇස තියන රුසියානු ලිවිසැරිය
“කිසියම් ලේඛකයකු හදවත් සසල කිරීමට පිළිසන් දෙන්නේනම්, ඔහු සත්‍ය වන්දනා කළ යුතු ය. මිනිස් චින්තනයේ බුද්ධිය විශ්වාස කළ යුතු ය. ජීවිතය කෙරෙහි බැඳුණු ප්‍රේමයෙන් යුක්ත විය යුතුය.” ‘රුසියාව’ ත්‍රෛමාසික සඟරාවේ පස් වැනි වෙළුමේ පනස් අට වැනි කලාපයෙන් මේ කියමන උපුටා ගැනුණේ ලාභ ඉපැයීම නොව මිනිසා ඥානනය කරවීම පරමාර්ථය කරගත් රුසියානු සාහිත්‍යයේ අදට ඔබින ගෝලීය ගැළපුම පිළිබඳ කතාබහකට ප්රවිශ්ටයක් වශයෙන්.
ලෝකයට රසවින්දනාත්මක මානවවාදී උත්තේජනයක් ලැබ දුන් සෝවියට් රුසියානු සාහිත්‍යය පිළිබඳ වත්මන් විචාරකයා සංවාද කරන්නේ එය පූර්ව සෝවියට් සාහිත්‍ය හෙවත් රුසියානු සාහිත්‍ය, සෝවියට් සාහිත්‍ය සහ නූතන රුසියානු සාහිත්‍ය වශයෙන් යුග තුනකට වෙන් කරමින්. මේ සංවාදවල ප්‍රබල තේමාවක් ව ඇත්තේ 21 වැනි සියවස උදෙසා සෝවියට් රුසියානු සාහිත්‍යයේ වලංගුභාවය කෙබඳු ද? යන්න. 2026 ජනවාරි 27 සහ පෙබරවාරි 03 දිනවල රුසියානු සාහිත්‍ය කවයේ 20 වැනි සංවත්සරය අළලා කොළඹ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවැති සාහිත්‍ය සංවාද මණ්ඩපයේ ද වැඩි බරක් වෙන් කර තිබුණේ මේ මාතෘකාවට.
1957 වසරේදී සෝවියට් දේශයත් ශ්‍රී ලංකාවත් අතර නිල රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇරඹෙන්නට පූර්වයේ සිට ම දෙරට අතර පැවතියේ දැඩි සාහිත්‍ය සබඳතා. රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇරඹීමේ පටන් සෝවියට් කෘති සිංහල භාෂාවට පරිවර්තනය වීම වේගවත් වූ බව පවසන නැගෙනහිර ආණ්ඩුකාර, ප්‍රවීණ පරිවර්තක, මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර ඉහත යුග තුනට ම අයත් රුසියානු සාහිත්‍ය සමස්ත ලෝකයට ම එක සේ වලංගු වන්නට හේතු පෙන්වා දෙනවා. විචිත්‍ර රුසියානු ළමා කෘති පරිවර්තනවලින් රුසියාව පිළිබඳ පාඨක මනසේ ඇඳි අලංකාර චිත්‍රය ළමා පාඨකයා වැඩිහිටියකු වූ පසු ද නොමැකී පැවතීමේ ගුණය ඒ අතර ප්‍රධානයි. ඉන් කියැවෙන්නේ එරට ළමා සාහිත්‍ය මානව චින්තන පෙරළියකට මග පාදන ප්‍රබල එකක් බව. ලස්සන වසීලිස්සා, හත්පෙති මල, සින්දු කියන වෘකයා, පණ ඇති තොප්පිය, වැඩ බැරි දාස, වීත්යාගේ ඉස්කෝලේ, වංගගිරිය, මගේ හපන්කම්, සංගීත පාඩම වැනි සිය ගණනක් වූ සිංහලයට පරිවර්තිත රුසියානු ළමා සහ යොවුන් පොත් එබඳුයි.
සිංහලයට පරිවර්තනය වූ නවකතා, කෙටිකතා සහ වෙනත් ශානරවල කෘති ද ලක් වුණේ ජනාදරයට. ඒ අතරට අයත් අම්මා, ගුරුගීතය, යුද්ධය හා සාමය, අපරාධය සහ දඬුවම, පෙර`එෑ නැවුම් පස, මළ මිනිස්සු, ජමිලා, සූදු අන්තුවා, හතළිස් එක් වැන්නා, දොන් නදිය නිසල ව ගලා බසී, මගේ ජනරාල්, ගිනිමැළයට පිඹ පරමාණුව බිඳ, වංශවතුන්ගේ කැදැල්ල, සමුගනිමි ගුල්සාරි, සුදු නැව, දංගෙඩිය, වානේ පන්නරය ලැබූ හැටි, මිනිසුන් අතර, අඳ වාදකයා, රතු රුවල්, පුදුම රතු කුසුම, උපන් ලපය, සැබෑ මිනිසකුගේ කතාවක්, විප්ලවය මගේ තක්සලාව, යකඩ ප්‍රවාහය, ඔවුන් යුද වැදුණේ මව්බිම වෙනුවෙනි, කමකට නැති එකකුගේ ජීවිතය, ධීවර ගීතය, මගේ සරසවි, ඇනා කැරනිනා, ඔක්තෝබර් රුසියානු විප්ලවයේ කතාව, හිම කබාය සහ තවත් කෙටි කතා, සුන්දර නතාෂා, උණු පාන් සහ තවත් කතා, කොපු තුළ සිටින මිනිසා, 19 වැනි ශතවර්ෂයේ රුසියානු කෙටිකතා, හාදුව, තුන් අවුරුද්ද ඇතුළු සිය ගණනක් වූ ජනප්‍රිය කෘති මෙරට සමාජයට කළ බලපෑම සුවිශාලයි.
දරුණු රාජාණ්ඩු පාලනයක, ශ්‍රේෂ්ඨ මහා විප්ලවයක සහ භූ දේශපාලනමය බිඳවැටීමක අත්දැකීම්වලින් දේශපාලනික ව හා සමාජීය ව මිරිකෙමින් පෝෂිත සෝවියට් දේශය සාහිත්‍යයට දැක්වූ සහනශීලීභාවය හේතුවෙන් රුසියානු කෘති පරිවර්තනය වී ලොවේ පාඨකයා අතට ගියේ ඉතා පහසු මිලකට. එම පොත් බොහොමයක පැවැතියේ වයස් භේදයකින් තොර ව නැවත නැවත රසවිඳීමට පොළඹවනසුලු ආකර්ෂණීයත්වයක්. ප්‍රේමය, මිත්‍රත්වය, උද්යෝගය, අභිප්‍රේරණය, ආදරය, ජයග්‍රහණය, සත්කාරය වැනි මානව ගුණාංග සරල ව සුන්දර ව විවරණය කිරීම, මිනිසාටත් ගහකොළටත් සතාසිව්පාවාටත් ආදරයෙන් කුතුහලය සහ ආස්වාදය සුරැක පාඨකයා ඇද බැඳ තබා ගැනීම වැනි වටිනාකම් ද රුසියානු සාහිත්‍ය ජාත්‍යන්තරයේ ප්‍රචලිත වීමට බලපෑවා. පහසුවෙන් වැටහෙන සුඛනම්‍ය භාෂාවෙන් අමතන, පරිකල්පනීය සහ අලුත් සිතුවිලි අවදි කරවන (Expert Thinking) රුසියානු සාහිත්‍යය ඕනෑ ම රටක ජනතාවට දනවන්නේ මිත්‍රශීලී හැඟීම්. මානව ජීවිතයේ ප්‍රමුඛතම බලාපොරොත්තු වන විනෝදය, ප්‍රමෝදය, ප්‍රීතිය, සැහැල්ලුව, සතුට සහ ආනන්දය ජනිත වන සාහිත්යයකුයි රුසියාව සතු. සිය දේශය පුබුදුවාලන අනාගත ජන සමාජයක් නිර්මාණය කිරීමේත් වංචාකාර, දූෂිත, චෞර, පාදඩ, ම්ලේච්ඡ, මජර ගති ලක්ෂණ සහිත භූමියේ දේශපාලන සහ ආර්ථික දේහයට වඩාත් මානුෂීය මුහුණුවරක් දෙන්නට මහජනයා ඒකරාශී කිරීමේත් ලා සාහිත්‍ය භාවිතාව ලෝකයට හුරු කළේ ප්‍රධාන වශයෙන් සෝවියට් රුසියාව. ශ්‍රී ලංකාවේත් එබඳු ප්රගතිශීලී ජනරාශියක් බිහිවීමට එයින් ලැබුණේ ප්‍රබල මතවාදී දායකත්වයක්.
ධනවාදය, නව ලිබරල්වාදය විසින් නොසලකා හරිනු ලබන ‘මනුෂ්‍යත්වය’, කොමියුනිස්ට්වාදය විසින් සැලකිල්ලට භාජනය කරවනු ලබන බව ප්‍රායෝගික ව ඔප්පු කරන්නට සෝවියට් රුසියානු සාහිත්‍යය ඉටු කළ මෙහෙය අතිමහත් බව කියන මහාචාර්ය රත්නසේකර නැවත යථාවත් කළ නොහැකි තරමට පෘථිවි ගෝල පරිසරයත් ඒ මත දිදුළ මානවීයත්වයත් විනාශ වී ඇති වර්තමානයට, එය පරිශීලනය කිරීම එදාට වඩා ඔබින බව අවධාරණය කරනවා.
ප්‍රවර්ධනය සඳහා රුසියානු සාහිත්‍ය කෘති නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරමින් ඔවුන්ගේ ජන සාහිත්‍යත් නව ගැමි සාහිත්‍යත් ලෝකයේ වෙනත් භාෂාවලට පරිවර්තනය කිරීම වේගවත් කර ඇති බව මොස්කව් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සහ සිංහල භාෂාව පිළිබඳ සහාය මහාචාර්ය බරීස් වල්හෝන්ස්කි පවසනවා. සිය විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා උපාධි පාඨමාලාවට එකතු වන ශිෂ්‍ය සංඛ්‍යාව වාර්ෂික ව ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන අතර මොස්කව් සාහිත්‍ය අධ්‍යයන ආයතනය, විවිධ සාහිත්‍ය සංගම්, ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික සංවිධානවල මූලිකත්වයෙන් ලෝක සාහිත්‍ය සහ විවිධ භාෂා අධ්‍යයනයට පාඨමාලා, සාකච්ඡා, සම්මන්ත්රණ, වැඩමුළු, ප්‍රදර්ශන, තරග, උලෙළ, පොත් එළිදැක්වීම් යනාදිය පවත්වන බවත් සිංහල සහ වෙනත් භාෂාවල පොත් පත් රුසියානු බසටත් රුසියානු පොත්පත් සිංහල ඇතුළු අනෙක් භාෂාවලටත් පරිවර්තනය කළ හැකි භාෂා විශාරද රුසියානුවන් ඉදිරියේදී වැඩි වැඩියෙන් කල එළි බසිනු ඇති බවත් කියනවා.
රුසියාවේ පළ වන ‘සාහිත්‍ය හඳුනා ගැනීම’ මාසික සඟරාවේ ප්‍රධාන සංස්කාරිකා, ළමා සාහිත්‍යවේදිනී මහාචාර්ය ලෝලා ස්වනරියෝවා පවසන්නේ රුසියානු සාහිත්‍ය ජාත්‍යන්තරයටත් ලෝක සාහිත්‍ය රුසියාවටත් හඳුන්වා දීමට තම සඟරාව ක්‍රියාත්මක කරන විදෙස් සාහිත්‍ය වෙනුවෙන් දායක වීමේ වැඩපිළිවෙළ යටතේ 2025 දෙසැම්බර් කලාපයේ හරි අඩක එනම්, පිටු 144ක සීගිරි කුරුටු ගී 20ක්, කව්සිළුමිණේ 1 සර්ගය, ගිරා සංදේශයේ කවි 30ක් ඇතුළු ව ශ්‍රී ලාංකේය සිංහල මාධ්‍ය සහ දෙමළ මාධ්‍ය ප්‍රවීණ සාහිත්‍යකරුවන් 28 දෙනකුගේ ගද්‍ය පද්‍ය නිර්මාණ රුසියානු භාෂාවට පරිවර්තනය කර පළ කළ බවත්.
තව ද රජය ලේඛකාධාර ව්‍යාපෘති වැඩි කිරීම, මොස්කව්හි සංචාරය කරන්නන්ට අවශ්‍ය මාර්ගෝපදේශ සාහිත්‍යමය ලේඛන අනුසාරයෙන් ඉදිරිපත් කිරීම, සාහිත්‍ය කෘති පදනම් කරගෙන පරිගණක ක්‍රීඩා සකස් කිරීම, විදෙස් රුසියානු සාහිත්‍ය පරිවර්තකයන් අගයනුවස් ලියෝතෝල්ස්තෝයි රන් පදක්කම වැනි ඇගයුම් ප්රදානය කිරීම, රුසියාවේත් ප්‍රංශය හා ශ්‍රී ලංකාව ඇතුළු ව වෙනත් රටවලත් වාර්ෂික ව රුසියානු සාහිත්‍ය උලෙළ, සංකථන, තරග සහ ප්‍රදර්ශන පැවැත්වීමත් සිදුකරන බවයි ඇය සඳහන් කරන්නේ. දියුණු ජනසන්නිවේදන සාහිත්‍යයක් ද රුසියාවේ තිබෙන අතර වැඩිහිටියන් (පෙර පරපුර) හා ළමයින් (වත්මන් පරපුර) අතර අනෙf්‍යා්න්‍ය සම්බන්ධය වර්ධනය කිරීම මූලික කරගත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ද මගින් නූතන රුසියානු සාහිත්‍යයේ දේශීය හා ගෝලීය වටිනාකම ඉහළ නැංවීමට එරට පියවර ගෙන තිබෙනවා. මේ අනුව රුසියානු සාහිත්‍ය ප්‍රතික්ෂේප කිරීමට, බැහැර කිරීමට සහ අභියෝගයට ලක් කිරීමට අනාගතයේදී කිසිවකුට ඉඩක් නොලැබෙනු ඇති.
ජාතික සහ ජාත්‍යන්තර ඇගයුම්ලාභී රුසියානු සාහිත්‍යවේදී, මේජර් ජනරාල් ආචාර්ය පාවෙල් ක්රිනියෝෆ් ප්‍රකාශ කරන ආකාරයට සොබාදහම, සත්ත්ව චර්යා, සෞන්දර්යය, දේශප්‍රේමය, යුද්ධය, අරගල සහ මානවහිතවාදය ද රුසියානු සාහිත්‍යයේ ප්‍රධාන පැතිකඩ. මේ කෘතිවල ප්‍රාදේශීය සහ උප භාෂාවල වචන භාවිතාව බහුල නිසා ඒවා ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවලට හෝ පරිවර්තනය කිරීමේදී පරිවර්තකයන් අසීරුතාවලට මුහුණපාන නිසා උසස් රසවින්දනයක් සහිත කෘති ජාත්‍යන්තරයේ ප්‍රචලිත වීම යම් පමණකින් සීමා වීමේ ගැටලුව ඔහු පෙන්වා දෙනවා.
බටහිර, ලතින් ඇමරිකානු, අප්‍රිකානු, ජපන්, චීන, අරාබි වැනි නව සාහිත්‍ය ධාරා ලෝකයේ ව්‍යාප්ත ව පැවතියදී තවදුරටත් සෝවියට් රුසියානු සාහිත්‍යය කර තබාගෙන යාම ප්‍රායෝගික ද? යන පැනය ඇතැමුන් විමසන බව මහාචාර්ය ටියුඩර් වීරසිංහ සාකච්ඡා කරනවා. සෝවියට් සංගමයත් කොමියුනිස්ට්වාදයත් බිඳ වැට්ටවීමට සමගාමී ව ඒ හා සම්බන්ධ කලා, සාහිත්‍ය, සංස්කෘතික සහ තාක්ෂණික ඵලදායිතාවත් ශාස්ත්රාලයීය වටිනාකමත් යටපත්වුණු නිසා බැලූ බැල්මට පෙනෙන්නේ සෝවියට් රුසියානු සාහිත්‍යයේ අදට වලංගුභාවයක් නැති බවක්. එහෙත් 21 වැනි සියවසේ මුල් දශකය අවසන් වන විට ධනේෂ්වරයත් ලිබරල්වාදයත් මනුෂ්‍ය වර්ගයාගේ ජීවිතයේ ප්‍රධාන ක්ෂේත්‍ර පහ වන ආර්ථිකය, දේශපාලනය, ජීවනාර්ථය, මනුෂ්‍යත්වය, මානව සමාජ පරිණාමය යන ක්ෂේත්‍ර ඔස්සේ අර්බුදයට ලක් වූ බව ගෙනහැර දක්වන ඔහු එකී අර්බුද අතරින් පස් වැන්න ඇරඹෙන්නේ මානව වංශ කතාවේ පළමු වතාවට බවත් ප්‍රකාශ කරනවා. එම අර්බුදය විසඳීමට පූර්වාදර්ශයක් නොමැතිකමින් සිදු වුණේ ඒ පිළිබඳ කතිකාවක් සංවිධාන නොවීම, අර්බුද තත්ත්වය වර්ධනය වීම සහ අර්බුදය විසඳීමට තබා එහි ස්වභාවය තේරුම් ගැනීමටවත් බැරි වීම.
බටහිර ලිබරල්වාදයේ පැතිරීමත් සමඟ සෑම පෘථිවි වැසියකුට ම තිබෙන තම තමන්ට අනන්‍ය සංස්කෘතික කේතය (Cultural Code) විකෘති වීම තීව්ර වුණා. එසේ නන්නත්තාර වූ ලොව විවිධ ජනවර්ග සතු ව පැවතෙන ඉතිහාසය, සංස්කෘතිය, කලාව, සාහිත්‍යය, සභ්‍යත්වය මත හැඩගැසුණු ජීවිතය සහ හෙට දවස පිළිබඳ සැලසුම්, සංකල්ප පාදක සංස්කෘතික කේතය යළි නගා සිටුවීමේ අභියෝගාත්මක අවශ්‍යතාව ද මතු වුණා. එයින් අදහස් කරන්නේ මානව සමාජීය පරිණාමය යථාවත් කිරීම. එහිදී විශාලතම භූමිකාව භාර වන්නේ සෞන්දර්යයට. සෞන්දර්යය පවතින්නේ කලාව, සාහිත්‍ය, ඉතිහාසය මූලික විෂය ක්ෂේත්රවල බව කියන මහාචාර්ය ටියුඩර් වීරසිංහ: “වසර 1000ක පමණ සමස්ත ඉතිහාසයක් ඇති රුසියානු සාහිත්‍යයේ මානවාදී ස්වරූපයේ වැදගත්කම පෙන්වා දෙමින් දාර්ශනිකයෙකු, චින්තකයෙකු සහ දේශකයෙකු වූ තෝමස් වූම්, සෝවියට් රුසියානු සාහිත්‍යය මෙතරම් ලෝක ජනයා අතර ප්‍රචලිත වීමට හේතුව එහි ඇති නොකිලිටි, පාරිශුද්ධ, මානුෂිකත්වයේ විශිෂ්ටත්වය (Humanity) යැයි ප්‍රකාශ කරනවා. ඒ නිසා මානව නිදහසවත් ජාතික නිදහසවත් නොවන හුදු පුද්ගලික නිදහස පමණක් අපේක්ෂා කරන ලිබරල්වාදීන් ඊට බාධා වන සංස්කෘතිය, දේශපාලනය, ජනවර්ගය, ආගම, ලිංගිකත්වය යනාදී සමාජ සාධක මෙන් ම ප්‍රබල ම බාධකය ලෙස සලකන ‘මනුෂ්‍යත්වය’ වෙත දැඩි ප්‍රහාර එල්ල කරනවා. පරිණාමීය මානවයාගේ නැණවත් සහ බුද්ධිමත් අවධිය වන හෝමෝසේෆියන්, හෝමෝටෙක්නිකස් දක්වා විතැන් කරවීම සිදු කරන්නේ ඒ අනුව. සමාජීය පරිණාමය (Social Evolution), මානව පරිණාමය (Human Evolution), සංක්‍රාන්තික ලිංගිකත්වය (Trans Gender) යනාදී විවිධ වේශවලින් හැසිරෙන්නේ මේ විතැන් කිරීමේ ක්‍රියාවලිය. ඊට හසුවූවන්ට කලාව, සාහිත්‍යය, දර්ශනය, ආගම-දහම වැනි කිසිවක් අදාළ නැහැ. එබැවින් අර්බුදයට ලක්වන මනුෂ්‍යත්වය සහ මනුෂ්‍යයා යළි නිර්මාණය කළ යුතුයි. එය ඉටු කිරීමට බටහිර විද්‍යාවට අපහසුයි. ඒ ශක්තිය ඇත්තේ පෙරදිග සභ්‍යත්වයට සහ රුසියානු සාහිත්‍යයට. ඒවා සතු මනුෂ්‍යයකු නිර්මාණය කිරීමේ බලය 19 වැනි හා 20 වැනි සියවස්වලට වඩා වලංගු වන්නේ මනුෂ්‍යයා ආධ්‍යාත්මික ව සහ දෘෂ්ඨිවාදී ව පරිහාණියට පත් ව ඇති 21 වැනි සියවසට. සෝවියට් රුසියානු සාහිත්‍යය සහ පෙරදිග දර්ශනවාද මේ සඳහා පූර්ණ විසඳුම නොවුණත් බටහිරින් හඳුන්වා දුන් මනුෂ්‍යයා ප්‍රතිස්ථාපනය (Re-format) කිරිමේ ව්‍යාපෘතියට මුහුණදීමට එතරම් ප්‍රබල වෙනත් විකල්පයක් නැහැ.”
රුසියානු සාහිත්‍යය බිහි ව ඇත්තේ වැඩවසම් සහ ධනේෂ්වර ක්‍රමයට එරෙහි දෘෂ්ටිවාදයක් ආකාරයෙන් මනුෂ්‍යත්වය, සමාජ සාධාරණත්වය, මානව නිදහස උත්කර්ෂයට නංවන්නට. තමන්ගේ සියලු ප්‍රශ්න විසඳමින් අන්තර්ජාලය විසින් ම සමාජය ජීවත් කරවනු ලබන ජාතිය, ජන්මය, ඉතිහාසය, සංස්කෘතිය, භාෂාව ඇතුළු සමස්ත වටිනාකම් ජාලේෂ්වරය විසින් නිෂේධනය කරනු ලබන මනුෂ්‍යත්වය ඛාදනය වූ අතථ්‍ය ඉඩකඩක (Virtual Space) වාසය කරන පරපුරට හොඳම නිරෝධායන ශක්තිය මේ සෝවියට් රුසියානු සාහිත්‍යයේ තිබෙනවා. ඓතිහාසික, මනෝවිද්‍යාත්මක, දාර්ශනික අගය, ගැඹුරු මානව සම්බන්ධතා සහ ආධ්‍යාත්මිකත්වය සාකච්ඡා වන සෝවියට් රුසියානු සාහිත්‍යයේ එකී සර්වකාලීන වලංගු බව ලෝකයාට වැටහුණත් ඔවුන් ස්වාභාවික ව හෝ ස්වයං ව හෝ ඊට නැඹුරු වන්නට සූදානම් නැහැ. එය සවිඥානික ව සිදු කළ යුත්තක්. ඒ සඳහා 21 වැනි ශතවර්ෂයට යෝග්‍ය සාහිත්‍යමය සංස්කෘතියක අනාගත ප්‍රතිරූපයක් නව පරම්පරාවට සම්ප්‍රේෂණය කළ යුතුයි. සෝවියට් රුසියානු සාහිත්‍යයට සහ අධ්‍යාපනයට ඉතා සංවිධිත ව එවැන්නක් සිදුකර අතීත අත්දැකීම් තිබෙනවා. එය ප්‍රයෝජනයට ගතහොත් ඛාදනය වූ මනුෂ්‍යත්වය නඟාසිටුවා යළි මනුෂ්‍යයකු නිර්මාණය කර ගැනීමට හැකියාව තිබෙනවා.






