වීදුරු සිවිලිම බිඳීම සහ නිදහසේ සීමා මායිම්
ජාත්‍යන්තර කාන්තා දිනය යනු හුදෙක් සුබපැතුම් පත්වලට හෝ වෙළෙඳපොළ වට්ටම්වලට හෝ සීමා වූ දිනයක් නොවෙයි. එය දශක ගණනාවක් තිස්සේ කාන්තාවන් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කළ අරගලයේ සහ අත්පත් කරගත් ජයග්‍රහණවල සංකේතය. තවමත් විවිධ කෝණවලින් ස්ත්‍රිය පීඩාවට පත් වන ලෝකයක වුව ද කාන්තාව අධ්‍යාපන, වෘත්තීය සහ ආර්ථික ක්ෂේත්‍රවල ලබා ඇති ප්‍රගතිය අතිමහත්. එහෙත් එම ජයග්‍රහණ සැමරිය යුත්තේ එම ප්‍රගමනය සිදුවන ‘රාමුව’ පිළිබඳ විවේචනාත්මක අවබෝධයකින් යුතු ව.
ඒ අනුව අප ලාංකික කාන්තාව දෙස බැලිය යුත්තේ හුදු වින්දිතයෙකු ලෙස නොවෙයි. ඇය යටත්විජිතවාදය, ධනවාදී වෙළෙඳපොළ සහ පීතෘමූලිකත්වය වැනි දැවැන්ත ව්‍යුහවල පීඩනය ද දරාගෙන ඒ සෑම ව්‍යුහයක් තුළ ම සිය නිදහස සහ ජීවිකාව උදෙසා අරගල කරන ‘ක්‍රියාකාරී නියෝජිතවරියක්’. පොදු ලාංකික කාන්තාවගේ අරමුණ වන්නේ මේ ව්‍යුහ පරාජය කිරීමේ න්‍යායාත්මක සටනක් නොව පවතින රාමුව ඇතුළේ හිඳිමින් තම ජීවිතය සහ පවුල රැකගැනීමේ ප්‍රායෝගික පැවැත්ම තහවුරු කර ගැනීම.
වර්තමාන ලාංකික කාන්තාව තමන් මත පැටවුණු බටහිර කේන්ද්‍රීය දියුණුවේ ආකෘති සහ වෙළෙඳපොළ අවස්ථා භාවිත කරමින් සිය නිදහස සෙවීමට උත්සාහ කරනවා. ලෝක වෙළෙඳපොළ තුළ පරිධියේ රටක සිටින ලාංකික පොදු කාන්තාවන් ඇඟලුම් කර්මාන්ත රැකියා, විදේශ ගෘහ සේවය සහ වතු කම්කරු වැනි අඩු වැටුප් සහිත රැකියාවලින් රටේ ආර්ථිකයට විදේශ විනිමය සපයන අතර රාජ්‍ය අංශයේ ද රැකියාවල බහුතරය කාන්තාවන්. පුද්ගලික අංශයේ ද රැකියාවල කාන්තාවන් නිරත වෙනවා. මේ වැඩ ලෝකයේ වීදුරු සිවිලිම් කඩාගෙන ඉහළට යෑමේ වටිනාකම ගැන ද කතාබහක් පවතිනවා.
කාන්තාවන් රැකියාවකට යන්නේ හෝ ව්‍යවසායිකාවක වන්නේ තමන්ගේ ම ආර්ථික ස්වාධීනත්වයක් ගොඩනඟා ගැනීමට. එහෙත් එම රාමුවේ ඇය සොයන ‘නිදහස’ ම ඇය ව තවත් පැතිවලින් හිර කරනවා. මූල්‍යමය නිදහස සොයා වෙළෙඳපොළට පිවිසෙන කාන්තාවට ‘ද්විත්ව වැඩ බරක්’ දැරීමට සිදුවෙන බව ස්ත්‍රීවාදීන් පෙන්වා දී ඇති කරුණක්. ඇය රැකියාවේ වැඩ කරන අතර ම නිවසේ සාම්ප්‍රදායික වගකීම්වලින් නිදහස් නැහැ. මේ අනුව ඇය නිදහස කියා වැලඳගන්නා ධනවාදී ආර්ථික අවකාශය ඇත්ත වශයෙන් ම ඇය ව තවදුරටත් වෙහෙසට පත් කරන උගුලක් බවටයි පත්වෙන්නේ. ඇය වීදුරු සිවිලිම බිඳ දැමුව ද ඒ බිඳුණු වීදුරු කැබලි මත ඇයට ඇවිදීමට සිදු වී තිබෙනවා.
මේ සමඟ ම බොහෝ රටවල තරුණියන් විවාහය හා දරුවන් බිහි කිරීම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කිරීම ගැටලුවක්. පුරුෂමූලික ක්‍රමය වඩා ශක්තිමත් එහෙත් වෙළෙඳපොළ නැගී සිටීම ද ඒ තරමට ම ඇති දකුණු කොරියාව, ජපානය සහ චීනයේ සමහර නගරවල මෙය වඩා පැහැදිලි ව දක්නට ලැබෙනවා.
යටත්විජිතකරණය විසින් අපේ දේශීය සමාජය තුළ තිබූ සාමුහික වටිනාකම් යටපත් කර, ඒ වෙනුවට තනි පුද්ගල නිදහස සහ වික්ටෝරියානු සදාචාරය ආදේශ කළා. ග්‍රාමීය ලාංකික කාන්තාව සතු ව එකිනෙකා රැකබලා ගන්නා, ‘අත්තම්‘ වැනි සහයෝගිතා ජාල තිබුණා. එය ධනවාදී වෙළෙඳපොළට හසු නොවූ සැබෑ ප්‍රජා ශක්තියක්. අතීත ගැමි සමාජයේ ද කාන්තාවන් යම් යම් සීමා කිරීම්වලට නතුවන්නට ඇති. එහෙත් අද අප මුහුණදෙන ගැටලුව වන්නේ, එම පැරණි ප්‍රජා සහයෝගිතාව දිය වී ගොස් ඒ වෙනුවට වෙළෙඳපොළ විසින් සියල්ල ‘අලෙවි කරන සේවාවක්’ බවට පත් කිරීම. මූල්‍යමය දියුණුව වෙනුවෙන් වැඩකරන කාන්තාවට එදා ඇය වටා තිබූ එම මානුෂීය සහයෝගිතාව අහිමි වී තිබෙනවා. වෙළෙඳපොළ තුළ නිදහස සොයන තරමට වන්නේ ඇය හුදෙකලා වීම.
කාන්තාව අධ්‍යාපනික ව සහ ආර්ථික ව සක්‍රිය වීම නිසා සාම්ප්‍රදායික පවුල් ව්‍යුහය තුළ තිබූ බල තුලනය වෙනස් වී තිබෙනවා. මෙහිදී කාන්තාව සෘජු ව පුරුෂාධිපත්‍යයට එරෙහි ව සටන් වදින්නේ නැහැ. ඇය උත්සාහ කරන්නේ පවතින ගැටුම් මඟහරවා ගනිමින් තම ජීවිතය කළමනාකරණය කර ගැනීමට. එහෙත් මේ ක්‍රමය ඇතුළේ පිරිමියාට ද ඇත්තේ සිය අනන්‍යතාව පිළිබඳ අර්බුදයක්. අද සමාජයේ පවතින ගැටලුවක් වන්නේ ස්ත්‍රියගේ භූමිකාව වෙනස් වීමත් සමඟ පිරිමින්ට සිය භූමිකාව කුමක්දැයි අවබෝධ කරගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබීම.
පිරිමියා සහ කාන්තාව යනු එකිනෙකාගේ සතුරන් නොවෙයි. මේ දෙපිරිස ම පුරුෂාධිපත්‍යයෙන්, වෙළෙඳපොළෙන් සහ යටත්විජිතකරණයෙන් පාලනය වන සහ නිර්මාණය වූ පිරිස් වේ. සැබෑ නිදහස යනු මේ ක්‍රමවලින් ඔබ්බට දැකීම.
සැබෑ විමුක්තිය ලැබෙන්නේ පුරුෂමූලික, ධනවාදී සහ බටහිර කේන්ද්‍රීය ක්‍රමය තුළ නිදහස සෙවීමේ හුදෙකලා අරගලයකින් නොවෙයි. ඒ වෙනුවට එම රාමුවෙන් ඔබ්බට ගිය අහිමි වූ සාමුහිකත්වය, එකිනෙකා රැකගැනීම සහ බෙදාහදා ගැනීම වැනි වටිනාකම් මත පදනම් වූ නව ප්‍රජාමූලික සංස්කෘතියක් ගොඩනැඟීමෙන්.
කාන්තාවට අවශ්‍ය වන්නේ පිරිමියා හා තරග වදින වෘත්තීය ලෝකයක හුදෙකලා වීමට ද නැත්නම් ඇය සතු ‘රැකවරණයේ ශක්තිය’ පිරිමියා සහ සමස්ත සමාජය සමඟ සම ව බෙදාගන්නා ක්‍රමයක් ද යන්න අප ප්‍රශ්න කළ යුතු වෙනවා. පවතින රාමුවේ කාන්තා නිදහස යන මාතෘකාවෙන් ඔබ්බට පවතින රාමු වෙනුවට ස්ත්‍රීමූලික වටිනාකම්වලින් ගොඩනැගුණු සමාජයක් ගැන මේ කාන්තා දිනයේදී අපට සිහින දැකිය හැකියි.
එය අතීතයට ආපසු යාමක් නොව, අතීතයේ තිබූ මානුෂීය සහයෝගිතාව නූතන නිදහස සමඟ බද්ධ කළ ‘නව ගම්මානයක්’ නිර්මාණය කිරීමක්. සැබෑ ප්‍රගමනය යනු වෙළෙඳපොළේ සාර්ථකත්වය නොව මනුෂ්‍යත්වය සහ ප්‍රජා ආරක්ෂණය කේන්ද්‍රකරගත්, ස්ත්‍රියට ඇය ලෙස ම ගෞරවාන්විත ව ජීවත් විය හැකි සමාජ පර්යායක්. ජාත්‍යන්තර කාන්තා දිනයේදී අප මෙනෙහි කළ යුත්තේ, අප ලබාගත් බව පවසන ‘නිදහස’ තුළ අප කෙතරම් සිර වී ඇත් ද යන්නත් සැබෑ නිදහස ඇත්තේ අප ම ගොඩනගා ගත යුතු ප්‍රජාමූලික වටිනාකම්වල බවත්.






